සමාජ

දස අවුරුදු ප්‍රජා සංවර්ධන සැලැස්ම සහ සැබෑ වතු කම්කරුවා

මල්ලියප්පුචන්දි තිලකර්

කඳුකරය යන්නෙහි පොදු නිර්වචනය ඉතා පුළුල් වේ. කඳුකරය යන අනන්‍යතාවය ඇති කඳුකර ‘ඉන්දියානු ද්‍රවිඩ’ දෙමළ ජනගහනය නිල වශයෙන් ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 4.8% ක් වන අතර නිල නොවන කඳුකර ද්‍රවිඩ ජනගහණය 8%  කි. මෙම ජනතාව ශ්‍රී ලංකාවේ සමහර දිස්ත්‍රික්කවල වැඩි ඝනත්වයකින් හා සමහර දිස්ත්‍රික්කවල විසිරී ජීවත් වෙති.

ඉන්දියානු  සම්භවයකින් යුතු මෙම  ජනතාව බ්‍රිතාන්‍යයන් විසින් වතු කම්කරුවන් (Plantation Workers) ලෙස රැගෙන ආ අයගෙන් පැවත එති. නමුත් ඔවුන්ගේ ජනවාර්ගික අනන්‍යතාවය වර්තමානය වන විට වතු කම්කරුවන් නොවන (Non workers) වෙනත් අනන්‍යතාවන්ට වෙනස් වී ඇති අතර (Transitional) තවදුරටත් ඔවුන් වෙනස් වෙමින් සිටිති.

කෙසේ වෙතත්, වැවිලි කලාපය (Plantation Region) ලෙස හැඳින්වෙන ප්‍රදේශය උඩරට සංවර්ධන අධිකාරිය පනතේ (2018, අංක 32) අර්ථ දැක්වෙන පරිදි ශ්‍රී ලංකාවේ මධ්‍යම, ඌව, සබරගමුව, බස්නාහිර, දකුණු හා වයඹ යන පළාත්වල තේ, රබර්, කටුපොල් වැනි ආර්ථික බෝග වගා කිරීමට ආයතනික මට්ටමින් මුල් තැන ගන්නා ප්‍රදේශයන් වේ.

මෙම වතුකරයේ දිවි ගෙවන වතු කම්කරුවන් වන හා වතු කම්කරුවන් නොවන සියල්ලන්ටම වතුකර ප්‍රජාව (Plantation Community) යන පොදු අනන්‍යතාවය උරුම වේ. 

කඳුකරයේ වෙසෙන සියලුම ද්‍රවිඩ ජනතාව ලක්ෂ 15 ක් පමණ වන විට එයින් ලක්ෂ 10 ක් පමණ, එනම් 2/3 ක බහුතරයක් මෙම වතුකර ප්‍රජාවට අයත් වෙති. වතුකර ප්‍රජාව වතු යන (Estate) ආර්ථික කලාපය තුළ, ලැයිම් කාමර (Line) නම් වාසස්ථාන ක්‍රමය (Human Settlement) යටතේ ජීවත් වන ප්‍රජාවකි. දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත් වන ඔවුන් ජීවත් වන පරිසරය තුළ අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහන හා තැපැල් විදුලි සංදේශ වැනි සමාජ යටිතල පහසුකම් ක්ෂේත්‍රයන් බොහෝ දුරට වැවිලි සමාගම් විසින්ද අර්ධ වශයෙන් රාජ්‍යය විසින්ද කළමනාකරණය කරනු ලැබේ.

මීට හේතු වන්නේ මෙම වතු ප්‍රජාව යටත් විජිත පාලන සමයේදී ක්‍රියාත්මක වූ වතු ආර්ථිකයට අනුයුක්තව සිටි කම්කරුවන් (Captive Lobourers) ලෙස පත් කර තිබීම, එය ශ්‍රී ලංකාවේ පළාත් පාලනයට (Local Administration) ඇතුළත් නොවීම (ගම්සභා හා ප්‍රාදේශීය සභා ක්‍රමය) හා  ශ්‍රී ලංකාව නිදහස ලැබීමට පෙර බ්‍රිතාන්‍යයන් විසින් ඔවුන්ට ලබාදී තිබුණු පුරවැසිභාවය 1948 වර්ෂයේදී ආණ්ඩුව විසින් උදුරාගැනීමත්ය. 

ශ්‍රී ලංකා පුරවැසිභාවය වතු ප්‍රජාවෙන් උදුරාගත් පසු ඔවුන් පුරවැසිභාවයක් නොමැති (Stateless)  ප්‍රජාවක් බවට පත් වූ අතර රාජ්‍ය යාන්ත්‍රණ ක්‍රමයෙන් (State Mechanism) ඔවුන්ව සම්පූර්ණයෙන් කපා හරින ලදී. නිදසුනක් වශයෙන්, ශ්‍රී ලංකාවේ සියලු ප්‍රජාවන්ට ලබා ගත හැකි නිදහස් අධ්‍යාපනය වතුකරයේ ජනතාවට ලැබුණේ නැත. 

දශක ගණනාවක් තිස්සේ දියත් කෙළ අරගල හා නීති සංශෝධනයන් මඟින් පුරවැසිභාවයක් නොමැති යන තත්වයෙන් ගැලවුණු වතුකර ජනයාට 1978දී සමානුපාතික මැතිවරණ ක්‍රමය හඳුන්වාදීමත් සමඟ පාර්ලිමේන්තුවට තම ප්‍රජාවේ නියෝජිතයින් තෝරා පත් කර ගැනීමටද අවස්ථාව උදා විය.

1977 සිට 1994 දක්වා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවක් පිහිටුවා ගැනීම සඳහා වතුකර ප්‍රජාවේ දේශපාලන බලය බෙහෙවින් උපකාරී විය. මෙම කාලය තුළ ඔවුන්ගේ මහජන නියෝජිතයින් ග්‍රාම සංවර්ධන, සංචාරක කර්මාන්ත, ඇඟලුම් කර්මාන්ත, ප්‍රවාහන (උප අමාත්‍ය), හින්දු සංස්කෘතික (රාජ්‍ය) වැනි අමාත්‍යංශ වගකීම් ද දැරූහ.

එපමණක් නොව, 1994 දී එක්සත් ජාතික පක්ෂයේ  වසර 17ක පාලනය නිමා කිරීමට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයෙන් යුත් පොදු ජන එක්සත් පෙරමුණේ ජයග්‍රහණය  තීරණය කළ එක් ආසනය ලබා දුන්නේද මෙම උඩරට දෙමළ ප්‍රජාවගේ නියෝජනයයි. 1996 දී වැවිලි යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය පිහිටුවන ලද්දේ මෙම ප්‍රජාව සඳහාම වූ විශේෂ අමාත්‍යාංශයක් වශයෙනි. කෙසේ වෙතත්, 2006 වර්ෂයේ දී මෙම  අමාත්‍යාංශය ජාතික සංවර්ධන අමාත්‍යාංශයේ (Ministry of Nation Building) කොටසක් බවට පත්කරන ලදී.

2006 වර්ෂයේදී ‘වැවිලි යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය’ අහෝසි කිරීමත් සමඟම වතුකර ප්‍රජාවේ දුගීභාවය ඇතුළුව අධ්‍යාපනය, සෞඛ්‍යය, ප්‍රවාහනය වැනි යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට වසර තුනක ව්‍යාපෘතියක්  සැලසුම් කළ අතර වතුකර ප්‍රජාවන්ගේ අවශ්‍යතාවන් ඉතා ඉහළ වූ බැවින් එම ව්‍යාපෘතිය වතුකර ප්‍රජාව සංවර්ධනය කිරීමේ දස අවුරුදු ව්‍යාපෘතියක් බවට පත් විය. 

2006 සිට 2015 දක්වා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ දස අවුරුදු සැලැස්ම පදනම් වී ඇත්තේ 2005 ජනාධිපතිවරණ සමයේදී ‘මහින්ද චින්තන – නව ශ්‍රී ලංකාවක්’ ප්‍රතිපත්තියේ වතු ප්‍රජාව සඳහා ඉදිරිපත් කර ඇති යෝජනා මතය. ඒ අනුව, 2006-2015 කාල පරිච්ඡේදය සඳහා ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලද “මහින්ද චින්තන දස අවුරුදු වැඩසටහනෙහි” මෙම කරුණු ඇතුලත් වී තිබුණු අතර ජාතික සංවර්ධන අමාත්‍යාංශය විසින් සකස් කරන ලද “වතුකර ප්‍රජා සංවර්ධනය සඳහා දස අවුරුදු සැලැස්ම” කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිතව පුළුල් කරන ලදී. මෙම සැලැස්ම සකස් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) තාක්ෂණික හා මූල්‍ය ආධාර ලබා දෙන ලදී.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා 2008-2009 කාලය සඳහා අයවැය ඇස්තමේන්තු ද සකස් කළ අතර පසුව මෙම ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අතහැර දමනා ලදී. මෙයද ‘මහින්ද චින්තන දස අවුරුදු වැඩසටහන’ හරහා ක්‍රියාත්මක කෙරෙන බව පැවසුවද, එවැනි කිසිවක් සිදු නොවීය.

මෙම සන්දර්භය තුළ, වතුකර ප්‍රජා සංවර්ධනය සඳහා දස අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා වතුකර ප්‍රජාවේ ඉල්ලීම දේශපාලනික හා සමාජීය වශයෙන් ඉතාමත් ශක්තිමත් විය.

මෙවැනි තත්වයකදී 2015 දී ආණ්ඩු මාරුවීමත් සමඟ ‘වතුකර ප්‍රජා සංවර්ධනය සඳහා දස අවුරුදු සැලැස්ම’ යළිත් පණ ගැන්විණි. 2006 දී අහෝසි කරන ලද වැවිලි යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය, (2015) දින 100 වැඩසටහන යටතේ නැවත වැවිලි යටිතල පහසුකම්  සංවර්ධන අමාත්‍යාංශය ලෙසත් පසුව එය කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය ලෙසත් ප්‍රතිසංවිධානය කරන ලදී. 

2016 සිට 2025 දක්වා ක්‍රියාත්මක කිරීමට සංශෝධිත හා ප්‍රතිනිර්මාණය කරන ලද සැලැස්මක් අමාත්‍යාංශය විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කල අතර එවකට කැබිනට් මණ්ඩලයේ සභාපතිව සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි දස අවුරුදු සැලැස්ම 2016-2020 දක්වාපස් අවුරුදු සැලැස්මක් ලෙස සංශෝධනය කොට කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලදී. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) විසින් මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍යමය හා තාක්‍ෂණික දායකත්වය ලබා දෙන ලදී. පස් අවුරුදු සැලැස්ම අර්ධ වශයෙන් ක්‍රියාත්මක වෙමින් පැවතියද එය ද 2019 ආණ්ඩු මාරුවත් සමඟ ගිලිහී ගියේය.

2006 සිට 2015 දක්වා පාලනය කළ එක්සත් ජනතා නිදහස් සන්ධානය රජය 2019 දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලෙස නැවත බලයට පත්විය. නමුත් වර්තමාන තත්ත්වය මත වතුකරය නියෝජනය කරන අමාත්‍යාංශය වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය බවට පරිවර්තනය කර ඇති අතර එම අමාත්‍යාංශය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යටතේ පවතී.

2006 වර්ෂයේ දී දස අවුරුදු සැලැස්ම සකස් කිරීමේදී ජනාධිපතිවරයා වී සිටියේ මෙතුමාමය යන්න සැලකිල්ලට ගෙන අතහැර දමනා ලද හෝ යල් පැන ගිය වතුකර ප්‍රජා සංවර්ධන (දස අවුරුදු, පස් අවුරුදු) සැලැස්ම නැවත ගෙන ඒමේ අවශ්‍යතාව වර්තමානයේ ඉතාමත් බලවත්ව පැන නැගී ඇත.

‘වතුකර ප්‍රජා සංවර්ධන සැලැස්ම’ 2006දී මහින්ද චින්තන සමඟ එවකට පැවති ගෝලීය සංවර්ධන ඉලක්ක යටතේ ඇති මිලේනියම් සංවර්ධන ඉලක්ක (MDG) අනුව සකසන ලදී.  වර්තමානයේදී එය තිරසර සංවර්ධන ඉලක්කයන්හි  (SDG) අරමුණුවලට අනුකූලව සකස්   කර තිබේ.

එම්. වාමදේවන් 2006 දී අමාත්‍යාංශයේ ලේකම් ලෙසත්, 2016 දී අමාත්‍යවරයාගේ උපදේශක ලෙසත් සේවය කළ අත්දැකීම් ඇති වතුකරයේ උගතෙකි. ඔහු විසින් වතුකර දේශපාලන හා සිවිල් සමාජ සංවිධාන සමඟ සාකච්ඡා කර මෙම ව්‍යාපෘතිය සකස් කිරීම සඳහා ඵලදායී දායකත්වයක් ලබා දුන් බව මෙහිදී සඳහන් කල යුතුමය.

වර්තමාන රජයේ ‘සෞභාග්‍යමත් හෙටක් – සුරක්‍ෂිත රටක්’ (National Policy Framework Vistas of Prosperity and Splendor – (2020-2025) යන ප්‍රතිපත්ති ප්‍රකාශනයේදී වතුකරයේ ප්‍රජා සංවර්ධනය (පිටු අංක.75) පිළිබඳ සඳහන් කර තිබේ. 

2017 වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභා සමාලෝචන වාර්තාව (UPR – UNHCR) පෙන්නුම් කරන්නේ දස අවුරුදු සැලැස්ම 2015 සිට 2025 දක්වා ක්‍රියාත්මක වන බවයි. තිරසාර සංවර්ධන ඉලක්ක (SDG) 2030 දක්වා සැලසුම් කර ඇත.

මෙවැනි පසුබිමක් තුළ, ‘වතුකර ප්‍රජා සංවර්ධනය සඳහා දස අවුරුදු සැලැස්ම’ 2021-2030 දක්වා ඉදිරි වසර 10  ක කාලය තුල එක දිගටම ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබී ඇත. 

මෙම ලිපියේ පළමු භාගයේදී අවධාරණය කළේ වතුකර ප්‍රජා සංවර්ධන සැලසුම දශක වලට බෙදමින් සැලසුම් කර ක්‍රියාත්මක කළද තවත් ශතවර්ෂයක් හෝ එය ක්‍රියාත්මක කළ යුතු බව හා මෙම ගැටලු පසුගිය සියවස් දෙකක් තිස්සේ අඛණ්ඩව පවතින බවයි. 

සංවර්ධනයේදී පසුගාමී සමාජයක් වන වතු ප්‍රජාව මුහුණ දෙන තවත් එක් ප්‍රධාන ගැටලුවක් වන්නේ ඔවුන් ජීවත් වන අවදානම් සහගත (vulnerable) පරිසරයයි. එසේම නායයෑම් වැනි ස්වාභාවික විපත් (Natural Disaster), ගෙවල් ගිනි ගැනීම (House Fire Gutting) වැනි ස්වාභාවික නොවනා විපත් හා කොරෝනා (COVID 19) වැනි වසංගත තත්වයන් (Pandemic)  ඔවුන්ගේ අවදානම (Vulnerability) තවදුරටත් සංකීර්ණ කර ඇත.

එවැනි අවදානම් සහගත ව්‍යසනකාරී අවස්ථාවන්හිදී ඒවාට මුහුණ දෙන ප්‍රත්‍යස්ථ ප්‍රජාවන් (Resilient community ) ගොඩනැගීම පිළිබඳව ලොව පුරා කතිකාවක් ගොඩනැගී ඇත. පශ්චාත් කොවිඩ් සමයේ තිරසර සංවර්ධන ඉලක්ක (Post – COVID SDGs) නැවත සැලසුම් කර ඇති අතර එවැනි තිරසර සංවර්ධන ඉලක්කයන් පදනම් කරගෙන සැලසුම් කරන ලද වතු ප්‍රජා සංවර්ධන දස අවුරුදු සැලැස්ම ප්‍රතිසංස්කරණය කිරීම වර්තමානයේ පවතින අවශ්‍යතාවකි.

2030 වන විට එක්සත් ජාතින්ගේ තිරසර සංවර්ධන මූලධර්මයන්ට අනුව කිසිවෙකුටත් පසුගාමී වන්නට ඉඩ නොදෙමු (Leave no one behind) යන්න සිතට ගෙන සමස්ත ප්‍රජාව ඉදිරියට ගෙන යාම සමස්ත කඳුකර ප්‍රජාවන්ගේ සහ එම ප්‍රජාවේ රටේ අනාගතය පිළිබද උනන්දුවක් ඇති වගකිවයුතු සියලු පාර්ශ්වයන්ගේ යුතුකම හා වගකීම වේ.

Between Development Plans: Sri Lanka’s Plantation Sector And Its Persistent Issues

மீளவும் புதுப்பிக்கப்பட வேண்டிய பெருந்தோட்ட சமூக அபிவிருத்திக்கான பத்தாண்டுத் திட்டம்

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts