නියෝජ්‍ය පොලිස්පතිනියගේ පත්වීම සහ ලාංකික කාන්තාව ?
සම්පත් දේශප්‍රිය
ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පත් වූ එකම සහ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පති නිය බිම්ශානි ජාසිංහආරච්චි මහත්මියගේ පත් වීමට එරෙහිව ජ්‍යේශ්ඨ පොලිස් අධිකාරිවරුන් තිස් දෙදෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණය ට ගොස් ඇත. ශ්‍රී ලංකා පොලිස් සේවයේ නිල ලිපි ලේඛන වල උසස්වීම් පටිපාටිය ට අදාල වගන්ති වල නියෝජ්‍ය පොලිස්පති ධුරය සඳහා පත්වීම් ලබා දීමේදී කාන්තාව යන වචනය සඳහන් වී නැති බව ඔවුන්ගේ තර්කය වී තිබේ .නියමිත සේවා සුදුසුකම් අධ්‍යාපන සුදුසුකම් සපුරා තිබිය දී කාන්තාව යන වචනය ප්රස්තූත කර ගනිමින් ඔවුන් අධිකරණයට යෑම සමස්ත සමාජය ම හෙලාදකින මට්ටමකට පත්ව ඇත .මෙම සිදු වීම විග්රහ කිරීම සඳහා අප සමාජ කණ්ඩායම් විවිධ මිනුම් දඬු ඔස්සේ තම තමන්ගේ නැණ පමණින් සංවාදයකට මුල පුරා තිබීම වැදග ය .ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයම මෙම සංවාදය සඳහා ඉදිරිපත් වීම යහපත් ප්‍රවණතාවයක් ලෙස හැදින්විය හැකි ය.
වෘත්තියෙන් නීතිඥ මහත්මයෙකු වන ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක් ගෙන් සමන්විත පොලිස් මහත්වරුන් අධිකරණයේ පිහිට පතා යන්නේ රටේ ව්‍යාවස්ථාපිත නීතිය නොදැන විය නො හැක. නියෝජ්‍ය පොලිස්පතිනිය අද මුහුණ දී සිටින අභියෝගය හුදු එක් සංසිද්ධියකට සීමා නො වන පුළුල් පරාසයක් පුරා පැතිර පවත්නා අද සමස්ත කාන්තාව මුහුණ දී සිටින සංකීර්ණ අර්බුදයක් බැවින් ඒ පිළිබඳ කතිකාවක් ආරම්භ කිරීමට පෙර ලංකාවේ ව්‍යාවස්ථාපිත ආයතන ව්‍යුහයන් තුළ කාන්තාව ස්ථානගත වී සිටින්නේ කොතන දැයි මදක් විමසා බැලිය යුතුය .
ශ්‍රී ලංකාවේ කාන්තා සමානාත්මතාවය පිළිබඳ ව්‍යාවස්ථාමය පිළිගැනීම ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ සමානාත්මතාවය සහ කාන්තාවන්ට වෙනිස් කොට නොසැලකීම ශ්‍රී ලංකා රාජ්‍ය ක්‍රියාමාර්ගවල මාර්ග උපදේශක මූලධර්මයන් විය යුතු ය .එසේම 1978 ස්ථාපිත ව්‍යාවස්ථාව අනුව ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 දෙක වගන්තිය ස්ත්‍රී පුරුෂ සමාජ භාවය (සහවෙනත් නිශ්චිත තත්ත්වයන් )පදනම් කොටගෙන වෙනස් කොට නොසැලකීමේ ප්‍රතිපත්තිය පැහැදිලි කොට ඇත .එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් රටක්ලෙස එය අනුදත් මානව හිමිකම් සම්මුතීන්ට අප ද රටක් ලෙස අත්සන් තබා ඇත .එම සම්මුතීන් අතර ස්ත්‍රීන් ට එරෙහි සියලු ආකාරයේ වෙනස්කම් තුරන් කිරීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය සීඩෝ සම්මුතිය ලෙස හැඳි වේ. ශ්‍රී ලංකාව ද එම සම්මුතියේ පාර්ශවකරුවෙකි.ඊට අදාලව ප්‍රමාණික උගතුන්ගෙන් සමන්විත කමිටුවක් පත්කර ඇති අතර එම කමිටුව නිරන්තරයෙන් ශ්‍රී ලංකාවේ කාන්තාවන් මුහුණ දෙන ගැටලු සහ රජය ඒවා කළමනාකරණය කරන ආකාරය සම්බන්ධයෙන් අධික්ෂණය කරයි .පසුගිය වකවානුවේ ඔවුන්ගේ නිරීක්ශණ අතර සඳහන් වී තිබුණේ ශ්‍රී ලංකාවේ කාන්තාවට පසුගිය දශක කිහිපයේ දී දේශපාලන හා පොදු කටයුතු වලට සහභාගි වීමේ ඉඩකඩ අවම වීම පිළිබඳව ය .පාර්ලිමේන්තුවේ ස්ත්‍රී නියෝජනය සියයට පහ දක්වා අඩු වීම පළාත් පාලන ආයතන තුළ කාන්තා නියෝජනය අවම වීම වැනි කාරණා ඔවුන්ගේ අවධානයට යොමු වී ඇත .පළාත් පාලන ආයතන සඳහා සියයට 25 ක කාන්තා නියෝජනයක අවශ්‍ය තාවය නෛතික පදනමකින් පසුගිය කාලයේ තහවුරු වන්නේ ඒ අනුවය. .
මෙම සීඩෝ කමිටුව 2017 දී ශ්‍රී ලංකා රජයට යෝජනා කර තිබුණේ ලාංකීය ජන සමාජය තුළ පවත්නා කාන්තාව ගේ භූමිකාව සහ වෙනස් කොට සැලකීමට තුඩුදෙන ඒකාකාරී ප්රතිරූප තුරන් කිරීම පිණිස තීරණ ගැනීමේ ක්‍රියාවලියට ස්ත්‍රීන් සම්බන්ධ කර කර ගැනීමේ වැදගත්කම පිළිබඳ පොදු මහජනයා සහ දේශපාලන පක්ෂ ඉලක්ක කර ගත් වැඩසටහන් පවත්වන ලෙස ය. ඉහත සඳහන් වූ ආකාරයටම ව්‍යාවස්ථාවෙන් කාන්තාවන් ගේ අයිතිය සුරක්ෂිත කරන අතර 1993 මාර්තු මායේ දී කාන්තාවන්ට එරෙහි සියලු වෙනස් කම් දුරු කොට සැලකීමේ ගැටලු නිරාකරණයට රජය විසින් ශ්‍රී ලංකා කාන්තා ප්රඥප්තිය සම්මත කර ගනු ලැබී ය .මෙවැනි නීතිමය රාමුවක් සකස් වී තිබුණ ද කාන්තා පත්වීමකට එරෙහි ව පිරිමි තිස් දෙකක් උසාවි යන මනෝ මූලික තත්ත්වය හුදු ලාංකික කාන්තාව මුහුණ දෙන ගැටලුවක් පමණක් නොවේ. එය සමස්ත කාන්තාව දීර්ඝ කාලීනව මුහුණදෙන සංස්කෘතික ආගමික ආර්ථික සංකල්ප විසින් හැඩගන්වන ලද වාස්තවික තත්ත්වයකි.
ලෝකයේ ප්‍රථම අගමැතිනිය සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය හිටපු ජනාධිපතිනී චන්දිරිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හිටපු අගවිනිසුරුවරිය ශිරාණි බණ්ඩාරනායක එම තනතුරු සඳහා පත්විම හුවාදක්වමින් කාන්තාවන් වීම බහුතරයකට ප්‍රශ්නයක් නොවන බව පෙන්වා දීමට අප වෙහෙස වන්නෙමු. හිටපු අගමැතිනිය සහ ජනාධිපතිනිය පත්විම සුවිශේෂී සමාජ දේශපාලන හේතූන් රාශියක් මත සිදු වූ ඒවා වන අතර එම සිදුවීම් දෙක ද පුරුෂාධිපත්‍ය යේ දිගුවක් ලෙස අර්ථ දැක්විය හැකි ය. ඔවුන් ලද ජයග්‍රහණ වල සාධකයක් ලෙස සිය ස්වාමිපුරුෂයන් ඝාතනයට ලක්වීම යම් ආකාරයකට බලපෑ බව අතිශයෝක්තියක් නො වේ. සමාජයේ ස්ත්‍රිය සිටිය යුතු ආකාරය ඇයට පැවරී ඇති වැඩ කොටස නිදහසේ සීමා මායිම් ඉරක් ගසා වෙන් කරනු ලැබ ඇත. අතීතයේ සිට ම කවියා, සාහිත්‍යකරුවා ආර්ථික විද්‍යාඥයා, දේශපාලනය න්යායාචාර්යවරු න් ආගමික ශාස්තෘවරයා කාන්තාවට හිමි තැන ඔවුනොවුන්ට සාපේක්ෂව නිශ්චය කොට අර්ථ දක්වා ඇත.
අපගේ මාතෘකාවට ප්රස්තුත වූ නියෝජ්‍ය පොලිස්පතිනිය එම ධුරය දක්වා එන ගමනේ දී ඇය මුහුණ දුන් අභියෝග මොනවාද යන්න ඇය මේ මොහොතේ අත්විඳින තත්වයෙන්ම පැහැදිලි ය .රටේ නීතිය කුමක් තිබුණ ද පවතින ආණ්ඩුවල රාජ්‍ය පාලන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන ආකාරය අනුව තත්වයන් වෙනස් විය හැකිය .කාන්තාව සම්බන්ධයෙන් ව්‍යාවස්ථාවේ කුමක් තිබුණ ද වසර සියයකට වඩා පැරණි පොලිස් පොතේ තිබුණේ කාන්තාවකට නියෝජ්‍ය පොලිස්පති ධුරයට ප විය නොහැකි බවට නිහඬ ඉඟියකි .පොලිස් ලේඛන වල පමණක් නොව අධිකරණ පද්ධතියේ ද ඇති විය යුතු වෙනස්කම් රාශියකි. වරින්වර සංශෝධනය තිබුන ද තවමත් අප සමාජයේ නොනැසී පවතින ආචීර්ණ කල්පිත නීති ද එමටය.
අයිතිවාසිකම් සහ මිනිස් නිදහස යාවත්කාලීන කිරීමේ දී ආගමික සහ සංස්කෘතික පදනම් වලින් ඊට කිසියම් පීඩනයක් එල්ල වේ නම් ඒ සම්බන්ධයෙන් සෘජුව සාකච්ඡා කළ යුතු ව ඇත. මේ මොහොතේ අප රට තුළ කතාබහට ලක් වී ඇති කාති උසාවි මුස්ලිම් කාන්තාව පීඩනයට ලක් කරන මෙවලම කි .නමුත් පොලිස් පොත වාගේ ම ඒවා යාවත්කාලීන වී නැත .කාන්තා නිදහස සම්බන්ධයෙන් බහුතර පාලකයන් වන පුරුෂයන්ගේ සහ නූතන ලාංකීය කාන්තාවගේ අදහස් විශාල පරස්පරතාවයක් නැත .තමන්ගේ ආගම සංස්කෘතිය සහ ආර්ථික දේශපාලන වටපිටාව විසින් නිශ්චය කර ඇති සීමාවන් කාන්තාව විසින්ම රැකගෙන ඉදිරියට යන්නේ සද්භාවයෙනි.මෙම රාමුවෙන් පිට පනින කාන්තාවන් සිටින නමුත් එය සමස්තය අර්ථ දක්වමින් සතුටු විය හැකි තත්ත්වයක නැත .වෙනස් විය යුත්තේ සමස්තයේ ම මනෝ භාවයයි .