සාමය

දෙමළ විකිපීඩියාවේ ආරම්භය සමග ගොඩ නැගෙන ජාතීන් අතර සංහිදියාව

මයුරනාදන් මතකය අවදි කරයි

ගණපති සර්වානන්දා

මයුරනාදන් විසින් අන්තර්ජාලය තුළ දෙමළ භාෂාව සඳහා අධිරාජ්‍යයක් ගොඩනගන ලදී. මේ සඳහා ඔහුට කැනේඩියානු දෙමළ සාහිත්‍ය උද්‍යානය විසින් පුද්ගලයකුට ජීවිතයට එක් වරක් පමණක් පිරිනමන සම්මානයක් 2015දී පිරිනමන ලදී. පසුව දකුණු ඉන්දියාව පදනම් කරගත් ජනප්‍රිය සතිපතා සඟරාවක් වන ආනන්ද විකටන් සඟරාව 2016 වර්ෂයේදී දී ලොව හොඳම ද්‍රවිඩයන් දස දෙනා අතරට ඔහුව තෝරා ගත් අතර මයුරනාදන් විසින් මෙම සම්මානය 2017.03.30 දින චෙන්නායි හිදී ලබා ගන්නා ලදී. ලොව පුරා විසිරී ජීවත් වන දමිළ ජනයාට දමිළ විකිපීඩියාව පිලිබඳ පවසනා විට මතකයට නැගෙන්නේ මයුරනාදන්වය. ලංකාවේ උපන් ශ්‍රෙෂ්ඨයෙකු වන ඔහු ගැන දැන ගැනීමට අපි ඔහුව මුණගැසුණු විට ඔහුගෙන් අපට ලැබුණු තොරතුරු පිළිබඳ සාරාංශයක් පහත දක්වා ඇත.

විකිපීඩියාව 2001 වර්ෂයේදී  ඉංග්‍රීසි භාෂාවෙන්  ආරම්භ වන විට, මයුරනාදන් තාක්‍ෂණය තුළින් ලොවට ළඟා විය හැකි දැනුමේ දියුණුව පිළිබඳව හඳුනාගත්තේය. මෙසේ  අන්තර්ජාලය පිලිබඳ ඔහුට තිබූ අවධානය සහ නිරීක්‍ෂණය ඔහුව විවිධාකාරයෙන් සිතන්නට පොළඹවන ලදී. 2003 වර්ෂයේදී දමිළ විකිපීඩියාව නිර්මාණය වූයේ දමිළ විකිපීඩියාවක් තිබේ නම් එය දෙමළ ගැන උනන්දුවක් දක්වන සහ දෙමළ ඉගෙනීමට උනන්දුවක් දක්වන බොහෝ දෙනෙකුට ප්‍රයෝජනවත් වනු ඇතැයි සිතීමේ ප්‍රතිඵලයක් වශයෙනි. එය මහජනයා වෙත ගෙන යාමට පෙර ඔහු වසරකට ආසන්න කාලයක් තනිවම වැඩ කල අතර මෙම ක්‍රියාදාමයට ශක්තිමත් වේදිකාවක් ගොඩනඟන තෙක් ඔහු දිගටම තනිවම කටයුතු කළේය. ඊට පසු පියවරෙන් පියවර විවිධ නව සහායකයින් එක් කර ගනිමින් කටයුතු කිරීමත් සමඟ දමිළ විකිපීඩියාව නිර්මාණය කිරීමට ගත් ඒ උත්සාහය සාර්ථක විය. 

මයුරනාදන් උපත ලැබුවේ ශ්‍රී ලංකාවේ වන්නර්පන්නෛ ප්‍රදේශයේය. ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ගත් පසු ඔහු කොළඹ වසර 17 ක් සේවය කළ අතර 1993 දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත ගිය ඔහු එහිදී දෙමළ සාහිත්‍ය ක්ෂේත්‍රයට අදාළ ලිපි ලිවීමට ආරම්භ කළේය. වර්තමානය වන විට තම උපන් මව්බිමේ දිවිගෙවන ඔහු වාර්තාමය වැඩසටහන් හරහා දෙමළ සාහිත්‍යයේ ප්‍රගමනය වෙනුවෙන් සේවය කරන්නේය.

මට ඔහු මුණගැසීම අපූරු සිදුවීමක් විය. ආනන්ද විකටන් සඟරාව විසින් “2016 ලොව හොඳම ද්‍රවිඩයන් දස දෙනා” නමින් ලිපියක් පළ කර තිබුණි. එහි මයුරනාදන්ගේ ඡායාරූපය ද පළ විය. මම එම සඟරාව මිලදී ගත්තෙමි. මයුරනාදන් ශ්‍රී ලාංකිකයෙකු බව දුටු විට, කෙසේ හෝ ඔහු සමඟ සම්මුඛ සාකච්ඡාවක් කිරීමට කැමැත්තක් ඇති වූ අතර එදා සිට ඔහු ගැන විස්තර සෙවීමට ආරම්භ කළෙමි. එකල ඔහු විදේශ රටක සිටියද, ඔහු සම්බන්ධ කර ගත ගැනීමට ඇති ආශාවෙන් බොහෝ අය මුණගැසුණෙමි.

එලෙස දිනක් මා ආනන්ද විකටන් සඟරාවේ ඔහු පිලිබඳ ලිපියක් ලියා තිබූ සාහිත්‍ය මිතුරෙකු හමුවීමට ගියෙමි. එම සඟරාව පෙන්වා ඒ සම්බන්ධව මා ඉතාමත් ආඩම්බර වන බව කී මම ඔහුව සම්බන්ධ කර ගන්නේ කෙසේදැයි ඇසුවෙමි. “ඔයා එනකොට මෙතැනින් පිටත්ව ගියේ මයුරනාදන්,” යි මගේ මිතුරා පැවසූ අතර ඔහු විසින්  මා හට මයුරනාදන් සම්බන්ධ කර ගැනීමට අවස්ථාව උදා කර දුන්නේය. ඔහු සමඟ කළ සාකච්ඡාවේදී දෙමළ විකිපීඩියාව සම්බන්ධයෙන් බොහෝ දේ උගතිමි. ඒවා පහත පරිදි ඔබත් සමඟ බෙදා ගන්නෙමි.

දෙමළ විකිපීඩියාව නිර්මාණය කිරීමට ඔබ සිතුවේ ඇයි?

භාෂාවක් සඳහා විශ්ව කෝෂයක් යනු කාලීන අවශ්‍යතාවයකි. දැනුම එක තැනක ගබඩා කර තබා ගැනීම ඉතා වැදගත්ය. මෙය දිගු කාලයක් තිස්සේ දැනුණු දෙයකි. නමුත් සම්පත් හා අවස්ථාවන් හිඟකම නිසා අපි ඊට උත්සහ දැරුවේ නැත. ලාභ අරමුණ කර නොගනිමින් කල යුතු කටයුත්තක් වූ නිසා කිසිවෙකු එයට උනන්දු වූයේද නැත. මගේ අදහස නම් මෙය සමාජ වගකීමක් ලෙස සැලකිය යුතු බවයි. එසේම වර්ථමානය වන විට මෙය ප්‍රජාවක අවශ්‍යතාවයන්ගෙන් එකක් බවට පත්වී ඇත. එහිදී විකිපීඩියාවේ විශ්වාසනීයත්වය වැඩි හෝ අඩු යන සංකල්පයට එහා ගොස් මෙම උත්සාහය තුළින් අප විසින් වපුරන ලද බීජ මඟින් දිගින් දිගටම සිතීමට වේදිකාවක් නිර්මාණය කොට දී ඇත. බොහෝ දෙනෙකුට තම දෙපා මතින් ශක්තිමත්ව නැගී සිටින්නට උදා වූ අවස්ථාවක් ලෙසද මෙම අවස්ථාව භාවිතා කරන ලදී. 

නවතම දත්ත වලට අනුව, ලොව පුරා මසකට මිලියන 15 ක ජනතාවක් දෙමළ විකිපීඩියා පිටු නැරඹීමට පැමිණෙති. අද වන විට ලිපි 125,100 ක් මෙහි ඇතුළත් ය. එහි ලිපි 4700 කට ආසන්න ප්‍රමාණයක් මා විසින් ආරම්භ කරන ලද ඒවාය. දෙමළ විකිපීඩියාවේ ලියාපදිංචි පරිශීලකයින් 165,000 ක් සිටිනා අතර මේ දක්වා පුද්ගලයින් 3,000 කට ආසන්න ප්‍රමාණයක් දෙමළ විකිපීඩියාවේ අභිවෘදිය සඳහා තම දායකත්වය ලබා දී ඇත. අද වන විට, විකිපීඩියාව ලෝක බහුභාෂා වැඩසටහන යටතේ භාෂා 309 කින් ක්‍රියාත්මක වේ. එහිදී දෙමළ භාෂාව 59 වන ස්ථානයේ සිටීම ආඩම්බරයට කරුණකි. විකිපීඩියාව අපේක්ෂාව වන්නේ ‘Get Involved‘  යන්නයි. එනම් ඔබව සම්බන්ධ කර ගැනීමයි.

සෑම දෙමළ ජාතිකයෙකුම විකිපීඩියාව පිලිබඳ දැනුවත් වීම මාගේ කැමැත්තයි. එය යථාර්ථය බවට පත් කරන්නේ කෙසේද? 

මෙය සාමූහික උත්සහයක් බව මා කිව යුතුය. අනෙක් කාරණා වලදී මෙන් නොව, මෙය විශේෂඥයින්ට පමණක් එක් වී කළ හැකි දෙයක් නොවේ. ඕනෑම කෙනෙකුට ඊට දායකත්වය ලබා දිය හැකිය. පස්වන වසරේ සිසුවෙකුගේ සිට විශ්‍රාමික මහාචාර්යවරයෙකු දක්වා තම දායකත්වය ලබා දිය හැකිය. එහි විශේෂත්වය වන්නේ ඔබ සඟරාවක් සඳහා ලිපියක් හෝ ඔබේ මතය ලියන විට, ඔබට ලිපිය ප්‍රකාශයට පත් කළ හැක්කේ එය සම්පුර්ණයෙන්ම ලිවීමෙන් පසුව පමණි. මෙය එසේ නොවේ. ඔබට සුදුසු යැයි සිතන දෙයක් හෝ ඔබ දන්නා දෙයක් ලියා ඔබට කැමති තැනකින් නතර කරන්නට හැකිය. ඔබට දැනුම් උල්පතක් නිර්මාණය කළ හැකිය. 

උදාහරණයක් ලෙස එක අයෙකුට නල්ලූර් කන්ද ස්වාමි කෝවිල නල්ලූර්හි පිහිටා ඇති තැනින් තම සටහන නවතා දමන්නට හැකිය. ඊට පසු වෙනත් අයෙක් ඊට නල්ලූර් උත්සවය අගෝස්තු මාසයේ පැවැත්වෙන බව පවසා තොරතුරක් එක් කරනු ඇත. මේ ආකාරයට මෙම විකිපීඩියා පිටුවට පැමිණෙන පරිශීලකයින්ට නල්ලූර් කෝවිල සම්බන්ධයෙන් තමා දන්නා තොරතුරු එක් කිරීමෙන් සහ එහි සඳහන් තොරතුරු වල දෝෂ ඇත්නම් ඒවා නිවැරදි කිරීමෙන් හෝ ඒ පිළිබඳ වැඩි විස්තර ලබා දීමෙන් ලිපිය පෝෂණය කොට ජනතාවට ඉදිරිපත් කල හැකිය. මෙහිදී සම්පුර්ණයෙන්ම විශ්වාසනීය සාමූහික තොරතුරු සකස් කොට දෙමළ ලෝකයට සැපයීමට හැකියාව ලැබේ. එත් සමඟම ඡායාරූප ශිල්පියෙකුට ඒ සම්බන්ධව ඡායාරූප තිබේ නම් එම පිටුවට උඩුගත කොට දායකත්වය ලබා දිය හැකිය. විකිපීඩියාව වර්ධනය වන්නේ එලෙස ය.

විකිපීඩියාව සහ විශ්වකෝෂය අතර සමානකම් තිබේද? මේවායින් වඩාත්ම ප්‍රයෝජනවත් වන්නේ කුමක්ද?

උදාහරණයක් ලෙස, මුද්‍රණ අනුවාදයේ දෝෂ හෝ අතපසු වීම් තිබේ නම්, එය සංස්කරණය කළ හැක්කේ ඊළඟ අනුවාදයේ පමණි. විකිපීඩියාවේ ඔබ යම් වැරැද්දක් හෝ මඟහැරී ඇති දෙයක් සොයා ගන්නේ නම්, ඔබට එය වහාම සංස්කරණය කළ හැකිය. විකිපීඩියාවේ ඇති සැම ලිපියකටම වෙන් වූ තනි පිටු ඇත. අපි එය සංවාද පිටුවක් ලෙස නිර්මාණය කර ඇත්තෙමු. වෙනත් අයෙකු විසින් ලියන ලද ලිපියක් සංස්කරණය කිරීමට අකමැති,  ඒ පිළිබඳව අදහස් දැක්වීමට කැමති ඕනෑම කෙනෙකුට තම අදහස එම පිටුවේ ලිවිය හැකිය. එම පිටුව නිරීක්ෂණය කල විට, ලිපියට වඩා සංවාද පිටුවෙහි ඔබට බොහෝ තොරතුරු සොයාගත හැකිය. බොහෝ වටිනා කරුණු එහි සඳහන් වනු ඇති අතර එය ඉතාමත් ප්‍රයෝජනවත් වනු ඇත.

විකිපීඩියාව ආරම්භ වූයේ ඉංග්‍රීසි භාෂාවෙනි. ඔබට එය දෙමළ භාෂාවෙන් ගෙන ඒමට අවශ්‍ය වූයේ ඇයි?

මට බොහෝ විට කියන්නට අවශ්‍ය වන්නේ මෙයයි. බටහිර භාෂාවන්ට වඩා දෙමළ වැනි භාෂාවන්ට මෙය වඩා වැදගත් යැයි බොහෝ දෙනා සිතති. දෙමළ භාෂාව සඳහා විශ්වකෝෂයක් සෑදීමට වසර හතළිහක් ගතවී ඇත. එය එළි දැක්වූ පසු අලුත් හෝ මඟහැරුණු දේ එකතු කල හැක්කේ දිගින් දිගටම ඊට පසු වසර වලදී  නැවත නැවතත් විශ්වකෝෂය ප්‍රකාශනය කළහොත් පමණි. ඒ සඳහා මූල්‍යමය තත්වයන් ඉඩ නොදේ. එය ප්‍රායෝගික ද නොවේ. ඉන්දියාව සම්බන්ධයෙන් ගත් විට , හින්දි භාෂාවෙන් පසු ඉදිරියෙන් ඇති භාෂාව දෙමළ භාෂාවයි. ජාත්‍යන්තර භාෂා වලින් දෙමළ භාෂාව 18 වන ස්ථානයට පත්ව ඇත. විකිපීඩියාවේ 59 වන ස්ථානයේ ලැබී ඇත. එබැවින් අප ඉදිරියට යාමට නම් ඊට දායකත්වය ලබා දීමට තවත් පුද්ගලයින් අවශ්‍ය වේ

ලෝක මට්ටමින් මීට දායකත්වය ලබා දෙන්නේ කවුද? විශේෂයෙන් මේ සඳහා ශ්‍රී ලාංකිකයන්ගේ දායකත්වය කුමන මට්ටමක පවතින්නේද?

විශේෂයෙන් ශ්‍රී ලංකාවේ යාපනය ගත් විට දෙමළ විකිපීඩියාවට දායක වන බොහෝ දෙනෙක් ශිෂ්‍යයන් සහ තරුණ පිරිස්ය. ඔවුන් ඒ පිලිබඳ ඉතා උද්‍යෝගයෙන් යුතුව සම්බන්ධ වෙති. ඔවුන්ගේ එම දායකත්වය මා මවිතයට පත් කිරීමට සමත් වී ඇත. කෙසේ වෙතත්, ඊට අමතරව අපට තවත් බොහෝ පැරණි අත්දැකීම් සහ ඒවාට අදාළ තොරතුරු  අවශ්‍ය වේ. එබැවින් මගේ අපේක්ෂාව වන්නේ ජ්‍යෙෂ්ඨයන් සහ විශ්‍රාමික විද්වතුන් වැඩි දායකත්වයක් ලබා දිය යුතු බවයි. අප හට අපගේ ඊළඟ පරම්පරාවන් හට බොහෝ දේ ඉතිරි කිරීමට ඇති අවස්ථාවන් මෙමඟින් වැඩි වේ. මෙහිදී ඔබට කල හැකි දායකත්වය ලිවීම පමණක් යැයි නොසිතන්න. සැලසුම් කිරීම සහ නිෂ්පාදනය කිරීම වැනි බොහෝ කාර්යයන් මෙහි ඇත. ලෝක මට්ටමින් දෙමළ ජනතාව ගත් විට බොහෝ දමිළ ඩයස්පෝරා ජනයාගේ දායකත්වය ද බෙහෙවින් ප්‍රශංසනීය ය. දෙමළ භාෂාව භාවිතා නොකරන පුද්ගලයින් පවා විවිධාකාරයෙන් ඔවුන්ගේ දායකත්වය ලබා දී ඇත.

මෙය විකිපීඩියාව යැයි හඳුන්වන්නේ ඇයි? එහි අර්ථය කුමක්ද ?

විකී යනු හවායි දූපත් වල ජනතාවගේ භාෂාවේ යෙදෙන වචනයකි. එහි අර්ථය වන්නේ වේගවත් යන්නයි. ඉංග්‍රීසී භාෂාවෙන් විශ්වකෝෂය හඳුන්වන නාමය වන ‘එන්සෛකලෝපීඩියා’ යන වදනෙන් පීඩියා යන වචනයද එක් කොට විකිපීඩියා වන වචනය නිර්මාණය කරන ලදී. එහි ඇති නිර්මාණයන්ට ප්‍රකාශන හිමිකම නැත. ඕනෑම කෙනෙකුට තමන්ට අවශ්‍ය ඕනෑම තොරතුරක් රැගෙන භාවිතා කළ හැකිය.

මෙලෙස, දෙමළ විකිපීඩියාව ගැන බොහෝ දේ පවසන මයුරනාදන්ගෙන් ඉගෙනීමට හැකි හා ලබා ගත හැකි බොහෝ දේ ඇති බව මගේ අදහසයි. මට අනුව, මුහුණුපොත වැනි දේ වලට තම කාලය නිකරුණේ නාස්ති කරමින් සිටින අයට ඔවුන්ගේ විවේක කාලයෙන් කොටසක් දෙමළ විකිපීඩියාව සඳහා වෙන් කිරීමට උත්සාහ කළ හැකිය. එවිට දෙමළ භාෂාවට සහ ඒ ආශ්‍රිත ක්ෂේත්‍රයන්ට යම් ආකාරයකින් දායක වූ බව සිතා හෝ ආඩම්බර විය හැකි නොවේද ?එය එසේ වනවා සේම එකම රටක ජීවත් වන විවිධ ජන වර්ගයන් සමුහයක් සමග සහ සම්බන්ධ වීමේදි  එය වඩාත් වැදගත් වනු ඇත.

தமிழ் விக்கிப்பீடியாவின் தொடக்கம் பற்றி

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts