සාමය

දමිළ ජනතාවගේ මතකයන් සහමුලින්ම විනාශ කිරීම කෙරෙහි උනන්දු වන රජය

කීර්තිකා මහාලිංගම්

වත්මන් රජය උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජීවත් වන ජනතාවගේ මනසේ ඇති මතකයන් සහමුලින්ම විනාශ කර දැමීමේ උත්සහයක නිරතවෙමින් සිටී. පරස්පර විරෝධී ඝට්ටනයන් හේතුවෙන් බෙදීමට ලක් වූ පාර්ශවයන් අතර ජාතික සාමය හා සංහිඳියාව ගොඩනැංවීම උදෙස‍ා ප්‍රායෝගික යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවය හා ජනතාව ඒ පිළිබඳව දැනුවත් විය යුතු බවත් පැවති රජයෙන් යෝජනා වූ අතර එසේ කිරීම එම ජනතාව සුවපත් කිරීමේ ක්‍රමයක් වනු ඇත. නමුත් ඒ සියලු බලාපොරොත්තු සුණු විසුණු කරමින් දමිළ ජනයාගේ සිත් තුළ ඇති ඔවුන්ගේ උරුමයන් පිළිබඳව මතකයන් බලහත්කාරයෙන් ඉවත් කල හැකිය යන මතය මූලික කරගනිමින් වත්මන් රජය ක්‍රියා කරයි.

එය ඔවුන් අපේක්ෂා කරන ප්‍රතිඵලයට වඩා අහිතකර ප්‍රති විපාකයන් සමාජය තුළ නිර්මාණය වීමට හේතුවක් වන බව සඳහන් කිරීමට කැමැත්තෙමි. මෙවැනි ක්‍රියා මගින් ජාතික සාමය හා සහජීවනය ගොඩනැංවීම වෙනුවට ඊට ප්‍රතිවිරුද්ධ සමාජ ගැටුම් නිර්මාණය වේ. එවැනි සිදුවීම්වලට හේතු වන මූලික කාරණා කිහිපයක් මෙසේ දැක්විය හැක.

  • මිය පරලොව ගිය දිලීපන් නමැත්තා සිහි කිරීමට විරුද්ධව තහනම් නියෝග පැනවීම.
  • ‘මහවිරු දින සැමරුම’ තහනම් කිරීම.
  • යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් අත්අඩංගුවට ගැනීම.
  • ‘කාර්තිගෛයි’ පහන් දැල්වීමට විරුද්ධව බාධා පැමිණවීම.

මේ සියල්ල පසුගිය වසරක කාලය ඇතුලත සිදුවිය. මේ හැරුණු විට ඉඩම් අත්පත් කර ගැනීම, බලහත්කාරයෙන් අතුරුදන් කල පුද්ගලයින් හා අවතැන්වූවන් පිළිබඳ ගැටලුවලටත් මේ වන තෙක් නිසි විසඳුමක් ලැබී නැත.

වර්ෂ 1989 ආරම්භයේ පටන් මහවිරු දින සැමරුම  සිදුකර ඇති නමුත් අවසන් සටනින් පසු මහවිරු දිනය සමරා ඇත්තේ යුද්ධයෙන් මියගිය තැනැත්තන් සිහිපත් කිරීම පිණිසයි. එම දිනය සැමරීමට විරුද්ධව රජය විසින් මෙවරත් තහනම් නියෝග පනවා ඇත.  නොවැම්බර් මස 27 වන දින මහවිරු සැමරුම් දිනය ලෙස ප්‍රකාශයට පත්කර ඇත්තේ දමිළ කොටි සංවිධානය නියෝජනය කරමින් පළමුවෙන්ම ජීවිතක්ෂයට පත්වූ සත්තියනාදන් නැමැත්තා සිහිකරනු පිණිසයි. යහපාලන ආණ්ඩු සමයේ එම දිනය සැමරීමට අවසර ලබා දී තිබුණි. මියගිය ඥාතීන් සිහිපත් කර ඔවුන්ගේ මතකයන් ආවර්ජනය කිරීමට දමිළ ජනයාට අවසර ලබාදීම හුදෙක් අනුමැතිය ලබාදීමක් පමණක් නොව එය මානව හිමිකමක් ලෙස ද ඔවුන් සිතූහ.

නමුත් මෙවර වත්මන් ආණ්ඩුව බලයට පත්වූ මුල්කාලයේදීම මහවිරු දින සැමරුම තහනම් කර ඇත. මෙය දමිළ ජනයාගේ මනසේ ඇති ඔවුන්ගේ මතකයන් සහමුලින්ම මුලිනුපුටා දැමිමට සිදු කරන බලහත්කාරී උත්සහයකි. මන්දයත් නීතිවිරෝධී ලෙස මෙම තහනම් නියෝගයන් පනවා ඇති නිසාවෙනි.

දමිළ කොටි සංවිධානය ශ්‍රී ලංකාවේ තහනම් කරන ලද සංවිධානයක් නිසාත්, මේ වන විටත් කෝවිඩ්-19 නීරෝධායනය ඇඳිරි නීති රටේ බලාත්මක කර ඇති නිසාත්, දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය යටතේ රට තුළ අසමගිය හෝ ද්වේශ සහගත ක්‍රියා උත්සන්න වීමට ඉඩ ඇති බව පවසමින් මහවිරු දින සැමරුම තහනම් කරන ලෙස පොලිසිය විසින් උතුරු හා නැගෙනහිර  ප්‍රදේශවල ඇති උසාවි 06 ම අභියාචනා නිකුත් කිරීමෙන් අනතුරුව රජය විසින් මෙවර මහවිරු දින සැමරුමට විරුද්ධව තහනම් නියෝග පනවන ලදි.

යහපාලන ආණ්ඩු සමයට පෙර පැවති වත්මන් රජයේ නියෝජිතයන් ආණ්ඩු කළ කාලසීමාවේදී පවා මෙවැනි තහනම් නියෝගයන් බලපැවැත්වූ බව අවධාරණය කිරීමට කැමැත්තෙමි. වත්මන් රජය මේ වන විටත් ක්‍රියාකරන්නේ වෙනත් ජාතියකට අයත් අනන්‍යතාවයන් විනාශ කිරීම මගින් ජාතීන් අතර සහජීවනය ගොඩනැංවිය හැකිය යන, යථාර්ථවාදී නොවන මතයන්වල එල්බගෙනයි. දමිළ ජනතාවට තම මියගිය ඥාතීන් සිහිපත් කිරීමට ඉඩ නොදී ඊට විරුද්ධව තහනම් නියෝගයන් පැනවීම මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ලෙසත් රජය තමන් සතු බලය අනිසි ලෙස භාවිත කරන බවටත් පාර්ලිමේන්තුවේ මෙන්ම විවිධ වේදිකාවලත් රජයට විරුද්ධව බොහෝ පිරිස් හඬ නගා ඇත.

“රජයට විරුද්ධව ආයුධ සන්නද්ධව කැරලි ගැසූ ජවිපෙ සගයන්ගේ වියෝව සැමරීමට රජයන් විසින් අනුමැතිය ලබා දුන්නේ යම්සේද මහවිරු දින සැමරුමටත් රජය අවසර ලබාදිය යුතු බව” පාර්ලිමේන්තුවේදී පවා යෝජනා වූ නමුත් ඒ සියලු ඉල්ලීම් බිහිරි අලීන්ට වීණා වාදනය කිරීමට සමාන නිෂ්ඵල ක්‍රියාවක් විය. මෙලෙසින්ම දිලීපන්ගේ ගුණ සැමරුමට විරුද්ධවත් රජය විසින් තහනම් නියෝග පනවා තිබුණි. දණ්ඩ නීති සංග්‍රහයේ 106 වගන්තියට අනුව දිලීපන්ගේ ගුණ සැමරීම හේතුවෙන් සමාජය තුළ කැලඹීමක් ඇති වේවි යන්න පොලිසිය විසින් උසාවියට ‘බී වාර්තාවක්’ නිකුත් කිරීමෙන් අනතුරුව දිලීපන්ගේ ගුණ සැමරුමට විරුද්ධව යාපනය උසාවිය විසින් අපරාධ නඩු විධිවිධාන පනතට යටතේ තහනම් නියෝගයක් නිකුත් කර ඇත.

යුද්ධය හේතුවෙන් මියගිය තම දරුවන් සිහිපත් කරමින් දෙමව්පියන් හඬා වැලපීමත්, තම එක කුස උපන් සහෝදර සහෝදරියන් සිහිපත් කරමින් සිත සනසවා ගැනීමටත් නොහැකි ලෙස ඔවුන්ට විරුද්ධව රජය ඇතුළු බහුතරයක් ජනතාවගේ මෙවැනි ක්‍රියා කලාපයන්වලින් මූලික මානව අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවත් සඳහන් කළ හැක. එපමණක් නොව යාපනය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති පරමේශ්වරම් ආයතන ගේට්ටුව අසල පහන් පත්තු කල (කාර්තිගේයි දීපම්) විද්‍යාර්ථීන්ව පොලිසියෙන් අත්අඩංගුවට ගැනීමත්, මල්ලාගම්, සාලම්බේ කෝවිලේ පහන් පත්තු කිරීම උදෙසා සූදානම් කරන ලද සියලු සංවිධාන කටයුතු කඩාකප්පල් කිරීමේ අටියෙන් පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ පහන්වලට කකුලෙන් දමා ගැසීමත්, හින්දු කෝවිල්වල පහන් පත්තු නොකල යුතු බවටත් චුන්නාගම් පොලිස් නිලධාරීන් විසින් තර්ජනය කර ඇත. ‘දකින සියලු දේම ජාතිවාදී කෝණයෙන් බලන්නන් හා කිසිදු දෙයක් පිළිබඳව සොයා බැලීමකින් තොරව කටයුතු කරන මෙවැනි නිලධාරීන්ගේ ක්‍රියා කලාපයන් නිසා නොවැම්බර් මාසයේදී කාර්තිගෛයි පහන් දැල්වීමට නොහැකි විය. මෙමගින් ආගමික චාරිත්‍ර වාරිත්‍රයන් අනුගමනය කිරීමට මිනිසුන්ට ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන අතර එමගින් සමස්ත රටේම සහජීවනය බලපෑමට ලක්වේ. දමිළ ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම්වලට හා ඔවුන් විසින් ඉල්ලා සිටින උරුමයනුත් රජය විසින් දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරීම ශ්‍රී ලාංකික සමාජයේ ජාතීන් අතර ගැටලු උත්සන්න වීමට මූලික හේතුවයි. වර්තමා‍න සමාජයේ තවමත් දමිළ භාෂාව කතා කරන ජනතාවට කිසිඳු අනන්‍යතාවයක් ගොඩනැංවී නොමැත. එම නිසාවෙන් අතීත කුරිරු ඝාතන ඉතිහාසය යලිත් සමාජයේ ඇති වේවි යන බිය තවමත් සෑම කෙනෙකුගේම යටි සිතේ තැන්පත්ව ඇත. 

බෞද්ධ ආගමිකයින් නොමැති ස්ථානවල බෞද්ධාගමික අනන්‍යතාවයන් ස්ථාපිත කිරීමට උත්සහ කිරීමේ පටන් ඔවුන්ව පදිංචි කිරීමේ කටයුතු සිදු කිරීම දක්වාත් සියලු ස්ථානවල රජය තම අධිකාරීමය බලය භාවිත කර ඇත. මෙවැනි ක්‍රියා මගින් ජාතික සංහිඳියාව ඇති කල හැක්කේ කෙසේද? උතුරු නැගෙනහිර ප්‍රදේශවල ඉඩම් බලෙන් අත්පත් කරගැනීම, බලෙන් අතුරුදන් කල හා අවතැන්වූ පුද්ගලයින්ගේ ඥාතීන්ට නීතියෙන් සාධාරණයක් ඉටුවිය යුතු බවටත් රජයට බල කරමින් අසරණ ජනතාව අදත් වීදි බැස සිටී. මේ වන විටත් යුද්ධය අවසන්ව දශකයට අධික කාලයක් ගත වී ඇති නමුත්, රජය හා දමිල ජනතාව අතර පවත්නා සහජීවනය පළුදු කරන මෙවැනි ක්‍රියා හේතුවෙන් අවසානය වනතෙක් දමිළ ජනතාව ත්‍රස්තයින් ලෙස සැලකීමක් නිරූපණය වේ. සමාජ, ආර්ථික හා දේශපාලනික අභිවෘර්ධිය ඇති කිරීම මගින් රටේ ජාතික සංවර්ධන ඉලක්කයන් පහසුවෙන් ජයගත හැක. ඒ අනුව සමාජ සහජීවනය ඇති කිරීමේ පළමු පියවර ලෙස මහජනතාවගේ සිත් සතන් අවබෝධ කරගත යුතුය. මහජනයාගේ මෙවැනි සාධාරණ අභිලාෂයන් ඉටු නොකර වැඩිදුරටත් භෞතික සංවර්ධන කටයුතු සිදු කිරීම ඵල රහිතය.

පාර්ශව දෙකක් අතර පවත්නා ප්‍රතිපත්තිමය හිඩැසත් මේ සඳහා හේතුවන මූලික කාරණාවන් බව පෙන්වාදිය හැකිය. අහිමි කරන ලද නීතිමය පසුබිම නැවත තහවුරු කිරීමෙන් හෝ වන්දි මුදල් ලබාදීම මගින් සහජීවන නැවත ගොඩනැංවිය හැක. එහිදී කුමන පාර්ශවය කෙදින, කුමන වැරැද්දක් කෙසේ සිදු කර ඇද්ද යන්න පිළිබඳව විවෘත මනසින් විමර්ශන කර නීතිය සැමට සාධාරණ ලෙස ක්‍රියාත්මක කල යුතුය. එසේ කිරීම මගින් අනාගතයේදී එවැනි අසාධාරණ ක්‍රියා සිදු නොවේ. එමෙන්ම ජාතීන් අතර සාමය හා සහජීවනය පිළිබඳව ගැටලු වර්ධනය නොවීමට මෙවැනි ක්‍රියාවන් විශාල රුකුලක් වනු ඇත. රටක ජාතික හා ආගමික සංහිඳියාව නොමැති නම් එ රටේ ස්ථිරසාර පැවැත්මක් අපේක්ෂා කල නොහැක. ජාතික සාමය, සංහිඳියාව හා සහජීවනය යන වචන තුනම මෙරටට නිදහස ලැබුණු දිනයේ පටන් වසර 70 ක් පුරාවටම දිගටම කතාබහ කරන දෙයකි. නමුත් එම වචනවල අඩංගු අර්ථයන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට නොහැකිව අපි දිගින් දිගටම පරාජය වෙමින් සිටිමු. කිසිදු පාර්ශවයකට මෙය තනිව ජයගත නොහැක. ශ්‍රී ලංකාවේ ජාතික සාමය හා සංහිඳියාව ගොඩනැංවීමට නම් සියලු පාර්ශවයන් එකට එක්ව එකාවන්ව නිවැරැදි දිශානතියකට ගමන් කල යුතුයි. ජාතික සාමය හා සංහිඳියාව ප්‍රායෝගිකව ක්‍රියාත්මක කල හැක්කේ, තනි පුද්ගල අයිතිවාසිකම් උල්ලංඝනය නොවන ලෙසත්, තනි පුද්ගල හැගීම්වලට හානි නොවන ලෙසත් දේශපාලනය ක්‍රියාකාරකම් සිදුවේ නම් පමණි.

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts