ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත අහෝසි කළ යුත්තේ ඇයි?
අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු
ශ්‍රී ලංකාවට තීරණත්මක ලෙස බලපානා යෝජනාවලියක් යුරොපා පාර්ලිමෙන්තුව විසින් පසුගිය 10 වෙනිදා සම්මත කරගත්තේය . ත්‍රස්තවාදය වැලකීමේ පණත බල රහිත කිරීම, මානව හිමිකම් ප්‍රතිෂ්ඨාපනය කිරීම සහ ජාත්‍යන්තරය සමග අත්සන් තබා ඇති ගිවිසුම් 27 කට අනුව කටයුතු කිරීම යන කරුණු වලට ශ්‍රිලංකාව පෙළඹවීම ඒ යෝජනාවලියේ අරමුණය . එමෙන්ම එකී යෝජනාවලියට ශ්‍රී ලංකා රජය ධනාත්මක ප්‍රතිචාරයක් නොදක්වන්නේනම් දැනට අප හිමිකම් කියනා ජී.එස්.පී ප්ලස් සහනය අහිමි වීමේ අවධානම පවතින බව යුරෝපා සංගමය පවසයි. යුරෝපා සංගමය මේ යෝජනාවලිය ගෙන එන්නේ 2021/3/23 දිනැති ශ්‍රී ලංකාවේ වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය පිළිබඳ එ.ජා. මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා සැලකිල්ලට ගනිමින්ය.
යුරෝපා පාර්ලිමේන්තුව යනු යුරෝපා සංගමයේ සාමාජිකත්වය දරණ රටවල් 27 ක සාමාජිකයන් 705 කින් සැදුම් ලත් සංවිධිත ව්‍යුහයකි. සමාජික රාජ්‍ය 27 මිලියන 447 ක ජනතාවකට යුරෝපා පාර්ලිමේන්තුව සෘජුවම වග කියයි. ලංකාවේ අපට යුරෝපා සංගමය ඉතා වැදගත්ය . ඊට හෙතුව යුරෝපා ප්‍රජාව ශ්‍රී ලංකාවෙ දෙවෙනි හොඳම වෙළඳ සහකරු වීම නිසාය. 2020 වසරේ ශ්‍රී ලංකාවේ සමස්ත අපනයනයන්ගෙන් 22.4% යවන ලද්දේ යුරොපා සංගමයට අයත් රටවලටය . මෙරට ප්‍රධාන අපනයන භාණ්ඩයක් වන ඇඟැළුම් නිෂ්පාදන වලින් 52% ට ආසන්න ප්‍රමාණයක් මිලට ගන්නේ යුරෝපා සංගමයේ සාමාජිකයන්ය. එබැවින් යුරොපා සංගමයෙන් ලබාදී තිබෙනා ජී.එස්.පී ප්ලස් බදු සහනය ශ්‍රී ලංකාවට ඉත වැදගත් වන අතර අප රටට යුරෝපා වෙලඳපොළේ තරග කාරී සැපැයුම් කරුවෙක් වන්නට ඉන් ලැබෙනා පිටුබලය සුළු කොට තැකිය නොහැක .එහෙත් රට තුළ මානව හිමිකම් සුරැකීම අසතුටු දායක අඩියකට පත්වීම නිසා මේ වනවිට ශ්‍රීලංකාව ජී.එස්.පී ප්ලස් සහනය අහිමිවීමේ අවධානාමකට මුහුණ දෙමින් සිටි.
ජී.එස්.පී ප්ලස් සහනය මීට පෙරද වරක් ( 2012 දී ) අහිමිවූ අතර එවරද ඊට මුල් වූයේ මෙවර කරළියට පැමිණ සිටිනා ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත සහ මානව හිමිකම් පිළිබඳ චෝදනාවන්මය . අනතුරුව බලයට පත් යහපාලන රජය 2016 දී ජී.එස්.පී.ප්ලස් සහනය නැවත ඉල්ලාසිටි අතර මානව හිමිකම් සුරක්ෂිත කිරීම, ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත සංශෝදනය කිරීම ඇතුළු යෝජනාවන් ඉටුකිරීමේ පොරොන්දුවට යටත්ව 2017 දී ශ්‍රී ලංකාවට නැවතත් එම සහනය හිමිවිය . (එහිදී යහපාලන රජය 2015 – 2017 කාලයේ සංහිඳියාව වෙනුවෙන් කළ මැදිහත්වීමද ඇගයීමට ලක්කරනා ලදි.) ඒ ආකාරයෙන් අසීරුවෙන් දිනාගත් ජී.එස්.පී.ප්ලස් සහනය ආරක්ෂා කර ගැනීමට අප ප්‍රමාණවත් මැදිහත්වීමක් නොකළ බැවින් යළිත් එය අහිමි වීමේ අවදානමක් මතුව ඇත. 2017 වසරේ ඉදිරිපත්කළ කොන්දේසිම වසර හතරකට පසු යළිත් ඉදිරිපත්වීමෙන් පෙනෙනුයේ ශ්‍රීලංකාවේ ආණ්ඩු දෙකම ජාත්‍යන්තරයද රවටා ඇතිබව නොවේද.
දශක ගනනාවක් තිස්සේ ලෝකය හමුවේ ශ්‍රී ලංකාව හෑල්ලුවට පත්කළ මෙකී ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත යනු 1979 දී ජේ.ආර්.ජයවර්ධන රජය විසින් තාවකාලික පදනමින් හඳුන්වදුන් එකකි.1979/ අංක 48 දරණ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ලෙසින් ගෙනා එකී පණත 1982/ අංක 10 දරණ සංශෝදිත පනත ලෙසින් පසුව ස්ථිර පනතක් ලෙස සම්මත කරගන්නා ලදි.අනතුරුව 1988/අංක 22 දරණ සංශෝදිත පනත ලෙස බලාත්මක වූ මෙකී පනත මගින් පොලීසියට පුද්ගලයෙක් අත් අඩංගුවට ගැනීමට, විමර්ශණය කිරීමට, රඳවා තබා ගැනීමට අසීමිත බලයක් ලැබෙනා අතර එකී බලය නිසා අදටත් විශාල පිරිසක් චෝදනා ගොනුකිරීමකින් තොරව රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටිති . එමෙන්ම යම් සැකක්කරුවෙක් ඉහළ පොලිස් නිළධාරියෙක් ඉදිරිපිට කරනා පාපොච්චාරණය අධිකරණයේදී ඔහුට එරෙහි සාක්ෂියක් ලෙස පිළිගන්නට ඇවැසි ප්‍රතිපාදන මෙම පණතේ අඩංගුය. සැක කරුවනට උග්‍ර වදහිංසා පමුනවා පොලීසිය ප්‍රකාශ ලබාගෙන ඒවා සාක්ෂිලෙස ඉදිරිපත්කරනා බව මේ පණතට එරෙහිවන්නෝ පවසති.
මෙම කරුන සම්බන්ධව වැඩබලන පොලිස්පති සී. ඩී වික්‍රමරත්න වෙත ලිපියක් යොමුකරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ විමර්ෂණ භාර කොමසාරිස් රමණී මුත්තෙට්ටුවේගම ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත යටතේ අත් අඩංගුවට ගත් සැකකරුවනට තම වරද පිළිගන්නා බවට ප්‍රකාශ කරනා මෙන් පොලිස් නිළධාරීන් බල කරනා බවත්, සැක කරුවන් පොලිස් මූලස්ථානයට ගෙන ගොස් කලින් ලියා තිබෙනා ප්‍රකාශ වලට අත්සන් කිරීමට බලකරනා බවට තම ආයතනයට තොරතුරු ලැබී ඇතිබව කියා සිටී .
මෙකී පණතට ජාත්‍යන්තරයේන් චෝදනා එල්ල වන්නේ අද ඊයේ සිට නොවේ . ජේ.ආර් ජයවර්ධන, ආර්.ප්‍රේමදාස ඩී.බී.විජේතුංග, චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන,සහ ඝෝඨාභය රාජපක්ෂ යන ජනාධිපතිවරුන් හත් දෙනෙකු පාලන කාලයන් තුළ මෙකී පනත දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් බරපතල සේ විවේචනයට ලක්විය. දේශීය වශයෙන්ද ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත ඉතා දැඩි සේ ව්වේචන එල්ල වුවද උතුරු නැගෙනහිරදී එකී විරෝධතාවයන් වඩාත් දැඩි සේ දැකගත හැකි විය. ඊට ප්‍රධාන හේතුව යුධ සමයේ මෙකී පනතින් වඩාත් බැට කෑවෝ උතුරු නැගෙනහිර වැසියෝ වීමය. විශේෂයෙන්ම සැක කරුවන් ලෙස අත් අඩංගුවට පත් දෙමළ තරුණයන් විශාල පිරිසක් රැඳවුම් නියෝග මත ඉතා දිගුකලක් රඳවාගැනීම නිසා උතුරු නැගෙනහිර දෙපළාතේ සාමාජීය ගැටළු රැසක් උද්ගතව තිබීම නිසා ඕවුහු මෙම පණතට දැඩි විරෝධයක් දැක්වීම සාධාරණය.
ත්‍රස්තවදය වැලැක්වීමේ පණත ත්‍රස්තවාදීනට වඩා දේශපාලන වශයෙන් විරුද්ධ මත ධාරීන් මර්ධනය කිරීමට යොදාගත් අවස්තා පිළිබඳ උදාහරණද ඕනෑතරම්ය. මාධ්‍යවේදීන් සිවිල් සමාජ ක්‍රියා කාරීන් සහ දේශපාලන වශයෙන් පවතින ආණ්ඩු සමග මතවාදී ගැටුම් නිර්මාණය කරගත් සුළු ජනකොටස් නියෝජනය කරන පුද්ගලයන් ත්‍රස්තවදය වැලක්වීමේ පනතින් මර්ධනය කරන්නට උත්සහ ගත් අවස්තා ඕනෑතරම් ය . වරක් විශේෂාංග ලිපියක් ලිවීම සඳහා දෙණියාය ප්‍රදේශයට ගිය ලංකා පුවත්පතේ පුවත්පතේ රවීන්ද්‍ර පුෂ්පකුමාර, ශාලික විමලසේන සහ දයා නෙත්තසිංහ යන පුවත්පත් කලාවේදීන් තිදෙනා දෙනියාය පොලීසිය විසින් අත් අඩංගුවට ගත්තේද ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත යටතේය. අනතුරුව ඔවුනට රාජ්‍ය නායක මහින්ද රාජපක්ෂ ඝාතනය කිරීමට කුමණ්ත්‍රණය කළ බවට චෝදනා එල්ල කරන ලදි. එහෙත් තමුන් අගිය තැන් සියල්ලේම තොරතුරු මෙම මාධ්‍යවේදීන් සතුවූ නිසාත් පොලීසිය මදක් පසුබා සිටියේය . දිනකිහිපයකට පසු ත්‍රස්තවාදය් වැලක්වීමේ පණත යටතේ රඳවාගත් පිරිසට පැනවූ නඩුව අයුතු ඇතුල්වීම යන චෝදනාව යටතේ පමණක් ඉදිරියට ගෙන යාමට පොලීසිය කැමැත්ත පලකළ අතර, ඉන්ද නොනැවතී සිද්ධිය සමථ මණ්ඩලයේදී විසඳා ගැනීමටද පොලීසිය එකග විය. රාජ්‍ය නායක ඝාතන චෝදනාව සමථ මණ්ඩලය දක්වා පසු බැස්සවීමට පොලීසිය සූදානම් වුවද විත්තිකරුවෝ ඊට එකඟ නොවීය . අනතුරුව වසර හතකට අසන්න නඩු විභාගයකින් පසු ඔවුන් නිදහස් විය. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අවභාවිත කළ මෙවැනි අවස්තා ඕනෑතරම් ය.
කෙසේ වෙතත් මෙරට සාමාන්‍ය ජනතාවගෙන් සැළකිවයුතු පිරිසක් මෙකී පීඩාකාරී පනත පිළිබඳ එතරම් අවබෝධයකින් කටයුතු කරන්නේ නැත. ඔවුනගේ දැකමට අනුව ත්‍රස්තවදීන් සිටිනුයේ සුළුතර ප්‍රජාවන් තුළ පමණි. එහෙත් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත මෙරට සියළු ජනකොටස් පීඩාවට පත් කිරීමට යොදාගත් අවස්තා ඕනැතරම්ය. කෙසේවෙතත් ශ්‍රි ලංකාවේ බොහෝ ආණ්ඩු කළාක්මෙන් මේ ආණ්ඩුවද රටේ මානව හිමිකම් වෙනත් රටක් හෝ සංවිධානයක් විසින් ප්‍රශ්ණ කිරීම අර්ථ දක්වනුයේ රටේ ස්වේරි භාවයට ඇඟිලි ගැසිමක් ලෙසිනි. ස්වාභාවික යුක්ති ධර්මයට සහ ශීලාචාර සමාජයකට නොගැලපෙන පණතක් අහෝසි කිරීමට යෝජනා කිරීම පවා ලංකාවේ ආණ්ඩු අර්ථ නිරූපණාය කරණුයේ රටේ අභ්හ්‍යන්තර ප්‍රශ්ණවලට ඇඟිලි ගැසීමක් ලෙසය . ආණ්ඩු පමණක් නොව ජනතාවගෙන් සැලකිවයුතු කොටසක් සිතන්නේද ඒ ආකාරයෙනි. ඊට හේතුව පුරවැසි අයිතීන් පිළිබඳ ඔවුන් තුළ ඇති පරාදීන ආකල්පයන් මිස අනෙකක් නොවේ. නමුත් සිදුවිය යුත්තේ අන් පාර්ශවයක් පෙන්වාදීමට පෙර ආණ්ඩුව තම රටේ පුරවැසි අයිතීන් රැකීමට මැදිහත් වීම නොවේද. පුරවැසියන්ගේ කාර්ය භාරය වියයුත්තේ ජාත්‍යන්තරය මතුකර පෙන්වන්නට පෙර ශිෂ්ඨ සමාජයක වරප්‍රසාදයන් ලෙස තමුන්ටද හිමි විය යුතු අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැගීම නොවේද.
Why Should The Prevention Of Terrorism Act Be Repealed