සමාජ

තුවාල වූ දකුණේ මනුෂ්‍යත්වයට සුවය පැතූ උතුරේ සොහොයුරියෝ

මෙලනි මානෙල් පෙරේරා

”තුවාල වූ මනුෂ්‍යත්වයට” දැනෙන්නේ එකම වේදනාවක් හා පීඩාවක් පමණකි. ඒ බව මැනවින් දන්නා උතුරේ ද්‍රවිඩ කාන්තාවන් පිරිසක් කටුවාපිටිය දේවස්ථානයට පැමිණ පාස්කු ඉරිදා ඛේදවාචකයේ පීඩිතයන් වෙත සිය ගරුබුහුමන් පුදකළේ තනිවුණු මෙන් ම ඉතිරිවුණු හුස්ම පොද රැකගන්නට වෙර දරන ජීවිත වෙත සෙත, ශාන්තිය, සුවය සහ ජීවිත ජීවත්කර ගන්නට අවැසි ශක්තිය ඉල්ලා සිටිමිනි.  

වසර 30ක් පුරා පැවතී යුද්ධයේ වේදනාව තවමත් දෝතින් දරා සිටින, බිහිසුණු අත්දැකීම්වල තරම දන්නා උතුරේ කතෝලික සහ හින්දු ද්‍රවිඩ පිරිසක් පාස්කු ඉරුදින ඛේදවාචකයේ මතක සටහන් නිරීක්‍ෂණය කරන්නට තෝරා ගත්තේ මීගොමුව, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දෙව්මැඳුරයි.

”අපේ කරිටාස් සෙත්සරණ ආයතනයෙන් ජාතීන් අතර එකමුතුකම සංහිඳියාව ශක්තිමත් කිරීම සඳහා සංවිධානය කරපු අන්තර් ආගමීක වැඩසටහනකට ආව මේ උතුරේ කාන්තාවන් ඉල්ලා සිටියා මීගොමුවට ළඟ ම තියෙන ප‍්‍රහාරයට ලක්වුණු කටුවාපිටිය දේවස්ථානයට ඒගොල්ලන්ව එක්ක යන්න කියලා. පීඩාවට පත්වුණු අය වෙනුවෙන් එයාලට යාඥාකරන්න  ඕනෙ කියලා.” එසේ කිවේ දෙමළ කාන්තාවන් කටුවාපිටිය දෙව්මැඳුරට කැටිව ආ කොළඹ කරිටාස් සෙත්සරණ ආයතනයේ වැඩසටහන් සම්බන්ධීකාරක ලලිත් එස්. කුමාර ය.

ඛේදවාචකය සිදුවී හරියට ම පස් මසක් සපිරෙන ඉසව්වේ, එනම්, සැප්තැම්බර් මස 20 වෙනි දා සවස් යාමයේ ඔවුහු කටුවාපිටිය දෙව්මැඳුරට පැමිණියහ. පළමුව, දේවස්ථානයට ඇතුළු වන ප‍්‍රධාන ගේට්ටුවට වම් පසින් වන්නට, බෝම්බ ප‍්‍රහාරයෙන් ජීවිතක්‍ෂයට පත්වු සියලු බැතිමතුන් වෙනුවෙන් තනා ඇති ස්මාරකය වෙත ගොස් කෙටි වේලාවක් ගත කර,  එහි නම් සඳහන් සියලු ම ආත්ම  වෙත කිතුනු ආගමානුකූලව  ”නිත්‍ය සැතපීම” අයැද නිසි ගරුබුහුමන් දැක්වුහ.

දේවස්ථානයට ඇතුළු වන ප‍්‍රධාන දොරටුව සමීපයේ ම ප‍්‍රදර්ශනය කර ඇත්තේ පාස්කු ඉරිදා ඛේදවාචකයේ සියලූ තොරතුරු සහ පිංතුර ඇතුළත් පුවරුවකි. එකී පිංතුර සීරුවට නරඹමින් සිටී ඔවුන්ගේ මුහුණුවල ඉරියව් ක‍්‍රමයෙන් වෙනස් වන්නට විය. වේදනාවේ හැඟීම් දැඩි ආයාශයකින් යුතුව යටපත් කරගත්තා වැනිය.

දෙව්මැඳුරේ පුදසුන සමීපයේ දෙදණින් වැටුණු ඔවුහු, පුපුරා දැමූණු බෝම්බයෙන් ශේෂ වුණු ජීවිත සිහිපත් කරමින් ඔවුන් වෙත සිත් ශාන්තිය ප‍්‍රාර්ථනා කළහ.

”අනේ හරිම දුකයි, ඒ වගේම අපි හරිම අවාසනාවන්තයි, මේ වගේ මිනිස්සු ගොඩාක් අහිමි වීම ගැන. ඇරත් පල්ලියට ආව මිනිස්සු, විශේෂයෙන් කි‍්‍රස්තියානි අපේ විශ්වාසයේ උතුම් ම දවසක, මේ වගේ අපරාධයක් කරන්න තරම් ඔවුන් සාහසික වුණේ ඇයි කියන එක හරිම වේදනා බරයි.” යැයි ඔවුහු පැවසුහ.

”මේ පිරිස ගැන හරිම කනගාටුයි. ඒ වගේ ම ඔවුන් ගැන විශාල කේන්තියකුත් හිතට දැනෙනවා, ඒත් ඒ කේන්තියෙන් අපි කාටවත් ප‍්‍රයෝජනයක්, වාසියක් , සැනසීමක් ලැබෙන්නෙ නැහැ” යැයි දෙමළ හින්දු බැතිමතියක් වු වී. පුෂ්පා මලර් ප‍්‍රකාශ කළා ය.

එසැණින් ම සිය හඬ අවදි කරමින් සුගන්දි මේරි කියා සිටියේ තමන් අදහන කිතුනු දහමට අනුව තමන් ද ඒ අපරාධකරුවනට සමාව දිය යුතු බවයි.

එවැනි උතුම් වු ධාර්මීක ක‍්‍රියාවක් කරන්නට තරම් පෘතග්ජනයින් ලෙසට සියයට සියයක් ඔවුන් ශක්තිමත් නැති වුව ද, සැබෑ ලෙස ක‍්‍රිස්තුස්වහන්සේට සාක්‍ෂි දරන්නන් ලෙසට එය කෙතරම් අසීරු වුවත් එසේ කරන්නට සිදුවන බව ඇය කීවා ය.

උතුරේ මුලතිව්, කිළිනොච්චි, වන්නි, පූනගරි, මුලන්ගාවෙලි, නාච්චිකුඩා, වව්නියා සහ යාපනය යන ප‍්‍රදේශවල සිට පැමිණි මෙම කාන්තා කණ්ඩායමේ රටේ දකුණු පළාතට ජීවිතයේ ප‍්‍රථම වතාවට පැමිණි කාන්තාවන් කිහිප දෙනෙක් ම සිටියහ.

දෙව්මැඳුරේ පුදසුන සමීපයේ දෙදණින් වැටුණු ඔවුහු, පුපුරා දැමූණු බෝම්බයෙන් ශේෂ වුණු ජීවිත සිහිපත් කරමින් ඔවුන් වෙත සිත් ශාන්තිය ප‍්‍රාර්ථනා කළහ. තුවාල සිදුවී තවමත් සුවයේ සහනය බලාපොරොත්තුවෙන් පීඩා විඳින සියලූ දෙනා වෙත සුවය ඉල්ලා යැද්දේ ය. පවුලේ සාමාජීකයින් ජීවිතක්‍ෂයට පත්වීම නිසා තනිවුණු , අධික මානසික පීඩාවෙන් පසුවන්නන් සිහිපත් කරමින් ඔවුන් වෙත මානසීක හා ශාරීරික සුවය ඉල්ලා යැද්දේය. ඒ තනිවීම නිසා ජීවිත ජීවත්කර ගන්නට නොහැකිව ළතැවෙන සියලූදෙනා සිහිපත් කරමින් ඔවුනට අවැසි රැකවරණයත්, ආර්ථීක ශක්තියත් ඉල්ලා යැද්දේය.

බෝම්බ ප‍්‍රහාරයෙන් ජීවිතක්‍ෂයට පත්වු සියලු බැතිමතුන් වෙනුවෙන් තනා ඇති ස්මාරකය වෙත ගොස්

කුරිරු බෝම්බය සිය ගත බැඳගෙන විත් තමන්ගේ ජීවිතය මෙන් ම තවත් සිය ගණනක් අන් අයගේ ජීවිත ද විනාශ කරමින් දෙව් මැඳුරට ද විශාල අලාභ හානියක් සිදුකරමින් ඒ අපරාධය සිදුකළ ත‍්‍රස්තවාදියා බිහිකළ පිරිසට ද, ඒ කුරිරු විනාශය හේතුවෙන් දෝෂ දර්ශනයට ලක්වී සිටින, සමස්ත මුස්ලිම් ප‍්‍රජාව වෙනුවෙන් ද රටේ ජීවත්වෙන සියලූ ආගම් අදහන, සියලූ ජාතීන් අතර අවබෝධය, එකමුතුකම හා සාමය ඇතිවීම වෙනුවෙන්  ද දෙවිඳුන් යැද්දේ යැයි, වී. වල්ලිඅම්මා, සහ  සුගන්ධි මේරි කීහ.

”දෙමළ අපිට වෙච්ච දේ මුස්ලිම් අයටත් වෙන්න දෙන්න හොද නැහැ. අපි දෙමළ වුණාට, දෙමළ මිනිස්සු ඔක්කොම කොටි නෙවෙයි. ඒ වගේ තමයි ත‍්‍රස්තවාදි කල්ලියක් බෝම්බ තිබ්බට, ඔක්කොම මුස්ලිම් මිනිස්සු මිනීමරුවො විධියට හංවඩුගහන්න හොඳ නැහැ” යි උතුරේ යුද්ධය හේතුවෙන් සිය දියණිය අදටත් අහිමිව – අතුරුදහන්ව සිටින වල්ලි අම්මා කළ ප‍්‍රකාශයට සුගන්ධි මේරි සහ ධර්මනායගී ද එක්ව තවත් අදහස් එක්කරමින් මෙසේ කීහ.

”අපි ඇත්ත කථාකරන්න  ඕනේ. මොන ජාතිකයින් හරි, මොන ආගම අදහන අය හරි,  මොන වැරැද්දක්, විනාශයක් කළත් අපි ප‍්‍රශ්නෙ දිහා හරියට බලන්න  ඕනේ. හැම මිනිහා දිහා ම වෛරයෙන් සැකයෙන් බලන්න හොඳ නැහැ. එතකොට තමයි නැති ප‍්‍රශ්න ඇතිවෙලා, නිකං කටට ආ පලියට කියන වචන රණ්ඩු බවට පත්වෙලා , ඒ රණ්ඩු කෝලහාල බවට පත්වෙලා මහා විනාශයක් ඇතිවෙන්නේ.” යැයි ඔව්හු අවධාරණය කළෝ ය.

මේ ද්‍රවිඩ කාන්තාවන්ගේ මතය වුයේ, සමාජයට වැරදි කරන අය කවුරුන් වුව ද, මිනිස්සුන්ගේ ජීවිත සමඟ සෙල්ලං කරන පිරිස් ගැන සොයා බලා සමාජයට හෙළිදරව් කළ යුතුය යන්නයි.  කෙනෙකු හෝ කණ්ඩායමක් සිදුකරන වැරැද්දකට, විනාශයකට සමස්ත සමාජයට ම දෝෂාරෝපණයේ සහ දඬුවම් පැමිණවීමේ ඇඟිල්ල දිගුකිරීම සාධාරණ නොවන බවයි.

බෝම්බයෙන් රිදුම්ලත් කටුවාපිටියේ දේවස්ථානයේ නව ස්වරූපය සිය දැසින් ම දැකගත් ඔවුහු අවසානයේදි , දේවස්ථානය භාරව කටයුතු කරන වර්තමාන පියතුමන් මුණගැසී, සිදුවු ඛේදවාචකය ගැන තමන්ගේ හෘදයාංගම ශෝකය පළකරමින් උතුරෙන් පැමිණී තමන් විපතට පත්වුවන් සමඟ සිටගන්නා බව ද ප‍්‍රකාශ කළහ. මෙවැනි විපතක් යළිත් අප රට තුළ සිදුනොවේවා යි යන්න තම ප‍්‍රාර්ථනය බව ද ඔවුහු පැවසූහ.

This article was originally published on the catamaran.com

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts