අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

නීල හදවත් සමරමු, නිහඬ සේවය අගයමු

අයි. කේ ප්‍රභා

කෝවිඩ් -19 වසංගතය හමුවේ ලොව පුරා ස්වේච්ඡා සේවකයින්ගේ සේවය කැපී පෙනුනි.  මෙවර 2020 එක්සත් ජාතීන්ගේ ස්වේච්ඡා සේවකයින්ගේ දිනයේ තේමාව නම් කර ඇත්තේ “Together we can volunteering” යනුවෙනි. එක්සත් ජාතීන්ගේ  සංවිධානය විසින් මෙවර ක්‍රියාත්මක කිරීමට යෝජිත  ස්වේච්ඡා සේවක දින සැමරුමට සමගාමීව නිල් පාටට හුරු හදවතේ සළකුණක් හඳුන්වාදෙමින් ඔවුන් ලෝකය හමුවේ දන්වා සිටින්නේ කෝවිඩ්-19 වසංගත හමුවේ පවා තම කාලය, ධනය හා ශ්‍රමය වැය කරමින් ස්වේච්ඡා සේවයෙහි නිරත පුද්ගලයින් අගය කිරීම සඳහා ඔබ පලඳින  මුඛ ආවරණයෙහි නිල් පාටට හුරු හදවතේ සලකුණ ලකුණු කරමින් ලබා ගන්නා ලද ඡායාරූපයක් භාවිත කරමින් #HeartYourMask හෝ #Togetherwecan💙 යනුවෙන් සඳහන් කර සමාජ මාධ්‍යයට එක් කිරීම මගින් ලොව පුරා සිටින ස්වේච්ඡා සේවකයිනට ස්තූතිය පළ කිරීමට දායක වන ලෙසයි. නිල් පාටට හුරු හඳවතේ සලකුණ භාවිත කිරීම මඟින් covid – 19 වසංගතය හමුවේ ලොව පුරා සිටින ස්වේච්ඡා සේවකයින් කෙරෙහි ධනාත්මක හැඟීම් වර්ධනය කරගත හැකිය යන්න ඔවුන් අවධාරණය කරයි. තවද සමාජ මාධ්‍ය ඔස්සේ @UNVolunteers #TogetherWeCan හා #IVD 2020 යන යෙදුම් භාවිත කිරීම මගින් ඒ පිළිබඳව තොරතුරු දැනගත හැකි බව ඔවුන් දන්වයි.

ලොව පුරා සිටින ස්වේච්ඡා සේවකයින්ගේ සේවය අගය කරනු වස් වර්ෂය 1985  දෙසැම්බර් මස 5 වන දින එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අන්තර්ජාතික ස්වෙච්ඡා සේවකයන්ගේ දිනය නිල වශයෙන් නම් කරන ලදී. තවද ස්වේච්ඡා සේවකයන්ගේ කටයුතු සඳහා පහසුකම් සැලසීම, ඔවුන් වෙනුවෙන් සන්නිවේදන ජාලයක් නිර්මාණය කිරීම, ඔවුන් දිරි ගැන්වීම, එම පිරිස් රජයට හඳුන්වාදීම මගින් රජයේ සහාය ලබා ගැනීම හා ඔවුන්ට ලැබෙන ප්‍රතිලාභ ප්‍රවර්ධනය කිරීම යන අරමුණු පෙරදැරි කරගෙන එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2001 වර්ෂය අන්තර්ජාතික ස්වේච්ඡා සේවකයින්ගේ වර්ෂය ලෙස නම් කරන ලදී. ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රජා කණ්ඩායම් අතර සමගිය, ආර්ථික හා සමාජ සංවර්ධනය ඇති කිරීම අරමුණු කරගෙන සංවර්ධන ඉලක්කයන් ළඟාකර ගැනීම, දරිද්‍රතාවය හා බඩගින්න දුරලීම, ආපදාවන්වල දී සහන සැලසීම, සෞඛ්‍ය, පරිසර ආරක්ෂණය, මානව අයිතිවාසිකම් සුරැකීම හා ස්ත්‍රී පුරුෂ සමාජ භාවය යන කරුණු වෙනුවෙන් සිදු කරන ස්වේච්ඡා සේවාවන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්  එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලොව පුරා රටවල් 80ක ගේ සහභාගිත්වයෙන් දහස් ගණනක් වූ රාජ්‍ය නොවන සංවිධාන,  පුරවැසි හා පෞද්ගලික අංශයේ විවිධ සමිති සංගම්, තනි පුද්ගල හා සාමූහික වශයෙන් ස්වේච්ඡා සේවය වෙනුවෙන් කැපවෙන සේවකයින්ගේ ශ්‍රම දායකත්වය අගය කිරීමට,  හා ඔවුන්ට ස්තුති පළකිරීම අරමුණු කරගෙන සෑම වර්ෂයකම දෙසැම්බර් මස 05 වන දින ස්වේච්ඡා සේවකයින්ගේ සේවය ප්‍රවර්ධනය කිරීම උදෙසා ලොව පුරා ධනාත්මක  ප්‍රචාරණයන් දියත් කරනු ලැබේ.

ලොව පුරා ස්වේච්ඡා සේවයෙහි යෙදෙන්නන්, 

  • Global Volunteers
  • Conservation Volunteers
  • VSO – British Volunteer Organizations
  • Service Civil International 
  • UN Volunteers 

යනුවෙන් ගෝලීයව සංවිධානය වී ඇති ව්‍යුහයන් හඳුන්වාදිය හැකි අතර,

(https://www.volunteeringoptions.org/international-volunteer-organizations/)

එම සංවිධානවලට අනුබද්ධව ලාංකික සමාජය තුළ බහුලව ස්වෙච්ඡා සේවයෙහි නියැලෙන සංවිධාන

  • UN Volunteers
  • UN Volunteer – Sri Lanka
  • Red Cross
  • V – Force  මූලික වේ.

මීට අමතරව ශ්‍රී ලංකාව තුළ දේශීය සංවිධාන රාශියක් සියලුම ආකාරයේ ස්වේච්ඡා සේවයන් සඳහා කටයුතු කරනු දැකිය හැකි ය. මේ වන විටත් ලොව පුරා කොරෝනා රෝගයෙන් පීඩාවට පත්වූවන් හා ඔවුන්ගේ පවුලේ උදවියට සහන සැලසීමේ අරමුණින් දහසක් ගණනක් වූ ස්වේච්ඡා සේවකයින්ගේ හා මාධ්‍යවේදීන්ගේ අමිල සේවය කැපී පෙනේ. ඔවුන් නිතරම තම රුචි අරුචිකම් හා පෞද්ගලික අත්දැකීම් පදනම් කර ගනිමින් තම ආත්මතෘප්තිය උදෙසා මහජනයා වෙනුවෙන් සේවය සපයමින් විවිධ ක්ෂේත්‍රයන්වල අභිවෘර්ධියට කැපවෙති. එවන් සේවකයෙකුගේ සේවය නිරන්තරයෙන්ම ඇගයීමට පාත්‍ර විය යුතුය.

(http://cabm.net/en/volunteer/rights)

“ස්වේච්ඡා සේවකයෙකු යනු යම්කිසි ඉලක්කයක් සපුරා ගැනීම සඳහා තම සේවය සපයනු ලබන පුද්ගලයෙකි. ස්වේච්ඡා සේවකයකු සතු අයිතීන් පිළිබඳව අවධානය යොමු කිරීමේ දී අනෙකුත් වැඩ කරන පුද්ගලයන් මෙන් ඔවුන්ට අයිතීන් හිමි නොවන නමුත් ඔවුන්ගේ සේවය ලබන සංවිධානය ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය, පූර්වාරක්ෂාව හා පෞද්ගලික තොරතුරු ආරක්ෂා කිරීමේ වගකීමට බැඳී සිටිය යුතුය.” යන්න නීතිඥ කෝෂල ප්‍රසන්න යසරත්න මහතා අවධාරණය කරයි.

ලෝකය පුරාම සෑම ජන කොට්ඨාසයකටම උරුම විය යුතු සාධාරණ මූලික අයිතිවාසිකම් මෙන්ම අයිතීන් වෙනුවෙන් පෙනී සිටීම සහ වැඩ කිරීම ස්වේච්ඡා සේවයේ මූලික අභිප්‍රායකි. ලොව පුරාම මානව අයිතිවාසිකම් පිළිගැනීම හා අගය කිරීමට විශ්වීය වැදගත්කමක් පසුගිය දශක 5 තුළ ලැබුණ නමුත් ලෝකයේ නන් දෙසින් විශාල වශයෙන් මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් දක්නට ලැබෙන බව පශ්චාත් යුද සමයේ අන්තර්ජාතික නීතිය පිළිබඳව විද්වතෙකු වන ශ්‍රීමත්  Hersch Lauterpacht  පවසයි.

(https://www.srilankalaw.lk/Volume-II/convention-against-torture-and-other-cruel-inhuman-or-degrading-treatment-or-punishment-act.html)

විවිධ පුද්ගල කණ්ඩායම් හා රජය විසින් මානව අයිතිවාසිකම් කඩ කරන අවස්ථා වලදී ඒවෙනුවෙන් ස්වේච්ඡාවෙන් පෙනී සිටිමින්, ඒ පිළිබඳව මහජනයා දැනුවත් කරන ස්වේච්ඡා සේවක කණ්ඩායම් හා සංවිධාන තිබේ. ශ්‍රී ලංකාව තුළ එවන් ආයතන කිහිපයකට උදාහරණ ලෙස, 

  1. අන්තර්ජාතික මානව හිමිකම් කොමිසම
  2. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂම
  3. ශ්‍රී ලංකා මානව හිමිකම් පදනම (Human Rights organization of Sri Lanka)
  4. කාන්තා පිහිට ආයතනය (CSCN) 
  5. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය (TISL) පෙන්වා දිය හැකි ය.

“ස්වේච්ඡා සේවකයෙකු සතු නීති රීතීන් පිළිබඳව අවධානය යොමු කිරීමේදී ස්වෙච්ඡා සේවයේ යෙදීමට නිශ්චිත වයස් සීමාවක් නම් කර නොමැති නමුත් වයස අවුරුදු 14ට අඩු පුද්ගලයෙක් ස්වෙච්ඡා සේවය සඳහා සංවිධානයක් විසින් සේවයට බඳවා නොගත යුතුය. ස්වේච්ඡා සේවකයෙකුට වැටුපක් ලැබීමට හිමිකමක් නැත. නමුත් ආහාර පාන ගමනාගමන වියදම් ලැබීමේ අයිතියක් ඇත. නීතිය ඉදිරියේ දඬුවමට ලක්වූ අපරාධකරුවෙකුටද ස්වේච්ඡා සේවයේ නියැලිය හැක. නමුත් ඔහු ස්වෙච්ඡා සේවයේ යෙදීමට ප්‍රථම ඔහුගේ අපරාධ පිළිබඳ පරීක්ෂණ වාර්තාවක් අදාල සංවිධානය පොලීසියෙන් හෝ අධිකරණයෙන් අනිවාර්යයෙන්ම ලබාගත යුතුය. අන්තර්ජාතික ලාභ නොලැබීමේ නීති කේන්ද්‍රය (ICNL) හා යුරෝපීය ලාභ නොලැබීමේ නීති කේන්ද්‍රය (ECNL) මගින්  ස්වේච්ඡා සේවයේ යෙදෙන්නන් උදෙසා නීතිරීති පද්ධතියක් හදුන්වාදී ඇත. එහිදී සිවිල් සමාජයේ සේවයේ නියුතු ස්වේච්ඡා සේවකයන්ට පොදු අයිතිවාසිකම් පිළිබඳව කරුණු දක්වා ඇත. තවද එමගින් ස්වේච්ඡා සේවය වැඩි දියුණු කිරීම, ස්වේච්ඡ සේවකයන්ගේ සුබසාධනය, ඔවුන්ට රක්ෂණාවරණයක් සැපයීම හා ඔවුන්ගේ වරප්‍රසාද පිළිබඳව ඇති අයිතිවාසිකම් පිළිබඳවත් අවධානය යොමු කර ඇත. මැසිඩෝනියාව හා නවසීලන්තයේ ස්වෙච්ඡා සේවකයින් උදෙසා නීතිමය උපදෙස් මාලාවක් ප්‍රකාශයට පත් කර ඇත. එමෙන්ම 2003 වර්ෂය ඕස්ට්‍රේලියාවේ සිවිල් වගකීම් පනත (Civil Liability Act) මගින් එරට ස්වෙච්ඡා සේවකයින්ගේ ආරක්ෂාව තහවුරු කර ඇත. ශ්‍රී ලංකාවට සමාන නීති පද්ධතිය ක්‍රියාත්මක වන දකුණු අප්‍රිකාවේද 2004 වර්ෂයේදී ආගමන විගමන පනත මගින් ස්වේච්ඡා සේවකයින් සඳහා වීසා ලබා දීමේදී ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද යන්න නවතම ක්‍රමවේදයක් හඳුන්වා දී ඇති අතර අන්තර්ජාතික වශයෙන් ස්වේච්ඡා සේවයේ නිරත වන්නන්ට එය සුවිශාල පහසුකම් රැසක් සලසන්නට විය. තවද  ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ස්වේච්ඡා සේවකයින්ගේ අයිතිවාසිකම් හා තරග විනිශ්චය පිළිබඳ නීති රෙගුලාසි මාලාවක් හඳුන්වා දෙමින් ලක්ෂයකට අධික ස්වේච්ඡා සේවකයන්ට සහන සැලසූ බව ප්‍රසිද්ධය.’’ යන්න නීතිඥ කෝෂල යසරත්න මහතා අවධාරණය කරන ලදී.

“චීනය COVID-19 එන්නතේ තුන්වන අදියර සායනික අත්හදා බැලීම්වල කොටසක් ලෙස රටවල් 10 කට වැඩි ගණනක ස්වේච්ඡා සේවකයින්  60,000 කට පමණ එන්නත් කර ඇති බවත් ඔවුනට කිසිදු දරුණු අතුරු ආබාධ වාර්තා වී නොමැති බවත් චීන විද්‍යා අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ටියාන් බෝගුඕ බීජිං හි පැවති මාධ්‍ය හමුවකට පවසා ඇත” (http://www.ada.lk/breaking_news/%E)

මෑතකාලීනව කොරෝනා එන්නත් අත්හදා බැලීම් සිදු කරන ලද ස්වේච්ජා සේවකයෙකු  ජීවිතක්ෂයට පතවූ අතර මාධ්‍ය වාර්තා මගින් පෙන්වා දෙන්නේ මියගිය තැනැත්තාට ලබාදී ඇත්තේ නිවැරදි එන්නත නොවන බවයි. 

(https://www.upworthy.com/hero-who-died-of-covid-in-moderna-vaccine-trial)

තවද  2009 වර්ෂයේදී ස්වේච්ඡා සේවයෙහි නිරතව සිටියදී තම ජීවිතය පවා අහිමි කරගත් පුද්ගලයින් 03 දෙනෙකු පිළිබඳවද පුවත් වාර්තා වෙයි. 

(https://www.google.com/amp/s/www.nytimes.com/2020/10/02/us/politics/peace-corps-death.amp.html)

“කෝවිඩ් වසංගතය හමුවේ දී පවා ඉතාමත් සතුටින් හා ආත්ම තෘප්තියෙන් යුතුව තමන්ගේ  මාධ්‍ය රාජකාරි කටයුතුවල නිරත වූ බවත් පළමු  හා දෙවන පී.පී.සී.ආර්  පරීක්ෂණ  වලදී කෝවිඩ් පොසිටිව් වීම හේතුවෙන් නිරෝධායන මධ්‍යස්ථානයේ දින 23 ක කාලයක් ගත කිරීමට  සිදු වූ බවත්” මව්බිම පුවත්පතේ  මාධ්‍යවේදීනියක වන අනුරාධා  හේරත් මෙනවිය සඳහන්  කළාය. කොවිඩ් ආසාදනය වීම හා ඒ අවස්ථාවේදී ඉතා සංවේදී  වූ තමා ගැන සොයා බැලූ පිරිසක් අතර තමන්ට විරුද්ධව විවිධ පුද්ගලයින් මඩ හා අසත්‍ය ප්‍රචාරයන් එල්ල කල බවත් කෙසේ වෙතත් කාන්තාවක් ලෙස එය මානසික සෞඛ්‍ය පිරිහීම කෙරෙහිත් අහිතකර ලෙස බලපෑ නමුත් ශක්තිමත් ව මුහුණ  දීමට අමතක නොකළා සේම මෙවැනි අපහසුතාවන්ට යම ලෙසකින් හෝ මුහුණ දෙන කාන්තාවන්ට දීමට ඇති පණිවිඩය, කොවිඩ්  යනු සැඟවිය  යුතු, බියවිය යුතු හෝ අපහාසයට ලක් විය යුතු රෝගයක් නොවන බව අවබෝධ  කරගන්නා ලෙසත් එය වෘත්තියෙන් එහා ගිය ස්වේච්ඡා සේවයක් බවත් එම මාධ්‍යවේදිනිය වැඩිදුරටත්  කියා සිටියාය. මාධ්‍ය වෘතිකයින් බොහොමයක් තම වෘතීමය සීමාවන් අභිඹවා මහජනයාගේ තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් ස්වේච්ඡා සේවයක් ලෙස සමාජ වගකීම් ඉටු කිරීම අගය කළ යුතු ය.

රාජ්‍ය, පෞද්ගලික යන ක්ෂේත්‍රයන් වලට අදාලව ආර්ථික, සමාජ, දේශපාලන, සංවර්ධන හා තවත් බොහෝ ක්ෂේත්‍රයන් ආවරණය වන පරිදි ජනමාධ්‍යවේදීන්, කාන්තාවන්, දේශපාලකයින් හා ප්‍රභූ පිරිස් රට ජාතිය වෙනුවෙන් තම කාලය, ශ්‍රමය හා ධනය කැප කිරීම මගින් ආත්මාර්ථයට වඩා පරාර්ථය උතුම් බව සලකා ස්වේච්ඡා සේවයට කැපවී සිටි. එමගින් ඔවුන් සුවිශාල ආත්මතෘප්තියක් ලබයි. එවන් පුද්ගලයින්ට දෝෂාරෝපණය එල්ල කිරීමට වඩා ඔවුන්ගේ අයිතිය හා සුරක්ෂිතතාවය තහවුරු කරමින් ජාති, ආගම්, වර්ණ හෝ ප්‍රාන්ත වශයෙන් නොබෙදී එකාවන්ව අත්වැල් බැඳගන්නේ නම් මේ ලෝකයේ හෙට දවස තවත් සුන්දර වේවි යන්න අපේ පැතුමයි. ලොව පුරා ස්වේච්ඡා සේවකයින් උදෙසා විවිධ නීති රීති හා කෙටුම්පත් සම්පාදනය වන මෙවන් පසුබිමක අනෙකුත් රටවල පවත්නා යහපත් සංකල්පයන් පෝෂණය කරමින් අනුගමනය කිරීම හා ශ්‍රී ලාංකික සංස්කෘතියට ගැළපෙන ආකාරයෙන් ස්වෙච්ඡා සේවකයින්ගේ ආරක්ෂාව හා උන්නතිය උදෙසා නව නීතිරීති කෙටුම්පත් සම්පාදනය වීම කාලීන අවශ්‍යතාවයකි.

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts