සාමය

පත්තර පිටු අතර – එක් මතකයක් සමඟ…නුගේලන්ද හා පිල්ලෙයාරඩි කෙත්යායෙන් උගත් පාඩම්…

සී. දොඩාවත්ත

දින වකවානු හරියටම මතක නැති අනූව දශකය අවසාන භාගයේ එක්තරා දවසක වාර්තාකරණ කටයුත්තක් සඳහා මම නුගේලන්ද ගමට ගියෙමි. අනුමාන වශයෙන් ඒ 1999 වසර විය හැකිය. එය අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත්, එය එකල නිරන්තර එල්.ටී.ටී.ඊ ප්‍රහාරයන්ට ගොදුරු වූ අවදානම් කලාපයේ පිහිටි දුෂ්කර ගමකි.

ගමේ අවසාන මායිම වූයේ කිලෝ මීටරයක් පමණ පළලැති ගංගාවක් සේ දිගට විහිදෙන දැවැන්ත කුඹුරු යායකි. කුඹුරු යායෙන් අනෙක් පස වූයේ මඩකලපුව දිස්ත්‍රික්කයට අයත් පිල්ලෙයාරඩි දෙමළ ගම්මානයි. 

මාධ්‍යවේදියෙකු ලෙස මේ කියන දවසේ මම නුගේලන්ද ගමට ගියේ ඉහත කී කුඹුරු යාය ආශ්‍රිත යම් සුවිශේෂී සිදුවීමක් වාර්තා වූ බැවිණි. මගේ මතකය අනුව කොළඹ සිට මා ගියේ කීරත්තිඩියේ පඤ්ඤාසේකර හාමුදුරුවන් සමගය.

අප යන විට ගමේ තිබුණේ තරමක කලබලකාරී උණුසුම් තත්වයකි. ඊට හේතුව පසුදාට නියමිතව තිබූ කටයුත්තක් සඳහා ආරක්‍ෂක අංශ වෙතින් නිසි අනුමැතියක් නොලැබීමය.

අපි තත්වය තේරුම් ගැනීමට උත්සාහ කළෙමු. ගල්ඔය ජනපද ව්‍යාපාරයට අයත් මේ කලාපයේ ජනපද පිහිටුවා ඇත්තේ 1950 දශකය අවසානයේය. මෙරට වාර්ගික ගැටුම ආරම්භයේ සිටම ගොවි ජනපද ව්‍යාපාරයද ගැටුමේ ප්‍රධාන සාධකයක් ලෙස සංවාදයට බඳුන් වී තිබිණි. යුද්ධය ආරම්භ වීමෙන් පසු සිංහල ගම්වල එස්.ටී.එෆ් සොල්දාදුවෝද, දෙමළ ගම්වල එල්.ටී.ටී.ඊ. සොල්දාදුවෝද ස්ථාන ගත වූහ. ප්‍රතිඵල වූයේ යුද කඳවුරු දෙකක මායිම බවට කුඹුරු යායක් පත්වීමයි. යුද පිටියේ භාෂාවෙන්ම කියනවානම් කුඹුරුයාය මිනිසුන් ගෙන් තොර (No man land) කලාපයක් බවට පත්විය.

ජීවනෝපාය අහිමිවීමෙන් දෙපැත්තේම ගොවි ජනයා මුහුණ දෙන ගැටලු ජාතික තලයේ සංවාදයට පැමිණියේ නැත. ජනමාධ්‍යයෙහි අවධානය මූලික වශයෙන් යොමුවී තිබුනේ යුද ගැටුම් කෙරෙහි මිස පොදුජනයාගේ ගැටලු දෙස නොවේ. එහෙත් එවැනි බිම් මට්ටමේ ජනයා මුහුණ දෙන පොදු ගැටලු කෙරෙහි සංවේදී වූ පිරිසක් ද වූහ.

ඒ අතර සිටි එක් අයකු වූයේ නුගේලන්ද පල්ලියේ සිටි නිර්මාල් මෙන්ඩිස් පියතුමාය. නැගෙනහිර පළාතේ දෙමළ ජනයා අතර වැඩකරමින් සිටි කුමාරි කුමාරගමගේ තවත් අයෙකි. ගමේ පන්සලේ  හාමුදුරුවෝද, ගොවිනායකයින් කිහිපදෙනෙක්ද ඒ අතර වූහ. මේ සාකච්ඡාව ටික දිනකින් ගම් දෙක අතර සාකච්ඡාවක් බවට පත්විය. යම් මට්ටමේ සාකච්ඡා වට කිහිපයකට පසු නුගේලන්ද ගොවිනායකයෝ පොලිස්පතිතුමා ඇතුළු දකුණේ ආරක්‍ෂක අංශ ප්‍රධානීන් ඇමතූ අතර, පිල්ලෙයාරඩි ගොවි නායකයෝ ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ නායකත්වය හමුවූහ. දෙපාර්ශවයේම ඉල්ලීම වුයේ තම තමන්ගේ කුඹුරුවල නිදහසේ වැඩකර ගැනීමට ඉඩ දෙන ලෙසය. ඔවුන්ගේ පොදු ඉල්ලීම වූයේ “කෙත් බිමට සාමයයි”

සාකච්ඡා වට කිහිපයකට පසු කොළ එළියක් දැල්වී තිබිණි. කුඹුරු වැඩ යළි ඇරඹීම සඳහා දින වකවානුද නියම කෙරුණි. අප එහි ගියේ ඒ සුබ කටයුත්ත ආරම්භ කෙරෙන මංගල මොහොත වාර්තා කිරීම සඳහාය.

එහෙත් නියමිත දිනට පෙරදා අප එහි යන විට යළි තත්වය වෙනස් වී තිබිණි. ගම උණුසුම්ව තිබුනේ එනිසාය. ආරක්‍ෂාව පිළිබඳ ස්ථිර සහතිකයක් නැතිවීම ඊට හේතු වී තිබිණි. 

එහෙත් ගම් වැසියන් ඒ වන විටත් පසුදා මෙහෙයුමට සියලු කටයුතු සූදානම් කර අවසානය. සුබ මංගල්‍යකට මෙන් කැවිලි පෙවිලි ද සූදානම්ය. ආරක්‍ෂක අංශ සමග සාකච්ඡා යළි දියත් විය. ප්‍රතිඵල සිතූ තරම් සුබවාදී නොවූ නමුත් ගම්වැසියෝ සුබවාදීව යළි හෙට දිනට සූදානම් වූහ.

පසුදාට හිරු උදාවේ බලාපොරොත්තු දහසක් ඇතිවය. කැති උදළු මෙන්ම කැවිලි පෙවිලිද දරා ගත් ගැමියෝ  උදෑසනම ගම්මැද්දේ පෙළ ගැසුනහ. නැවුම් බලාපොරොත්තු කොතෙක් තිබුණද, ඒ සමග සැකය හා කුතුහලයද රැව් දෙමින් තිබිණි. කොහෙන්, කොහේ  ගිනි අවියක් දැල්වේදැයි කිව හැකි කෙනෙක් නැත. 

පසුදා උදෑසන වෙල් යාය මත උදා හිරු රැස් පතිත වෙද්දී සියලු සැක සංකා හිත දරාගෙන වන වැදුනු අඩිපාරවල් ඔස්සේ ගැමියෝ පුරන්ව ගිය තම කුඹුරු වෙත ගමන් කළහ.

නුගේලන්දෙන් පිටත් වූ ඒ මිනිස් පෙරහැර වෙල්යාය මැදට යද්දී වෙල්යායෙන් එහා අන්තයේ පිල්ලෙයාරඩි ගම්මානයෙන් පිටත් වූ එවැනිම මිනිස් පෙරහැරක් වෙල්යාය මැදට එමින් සිටියහ. වෙල්යාය මැද ඔවුන් එකිනෙකා හමුවූයේ බදා වැළඳ ගනිමින් හා සතුටු කඳුලු වගුරවමිනි.

කුඹුර මැදම කිරිබත් උයා අනුභව කරමින් ඔවුහු ඒ ජයග්‍රාහී මොහොත සැමරූහ. බැලූ බැල්මට විජයග්‍රාහී මොහොතක් සේ එය පෙනුනද ඒ පිටුපස අප කිසිවෙකුට නොපෙනුණ යම් අභිරහසක් සැඟව ඇති බව මට දැනුණේ කෙත් බිමේ උත්සවය අවසන් වී ආපසු නුගේලන්දට එන අතරය.

“වැඩේ සාර්ථක වුණාට දැන්ම මේ ගැන කිසි දෙයක් පත්තර වලට ලියන්න එපා” 

වැටසටහනට සම්බන්ධ ක්‍රියාකාරිකයන්ගෙන් එවැනි උපදෙසක් ලැබුණු මොහොතේ මට කිසිවක් සිතාගත නොහැකි විය. යමක් ලිවීමේ නිදහස හා නොලියා සිටීමේ වගකීම අතර උභතෝකෝටියට මුහුණ දෙමින් ඒ රාත්‍රිය නුගේලන්දේ ගතකොට මම පසුදා කොළඹ ආවෙමි. 

එයින් වසර විසි දෙකක් පමණ ගතවන විට අර පැරණි මතකයන් බොහෝ දුරට අමතකව ගොසිනි. පැරණි මිතුරන් අතර මේ කතා ඉදහිට අනුස්මරණය කෙරනවා පමණි.

එදා මේ කටයුත්තට කොළඹින් තවත් කණ්ඩායමක් සම්බන්ධව සිටියේය. ඒ අතර සිටි උදය කළුපතිරණ සමග පසුගිය දවසක පැරණි මතකයන් හරහා අවුස්සමින් සිටින මොහොතක යළි මේ කතාව සිහියට නැගුණි. ඒ ඔස්සේ කුමාරිටත්, කුමාරි ගේ මතකයන් ඔස්සේ නුගේලන්ද ගමේ එදා සිටි ක්‍රියාකාරිකයෙකුටත් කතා කළෙමි. ඔහු ඩබ්.එම්.විජේකෝන්ය. ඔහු එකල ගමේ නායකත්ව භූමිකාවක් ඉටු කළ අයෙකි.

“අද බලන කොට මේක වීර ක්‍රියාවක් වුණාට, එදා මේක අපේ ජීවිතයත් මරණයත් අතර කළ සෙල්ලමක්. අපටත් ඒක දැනුණේ වැඩේ ටිකක් දුර ගියාට පස්සේ…”

එය එසේ වීමට ජනමාධ්‍ය ද බලපෑ අයුරු ඔහු පැහැදිලි කළේ මෙසේය.

“අපේ කුඹුරු අහිමි වීම අපට ප්‍රශ්නයක් වුණාට හැම දෙනාටම ඒක එහෙම වුණේ නෑ. මේ රටේ සමහර ජනමාධ්‍ය මේවා දිහා බැලුවෙ යුද්ධය දිහා බලන විදියටමයි. මේ වැඩවලින් එල්.ටී.ටී.ඊ ප්‍රයෝජන ගනියි කියන මතය ඔවුන් ගොඩනැගුවා. ඒ අතර එල්.ටී.ටී.ඊ පැත්තෙන් හිතුව මේකෙන් සිංහලයන්ට වාසි වෙයි කියල. සිංහල, දෙමළ මිනිස්සු සමගියෙන් වැඩකරනවට එයාල කවදාවත් කැමති වුණේ නෑ. පුදුමෙ කියන්නේ අපේ සමහර පත්තර කාරයින්ට ඒකවත් තේරුම් ගන්නට බැරිවුණු එකයි. ඒ අතර මේ පත්තර කාරයන් කියපු සමහර දේවල් අපේ සමහර මිනිස්සුත් පිළිගත්තා. අපිට මේ දෙපැත්තෙන්ම බැට කන්න වුණා,” 

“එදා කුඹුරට යන්න කලින් දවසේ රෑ අපේ ගෙදර මළ ගෙයක් වගේ, යන්ඩම එපා කියල ගෙදර අය අඬා වැටුනා. ඒත් මම හිටියෙ නොගිහින් බැරි තැනක. ඉතින් ගියා. හැබැයි ලොකු දෙගිඩියාවකින්”

“දෙමළ මිනිස්සුත් එක්ක එල්.ටී.ටී.ඊ කාරයො ඇවිත් ගම්වලට ගහයි කියන බය එක පැත්තකින් ගමේ පැතිරුණා. 

“ඒ මතවාදය හැදුවෙ අර ජනමාධ්‍ය එදායින් පස්සේ සති ගණනක් අපි ගෙවල්වල නිදාගත්තෙ මර බයේ. මොකෙක් හරි ඇවිත් ගම පැත්තට නිකං හරි වෙඩිල්ලක් තියල ගියා නම් අපට වෙන දේ හිතා ගන්නත් බෑ. අපිව මරන්නෙ කොටි නෙවෙයි, ගමේ මිනිස්සු ඒකට මතවාදය හැදුවෙ අර ජනමාධ්‍ය….”

“ඒ නිසයි එදා අපි ඔයාට කිව්වෙ මේ ගැන මොකවත්ම ලියන්න එපා කියල. මේ කතාව මාධ්‍යට ගියානම් අර උදවිය මේකට විරුද්ධ තවත් ලියන්න පටන් ගන්නවා. අපි තවත් හිරවෙනව.”

ජනමාධ්‍ය පිළිබඳ ඔවුන් තුළ තිබුණේ කෙබඳු පිළිගැනීමක් දැයි වටහා ගැනීමට තවත් වචන අවශ්‍ය නැත. 

කෙසේ වෙතත් කෙත් බිමට සාමය ද එක කන්නයකට වැඩි කාලයක් පැවතුනේ නැත. ඊළඟ කන්නයේ කුඹුරු වැඩ කිරීමට පැමිණි මුස්ලිම් ජාතිකයෙකුගේ ට්‍රැක්ටරයක් පැහැර ගෙන යාමත් සමග කෙත් බිමට සාමය ද මිලානව ගියේය. 

කාලයාගේ ඈවෑමෙන් මේ වනවිට ඉතිරිව ඇත්තේ ඒ පිළිබඳ තවත් එක් අවිධිමත් මතකයක් පමණි. එහෙත් ඒ ඇසුරෙන් උගත හැකි දෑ බොහෝය. විශේෂයෙන් මෙරට ගැටුම් පිරි ඉතිහාසය තුළ පොදුවේ ජනමාධ්‍ය විසින් ඉටුකර ඇති භූමිකාව කුමක්දැයි මේ අත්දැකීම විසින් පැහැදිලි කරන අතර, මෙරට ජනමාධ්‍ය පිළිබඳව ප්‍රජාව තුළ ඇති විශ්වාසයේ තරම ද, මෙයින්ම පැහැදිලි වේ.

මේ සිදුවීම හැරුණු විට ගල්ඔය ජනපදයේ ගම්මාන ගණනාවකට ප්‍රහාර එල්ල වූ අවස්ථාවල මම එහි ගොස් ඒ ඛේදවාචක දෑසින් දැක වාර්තා කර ඇත්තෙමි. අප මෙන්ම, මෙරට සියලු ජන මාධ්‍ය ඒ සිදුවීම් වාර්තා කළහ.

එහෙත් එමගින් මෙරට පාඨකයන්ට ඒ සිදුවීම් පිළිබඳ සැබෑව වටහා ගැනීමකට ආලෝකයක් ලැබුනේද, නැතහොත් ඒ ඇසුරෙන් පවා පාඨකයාගේ හැඟීම් කුපිතකොට තව දුරටත් අඳුරක් නිර්මාණය කළේද යනු සිතා බැලිය යුතු කාරණයකි.

අප බොහෝ විට උත්සාහ කළේ ඒ සිදුවීම් එහි ඉතිහාසීය විකාශය හා සන්දර්භය තුළ තබා ඉදිරිපත් කිරීමටය. ඒ භාවිතයෙන් ලැබූ අවබෝධයක්, පුර්වගාමීන්ගෙන් ලැබූ මගපෙන්වීමත් මතය. විධිමත් පුහුණු කටයුතු ඇරඹුනේ පසුවය. එබැවින් මා අදටත් විශ්වාස කරන්නේ මේ විෂයෙහි ලා සියල්ලට වඩා අභ්‍යන්තරයෙන් පැන නගින අවබෝධය වැදගත් වන බවය.

ජනමාධ්‍ය වෘත්තියෙහි නියැලෙන්නට ගැටුම හමුවන්නේ යුද්ධය තුළ පමණක් නොවේ. අදින් තිස් වසරකට පමණ පෙර මා ජනමාධ්‍යට මුලින්ම පිවිසියේ කෘෂිකාර්මික හා පාරිසරික විෂයන් පිළිබඳ උනන්දුවක් දක්වන්නෙකු ලෙසිනි. මිනිසා සමග මිනිසා ගැටෙන යුදපිටියේ අරගලය අබිබවා එහිදී මිනිසා තම මහපොළව සමගත්, පරිසරය සමගත් ගැටෙන අයුරු අපි දැක ඇත්තෙමු. එමෙන්ම එහි අනිටු, ප්‍රතිඵල අපි තවමත් භුක්ති විඳිමින් සිටිමු. එයද තවමත් අවසන් නොවූ අරගලයකි. යුදමය ජවනිකා අවසන්ව ඇතත් වාර්ගික හා වෙනත් බොහෝ විවිධත්වයන් අතර සංහිඳියාව තව බෙහෝ දුරය. ඒ සඳහා වඩා යහපත් ජනමාධ්‍ය භාවිතයක් අවශ්‍යයව තිබේ.

වෙනස් කම් තිබුණත් අපි එකම විශාල සමාජයක සාමාජිකයන් බවත්, ලියැද්දේන්, ලියැද්ද බෙදී තිබුණත් අපි එකම කුඹුරක් අස්වද්දන ගොවියන් බවත්, සමාජයට වටහා දිය හැකි ජනමාධ්‍ය භාවිතයක් බිහිවූ දවසට මේ ලෝකය මීට වඩා ලස්සන වනු ඇත. අදින් විසි දෙවසරකට පෙර නුගේලන්ද හා පිල්ලෙයාරඩි කෙත්යායෙන් මා උගත් ජනමාධ්‍ය පාඩම එයයි.

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts