සාමය

දශක තුනක්ම සාමය ළඟට විත් පලා යනු බලා සිටියෙමි

එම්.එස්.එම්. අයුබ්

සිරිත් පරිදි ප්‍රවෘත්තියක් දෙකක් ලිවීමේ අරමුණෙන් උතුරේ දේශපාලනයේ අලුත් තත්ත්වයන් සොයා බැලීම සඳහා මම 1990 මාර්තු පළමවැනිදා උදෑසන 10ට පමණ එකල පැවැති ඒකාබද්ධ උතුරු නැඟෙනහිර පළාත් සභාවේ ප්‍රධාන ඇමැතිව සිටි වරදරාජ පෙරුමාල් මහතාගේ ප්‍රවෘත්ති නිලධාරියා වූ නෙල්සන්හට දුරකථන  ඇමතුමක් දුන්නෙමි.

එය දේශපාලනික වශයෙන් උණුසුම් කාල පරිච්ඡේදයක් විය. 1987 දී අත්සන් කරන ලද ඉන්දු-ශ්‍රී ලංකා ගිවිසුම යටතේ දෙමළ සන්නද්ධ කණ්ඩායම්, විශේෂයෙන්ම කොටි සංවිධානය නිරායුධ කිරීම සඳහා ඉන්දීය සාම සාධක හමුදාව යන නමින් ඉන්දීය යුද, නාවික හා ගුවන් හමුදා මෙරටට පැමිණ සිටියහ. ඔවුන් මෙරටින් පළවා හැරීම සඳහා කොටි සංවිධානය ඔවුන් සමඟ සටන් කරමින් සිටියහ. 

ඒ අතර, උතුරු නැගෙනහිර පළාත් සභාවෙන් පමණක් නොව මහ පොළොවෙන්ම ඉන්දියාවේ සහාය ලැබූ පෙරුමාල්ගේ පක්ෂය වූ ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානය අතුගා දැමීමට කොටි සංවිධානයට අවශ්‍ය විය. එම අරමුණු දෙක සඳහා කොටි සංවිධානය එවකට බලයේ සිටි ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා සමඟ සාම සාකච්ඡා ආරම්භ කොට තිබිණි. 

ඉන්දීය හමුදාවන් මෙරට සිටීම පිළිබඳව ප්‍රේමදාස මහතා හා එවකට ඉන්දියාවේ අගමැතිව සිටි රජිව් ගාන්ධි අතර ඇති වූ රාජතාන්ත්‍රික ආරාවුලක ප්‍රතිඵලයක් වශයෙන් ඒ වන විට ඉන්දීය හමුදා මෙරටින් පිටවීම ආරම්භ වී තිබිණි. මේ තත්ත්වය නිසා පෙරුමාල්ගේ හා ඔහුගේ පක්ෂයේ සාමාජිකයින්ගේ ජීවිතවලට එල්ල වී තිබුණේ විශාල අනතුරකි.

“මචං, 12න් පස්සේ කතා කරමුද? ලොකු දෙයක් වෙන්නයි යන්නේ”යි නෙල්සන් කී අතර, මම ඒ අනුව පස්වරුවේ ඔහුට කතා කළෙමි. ඔහු කී දෙයින් මගේ කන් අදහා ගත නොහැකි විය. එකල උතුරු නැගෙනහිර පළාත් සභාව ත්‍රීකුණාමලයේ රැස් වූ අතර, එම සභාව අමතා කතා කරමින් ප්‍රධාන ඇමැතිවරයා තමන් ඉදිරිපත් කොට ඇති ඉල්ලීම් 19ක් ආණ්ඩුව ඉටු නොකරන්නේ නම් ඒක පාක්ෂිකව ස්වාධීන රාජ්‍යයක් ප්‍රකාශයට පත් කරන බවට ආණ්ඩුවට තර්ජනය කොට තිබිණි. එතෙක් එසේ ප්‍රකාශයට පත් කෙරෙන ස්වාධීන දෙමළ රාජ්‍යයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය වශයෙන් තම පළාත් සභාව කටයුතු කරනු ඇතැයිද පෙරුමාල් තම කතාවේදී ප්‍රකාශ කොට තිබිණි.

දකුණේ බොහෝ දෙනා පවසන ආකාරයට පෙරුමාල් කිසි දිනෙක වෙනම රාජ්‍යයක් හෝ තමිල් ඊළමක් ප්‍රකාශයට පත් කළේ නැත. ඔහු එදා කළේ එසේ කරන බවට තර්ජනය කිරීමයි. එහෙත් තම පළාත් සභාව වෙනම රාජ්‍යයක් සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් වශයෙන් කටයුතු කරනු ඇතැයි ඔහු කළ ප්‍රකාශය සීමා ඉරෙන් පිටතට පැනීමක් විය. හැත්තෑව දශකයේ මැද සිටම සාමය ප්‍රවර්ධනය කළ මම මෙම ප්‍රකාශයෙන් විශාල අවුලකට පත් වුණෙමි. 

පළාත් සභා මඟින් බලය බෙදීමේ සංකල්පය ක්‍රියාවට නැඟූණු හෙයින් ඒවා සාමයේ මාවතක් විය යුතුයැයි ප්‍රාර්ථනා කරමින් සිටි මගේ එම ප්‍රාර්ථනා සුනු විසුණු විය. ආණ්ඩුව හා කොටි සංවිධානය අතර වූ සාම සාකච්ඡා ද බලාපොරොත්තු තබා ගත හැකි මට්ටමේ නොවීය. පෙරුමාල්ගේ ප්‍රකාශය ජනවාර්ගික ප්‍රශ්නය වඩාත් සංකීර්ණ කරනු ඇතැයි යන්න මගේ මතය විය. නුදුරේදීම උතුරු නැඟනහිර පළාත්වල මහා විනාශයක් ඇති වනු නියත බව මාහට හැඟී ගියේය.

පළාත් සභා ක්‍රමය මෙරට ස්ථාපිත කිරීමේදී ඉන්දියාව බලහත්කාරී ප්‍රවේශයක් අනුගමනය කළද එම ක්‍රමය තුළ බලය බෙදීමේ සංකල්පයේ මූලිකාංග අන්තර්ගත වූ හෙයින් කොටි සංවිධානය හැර මෙරට සියලු දෙමළ පක්ෂ හා කණ්ඩායම්ද ජනතා විමුක්ති පෙරමුණ හැර මෙරට සියලු වාමාංශික පක්ෂ හා කණ්ඩායම්ද එම ක්‍රමය පිළිගත්හ. අනෙක් අතට පළාත් සභා ක්‍රමය ඉන්දු-ශ්‍රී ලංකා ගිසුම මඟින් මෙරට ජනතාව මත පටවනු ලැබූවක් නොවේ. එය 1986 දී ජනාධිපති ජේ. ආර් ජයවර්ධන මහතා විසින් කැඳවනු ලැබූ දේශපාලන පක්ෂ සමුළුවේදී වාමාංශික හා දෙමළ පක්ෂ එකඟ වූ විසඳුමකි. පෙරුමාල්ගේ තර්ජනය පළාත් සභා ක්‍රමයද අනතුරට ඇද දැමීය.

එහෙත් මෙම තත්ත්වයට වගකිව යුත්තේ කවුරුන්ද? ජනාධිපති ප්‍රේමදාස මහතාට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක ඉන්දීය වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට අවශ්‍ය විය. කොටි සංවිධානයට ඉන්දියාවේ පමණක් නොව ශ්‍රී ලංකා ආණ්ඩුවේද වැඩ පිළිවෙළවල් අවුල් කොට වෙනම රාජ්‍යයක් සඳහා වූ තම ඉලක්කය වෙතට යාමට අවශ්‍ය විය. ඔවුන් ඉන්දීය හමුදා මෙරටින් පිටමං කළ යුතුයැයි කියමින් ව්‍යාජ සාම ක්‍රියාවලියකට ප්‍රේමදාස මහතා ඇදගෙන ගිය විට එය පෙරුමාල් බිත්තියට හේත්තු කිරීමක් විය. කොටි සංවිධානයේ තමිල් ඊළම වෙනුවට වහාම වෙනම රාජයයක් කරා වූ මාවතට අවතීර්ණ වී දෙමළ ජනතාවට බලපෑම් කිරීමට ඒ මානසික පීඩනය ඔහුට බල කළේය. එහෙත් දෙමළ ජනතාවට ඉන් කිසිදු බලපෑමක් ඇති නොවීය.

මෙය සාමය සොයා යන ගමනේදී රටට, විශේෂයෙන්ම මෙරට දෙමළ ජනතාවට අහිමි වූ වැදගත් අවස්ථාවකි. අහිමි වූ තවත් අවස්ථා දෙකක් නම් ජනාධිපතිවරුන් වූ රණසිංහ ප්‍රේමදාස හා චන්ද්‍රිකා කුමාරතුංග යන දෙදෙනාගේ කාලයේදී කොටි සංවිධානය සමඟ කළ සාකච්ඡා අසාර්ථක වීමයි. ප්‍රේමදාස මහතා එම සාකච්ඡාවලදී කෙතරම් නම්‍යශීලී වූයේදයත් ඔහු එම සංවිධානයේ විශ්වාසය දිනා ගැනීම සඳහා ඉන්දීය හමුදා සමඟ සටන් කිරීම පිණිස ඔවුනට අවි ආයුධ පවා දුන්නේය. එය අමනොඥ ක්‍රියාවක්ය යන්න වෙනම කරුණකි. කුමාරතුංග මහත්ම්ය 1995 දී ඉදිරිපත් කළ පැකේජය යනුවෙන් එකල ප්‍රකට වූ යෝජනා මාලාව පිළිගත යුතුව තිබිණැයි කොටි සංවිධානයේ න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් පවා 2003 දී කිලිනොච්චියේදී ඔවුන්ගේ අධිකරණ සංකීර්ණයක් විවෘත කිරීමේ උත්සවයකදී පවසා තිබිණි.

මගේ මතය අනුව මෙරට ක්‍රියාත්මක කරන ලද සාම ක්‍රියාවලියන්ගෙන් වඩාත්ම වෘත්තීමය වූ සාම ක්‍රියාවලිය වූයේ බරපතල අඩුපාඩු මැද්දේ වුවද 2002 දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියාත්මක කරන ලද සාම ක්‍රියාවලියයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ආරක්ෂාව ජනාධිපති සතු වගකීමක්ව තිබියදී අගමැතිවරයා සටන් විරාම ගිවිසුමක් අත්සන් කිරීම පිළිබඳව එකල ප්‍රශ්න මතු කෙරුණද සාමය වෙතට නැඹුරුතාවක් දැක්වූ නිසාදෝ ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ඊට එරෙහිව මුලදී ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත. සටන් විරාමය හා සාම සාකච්ඡා පැවැත්වුණේ ජාත්‍යන්තර අධීක්ෂණය යටතේය. වික්‍රමසිංහ මහතා එය හැඳින්වූයේ ජාත්‍යන්තර ආරක්ෂක ජාලය යනුවෙනි. 

කෙසේ වෙතත් එම සාම ක්‍රියාවලියේ ආරම්භයේ සිටම මම නරක පෙර නිමිති ගණනාවක් දුටුවෙමි. කොටි සංවිධානය මුල පටන්ම හිතුවක්කාරී ලෙස කටයුතු කළේය. ආණ්ඩුව ඇතැම් විටෙක එම සංවිධානයට අවනතව කටයුතු කරන ස්වභාවයක් පෙනී ගියේය. 2002 අප්‍රේල් 10 වැනිදා කොටි සංවිධානයේ නායක ප්‍රභාකරන් හා බාලසිංහම් කිලිනොච්චිය අසල ස්ථානයක පැවැත් වූ ජනමාධ්‍ය සාකච්ඡාවට ජනමාධ්‍යවේදීන් 300 කට වැඩි පිරිසක් සහභාගි වූ අතර, එය 35 වසරක මගේ ජනමාධ්‍ය ජීවිතයේදී මා සහභාගි වූ විශාලතම ජනමාධ්‍ය සාකච්ඡාව විය. කොටි සංවිධානය එය සාමය පිළිබඳ තම නැඹුරුව පෙන්වීමේ අවස්ථාවක් නොව, හුදු ශක්තිය පෙන්වීමේ අවස්ථාවක් බවට පත් කරගෙන තිබිණි.

සැබෑවටම ආණ්ඩුව හා කොටි සංවිධානය අතර සාමය ඇතිවන්නේ නම් කොටි සංවිධානය වෙනම රාජ්‍ය සංකල්පය අත්හැර දැමීම අනිවාර්ය වේ. එහෙත් ප්‍රභාකරන් හෝ බාලසිංහම් එවැනි හැඟීමක් තමන් තුළ ඇති බවක් නොපෙන්වීමට ප්‍රවේසම් වූහ. 

දෙවැනි වටයේ සාම සාකච්ඡා පැවැති තායිලන්තයේ නකෝන් පතොම්හි රෝස් ගාඩ්න් හෝටලයේදී බාලසිංහම් හා තෝරා ගත් ජනමාධ්‍යවේදීන් කිහිපදෙනෙක් අතර වූ සාකච්ඡාවකදී මම මෙම කාරණය සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කළෙමි. ආණ්ඩුව දෙමළ ජනතාවට පිළිගත හැකි විසඳුමක් ඉදිරිපත් කරන්නේ නම් එය තමන්ද පිළිගන්නා බව නොපවසා එය සලකා බලන බව කොටි නායකයින් නිතර පවසන්නේ මන්දැයි මම ඇසුවෙමි. මගේ තර්කය වූයේ දෙමළ ජනතාවට පිළිගත හැකි විසඳුමක් කොටි සංවිධානයටද පිළිගත හැකි විය යුතු බවය. එතැන සලකා බැලීමට දෙයක් නැත. තරමක් වාද කිරීමෙන් පසු මෙතැනදී සලකා බැලීම යන්නෙන් අදහස් කෙරෙන්නේ පිළිගැනීමමයි යනුවෙන් කියා ඔහු ඇඟ බේරා ගත්තේය.

අවසානයේදී නරක පෙරනිමිති සැබෑ විය. ෆෙඩරල් විසඳුමක් පිළිබඳව එකඟතාවක් ඇති කර ගැනීමෙන් පසු  සාම ක්‍රියාවලිය බිඳ වැටිණි. එය දෙමළ ජනතාවට අහිමි වූ හොඳම අවස්ථාවයි. එදා ඇති කර ගත් ෆෙඩරල් එකඟතාවට ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියද විරුද්ධ වූයේ නැත.

මේ රටේ සාම ප්‍රයත්නයන් සෑමවිටම අසාර්ථක වූයේ අදාළ පාර්ශ්වයන් ජනතාවට ගෙවන්නට සිදුවන මහා මිල නොතකා හැර, තම තමන්ගේ කොන්දේසි මත සාමය උදා කර ගැනීමට උත්සාහ කිරීම නිසාය. සැබවින්ම සාමය ප්‍රාර්ථනා කරන්නන් දකුණු අප්‍රිකාවේ සටන් කළ පාර්ශ්වයන් තමන් සිටින ස්ථානවලින් පහළට බැස ඇති කර ගත් එකඟතාව ආදර්ශයක් කරගත යුතුය. මන්දයත් ලොවේ කොතැනත් සටන් කරන පාර්ශ්වයන් තමන් සිටින ස්ථානවලම සිටිනතාක් ඇති විය හැක්කේ සටනම මිස සාමය නොවේ.

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts