සාමය

දෙමළ මාධ්‍යවේදීන් සඳහා සිංහල මාධ්‍යවේදීන්

ආර්.භාරතී

එම ඛේදනීය සිදුවීම සිදුවූයේ, 2006 වර්ෂයේ අගෝස්තු මස 29 වන දින අලු‍යම් කාලයේදී ය.

උදෑසන 7.00 ට පමණ දුරකතනයෙන් මා ඇමතූ මාධ්‍යවේදී මිත්‍රයෙකු විසින් අදාළ සිද්ධිය මා වෙත පවසන ලදී.

එම ප්‍රවෘත්තිය වූයේ ‘සූරියන් එෆ්එම් ප්‍රවෘත්ති කළමනාකරු නඩරාජා ගුරුබරන් පැහැරගෙන ගොස් ඇති’ බවයි. සුපුරුදු පරිදි හිමිදිරි උදෑසන කාර්යාලය වෙත සිය වාහනයෙන් පිටත් වූ ගුරුබරන් ගල්කිස්සේදී පැහැරගෙන ගොස් ඇත. ඔහුගේ වාහනය මාර්ගයේ අයිනක නවතා තිබුණේ එහි දොර විවෘත කරමිනි. ගුරුබරන්ගේ දුරකතනය සක්‍රීයව තිබුණේ නැත. පාන්දර 5.00 ට පෙර කාර්යාලයේ සිටිය යුතු ගුරුබරන් එහි ගොස් සිටියේ නැත.

උදෑසන 6.45 ට විකාශය කෙරෙන උදෑසන ප්‍රවෘත්ති වාර්තාව සකස් කිරීම සඳහා ගුරුබරන්ගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටියත්, ඔහු පැමිණියේ නැත. ඔහුගේ ජංගම දුරකතනයට ඇමතුම් ලබා ගත්තද එය ක්‍රියා කළේ නැත. ගුරුබරන්ගේ නිවසේ දුරකතන අංකයට කළ ඇමතුමකින් හෙළි වූයේ ඔහු පාන්දර 4.30ට පමණ නිවසින් පිටත්ව ගොස් ඇති බවයි.

මෙම පුවත උදෑසන 7.00 පමණවන විට පැතිරෙන්නට පටන් ගත්තේය. ගුවන් විදුලි හා රූපවාහිනිය එය එසැණ ප්‍රවෘත්තියක් (Breaking News) ලෙස විකාශය කිරීමට පටන් ගත් වහාම ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුළ භීතියක් ඇති විය.

මීන් පෙරද ලංකාවේ මාධ්‍යවේදීන් පැහැරගෙන ගොස් ඇත. ඔවුන් පණපිටින් ආපසු ආ බවට ඉතිහාසයක් නොමැත. 2005 වර්ෂයේ අප්‍රේල් මස 28 දින රාත්‍රියේ පැහැරගෙන ගිය සිවරාම් පසුදා උදෑසන මළසිරුරක්ව සොයා ගන්නා ලදී. එම මතකයන් අමතක වීමට මත්තෙන් ගුරුබරන් පැහැර ගැනීම ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුළ මහත් භීතියක් ඇති කළේය. වහාම පියවර නොගන්නේ නම් මෙම ඛේදවාචකය දිගටම සිදුවනු ඇතැයි යන බිය සියලු‍ දෙනා අතර පැතිර ගියේය.

ජනමාධ්‍ය නිදහස සහ මාධ්‍යවේදීන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් හඬ දීම සඳහා සංවිධාන පහක් එකට එක්වී ක්‍රියාත්මක විය. දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමය, මුස්ලිම් මාධ්‍ය සංසදය හැර සෙසු සංවිධාන තුනෙහි ක්‍රියාකාරී සමාජිකයින්ගෙන් බහුතරයක් සිංහල මාධ්‍යයවේදීන් ය.

මෙහි වැඩ කරන පුවත්පත් සංගමය ශක්තිමත් හා ක්‍රියාකාරී විය. ස්වාධීන මාධ්‍ය සංවිධානය අධික ලෙස විදේශීය සබඳතා පැවැත්වීය. ඊට අමතරව, මාධ්‍ය වෘත්තීය සමිති සම්මේලනය එකට එක් වී ක්‍රියාකරමින් සිටියහ. මෙම සංවිධාන පහ ඒකාබද්ධව කොළඹ ප්‍රකාශය නිකුත් කිරීම කැපී පෙනේ.

පැහැර ගැනීමේ පුවත වාර්තා වූ මොහොතේ සිට වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා බොහෝ සිංහල මාධ්‍යවේදීන් සම්බන්ධ වී සිටියහ. සිදු වූයේ කුමක්ද? යන්න දැන ගැනීමට පමණක් නොව, මේ සඳහා කුමක් කළ යුතුද? අපේ විරෝධය ප්‍රකාශ කරන්නේ කෙසේද? ගුරුබරන්ව පණපිටින් මුදවා ගන්නේ කෙසේද? යන කරුණු සම්බන්ධයෙන්  සැලසුම් කිරීම සඳහාද ඔවුහු සම්බන්ධවී සිටියහ.

යුද්ධය පැවති කාල සීමාව පමණක් නොව යුද වාතාවරණයක් නොමැති කාලයද දෙමළ මාධ්‍යවේදීන්ට හා ජනමාධ්‍ය ක්ෂේත්‍රයට අනතුරුදායක අවධියක් විය. 2000 වර්ෂයේ ඔක්තෝබර් 19 දා නිමලරාජන් ඝාතනය කිරීමත් සමඟ ආරම්භ වූ දෙමළ මාධ්‍යවේදීන්ට එරෙහිව එල්ල වූ ප්‍රහාරවලට දීර්ඝ ඉතිහාසයක් තිබේ. මිනීමැරුම්, පැහැර ගැනීම්, පහරදීම් සහ අතුරුදන් වීම් වැනි බාධක මධ්‍යයේ වූවද දෙමළ මාධ්‍යවේදීන් ගමන් කළ මාවත කටුක එකක් විය. ඇතැම් මාධ්‍යවේදීන් තමන්ගේ ආරක්‍ෂාව සඳහා විදේශයන්හි රැකවරණය පතා යාමට හේතු වූයේද මෙයයි.

ශ්‍රී ලංකාවේ තත්ත්වය කෙබඳුවීද යත් බොහෝ ජාත්‍යන්තර සංවිධාන ශ්‍රී ලංකාව මාධ්‍යවේදීන්ට අනතුරුදායක රටක් ලෙස හංවඩු ගැසුවේය!

මෙහි තවත් ගැටලු‍වක්ද විය. ඉලක්ක කරගත් මාධ්‍යවේදීන් එල්ටීටීඊ සංවිධානය සමඟ යම්කිසි සම්බන්ධතාවක් ඇති අයෙකු ලෙස නිරූපණය කෙරිණි. මෙසේ නිරූපණය වීම මගින් අර්බුදකාරී වාතාවරණ දෙකකට මුල පිරීය. පළමුවැන්න නම්, ඔවුන්ගේ පවුල්වලට බියෙන් ජීවත් වීමට සිදුවීම. දෙවැන්න – යම් සිදුවීමකට එරෙහිව විරෝධතා පැවැත්වීම සඳහා සහෝදර මාධ්‍යවේදීන්ට බිය වීම. පෙර සඳහන් කරුණු ඉලක්ක කර ගනිමින් මෙවැනි ප්‍රචාරයන් සිදුකරගෙන යනු ලබයි.

මෙම සන්දර්භය තුළ දෙමළ මාධ්‍යවේදියෙකු ඉලක්ක කරගත් ප්‍රහාරයක් සිදුවූ විට එයට එරෙහිව අරගල කිරීමට දෙමළ මාධ්‍යවේදීන් හට ධෛර්යක් කෙසේ ඇති වේද? විශේෂයෙන්ම අගනුවර කොළඹදී?

ජාති ආගම් භේදයකින් තොරව බොහෝ සිංහල මාධ්‍යවේදීහු මාධ්‍ය නිදහස සහ මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සඳහා සිය කැපවීම මෙහිදී පිළිඹිබු කළහ.

යාපනයේදී නිමලරාජන් ඝාතනයට ලක්වන විට කොළඹදී පැවැත්වූ විරෝධතාව සංවිධානය කළේ දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමය වන නමුත් එය මෙහෙයවනු ලැබුවේ සිංහල මාධ්‍යවේදීන් විසිනි. එහිදී ඔවුන්ගේ පූර්ණ සහයෝගය ලබා දෙන ලදී. එසේම දෙමළ මාධ්‍යවේදීන් හට බලාපොරොත්තුවක් ලබා දුන්නේ ද ඔවුන් විසිනි.

ඒ හා සමානව, ගුරුබරන්ගේ පැහැර ගැනීම පිළිබඳ පුවත වාර්තා වූ වහාම විරෝධතාවක් සංවිධානය කරන ලදී. එය සංවිධානය කළේ දෙමළ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, තවත් සංවිධාන හතරක් සමඟ එකතු වීමෙනි. හිරු සංවිධානය ද මේ සඳහා එක්විය. අවශ්‍යවූ බැනර්, ප්‍රකාශන වැනි දෑ සිංහල මාධ්‍යවේදීන්ගේ සහයෝගය ඇතිව කඩිමුඩියේ සකස් කරන ලදී.

දහවල් 12.00 ට පමණ වන විට මාධ්‍යවේදීන් සිය ගණනක් ආරක්ෂාව පිළිබඳව තර්ජනද නොතකා කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටට රැස් වූහ. පැය දෙකක් පුරා පැවති මෙම අවධානයට ලක්වූ විරෝධතාවය මගින්  බොහෝ කරුණු ප්‍රකාශ විය.

වැදගත් – මෙම අරගලය තුළින් හෙළි වූයේ ජාති ආගම් භේදයකින් තොරව සියලු‍ ජනමාධ්‍යවේදීන්, මාධ්‍යවේදීන් හට ගැටලු‍වක් ඇති වුවහොත් එකට එක්වී නැගී සිටින බවයි. එයට සුනන්ද දේශප්‍රිය, රෝහිත භාෂණ, පෝද්දල ජයන්ත, ඥානසිරි කොත්තිගොඩ, එන්.එම්.එන්. අමීන් සහ ක්‍රියාකාරීන් බොහෝ දෙනෙකු මෙන්ම ජාතික සාම මණ්ඩලයේ සභාපති ජෙහාන් පෙරේරා සහ අනෙකුත් දේශපාලන පක්ෂ නියෝජිතයින් ද සහභාගී වූහ. ඔවුහු මෙහිදී වැදගත් දේශනද පැවැත්වූහ.

විරෝධතාව පිළිබඳව ජාත්‍යන්තර සංවිධාන සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් ද දැනුවත් කෙරිණි. ඔවුන් වෙතින්ද මෙම සිදුවීම සම්බන්ධව බලපෑම් එල්ල විය.

මෙසේ සිදුවෙමින් තිබියදී පසුදින උදෑසන ගුරුබරන් නිදහස් කෙරිණි.

පැහැරගෙන ගොස් නැවත ජීවතුන් අතර මුදාගත් පළමු මාධ්‍යවේදීයා ඔහු විය හැකිය. ඔහුගෙන් පසු 2009 වර්ෂයේදී ගල්කිස්සේදී පැහැරගත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී  විද්‍යාදරන්ද පසුව නිදහස් කරන ලදී. ඔහුව පැහැරගෙන ගොස්, පසුව එය අත්අඩංගුවට ගැනීමක් ලෙස ප්‍රකාශයට පත් වූ අතර, ඉන්පසු ඔහුට විරුද්ධව ඇති කිසිදු චෝදනාවක් ඔප්පු නොවීම හේතුවෙන් ඔහුව නිදහස් කරන ලදී.

දෙමළ මාධ්‍ය ක්ෂේත්‍ර වෙත එල්ල වන ප්‍රහාර උත්සන්න වීමත් සමඟම, මාධ්‍යවේදීන් තම මාධ්‍ය නිදහස සඳහා සිය කැපවීම ප්‍රකාශ කරමින් ඊට එරෙහිව අගනුවර පැවති විරෝධතාවලට වැඩි වැඩියෙන් සහභාගී වූහ.

දෙමළ මාධ්‍ය වෙත ප්‍රහාර එල්ල වූ සෑම අවස්ථාවකදීම ඔවුන් එල්ටීටීඊ සංවිධානයේ ආධාරකරුවන් ලෙස පෙන්වීමට පාලන තන්ත්‍රය උත්සාහ දරා ඇත. මෙම උපක්‍රමය ඔවුන් භාවිතා කළේ කෙසේ හෝ ප්‍රහාරය සාධාරණීකරණය කිරීමට සහ එයට එරෙහිව නැගීසිටින හඬ යටපත් කිරීමට ය.

2000 වසරේ සිට ශ්‍රී ලංකාවේදී මියගිය හෝ අතුරුදහන් වූ මාධ්‍යවේදීන් ගණන 40ක් පමණ බව මාධ්‍ය ක්ෂේත්‍රය සඳහා හඬ නගන සංවිධාන විසින් ලැයිස්තු ගත කර ඇත.

2015ියහපාලන’ රජය බලයට පත් වූ විට පොරොන්දු වූයේ, මෙම සිද්ධීන් නැවත විමර්ශනය කරන බවත් අපරාධකරුවන් නීතිය ඉදිරියට පමුණුවන බවත් ය. මෙවැනි සිදුවීම් නැවත සිදු නොවීමට නම් අපරාධකරුවන්ට දඬුවම් දීම අත්‍යවශ්‍යයයි. මාධ්‍යවේදීන් බියෙන් සැකයෙන් තොරව කටයුතු කිරීමට එමගින් ඉඩ සැලසේ. අපි එය අවධාරණය කළේ එබැවිනි.

කෙසේ වෙතත්, යහපාලනය රජය නැවත නඩු විභාගයක් ආරම්භ කළේ සිංහල මාධ්‍යවේදීන් 3 දෙනෙකුගේ සිද්ධීන් සම්බන්ධව පමණි.  මාධ්‍ය සංවිධාන 5 ක නියෝජිතයින් යහපාලන රජයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අවස්ථාවේදී අපි මෙම ගැටලු‍ව මතු කර ඇත්තෙමු. පිළිතුර වූයේ ඒ හා සම්බන්ධ කටයුතු සම්පාදනය කරන බවයි.

කෙසේ වෙතත්, දෙමළ මාධ්‍යවේදීන් ඝාතනය කිරීම හෝ අතුරුදන් වීම පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට රජයට අවශ්‍ය නැති බව පසුව අවබෝධ විය. සිංහල මාධ්‍යවේදී සඟයෙක් මා හට පැවසුවේ, ‘ඝාතනයට ලක්වූ දෙමළ මාධ්‍යවේදීන් යම්කිසි ආකාරයකින් කොටි හිතවාදීන් බව පෙන්වා දී ඇත. එම නිසා විමර්ශන සිදුකිරීමේදී අපහසුතාවයට පත්විය හැකි බවට රජය බිය වන’ බවයි. එයට හේතුව නම් ”‍රජය තම වියදමින්ම තමාටම කොඩිවිනයක් කර ගැනීමට උත්සුක වන්නේ නැත.”‍

දශකයකටත් වැඩි කාලයක් මාධ්‍ය ක්‍රියාකාරියෙකු වශයෙන් මාගේ අත්දැකීමෙන් අවබෝධ කරගත් දෙයක් නම්; දෙමළ සහ සිංහල මාධ්‍යවේදීන් අතර බෙදීමක් පවත්වා ගැනීමට රජයන්ට අවශ්‍යය යන්නයි.

කෙසේ වෙතත්, වාර්ගික, ආගමික හා භාෂාමය වෙනස්කම් වලින් තොරව මාධ්‍ය ක්ෂේත්‍රයේ දියුණුව සඳහා මෙන්ම මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සහ ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තහවුරු කිරීම සඳහා එකට එක්වී වැඩ කිරීම සඳහා මාධ්‍යවේදීන් කැමැත්තෙන් සිටී. ඒ සඳහා වන බලාපොරොත්තුවද ඔවුන් තුළ ගොඩනැගී ඇත. අනාගතයේදීත් මාධ්‍ය ක්ෂේත්‍රය විසින් මෙය තවදුරටත් දියුණු කළ යුතුයි.

සිංහල මාධ්‍යවේදීන්, විශේෂයෙන් යුක්තිය, හිරු කණ්ඩායම සහ බොහෝ සිංහල මාධ්‍ය ක්‍රියාකාරීන් සමඟ සමීපව කටයුතු කළ හුරු පුරුදු අයෙකු වශයෙන් මා හට බොහෝ දේ භුක්ති විඳීමට හැකි විය. 

යුද්ධය අවසන් වූවත් එය අවසන් වූ ආකාරය පිළිබඳව සහ ඉන්පසු දකුණේ පැවති සැමරුම් ගැන ඔවුන් සෑහීමකට පත් නොවීය. ඔවුන් තර්ක කළේ එවැනි කටයුතු කිසිඳු ආකාරයකින් සංහිඳියාව ගොඩනැගීමේ උත්සාහයන්ට හිතකර නොවන බවයි. ඒ අතරම, ඔවුන් දෙමළ මහජන නියෝජිතයින් සමඟ සාකච්ඡා කර සුදුසු දේශපාලන විසඳුමක් යෝජනා කරන ලෙස අවධාරණය කළ අතර ඒ පිළිබඳව ලිවීමට පසුබට වූයේ නැත.

මාධ්‍ය සංවිධාන පහ එක්වී සිදුකරන රැස්වීම් වැඩිපුරම පැවැත්වෙන්නේ කොළඹ ෆ්ලවර් පාරේ පිහිටි ස්වාධීන මාධ්‍ය සංවිධාන කාර්යාලයේදී ය. දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමය වෙනුවෙන් මම නිතරම සහභාගී වෙනවා. රැස්වීමේ මුලසුන දරන සුනන්ද දේශප්‍රිය රැස්වීම ආරම්භයේදී එක් දෙයක් පැහැදිලි කරනු ඇත. ඔහුගේ නියෝගය වනුයේ ‘යමෙකුට සිංහල නොතේරේ නම් ඔහුට/ඇයට දෙමළ පරිවර්‍තනයක් ලබා දිය යුතුය’ යන්නයි. සිංහල භාෂාවෙන් හුවමාරුවන සෑම කෙනෙකුගේම අදහස් දෙමළ භාෂාවට පරිවර්තනය කෙරේ. එසේම දෙමළෙන් මා වෙතින් ප්‍රකාශවන අදහස් වහාම සිංහලට පරිවර්තනය කෙරේ. මේ සඳහා සුනන්ද විසින් සිවගුරුනාදන්ව හෝ භාෂා දෙකම දන්නා කෙනෙකු මා අසල රඳවන ලෙස නියෝග කරනු ලැබේ.

දෙමළ ජනයාගේ හැඟීම් තේරුම් ගෙන දෙමළ ජනතාවට සාධාරණ දේශපාලන විසඳුමක් ලබා දිය යුතුය යන මතය දරන සිංහල මාධ්‍යවේදීන් බොහෝ දෙනෙකු සිටිති. ඔවුන් සමඟ සමීපව කටයුතු කිරීමෙන් දෙමළ මාධ්‍යවේදීන්ට ඔවුන්ගේ අදහස් සිංහල ජනතාවට ලබා දිය හැකිය. ශ්‍රී ලංකාව තුළ සැබෑ සංහිඳියාවක් ඇති වීමට නම් මාධ්‍යවේදීන්ගේ කාර්යභාරය ඉතාමත් වැදගත් වේ.

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts