සාමය

ජාමියා, සීතා, අම්මා, ෆස්ලිනා, විකී මොවුන් අතර ජාති ආගම් භේද නැත !

අහ්සන් අෆ්තාර්

පිටි හා ගාන ලද පොල් විකුණන ජාමියා, අවන්හලක් පවත්වාගෙන යන සීතා, කොණ්ඩා මෝස්තර දමන ෆස්ලිනා, මරතොන්ඩි  රටා අඳින විකී සාජහාන්. මේ සතර දෙනා කාන්තා දිනයේදී අත් දෙකෙහිම රතුම රතු පාටට මරතොන්ඩි ඇඳ සතුටු වූ හැටි අපි කැමරාවට හසු කර ගත්තෙමු. අරමුණක් සහිතව ජිවත් වන මෙම කාන්තාවන් විවිධ ආගම්වලට ජාතීන්වලට අයත් වෙති. නමුත් කාන්තාවන් ලෙස එකට එක් වී වැඩ කරති.

ජාමියා නිවසේ සිටම ව්‍යාපාරයේ නිරත වන්නීය. තමාගේම නිවසක් තනා ගැනීම බොහෝ කලක සිට ඇයට ඇති සිහිනයකි. ඒ වෙනුවෙන් ජාමියාගේ ස්වාමිපුරුෂයා විදේශ රැකියාවක නියුතු වුවද, නිවසේ නිකරුණේ කාලය ගත නොකර ජාමියා ද ඇයට හැකි පමණින් කුඩා ව්‍යාපාරයක් කරන්නීය. සමහර දිනවලදී  පිටත සිට ඇණවුම් විශාල සංඛ්‍යාවක් ලැබුණු විට එක දිනකට කිලෝ 30 සිට 40 දක්වා පිටි ඇය අඹරා දෙන්නීය. ඇය මවක් ලෙස තම දරුවන් රැකබලාගනිමින්, ගෙදරදොරේ වැඩ කරන අතරම ව්‍යාපාරයද කරගෙන යන්නීය.

ජාමියාගේ මෙම ව්‍යාපාරික ස්ථානයට ඉතා ආසන්නයෙaම අවන්හලක්  පවත්වාගෙන යන්නේ සීතාය. ඇය සමඟ ඇය අම්මා නමින් හඳුන්වන කාන්තාවද එක් වී අවන්හල පවත්වාගෙන යයි. ඔවුන් දෙදෙනාගේම ස්වාමිපුරුෂයන් මිය ගොසිනි. කිසිවෙකුගේ සරණක් ලබමින් ජීවත් වීමට අකමැති ඔවුන් තම දෙපයින් සිටගෙන අවුරුදු හතක් තිස්සේ මෙම ව්‍යාපාරය කරගෙන එති. සියලු සංස්කෘතීන් වලට අයත් කෑම ඔවුන්ගේ අවන්හලේ තිබේ. එහි විශේෂත්වය එයයි. කුමන ජාතියකට හෝ ආගමකට අයත් වුවද  ඕනෑම කෙනෙකුට ඔවුන්ගේ ප‍්‍රියතම ආහාර මෙහි භුක්ති විඳිය හැකිය.

මොවුන්ගේ මිතුරිය ෆස්ලිනාය. ඇගේ කොණ්ඩා මෝස්තර දැමීමේ කුසලතාව නිසා ඇය ප්‍රදේශයේ ජනප්‍රියය. ජාතිය ආගම කුමක් වුවත් සෑම කෙනෙකුටම ගැලපෙන කොණ්ඩා මෝස්තර හා අනෙකුත් රුපලාවන්‍ය කටයුතු කිරීමට ඇයට හැකියාව තිබේ. කොළඹට පැමිණෙන සමහර සංචාරකයින්ද ඇයගෙන් කොණ්ඩා මෝස්තර දමා ගනිති. ඇය නෙදර්ලන්තයේ කොණ්ඩා මෝස්තර පිලිබඳ උපාධියක් සම්පූර්ණ කර පැමිණ සිටී.

මේ සියල්ලෝම කොළඹ කොම්පඤ්ඤ වීදියේ එකට වැඩ කරති. කොම්පඤ්ඤ වීදිය ඉංග‍්‍රීසියෙන් ස්ලේව් අයිලන්ඩ් ලෙස හැඳින්වෙන්නේ යටත් විජිත සමයේ අප‍්‍රිකානු වහලූන් එහි රඳවා සිටි බැවිනි. පසුකාලීනව මැලේ ජනයාගේ පැමිණීමත් සමඟ එය විනෝදාස්වාදය සහ රසවත් ආහාර සඳහා ප‍්‍රසිද්ධ ස්ථානයක් බවට පත්විය. අද වන විට එය විශාල තරු පහේ හෝටල් ඇති  ජනාකීර්ණ ප‍්‍රදේශයක් බවට පත් වී ඇත. එය එදිනෙදා හම්බ කරමින් එදා වේල සොයාගන්නා විශාල පිරිසක් සිටින ස්ථානයකි. ජාමියා, සීතා, ෆස්ලිනා සහ විකී ජීවත් වන්නේ මෙහිය.

කාන්තාවන් ලෙස ඔවුන්ගේ ජීවනෝපාය සඳහා ආහාර සැකසීම සහ රුපලාවන්‍යය වැනි ශිල්ප උපකාර වේ. 

ඔවුන් ලෝක කාන්තා දිනය එකට එක්වී සතුටින් සැමරුවෝය. සැමරුම කුමක් වුවද ඔවුන් එකතු වී අනෙක් අයවද එකතු කරගනිමින් ඉතා සතුටින් සමරති.

සීතාගේ අවන්හලේ සියලූම සංස්කෘතීන් වල ආහාර තිබීමට හේතුව ඇය එම ප‍්‍රදේශයේ සිටින විවිධ කාන්තාවන්ගෙන් විශේෂ කෑම වර්ග මිලදී ගැනීමයි. ඔවුහු මුස්ලිම් කාන්තාවකගෙන් ඩෝනට් ද, දෙමළ කාන්තාවකගෙන් ලඩ්ඩු ද, බෞද්ධ කාන්තාවකගෙන් මනි පිට්ටු ද ආදී ලෙස විවිධ සංස්කෘතීන්ට අයත් කෑම වර්ග මිලදී ගෙන විකුණති. මේ හැරුණු විට තෝසේ හා රොටී ද ඔවුන් විසින්ම සාදා විකුණනු ලැබේ. සීතා හා අම්මා නමැති කාන්තාව එකමුතුව තම ව්‍යාපාරය කරගෙන යති. සැලසුම් කිරීම හා කළමනාකරණය යනු තිදෙනාගේම වෙළඳ රහස්ය.

මොවුන්ගේ මිතුරිය ෆස්ලිනා නෙදර්ලන්තයට යාමට පෙර රූපලාවන්‍යාගාර දෙකක් පවත්වාගෙන ගියාය. එහි නම නජ්වා සැලෝන් ය. එය දෙමටගොඩ ප‍්‍රදේශයේ ඉතා ජනප‍්‍රිය වී තිබිණි. දැන් බොහෝ දෙනෙකුට එය අමතක වී ඇත.

“නෙදර්ලන්තයට ගොස් ආවාට පස්සෙ මට සාප්පුවක් ආරම්භ කිරීමට තරම් ආදායමක් තිබුනේ නැහැ. දැන් මගේ රූපලාවණ්‍යාගාරය තිබෙන්නේ මාගේ නිවසේමයි. බොහෝ සිංහල කාන්තාවන් මට සහයෝගය දක්වනවා,“ යැයි ෆස්ලිනා කීවාය. ඇගේ හොඳම මිතුරිය විකීය.  

විකී යනු මරතෝන්ඩි මෝස්තර ශිල්පී සංක‍්‍රාන්ති ලිංගික පුද්ගලයෙකි. මේ වන විට තාප්පවල චිත‍්‍ර ඇඳීමේ ව්‍යාපෘති කෙරෙහි ඔහු අවධානය යොමු කර ඇත. කාන්තා දිනයේදී ඔහු මේ සිව්දෙනාගේම අත්වල මරතෝන්ඩි ඇඳ ඔවුන් බලවත් කාන්තාවන් ලෙස නිරූපණය කරමින් කාන්තා දිනය සමරන ලදී.

“කාන්තාවන් කිසිම ආකාරයකින් දුර්වල නැහැ. ඔවුන් ව්‍යාපාරයක් කරන්නේ මුදල් සඳහා පමණක් නොවෙයි, තමන් වෙනුවෙන් අනන්‍යතාවයක් ද  ඇති කර ගැනීම සඳහායි. එයට ජාති භේද ආගම් භේද වෙනසක් නැහැ. සෑම ජාතියකම කාන්තාවන් හට අභිලාෂයන්  තිබෙනවා. ඔවුන් එක්සත් වුවහොත් ඔවුන්ට රටම එක්සත් කරන්නට පුළුවන්,“ යි විකී විශ්වාසයෙන් පවසයි.

සියලූ ජාතීන් හා ආගම් වලට අයත් ජනතාව එක්ව වාසය කරන කොම්පඤ්ඤ වීදියේ මෙම  විශ්වාසය සහිත තවත් කාන්තාවෝ බොහෝ සිටිති. ඔවුන් එකමුතුවෙන් හා සමගියෙන් ජීවත් වන්නේ කිසිවකු ඉන්නැයි ඔවුන්ට ඉගැන්වූ නිසා නොවේ. කොරෝනා  වසංගතය ඔවුන් ද අතහැරියේ නැත.  අද ඔවුන්ගේ ව්‍යාපාරික කටයුතු අඩපණ වී ඇත. නිවසට වී සිටීම හා හුදකලා කිරීමේ නීති සියල්ලන්ටම පොදු ය. කෙසේ හෝ තම ආර්ථිකය ගොඩනගාගැනීමට ඔවුහු නව දිශාවන් සොයමින් සිටිති.

Jamia, Seetha, Amma, Fazlina, Wicky: Living Without Racial & Religious Differences

ஜாமியா – சீதா – அம்மா – பஸ்ஸீனா – விக்கி இன மத பேதம் இவர்களிடம் இல்லை!

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts