අනාවරණ

නිදහසේ වෙළඳාමේ තෝතැන්න කාත්තන්කුඩියේ මිත්‍රත්ව පොළ

ප්‍රසාද් පුර්ණාමාල් ජයමාන්න

මෙය බොහෝ දෙනෙකුට පුදුමය දනවන කතාවක් වීමට ඉඩ තිබේ. කාන්තන්කුඩිය පිළිබඳව බොහෝ දෙනාගේ මනසේ ඇඳී ඇත්තේ ඊට වෙනස් චිත්‍රයක් බැවිනි. ඕනෑම ප්‍රදේශයක කෙනෙකුට පැමිණ නිදහසේ වෙළඳාම් කළ හැකි වෙළෙඳපොළක් යනු කාත්තන්කුඩියේ පමණක් නොව රටේ කොතැනක වුව දුලබ අත්දැකීමකි.

“මෙහෙ මිනිස්සුන්ට හොඳට සල්ලි තියනවා. ඒ නිසා අත දිග හැරලා වියදම් කරනවා. හොඳට කනවා බොනවා. ඒ නිසා මෙහෙට මොනවා ගෙනාවත් විකුණගන්න පුළුවන්.”

පොළොන්නරුව වැලිකන්දේ පදිංචි තිළිණ මධුසංක මුණගැසුණේ ලංකාවේ වර්ග කිලෝමීටරයක වැඩිම ජනගහනයක් ජීවත්වන කාත්තාන්කුඩි නගරයේදීය. කාත්තන්කුඩිය ව්‍යාපාර සඳහා ප්‍රසිද්ධ නගරයක් වන අතර ලංකාවේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් රැසකගේ උපන් බිමද වේ. තිළිණ පැමිණ සිටියේ අන්නාසි ගෙඩි තුන් හාරසීයයක් රැගෙනය. ඔහු වැලිකන්දේ සිට කාත්තාන්කුඩියට පැමිණෙන්නේ කාත්තාන්කුඩි නගර සභාවේ සභාපතිවරයාගේ ආරාධනයෙනි.

“මගේ තාත්තාට වැලිකන්ද නගරයේදී අත් පත්‍රිකාවක් ලැබිලා තිබුණා. තාත්තා ඒක මට ගෙනත් දුන්නා. ඒ පත්‍රිකාවේ තිබුනේ දිවයිනේ ඕනෑම වෙළද ව්‍යාපාරිකයෙකුට කාත්තාන්කුඩි නගරයේ ආරම්භ කරන නගර පොළ විවෘතයි කියලයි. ඒ පත්‍රිකාවේ තිබුණ දුරකථන අංකවලට කතා කරලා තොරතුරු ඇහුවාම කිව්වා ග්‍රාමීය හා දේශීය නිෂ්පාදනවලට විශේෂ තැනක් දෙනවා කියලා. මේ නිසා මට හිතුණා මේ පොළට ඇවිල්ලා බලන්න. මං අද ආවේ තුන්වෙනි වතාවටයි. බිස්නස් හොඳටම හොඳයි.” ඔහු කීවේය.වෙනස් චිත්‍රයක්

මෙය බොහෝ දෙනෙකුට පුදුමය දනවන කතාවක් වීමට ඉඩ තිබේ. කාන්තන්කුඩිය පිළිබඳව බොහෝ දෙනාගේ මනසේ ඇඳී ඇත්තේ ඊට වෙනස් චිත්‍රයක් බැවිනි. ඕනෑම ප්‍රදේශයක කෙනෙකුට පැමිණ නිදහසේ වෙළඳාම් කළ හැකි වෙළෙඳපොළක් යනු කාත්තන්කුඩියේ පමණක් නොව රටේ කොතැනකදී වුව දුලබ අත්දැකීමකි.

තිළිණ මධුසංක

තිළිණ මධුසංක අන්නාසි ව්‍යාපාරය ආරම්භ කර වැඩි කාලයක් ගත වී නොමැති අතර ඔහුට තිබුණු ප්‍රධාන ගැටලුව අන්නාසි විකිණීම සදහා ස්ථිර පොළක් නොමැතිකමයි. තම නගරයට පැමිණ වෙළදාම කරන ලෙස කාත්තාන්කුඩි නගර සභාපතිවරයා කළ ආරාධනය එසේ හෙයින් තිලිණට ලැබුණු තිළිණයකි.

“මගේ වයස අවුරුදු 27 යි. මම මේ අන්නාසි ව්‍යාපාරය පටන් අරන් වෙන්නේ මාස දෙකකට අඩු කාලයක්. මම කළේ ගම්පහ කිරිදිවැල ප්‍රදේශයෙන් අන්නාසි අරගෙන ඇවිත් වැලිකන්ද, සෙවණපිටිය වගේ ප්‍රදේශවලට තොග වශයෙන් සැපයීමයි. හැබැයි මේකෙන් ලොකු අදායමක් නැහැ. ඒ නිසා සිල්ලර වෙළදාම කරන්න පොළක් හොයා හොයා හිටියා. වැලිකන්ද හා සෙවණපිටිය පොළවල්වල අන්නාසි විකුණන්නේ මගෙන් අන්නාසි ගන්න අයමයි. ඒ නිසා මට මේ පොළවල් දෙකේ අන්නාසි විකුණන්න බැරිවයි හිටියේ. මේ වැඩේ නිසා මට අතට සැලකිය යුතු මුදලක් ලැබෙනවා. අන්නාසිත් ඔක්කොම විකිණෙනවා. මම දැන් හිතන්නේ මෙහෙ ඉඳන් යද්දී මෙහෙ මාළු, කරවල පොළොන්නරුවට ගෙනියන්න කියලයි. ඒ වගේම ගම්පහ යද්දී පොළොන්නරුවේ ඉදලා බඩ ඉරිඟු අරන් යන්න සැලසුම් කරලා තියනවා.”මිතුරු ඇරියුම

“කාත්තාන්කුඩිය කිව්වම රටේ ජනතාව බැලුවේ වපර ඇසින්. මේකට ප්‍රධාන හේතුව වුණේ සහරාන් ගේ උපන් ගම කාත්තාන්කුඩිය වීම හා මෙහෙ මුස්ලිම් ජනතාව ප්‍රමාණයෙන් වැඩි වීම. ඒ වගේම මෙහෙ ව්‍යාපාර සඳහා දැඩි තරගයක් තියෙනවා. විවිධ ප්‍රදේශවල වෙළෙන්දො මෙහාට එන එක අපි දිරිගන්වන්න ඕන.” කාත්තන්කුඩි නගර සභාවේ සභාපති එස්.එච්.එම්. අස්ෆර් මහතා අප සමඟ කතාබහට එක් වෙමින් පැවසුවේය.

කාත්තන්කුඩි නගර සභාවේ සභාපති එස්.එච්.එම්. අස්ෆර්

කාත්තාන්කුඩිය නගරය වර්ග කිලෝමීටර් හතරහමාරකින් සමන්විත වන අතර එහි ග්‍රාමසේවක වසම් 18ක් තුළ පුද්ගලයෝ 55,82ක් ජීවත් වෙති.

” ලංකාවේ නමගිය ව්‍යාපාර රැසක හිමිකරුවන්ගේ උපන් බිම මේක තමයි. මෙහෙ උපන්, මෙහෙ ජීවත්වන ව්‍යාපාරිකයන් දෙදහසකට ආසන්න පිරිසක් රටපුරා විවිධ ව්‍යාපාරවල නිරත වෙනවා. මේ ව්‍යාපාරිකයන්ගේ දියුණුවට ප්‍රධාන හේතුව තමයි මේ අයගේ භාණ්ඩ හා සේවාවල ගුණාත්මක භාවය වැඩි වීම හා මිල අඩු වීම. මේ හේතුව නිසා පාස්කු ප්‍රහාරයෙන් පස්සේ මේ ව්‍යාපාර වට්ටන්න වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වුණා. මේ ව්‍යාපාරිකයන්ට ත්‍රස්තවාදී ලේබලය ඇලෙව්වා. කාත්තාන්කුඩිය ප්‍රදේශයේ වෙන ජනතාවට වෙළඳාම් කරන්න දෙන්නේ නැහැ කිව්වා. මේ වගේ බොරු ප්‍රචාර ගොඩක් ගෙන ගියා. මම මේ නිසා හිතුවා කාත්තාන්කුඩියට ඇවිල්ලම බලන්න කියලා සියලු දෙනාට ආරාධනා කරන්න. ඒ වගේම මෙහෙ ඕනෑම කෙනෙකුට ව්‍යපාර කරන්න සුදුසු වාතාවරණයක් ඇති කරලා දෙන්න. ඒ අනුව තමයි කාත්තන්කුඩි සති පොළ මීට සති තුනකට පෙර ආරම්භ කළේ. මේකට නගර පොළ කියනවා. ඒ වගේම මෙහෙට එන ව්‍යාපාරිකයන් මේ පොළට දාලා තියන නම තමයි මිත්‍රත්ව පොළ කියන එක.” කාන්තන්කුඩි නගර සභාවේ සභාපතිවරයා පැවසුවේය.අඩු මිලේ වාසිය

කාත්තාන්කුඩිය මිත්‍රත්ව පොළේ බඩු මිල අඩු බව කැපී පෙනෙක කාරණයකි. මෙහි ඇති විශේෂත්වය වන්නේ භාණ්ඩයේ සඳහන් විකුණුම් මිලට බොහෝ අඩුවෙන් ඒවා අලෙවි කරන අවස්ථා කාත්තාන්කුඩිය පොළේ සුලබ වීමය. මේ අනුව දැඩි තරගකාරිත්වයක් මෙහි නිර්මාණය වී ඇති අතර ඒ හේතුවෙන් පාරිභෝගිකයාට මෙන්ම වෙළෙදුන්ටද වැඩි වාසි සිදුව තිබේ.

මොහොමඩ් අන්වර්

මොහොමඩ් අන්වර් පුගොඩ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි. පාස්කු දින සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු අන්වර්ගේ ව්‍යාපාරික කටයුතු අඩාළ වන්නේ බොරු ප්‍රචාර රජ කරවීම හේතුවෙනි. ”මම කරන්නේ බෑග්, මුදල් පසුම්බි වගේ භාණ්ඩ නිෂ්පාදනය කරන එකයි. මගේ සේවකයෝ වැඩි දෙනෙක් සිංහල. මගේ ව්‍යාපාර අඩාළ වීම මට වගේම මගේ සේවකයනටත් තදින්ම බලපෑවා. අපේ බඩු විකුණගන්න පොළක් සොයා ගැනීමේ ගැටලු ආවා. ඒ අතරේ තමයි මේ පොළ ගැන දැනගන්න ලැබුණේ . මේ පොළ තව මාස කීපයකින් ලංකාවේ ප්‍රධානම පොළක් වේවි. මොකද මේ ප්‍රදේශයේ විශාල ජනගහනයක් ඉන්නවා. මෙතන බඩු මිල අඩු නිසා වෙනත් ප්‍රදේශවලිනුත් ජනතාව ඒවි. මේ නිසා මිල අඩු වුණත් වැඩි ප්‍රමාණයක් බඩු විකුණගන්න පුළුවන්.”

හැටහය හැවිරිදි සෝදි මනි මාතාව මේ පොළට පැමිණ තිබුණේ කොට්ට කල්ලාර් ප්‍රදේශයේ සිටයි. කුඩා මාළු, කරවල වැනි දෑ ඈ වෙළෙඳාම් කරන අතර ඈට මේ පොළ ඉල්ලමකි. “මම හුණ්ඩුවෙන් මැනලා තමයි මාළු, කරවල විකුණන්නේ. මේ හුණ්ඩුවක් රුපියල් සීයයි. ගොඩාක් සල්ලි තියන අයත් මගේ මේ කුඩා මාළු කරවල මිලදී ගන්නවා. මට දවසකට රුපියල් පන් දාහක වගේ බිස්නස් තියනවා. මට ජීවත් වෙන්න ඒ හොඳටම ඇති. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ අපේ පොළවල්වලට ඒ කියන්නේ දෙමළ අය පාලනය කරන පොළවල් කීපයකටම මුස්ලිම් වෙළෙන්දන්ට එන්න දෙන්නෙ නෑ. නමුත් අපි මේ පොළට ආවම මේ අය අපිව සතුටින් පිළිගත්තා.”ගමේ නිෂ්පාදකයෝ

මහා පරිමාණ කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය කරන භාණ්ඩ රැසකට සමාන නිෂ්පාදන මේ පොළේ දකින්නට ලැබිණි .මෙහි ඇති විශේෂත්වය වන්නේ මහා පරිමාණ කර්මාන්ත ශාලාවලින් නිෂ්පාදනය කරන භාණ්ඩවල ගුණාත්මක තත්ත්වයම මේ ගමේ නිෂ්පාදනවලද දකින්න ලැබීමයි. ගුණාත්මක තත්ත්වය එක වුවත් මෙහි මිල ගණන්වල සැලකියයුතු වෙනසක් තිබේ. ඔට්ටමාවාඩි ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අලියාර් මොහොමඩ් අන්සාර් රටේ නමගිය නිෂ්පාදන 16ක් නිෂ්පාදනය කරන කුඩා නිෂ්පාදකයෙකු වන අතර ඔහුගේ නිෂ්පාදන අතර ප්‍රධාන තැනක් ගන්නේ පිරිසිදු කිරීමේ දියර නිෂ්පාදනයි.

මොහොමඩ් අන්සාර්

“මේ තියෙන්නේ වැසිකිළි බේසම් පිරිසිදු කිරීමේ දියර. මේක වෙළෙඳපොළේ ගන්න ගියොත් රුපියල් දෙසිය හැටක් වෙනවා. නමුත් මම දෙන්නේ රුපියල් සීයටයි. මගේ නිෂ්පාදන 16ම මිල එකට එකක් අඩුයි. අපි ගොඩක් කළේ ගෙවල් ගානේ ගිහින් මේවා අලවි කළ එකයි. නමුත් පහුගිය මාස තුනේ එහෙම ගෙවල් ගානේ යන්න තත්වයක් රටේ තිබුණෙ නැහැ. ඒ නිසා අපේ ව්‍යාපාර කඩා ගෙන වැටුණා. දැන් තමයි අපි ඔළුව උස්සන්න යන්නේ. මේ පොළ අපිට බිස්නස්වලට හොඳ තැනක්. මේ පොළට ආපු පාරිභෝගිකයෝ විතරක් නෙමෙයි වෙළෙන්දොත් මගේ නිෂ්පාදන අරගෙන ගියා. මම කියන්නේ මහා පරිමාණ කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය කරන කෙමිකල්වලට වඩා හොඳ තත්ත්වයේ කෙමිකල් වර්ග යොදා ගෙන අපි අපේ නිෂ්පාදන කරනවා කියලයි.”

වෙනත් සති පොළක දකින්නට නොලැබෙන ග්‍රාමීය නිෂ්පාදන රැසක් මේ පොළේදී දකින්න ලැබිණි. ඒ අතර සපත්තු, සෙරෙප්පු, සබන් වර්ග, දියර වර්ග, බෑග් හා සම් ආශ්‍රිත නිෂ්පාදන විශේෂ වෙයි.

ඇවිල්ලා බලන්න

මේ පොළේදී හමු වූ පාරිභෝගිකයන් බහුතරයක් කාත්තන්කුඩියේ වැසියන්ය. එහෙත් වෙළෙදුන් බහුතරයක් රටේ විවිධ ප්‍රදේශවල සිට පැමිණි සිටි අයයි. මේ අතර සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් යන සියලු ජන කොට්ධාශවලට අයත් වෙළෙඳුන් සිටි අතර ඔවුන් කිසිදු ගැටලුවකින් තොරව උද්යෝගයෙන් වෙළඳාමේ නිරත වනු පෙනිණි. මේ වන විට මේ පොළ සති තුනක් පවත්වා තිබේ. මෙහිදී හමු වූ පාරිභෝගිකයෙකු වූ සිත්ති ෆාතිමා ප්‍රකාශ කළේ පාස්කු ප්‍රහාරයෙන් පසු කාගේ කාගේත් ඇස් ඇරුණු බවයි. “අපි ජීවත් වෙන්නේ පොඩි කාලයයි. ඒ කාලයේ සතුටින් ජීවත් වෙන්න ඕනෑ. ඇත්තටම පාස්කු ප්‍රහාරයෙන් පස්සේ අපේ ජනතාව ගොඩාක් හිතන්න පටන් අරන් තියනවා. අපිට තනියම් ජීවත් වෙන්න බැහැ කියන එක දැන් හැමෝටම අවබෝධ වෙලා තියෙනවා. දකුණේ ලොකු ප්‍රචාරයක් තියෙනවා මෙහෙ කාටවත් බිස්නස් කරන්න දෙන්නේ නැහැ කියලා නමුත් මම කියන්නේ ඒක වැරදි කතාවක්. සිද්ධවුණේ මෙහෙ බඩුවල මිල අඩු නිසා දකුණේ ඉඳන් ඇවිල්ලා තරගයක් දෙන්න බැරි කමයි. නමුත් මේ පොළ නිසා ඕනෑම කෙනෙකුට මෙහෙට එන්න පුළුවන්. අපි කියන්නෙත් ඇවිල්ලා බලන්න කියලයි.” ඇය කළ ආරාධනයම නගර සභාපතිවරයාද කළේය. මේ පොළේදී හමු වූ වැඩි දෙනෙකුගෙන් කියවුණේ එකම කතාවකි.

‘ඇවිල්ලා බලන්න!’

This article was originally published on the catamaran.com

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts