සමාජ

දිවිය මනින මිම්ම ජාතිය නොවන බව පෙන්වූ මැල්ලකැලේ ජනපදයේ සුජීවනී

හිරාන් ප්‍රියංකර ජයසිංහ

ජීවිතයක අගය ජාතිය අනුව අඩු වැඩි නොවන බව අප උගෙන ඇති දහමින් කියා දෙන පාඩම ය. ඒ පාඩම යළිත් වරක් ලෝකයට කියා දෙන්නට තුම්මෝදර මැල්ලකැලේ ජනපදයේ සුජීවනී චන්දිමා දැරූ වෑයම බොහෝ දෙනා ගේ මුවග රැව් දෙන කතාවක් බවට අද පත් ව ඇත්තේ මේ සනාතන සත්‍යය එදා මෙන් ම අදටත් එක සේ වලංගු වන හෙයිනි.

ගෙවි ගිය මැයි 13 වැනි දින ප්‍රචණ්ඩකාරි හා කලහකාරි ලෙස කල්ලි ගැසී මුස්ලිම් ජනයාගේ දේපළ වනසමින් සැරිසැරු 500 කට ආසන්න තරුණයන් පිරිස එදින සවස 6 පමණ විට නාත්තන්ඩිය නගරයට කඩා වැදි ඉනික්බිති බටහිර තුම්මෝදර මැල්ලකැලේ ජනපදයට ගොම්මන් අඳුරත් සමඟ ගලා හැලෙද්දී ඒ ගමේ නිරායුධ වැසියන් සියල්ල කිසිවක් කර කියා ගත නොහැකි ව ගල් ගැසී බලා උන්නේ තම රැකවරණය පතා සැඟවීගෙන ය. සිදුවන්නේ කුමක් දැයි සැඟවි බලා සිටියා මිස එයට එරෙහි හඬක් නගන්නට මේ පිරිස සතුව කිසිදු සවියක් නොවිණි.

පාස්කු ඉරිදා සිදුවු අවාසනාවන්ත සිදුවිම මැකි යන්නටත් පෙර හට ගත් මේ අවාසනාවන්ත සිදුවිම් මාලාව හමුවේ තුම්මෝදර මැල්ලකැලේ ජනපදයේ පදිංචි සුජීවනී චන්දිමා තම අසල්වාසි මුස්ලිම් හිතවතුන් මේ අන්තවාදීන්ගෙන් විය හැකි හිරිහැරවලින් බේරා ගන්නේ කෙලෙසදැයි දස අතේ කල්පනාකරමින් වික්ෂිප්තව සිටියා ය. අවසන දැඩි තීරණයක් ගත් ඇය තම නිවෙසේ ඉදිරි දොරින් මිදුලට පැන ගම දෙවනත් කරමින් හැසිරෙන කලහකාරීන් මැදට දිව ගියා ය.

තමන් ඉදිරිපිටම ගමේ මුස්ලිම්වරුන්ගේ නිවාස වනසා දමමින් ප්‍රචණ්ඩ ව හැසිරෙන තරුණයන් අත පොලු මුගුරු සේම යකඩ බට ද එයට අමතරව ඇතැම් පිරිස් අත කඩු ද තිබෙනු දුටු සුජීවනී තම සිත දැඩිකර ගනිමින් “මේ අපේ මිනිස්සුන්ගෙ ගෙවල්. ඒවා කඩන්න එපා ‘ යි මොර දෙන්නට වූවා ය. මේ ධෛර්යසම්පන්න ගැහැනියගේ අභීත හඬ හමුවේ කලහකාරීහු නැවතුණහ. ගමේ ගෙවල්වලට හානි කිරීම නැවතූහ. අවසන පසු බැස ගමෙන් පිටතට ආපසු ගියහ.

හලීමා බිබි ගේ නිවෙස

පැයකට අඩු කාලයක් මැල්ලකැලේ ජනපදයේ සැරිසරමින් ප්‍රචණ්ඩකාරි ලෙස හැසිරුණු මේ පිරිස ඒ වනවිට ප්‍රදේශයේ නිවාස, වෙළෙඳසල් බොහොමයක් වනසා දමා යන විට මේ ගැහැනිය තම අසල්වාසී මුස්ලිම්වරුන්ගේ නිවාස තුනක් ද, එම නිවෙස්වල පදිංචි සිටි සාමාජීකයින් 14 දෙනෙකු ගේ ජීවිත ද බේරා ගන්නට සමත් වූවා ය.

“ 13 වෙනිදා මං කොට්ටරාන්මුල්ල නගරයට ගොස් එද්දී එකපාරම විශාල පිරිසක් කඩා වදිනවා දැක්කා. මේ පිරිස නගරයේ මුස්ලිම් අයගේ දේපළ වනසමින් ආවේ. මේ පිරිස අපේ මැල්ලකැලේ ජනපදයටත් කඩා වදියි කියලා මට හිතුණා. මගේ ගේ වටේටම ඉන්නේ මුස්ලිම් අය. ඒ අය උදේ හවස අපිත් එක්ක එකට කාලා බිලා අපිත් එක්ක හොඳින් ඉන්න අය.‘‘ සුජීවනී චන්දිමා සිය මතකය යළි අවදි කරමින් පවසයි.

‘මං ඉක්මනට ඇවිත් හැම කෙනාටම කිව්වා තියෙන වටිනා දේවල් අරගෙන ගිහින් හැංගෙන්න කියලා. විනාඩි කිපයක් යද්දි අර පිරිස අපේ ගම වට කරලා මුස්ලිම් අයගේ ගෙවල් වනසමින් ඉදිරියට ආවා. ඒ පිරිස එන්න කලින්ම අපේ ගෙදර ආසන්නයේ නිවාස තුනක හිටිය මුස්ලිම් අය 14 දෙනකු මගේ නිවස ඇතුළට අරන් ආරක්ෂා කළා. එයාලගේ ගෙවල් තුනටත් කිසිම හානියක් නොවන විදියටත් කටයුතු කළා. ආපු තරුණයින් සේරම ගියාට පස්සේ අපේ ගෙදර ඇතුළෙ හිටපු අයටත් පුදුමයි එයාලාගේ ගෙවල් බේරිච්ච එක ගැන.“ සුජීවනී චන්දිමා තම වෙහෙස මහන්සියේ ප්‍රතිපලය පිළිබඳ තෘප්තිමත් ව කියයි.

හලීමා සහ සුජීව

‘මාත් පුතාල දෙන්නාත්, මහත්තයාත් ලොකු සටනක් කරලයි මේ මිනිස්සුන්ගේ දේවල් බේරලා දුන්නෙ. අඩුම ගානේ මගේ ගේ වටේට හිටපු අසල්වැසියන් පිරිසකගේ ජීවිතයි දේපළයි බේර ගත්ත එකට මට දරා ගන්න බැරි සතුටක් ඇති වුණා ‘යි ඇය කියයි.

මේ අමිහිරි අත් දැකීමට මුහුණ පෑ ඒ.කේ. හලීමා බිබි( 64) තවමත් සිටින්නේ සිදු වූ දේ අදහා ගත නොහැකිව ය. ඇය සිතේ ගුලිකරගෙන සිටි හැඟුම්, වදන් ලෙස එළි දැක්වූයේ මෙලෙසිනි.
“ සුජීවනී දුව ඉන්නේ මගේ ගේ ඉස්සරහ. එයා එකපාමර පාර පැත්තේ ඉදන් දුවගෙන ඇවිත් අපිට කෑ ගහලා කියුවා හලිමා නැන්දේ ඉක්මනට හැංගෙන්න කට්ටියම අපේ ගෙදරට එන්න කියලා. මට හිතා ගන්න බැරි වුණා මොකක්ද වෙන්න යන්නේ කියලා. විනාඩි කිපයක් යද්දි 500 ක් විතර ඇවිත් ගම වට කරලා. අපි සුජිවනී දුවගේ ගෙදරට දුවලා ගිහින් හැංගුණා. ඒ වෙද්දි ඒ ගේ ඇතුළෙ මොහොමඩ් රිස්විලාගේ කට්ටියත් අනිත් ගෙදර අයත් හිටියා. අපිත් එයාලත් එක්ක හැංගුණා. ‘ මේ සිදුවීම සිහිපත් කරන ඇගේ සිතේ එදා හටගත් බිය දෙනෙතෙහි තවමත් සටහන් ව තිබිණි.

හලිමා ඇතුළු මුස්ලිම් ජාතික අසල්වැසියන් බේරා ගත් සජීවනීට අන්තවාදීන්ගේ තර්ජන ද එල්ල නොවූයේ නොවේ. ඇය උදේ සවස ආදරයෙන් සෙනෙහසින් ළෙන්ගතුකම් පාන අසල්වැසියන් බේරා ගැනිම වරදක් ලෙස මේ අන්තවාදී පිරිස් දැකීම එයට හේතුව ය. මේ නිසාම සජීවනී මාධ්‍යයට පවා අදහස් දැක්විමට දැක්වුයේ දැඩි අකැමැත්තකි. හලීමා මුහුණ පා ඇත්තේ ද තවත් අත්දැකීමකට ය. ඒ සිංහලයන්ගේ නිවසක සැඟවි සිට ජීවිත හා දේපළ ආරක්ෂා කර ගැනීම පිළිබඳ ඇය තුම්මෝදර මැල්ලකැලේ ඇගේ පාර්ශවයේ ඇතැම් අයගේ දෝශ දර්ශනයට පවා ලක්ව ඇති බව ය.

‘ගෙවල් දොරවල් මොනවා වුණත් ජීවිතේ බේරගන්න ඕන නිසා අපි සුජිවනීගේ ගේ ඇතුළෙ ඉඳගෙන හිත් දුක් වින්දා. අපේ ගෙවලුත් විනාශ වෙලා, සියලුම දේ ගිනි බත් වෙලා ඇති කියලා අපිට දහස් වාරයක් හිතුණා. අපේ ජීවිතවලට හානියක් වුණේ නැති එක ගැන හිතලා අපි හිත හදා ගත්තා‘යි හලීමා කියයි. එනමුදු ඇය නිවැරදි නොවී ය.

හලීමා සහ සුජීවනී

‘රෑ නවයට විතර තමා අපි එළියට ආවේ. ඒ ඇවිත් ගෙවල් දිහා බලද්දි අපේ ගෙවල් තුනටම කිසිම හානියක් කරලා නැහැ. අපට ම පුදුමයි. මේ සියල්ල වෙද්දි දෙවියන් පවා සිහියට ආවේ නැති අපිට දෙවියන් විදියට සුජීවනී දුවයි එයාගේ මහත්තයායි පුතාල දෙන්නයි තමා පෙනුණේ. එයාල නැත්නම් අපිට අද ඉතිරි වෙන්නේ ඇඟේ තිබුණු රෙදි කෑල්ල විතරයි‘ යැයි හලීමා සුසුම් අතරින් පවසයි.
හලිමා හඬ අවදි කරද්දී ඒ අසල සිටි සුජීවනී අහිංසක සිනහවක් පෑවේ තමන් කළ උතුම් ක්‍රියාව පිළිබඳ නිරාමිස සුවයක් විඳිමිනි.

This article was originally published on the catamaran.com

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts