Uncategorized

පරිසරය හා ජනමාධ්‍ය: නිසි සමබරතාවක් ඇතිකරන්නේ කෙසේද?

එම්.එස්.එම්. අයුබ්

ශ්‍රී ලංකා පරිසර ජනමාධ්‍යවේදීන්ගේ සංසදයේ (SLEJF) නියෝජිතයෙකු ලෙස මම 2001 වසරේ සිංගප්පූරුවේදී පවත්වන ලද පරිසර හානිය අවම කිරීම සඳහා මාධ්‍ය කාර්යභාරය පිළිබඳ දකුණු ආසියානු මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වුණෙමි. පරිසර ප්‍රශ්න සම්බන්ධයෙන් කටයුතු කරන ලොව පුරා මාධ්‍යවේදීන් මුහුණ දෙන ගැටලු අඩු වැඩි වශයෙන් එක හා සමාන බව එම සමුළුවේදී අනාවරණය විය.

සම්මන්ත්‍රණයේදී මාධ්‍යවේදීන්ගේ පොදු පැමිණිල්ල වූයේ පරිසරයට සිදුවන හානියට සමානුපාතිකව පාරිසරික ගැටලු සඳහා මාධ්‍යවල අවකාශය වෙන් කිරීමට බොහෝ මාධ්‍ය ආයතන දැඩි අකැමැත්තක් දක්වන බවයි.

පරිසරය පිළිබඳ වාර්තාවලට මේ අන්දමින් වෙනස්කම් කිරීම් සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදීන් පවා දුර්මුඛ වූහ. දේශපාලන හා අපරාධ වාර්තා සඳහා වෙන් කරනු ලබන අවකාශය සමඟ සසඳන විට පාරිසරික ගැටලු පිළිබඳව මහජනතාව දැනුම්වත් කිරීමට උත්සාහ කරන වාර්තා සඳහා මාධ්‍ය ආයතන විසින් වෙන් කරනු ලබන කාලය හෝ අවකාශය නොවැදගත් තරම් කුඩාය.

පාරිසරික ගැටලු සඳහා මාධ්‍ය විසින් ලබාදෙන අවකාශය සම්බන්ධයෙන් ගත් කල, දශක දෙකකට වැඩි කාලයකට පසු පවා, සිදුවී තිබෙන්නේ ඉතා සුළු වෙනසක් පමණි. මෙය පොදුවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ සහ විශේෂයෙන් මාධ්‍යවේදීන් තුළ පාරිසරික ප්‍රශ්න සම්බන්ධයෙන් උද්යෝගයක් නොමැතිකම නිසා සිදුවන දෙයක් නොවන බව සම්මන්ත්‍රණයේදී මම පෙන්වා දුන්නෙමි. ඒ වෙනුවට, එසේ සිදුවන්නේ, තම පැවැත්ම සඳහා අවශ්‍ය මූල්‍ය පදනමක් කෙරෙහි මාධ්‍ය කර්මාන්තයේ අවධානය වැඩියෙන් යොමු කිරීම නිසා බව මම පෙන්වා දුන්නෙමි.

මාධ්‍ය ආයතනවලට ප්‍රජා මාධ්‍ය හෝ රාජ්‍ය නොවන සංවිධාන (NGOs) වැනි පරිත්‍යාගශීලීන් විසින් සහාය නොදක්වන්නේ නම්, ඒවා පවත්වාගෙන යාමට සිදුවන්නේ වාණිජ පදනමක් මතයි.

ලාභ ඉපැයීම එහිදී ප්‍රමුඛතාව වන අතර, ඒ සඳහා ඔවුන්ගේ නිෂ්පාදන, ප්‍රකාශන සහ වැඩසටහන් වැඩියෙන් අලෙවි කිරීමේ හැකියාව තිබිය යුතුය. පුවත්පත්වල අලෙවිය හා විද්‍යුත් මාධ්‍ය නාලිකාවල ශ්‍රේණිගත කිරීම් ඉහළ නැංවීමට උපකාරී නොවන වාර්තා ඉවතට විසිවන්නේ එහෙයිනි. එසේ නැතිනම්, ඒවාට ප්‍රමුඛතාව නොදෙන්නෙ එහෙයිනි. එමගින් සමාජයේ හෝ පෘථිවියේ පැවැත්මට අත්‍යවශ්‍ය පණිවිඩයක් සන්නිවේදනය කරන්නේද යන්න පවා එහිදී සලකා බලන්නේ නැත.

කෙසේ වෙතත්, සමාජ මාධ්‍ය අයත් වන්නේ වෙනත් වර්ගයකටය. සමාජ මාධ්‍ය වේදිකා තුළ, තේමාත්මක යූ ටියුබ් නාලිකා පවත්වාගෙන යන අය හැර සෙසු අන්තර්ගත නිෂ්පාදකයින් ප්‍රධාන වශයෙන්ම කරන්නේ ස්වයං වර්ණනය, ස්වයං-ප්‍රවර්ධනය, ජාලකරණය හෝ විශේෂිත වාර්ගික, ආගමික හෝ මතවාදී අවශ්‍යතා ප්‍රවර්ධනය කිරීමයි. යූ ටියුබ් නාලිකා ආදායම් ඉපැයීමට උපකාරී වන අතර ඒ වෙනුවෙන් උනන්දු වන අන්තර්ගත නිෂ්පාදකයින් උපරිම ලාභ අපේක්ෂා කරන බැවින්, ඔවුන් ද පරිසරය වැනි ජනප්‍රිය නොවන හෝ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් උනන්දු වන්නේ නැත.

මාධ්‍යවේදීන් හෝ මාධ්‍ය ආයතන සාමාන්‍යයෙන් පාරිසරික කරුණු වාර්තාකරණයට විරුද්ධ නැත. කෙසේ වෙතත්, කර්මාන්තයක් ලෙස ජනමාධ්‍යයත්, වෘත්තියක් ලෙස පුවත්පත් කලාවත් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ඔවුහු කැපවී සිටිති. මිනිසුන්ට අදාළ නොවන බව සලකන කාරණාවලට ප්‍රමුඛත්වය දීමෙන් මාධ්‍ය ද ඔවුන්ට අදාළ නොවිය හැකි බවට ඔවුහු බිය වෙති.

පෘථිවි ග්‍රහලෝකයේ සහ එහි වැසියන්ගේ පැවැත්ම සම්බන්ධයෙන් පාරිසරික ප්‍රශ්න දිගු කාලීනව වැදගත් වන බව සත්‍යයකි. එහෙත්, පරිසර පද්ධතියේ සිදුවන වෙනස්කම්වල බලපෑම මිනිස් සමාජයට ක්ෂණිකව දැනෙන්නේ නැත. එබැවින්, උගතුන් ඇතුළු සෑමදෙනෙකුම, ඔවුන්ගේ ජීවිතයට ක්ෂණික හෝ සෘජු බලපෑමක් ඇති නොවන පාරිසරික සහ වෙනත් ගැටලු ගැන දක්වන්නේ අඩු සැලකිල්ලකි.

කසළ බැහැර කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන් තුළ ඇති ආකල්ප සමාව දිය නොහැකි තරම් බව පාරවල් දෙපස කසළ බැහැර කරන පිළිකුල් සහගත ආකාරයෙන් ඉස්මතු කෙරේ. ශ්‍රී ලාංකිකයන් එසේ කරනුයේ ඩෙංගු වැනි රෝගවල අන්තරාය පිළිබඳව හොඳින් දන්නා ගමන්ය.

කසළ බැහැර කිරීම, කඩොලාන වගුරු බිම් ක්ෂය වීම, වන ආවරණය වේගයෙන් අඩුවීම, යම් ප්‍රදේශයක ජෛව විවිධත්වයට වන හානිය ආදී කරුණු පිළිබඳ පාඨක උද්යෝගය සම්බන්ධ සමීක්ෂණයක් පැවැත්වුවහොත්, එයින් ලැබෙන ප්‍රතිඵල බිය උපදවන්නට ඉඩ තිබේ. මෙම පොදු ආකල්පය අනුව, කිසිදු ප්‍රකාශකයෙකු, කර්තෘවරයෙකු හෝ මාධ්‍යවේදියෙකු පවා අඩු ජන ආකර්ෂණයක් ඇති දේවලින් මාධ්‍ය අවකාශයන් පිරවීමෙන් තම ඉලක්කගත ග්‍රාහකයන්ගෙන් ඈත් වීමට කැමති නොවනු ඇත.

පරිසරය ආරක්ෂා කිරීම සඳහා ජනතාවගේ දායකත්වය ඉතා වැදගත් වන්නේ එය විනාශ කිරීමට ද ඔවුන් දායක වන නිසා පමණක් නොවේ. දේශපාලන අනුග්‍රහය ඇති බලවතුන් විසින් පරිසර පද්ධතියට සිදුකරන හානිය වළක්වා ගත හැකි වන්නේ මහජන උද්ඝෝෂණ හරහාය.

දැනුම් තේරුම් නොමැති අය හා අඩු දැනුමක් ඇති අය මෙම හානිවලට එරෙහිව හඬ නඟන්නේ නැත. එම නිසා, එහිදී ජනමාධ්‍යවලට ප්‍රධාන කාර්යභාරයක් ඉටු කිරීමට සිදුවේ. සංවර්ධනය සහ පරිසර පද්ධතිය අතර සමතුලිතතාවයක් නිර්මාණය කිරීම සඳහා මහජන දැනුම්වත්භාවය ද වැදගත් වේ.

ඊළඟ පරම්පරාවට වඩා ඊළඟ මැතිවරණය ගැන දේශපාලනඥයන් සැලකිලිමත් වන දූෂිත දේශපාලන පරිසරයකදී ජනතාව දැනුම්වත් කිරීමේ අවශ්‍යතාවය වැඩි වශයෙන් දැනේ. මීට වසර කිහිපයකට පෙර කඩොලාන වනාන්තරයක් විනාශ කර ක්‍රීඩා පිටියක් ඉදිකිරීමට තැත් කළ දේශපාලනඥයකුට එරෙහිව දිස්ත්‍රික් වන නිලධාරිනියක් නොබියව නැගී සිටීමේ සිද්ධියකින් ඇතැම් දේශපාලනඥයන් පාරිසරික ප්‍රශ්න දෙස බලන ආකාරය හෙළිදරව් විය.

එහිදී ඇති වූ උණුසුම් වචන හුවමාරුව අතරතුර, ශාක ඔක්සිජන් ප්‍රභවයක් බව කාන්තා නිලධාරිනිය පෙන්වා දුන් විට, දේශපාලනඥයාගේ ආධාරකරුවෝ අපට ඔක්සිජන් අවශ්‍ය වන්නේ මන්දැයි ඇගෙන් ප්‍රශ්න කරමින් ඔවුන්ගේ නොදැනුවත්කම නිර්ලජ්ජිත ලෙස ප්‍රදර්ශනය කළහ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු පුළුල් මාධ්‍ය ආවරණය හේතුවෙන් අවසානයේ කඩොලාන පරිසරය සහ වන නිලධාරියා බේරාගැනීමට හැකි විය.

කෙසේ වෙතත්, පාරිසරික ප්‍රශ්න දේශපාලනීකරණය කිරීම හේතුවෙන් හොඳ මෙන්ම නරක ප්‍රතිඵලද අපේක්ෂා කිරීමට සිදුවේ. ප්‍රශ්නයක් දේශපාලනීකරණය වීමෙන් එය කරළියට එන අතරම එය හේතුවෙන් මාධ්‍යවේදීහු ද  දේශපාලන පක්‍ෂ අනුව බෙදෙති.

උදාහරණයක් වශයෙන්, ලෝක උරුමයක් වන සිංහරාජ වැසි වනාන්තරයට පිවිසුම් ස්ථානයක් වන ලංකාගම දක්වා මහාමාර්ගයක් ඉදිකිරීම 2020 ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ මුල් කාලයේ ආරම්භ වූ විට, මාධ්‍යවේදීන් අතර දේශපාලනික වශයෙන් භේදයක් ඇති විය. එක් කණ්ඩායමක් සම්පූර්ණයෙන්ම සංවර්ධනයට පක්ෂපාතී වන අතර අනෙක් කණ්ඩායම පරිසර සංරක්ෂණය සඳහා සටන් කළහ. එක් කණ්ඩායමක් මාර්ග සංවර්ධනය හේතුවෙන් වැසි වනාන්තරයට සිදුවන අහිතකර බලපෑම් නොසලකා හැරිය අතර අනෙක් කණ්ඩායම දරුවන්ගේ පාසල් අධ්‍යාපනය ඇතුළු ලංකාගම ජනතාවගේ අවශ්‍යතා සඳහා සමීපතම නගරය වන නෙළුව දක්වා කිලෝමීටර් 15 ක් පයින් යා යුතු වීම නොසලකා හැරියහ. කෙසේ වෙතත්, මාධ්‍යවේදීන් අතර ඇති වූ මෙම විවාදය හේතුවෙන් පාරිසරික ගැටලුව පිළිබඳ සජීවී සහ සෞඛ්‍ය සම්පන්න කතිකාවක් ද නිර්මාණය විය.

2021 වසරේ මුල් භාගයේදී ද මෙවැනිම මතභේදයක් දක්නට ලැබිණි. මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමට බාධාවක් වීම හේතුවෙන් ප්‍රදේශවාසීන් ගෞරවාන්විතව “පඬු කරඳ” ලෙස හැඳින්වූ දුර්ලභ “කෘඩියා සෙයිලනිකා” ශාකය උදුරා දැමීමට බලධාරීන් උත්සාහ කිරීමත් සමඟ මාධ්‍ය තුළ ප්‍රසිද්ධ සංවාදයක් ඇති විය. අවසානයේදී මාධ්‍ය කතිකාවත හේතුවෙන් අධිවේගී මාර්ගයේ ගමන් මග වෙනස් කර ගස බේරා ගැනීමට බලධාරීහු යොමු වූහ.මෙම පුළුල්ව ආවරණය කරන ලද හුදකලා සිදුවීම් හැරුණු විට, මාධ්‍ය කර්මාන්තයේ දිගුකාලීන පැවැත්මට හානියක් නොවන පරිදි පාරිසරික ගැටලු කෙරෙහි නිරන්තර ආවරණය ලබා දෙන සමතුලිත මාධ්‍ය සංස්කෘතියකට ශ්‍රී ලංකාවේ මාධ්‍ය තවමත් විවෘත වී නොමැත.

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts