නාම පුවරු: දමිළ භාෂාවට අත්ව ඇති ඉරණම!
කීර්තිකා මහාලිංගම්
ශ්‍රී ලාංකික සමාජයේ ජාතිවාදී ගැටලු උත්සන්න වීමේදී මූලිකත්වය ගන්නේ භාෂා භාවිතයි. වර්ෂ 1956 දී එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා විසින් හඳුන්වා දුන් ‘සිංහල භාෂාව පමණක්’ රාජ්‍ය භාෂාව ලෙස භාවිත කල යුතුයි’ යන සංකල්පය මෙරට දමිළ ජාතිකයින් කෙරෙහි ජාතිවාදී ගැටලු උත්සන්න වීමට අවශ්‍ය බීජය වපුරා ඇත. එපමණක් නොව එහි ප්‍රතිඵලය වූයේ දශක 03 කට ආසන්න කාලයක් පුරාවටම මෙරට තුළ යුධමය වාතාවරණයක් නිර්මාණය වීමයි. මේ වන විට යුධමය තත්ත්වය අවසන්ව ඇති නමුත් එමගින් සිදු වූ ආධ්‍යාත්මික හා භෞතික බලපෑම්වලින් මිදීමට නොහැකි මෙරට ජනයා අදටත් කනස්සල්ලෙන් පසුවෙයි.
නමුත් දමිළ භාෂාවට අවමන් කිරීම, අවතක්සේරු කිරීම වැනි ක්‍රියා තවමත් මෙරට තුළ සිදුවීම කනගාටුවට කරුණකි. එසේ කිරීම මගින් පැහැදිලි වන්නේ අමිහිරි යුධමය අත්දැකීම්වලට මුහුණ දුන් ලාංකිකයින් තවත් අතීතයෙන් පාඩම් ඉගෙනගෙන නොමැති බවයි.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂා ලෙස සිංහල හා දමිළ භාෂාවන් දෙක ඒකමතිකව පිලිගන්නා නමුත් ඉංග්‍රීසි භාෂාවත් භාවිතයේ පවතී. ඒ අනුව රජය විසින් නිකුත් කරනු ලබන සියලු ලිපිලේඛන, චක්‍රලේඛන හා නාම පුවරුවල සිංහල, දමිළ හා ඉංග්‍රීසි යන භාෂා තුනම ඇතුලත් විය යුතුය. නමුත් යථාර්ථය එය නොවේ. විවිධ ප්‍රදේශයන්, බස් රථ හා පොදු ස්ථාන හඳුන්වා දීම පිණිස ප්‍රදර්ශනය කර ඇති නාම පුවරුවල දමිළ භාෂා අක්ෂර දිගින් දිගටම අවමන් සහගත ලෙස භාවිත කර ඇති ආකාරයක් අපට හඳුනාගත හැකි. එලෙස දමිළ භාෂාවට අවමන් කරන ආකාරයෙන් සඳහන් කර ඇති නාම පුවරු දකින මහජනයා හැකි ඉක්මනින් ඒවා තම ජංගම දුරකථනයෙන් ඡායාරූප ගතකොට සමාජ මාධ්‍ය තුළ මුදාහැරීමට උත්සාහ කරයි. සමාජ මාධ්‍ය තුළ සංසරණය වන මෙවන් අන්තර්ගතයන් පිළිබඳව සක්‍රීය සමාජ මාධ්‍ය පරිශීලකයින්ට හොඳින් අවබෝධ කර ගැනීමට හැකි වේ.
ශ්‍රී ලාංකික නාම පුවරුවල දමිළ භාෂාව ඇතුලත් නොවීමත්, දමිළ වචනවල අරුත් විකෘති කර ඉදිරිපත් කිරීම හා දමිළ භාෂාවේ ඇතුලත් අක්ෂර වැරදි ලෙස ලිවීමත් කාලාන්තරයක් සිට සිදුවන ගැටලුවකි.
පසුගිය ජනාධිපතිවරණයෙන් පසු පානදුර හා කෙරවලපිටිය යන ප්‍රදේශවල භාෂා තුනෙන්ම ස්ථාපිත කර තිබූ නාම පුවරුවල දමිළ භාෂාව පමණක් ඉවත් කිරීම සිදු කරන ලදි. මෙම සිදුවීම සමස්ත දමිළ ප්‍රජාවට පමණක් නොව ජාතික සමගිය හා සහජීවනය වෙනුවෙන් ඇපකැප වන සියලු දෙනාටත් විශ්මය දනවන සිදුවීමක් විය. තවද මෙම සිදුවීම පිළිබඳව සමාජ මාධ්‍ය මගින් පවා බහුලව කතාබහට ලක්විය. මැතිවරණ අවසන් වී සතියක් වැනි කෙටි කාලයකදී මෙවැනි සිදුවීමක් සිදුවීම නිසා මෙරට සුළුතර ජන සමාජ තුළ අලුතින් තේරී පත්වූ මහජන නියෝජිතයන් කෙරෙහි චකිතයක් ඇතිවිය. උක්ත සිදුවීම පිළිබඳව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා තම ට්විටර් ගිණුමෙහි සටහනක් තැබීමෙන් අනතුරුව, රජයේ ඉහළ නිලධාරීන්ගේ අවධානය ඒ කෙරෙහි යොමුවීම නිසා අග්‍රාමාත්‍යතුමාගේ හදිසි නියෝගය මත එම නාම පුවරු නැවත නිවැරදිව සකස් කර ඇත.
මීට අමතරව 2019 ඔක්තෝම්බර් මස, කොළඹ 07 ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික හෝටලයකත් හෝටල් පරිශ්‍රය තුළ දමිළ භාෂාවෙන් කතා කිරීම තහනම් කර ඇත. ‘සේවකයින් සියලු දෙනා අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි හා සිංහල භාෂාවෙන් පමණක් කතා කල යුතුයි. දමිළ භාෂාවෙන් කතා කිරීමෙන් වැලකිය යුතුයි’ යනුවෙන් සඳහන් දැන්විමක් සියල්ලන්ටම පෙනෙන සේ හෝටලේ ප්‍රදර්ශනය කර ඇත. හෝටලයට පැමිණි විදේශීය සංචාරකයෙක්, හෝටලේ ප්‍රදර්ශන කර තිබූ උක්ත දැන්වීම තම ජංගම දුරකථනයෙන් ඡායාරූපයක් ගෙන එය සමාජ මාධ්‍ය ඔස්සේ මුදාහැරීමට සැලැස්වීම නිසා එම සිදුවීම පිළිබඳව සමාජ මාධ්‍ය පරිශීලකයින් බහුතරයක් අතර ආන්දෝලනාත්මකව කතාබහට ලක්විය. තවද මෙම සිදුවීම ජාත්‍යන්තර වශයෙන් සියලු දෙනාගේම අවධානයට ලක්වූ අතර ලොව පුරා වාසය කරන දමිළ ජනතාව මේ පිළිබඳව තම අප්‍රසාදය හා විරෝධය පල කලහ.
නාම පුවරුවල දමිළ භාෂාව අවමන් සහගත ලෙස භාවිත කරනවා පමණක් නොව, රාජ්‍ය ආයතනවලින් හුවමාරු වන චක්‍රලේඛනයන්වල හා මාර්ග නීති රීතීන් උල්ලංඝනය කිරීමේදී පොලිස් නිලධාරීන් විසින් නිකුත් කරනු ලබන දඩ කොළවල පවා සිංහල භාෂාව පමණක් අඩංගු වීම නිසා දමිළ භාෂාව පමණක් භාවිත කරන ජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටී. විශේෂයෙන්ම උතුරු නැගෙනහිර ප්‍රදේශවල මෙවැනි සිද්දීන් බහුලව සිදු වේ. නැගෙනහිර ප්‍රදේශයේ හිටපු විපක්ෂ නායක සී. තවරාසා නමැත්තාට 2018 වසරේදී සිංහල භාෂාවෙන් දඩ පත්‍රයක්/ කොළයක් ලබාදීමට විරෝධය පල කරමින් “පොලිස් නිලධාරීන් උසස්වීම් ලැබීමට නම් අනිවාර්යයෙන්ම දෙවන භාෂාව ලෙස දමිළ භාෂාව දැන සිටිය යුතුය” යන කරුණ පෙරදැරි කරගනිමින් ඔහු විසින් කෝප්පායි ප්‍රදේශයේ පොලිස් නිලධාරියෙකුට විරුද්ධව, යාපනය නගරයේ පිහිටා ඇති මානව හිමිකම් ආයතනයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම මෙහිදී උදාහරණයක් ලෙස දැක්වීමට කැමැත්තෙමි.
30% පමණ වන නාම පුවරු බොහොමයක් නිලතල සඳහන් නාම පුවරු වන අතර අමාත්‍යාංශ හා අනෙකුත් පොදු නාම පුවරු සියල්ලෙහිම යොදා ඇති භාෂාව රාජ්‍ය භාෂා ප්‍රතිපත්තීන්වලට අදාලව සකසා නොමැති බව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් 2017 වර්ශයේ දී නිකුත් කර ඇති වාර්තාවක් මගින් පෙන්වා දෙයි.
(https://www.cpalanka.org/wp-content/uploads/2018/05/Language-Survey-Summary-Report-2017_T.pdf )
රාජ්‍ය භාෂාවන්
වර්ෂ 1987 දී සිදු කරන ලද 13 වන හා වර්ෂ 1988 දී සිදු කරන ලද 16 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයන්ට ප්‍රකාරව සිංහල හා දමිළ යන භාෂා දෙක ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂා ලෙස පිළිගන්නා අතර, ඉංග්‍රීසි භාෂාවත් භාවිතයේ පවතී. ශ්‍රී ලංකාවේ භාෂා දෙකක් කතා කරන පුද්ගලයින් වාසය කරන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ඇතුලත් පළාත් දක්නට ඇති නමුත් වර්තමානය වන විටත් ග්‍රාමීය මට්ටමින් මෙන්ම දේශීය වශයෙන්ද දමිළ භාෂා භාවිත කරන්නන් පිළිබඳව අවධානය යොමු නොවන ආකාරයක් දක්නට ලැබේ.
රාජ්‍ය භාෂාවන් ප්‍රායෝගිකව භාවිත කිරීම වෙනුවෙන් වගකීමට බැඳී සිටින ආයතන
- රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව
- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ VI පරිච්ඡේදයේ 18 හා 19 වැනි වගන්තිවල සඳහන් ආකාරයට භාෂා භාවිත රෙගුලාසීන් ඵලදායි ලෙස ප්‍රායෝගිකව භාවිත කිරීමට අවශ්‍ය පහසුකම් සපයන ආයතනයක් ලෙස රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව නම් දරා ඇත. “ජාතික සාමකාමීත්වය, ජාතික ඒකීයත්වය වර්ධනය කරනුවස් ත්‍රෛ භාෂා සමාජයක් ගොඩනැංවීමේ” අරමුණ පෙරදැරි කරගෙන මෙම ආයතනය ක්‍රියාත්මක වේ.
- ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශය
- රාජ්‍ය භාෂා කොමිෂන් සභාව
- ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනය
වැනි ඉහත ආයතනවල ක්‍රියාකාරීත්වය පිළිබඳව ජනතාව දැඩි කනස්සල්ලෙන් පසුවන නමුත් මේ වන විටත් උක්ත ආයතන හා අමාත්‍යාංශ මගින් සිදුවන වැඩසටහන් යම් දියුණුවක් අත්කරගෙන සිටින ආකාරයක් හඳුනාගත හැකිය. එහිදී රාජ්‍ය නිලධාරීන්ට දෙවන භාෂා කඩයිම් විභාග පැවැත්වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම මෙහිදී උදාහරණයක් ලෙස සඳහන් කිරීමට කැමැත්තෙමි. ඉහත සඳහන් කළ ආයතනවලට අමතරව ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය හා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය වැනි ආයතනත් ජාතික භාෂා භාවිතයේදී ඇති වන ගැටලු හඳුනාගෙන ඒවා විසඳීමට මෙන්ම භාෂා භාවිතයේ අභිවෘර්ධිය උදෙසාද කටයුතු කරයි.
(https://www.cpalanka.org/wp-content/uploads/2015/05/Vibhasha-13-Tamil-Web.pdf ) , (https://www.nleap.lk/ta/ )
ශ්‍රී ලංකාවේ දමිළ හා සිංහල භාෂා කතා කරන ජනතාව අතර ජාතික සමගිය ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය දැඩිව පැන නැගී ඇති නමුත් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කිසිදු උත්සහයක් රජය මගින් ක්‍රියාත්මක නොවූයේ මන්ද යන්න සැක සහිත ය.
- පරස්පර වීරෝධී සංවර්ධන ව්‍යාපෘතීන් නිසා ගැටලු උත්සන්න වීම
- හැගීම්වලට වටිනාකමක් නොදීම
- අදහස් පැහැදිලිව සන්නිවේදන කිරීමට නොහැකි වීම
- භාෂාව පිළිබඳව ඇති වැරදි අවබෝධය
- භාෂාව මූලික කරගනිමින් ඇති කරගනු ලබන ජාතිවාදී හැගීම්
වැනි කාරණා නිසා බොහෝ දෙනා තම මව් භාෂාව අගය කිරීමටත් අන්‍ය භාෂා ගැරහීමටත් යොමු වේ. එනිසා දමිළ භාෂාව මව් භාෂාව ලෙස භාවිත කරන්නන් සිංහල භාෂා භාවිත කරන්නන්ව වෙන්කොට සැලකීමටත්, සිංහල භාෂාව භාවිත කරන්නන් වෙනත් භාෂා කෙරෙහි උනන්දු නොවන ආකාරයෙන් කටයුතු කිරීමෙනුත් තම ස්ථාවරත්වය සනිටුහන් කිරීමට උත්සහ කරයි. ජාතිවාදී ගැටලු උත්සන්න වන්නේ සිංහල හා දමිළ ජනතාව අතර පවතින බෙදීම නිසාවෙනි. සිංහල මාධ්‍ය ආයතන සිංහල ජනතාවගේ ගැටලු මෙන්ම දමිළ මාධ්‍ය ආයතන දමිළ ජනතාවගේ ගැටලු හා අවශ්‍යතාවයන් පිළිබඳව පමණක් අවධානය යොමු කරමින් පුවත් වාර්තා කරයි. මේ හේතුව නිසාවෙන්ම එක් භාෂාවක් කතා කරන තැනැත්තෙකුට වෙනත් භාෂාවක් කතා කරන අයෙක් පවසන දෙයක් පැහැදිලිව අවබෝධ කරගැනීමට නොහැකි වීම හා තම අදහස් පැහැදිලිව සන්නිවේදනය කිරීමට නොහැකි වාතාවරණයක් උද්ගතව ඇත. දශක ගණනාවක් පුරාවටම ලංකාවේ පවතින ජාතිවාදී හා ආගමික ගැටලු නිර්මාණය වීමේදී බලපාන ප්‍රමුඛ හේතුවක් ලෙස භාෂා භාවිතය පිළිබඳ ගැටලු සඳහන් කල හැක.
පොදු ස්ථානවල ප්‍රදර්ශනය කර ඇති නාම පුවරුවල දමිළ භාෂාව භාවිත කර ඇති ආකාරය ජාතීන් අතර දැනට පවත්නා විරසකභාවය තවදුරටත් උත්සන්න කිරීමට සමත්වේ. මෙරට ජාතීන් අතර පවත්නා අසමගිය සමථයකට පත්කර, ජාතික සාමය හා සංහිඳියාව පහසුවෙන් ගොඩනැංවිය හැක්කේ, අන්‍යෝන්‍ය අවබෝධ තුලින් නිවැරැදි භාෂා භාවිත කිරීමේ යාන්ත්‍රණයක් සමාජය තුළ ක්‍රියාවට නැංවීමෙනි.ජාතීන් අතර අසමගිය ඇති වීමට බලපාන මූලික හේතු සාධක කුමක්වුවත් ඒවා ආරම්භක අවස්ථාවේදීම සහමුලින්ම ඉවත් කිරීමට පියවර ගත යුතුය. දමිළ භාෂාව කතා කරන මහජනයාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය නොවන ආකාරයෙන් රාජ්‍ය චක්‍රලේඛයන්වල හා පොදු නිවේදනයන්වලත් දමිළ භාෂාව නිවැරදිව සඳහන් විය යුතුය. තවද රජයත් ඒ පිළිබඳව නිරන්තර උනන්දුවෙන් සොයා බැලීමෙන් ජාතික සාමය හා සංහිඳියාවට ගොඩනැංවීමට අවශ්‍ය මග හසර පහසුවෙන් විවිර කළ හැකිය.