ජාති, ආගම්, කුල දේශ සීමා නොතකන සුන්දර සිත්තර සිත්
ගයාන් යද්දෙහිගේ
චිත්‍රවලින් හිස් තාප්ප හැඩ කරන්නට එක්ව සිටින කණ්ඩායමේ සිත් බිත්තිවලින් මතුවන චිත්‍රවලටත් වඩා සුන්දර ය. ඒ සිත්වල ජාති, ආගම්, කුල බේද කිසිවක් නැත්තේ ය. මහ සංඝරත්නය සමඟ එක්ව චිත්‍ර අඳින්නට මුස්ලිම් කාන්තාවක ද එක්ව සිටින්නී ය.
අතොරක් නොමැතිව ඇද වැටෙන වැසි බොහෝ දෙනෙකුගේ දෙඅත් ගුලිකර ගන්නට තරම් සීතක් උපද්දවමින් තිබේ. ගස් අඹරවිමින් වේගයෙන් හමා එන සුළඟ එම සීත දෙගුණ තෙගුණ කරයි.අඳුරින් පිරී නුවර අහසට එළියක් එක් කරමින් හෙණ හඬ පැතිර ගියේ හිස් අහසේ නෙක රූ රටා මවමිනි. වැස්ස,අඳුර හා ශිත විසින් නිර්මාණය කරමින් පැවැති උදාසීනත්වය බොහෝ දෙනෙකු හදවත් තුළට රිංගන්නට උත්සහ කරමින් සිටියේය. උඩවත්ත කැලයත් හන්තාන කඳු පියසත් සිඹ ගනිමින් හමා එන සුළඟේ කාවැදී ඇති ශිත නොදැණුනු පිරිසක්ද මේ අතර වූහ.නොකඩවා වේගයෙන් ඇද වැටෙන වැහි ගෙඩි වලට ඔවුන්ගේ හිතේ හයිය උදුර ගැනීම නම් සිහිනයක් පමණක් විය.ජාති,ආගම් බේදයෙන් තොරව ඔවුන් මෙලෙස පෙළ ගැසී සිටියේ නුවර හැඩ කරන්නටය.මුහුණු පොතේ මිතුරන් අතර සංසරණයවූ කෙටි වැකියකින් මෙම පිරිසගේ හමුව සිදුව තිබිණි.මොවුන්ගේ අරමුණ වී තිබුණේ කළකට පෙර දේශපාලනඥයින්ගේත් පෞද්ගලික ගුරුවරුන්ගේත් ව්‍යාපාරික ආයතන වලත් පෝස්ටර් වලින් වැසී ගත් නුවර තාප්ප නෙක නෙක වර්ණයන් ගෙන් චිත්‍රණය කිරීමය.
ඊට නුවර තරුණ තරුණියන් ගෙන්ද ලැබී තිබුණේ නොමද සහයෝගයකි.චිත්‍ර ඇඳීම පමණක් සිතන්නට ඔවුනට නිදහස ලබා දෙමින් තීන්ත ඇතුළු අමුද්‍රව්‍යද” ආහාරපානද සපයන්නට ඔවුන් කටයුතු කර තිබිණි. ඉන් නොනැවතුණ ඔවුන් වැස්සෙන් මෙම පිරිසගේ කාර්යයට සිදුවන බාධාව වැලැක්වීමට කටයුතු කර තිබුණු අන්දමද අපූරු ය. වැස්ස නිසා මතුවන පීඩාවෙන් ඔවුන් මුදාලන්නට මහනුවර තරුණ පිරිස ටෙන්ට් රෙදි ගෙන පැමිණ සිටියේ මේ තරුණ තරුණියන්ට ශක්තියක් වන්නට ය. කිසිදු දිනක දැක නොමැති ඔවුන් අතරින් බොහෝ දෙනෙකු මින් පෙර මුණ ගැසී තිබුණේ මුහුණු පොත ඔස්සේ පමණි. ඔවුන් එක්ව මහනුවර තාප්ප සිතුවමින් හැඩ කරද් දී ඔවුන් සැබෑම සහෘදයින් බව නොහැඟෙන අයෙකු නොමැති ය.
‘නුවර චිත්‍ර අඳිමුද…‘මේ මුහුණු පොතේ මුලින්ම සංසරණයවූ වැකියයි.ඊට ඉහළින්ම ප්‍රතිචාර ලැබෙත්දී ඊළඟට මුහුණු පොතට එක් වුණේ විද්‍යාර්ථ ප්‍රාථමිකය ළඟදී හමුවෙමුද යන යෝජනාවයි. මේ කාර්යය සඳහා පෙරමුණ ගත්තේ මහනුවර ඩි.එස් සේනානයක විදුහලේ ආදි සිසුවෙකු වන උදාර චතුරකයි.
‘ලංකාවේ විවිධ ප්‍රදේශවල තරුණ කණ්ඩායම් මුහුණු පොත ඔස්සේ සංවිධානය වෙලා පොදු ස්ථානවල චිත්‍ර ඇන්දා. මට හිතුණා සුන්දර මහනුවරත් මේක ක්‍රියාත්මක කළොත් නුවර තවත් ලස්සන වෙයි කියලා. නුවර චිත්‍ර අඳිමුද කියලා ෆේස් බුක් එකේ දැම්මට පස්සේ ගොඩක් අය කමෙන්ට් කළා. දැන් මේ වැඩේට හත්සීයකට වඩා වැඩි පිරිසක් එකතු වෙලා ඉන්නවා. විද්‍යාර්ථ, ධර්මරාජ, ශාන්ත අන්තෝනි බාලිකා විදුහල් පරිශ්‍රවල මෙන්ම නිත්තවෙල බිම්ගෙය, මහනුවර ඔරලෝසු කණුව අබියස උමං මාර්ගය මේ වන විට චිත්‍ර අඳින්න තෝරා ගෙන තිබෙනවා. මහනුවර යුගයේ චිත්‍ර සම්ප්‍රදාය ගරු කරමින් තමයි මේ සිතුවම් නිර්මාණය කරන්නේ‘ යි ඔහු කියයි.
‘අද මුහුණු පොත භාවිත වෙන්නේ ගොඩක් වෙලාවට සමාජ විරෝධී දේවල්වලට කියන මතය තමයි සමාජයේ තිබෙන්නේ. ඒක සත්‍යයක් බව තහවුරු කරන්න ඕන තරම් සිදුවීම් පසුගිය කාලයේ දක්නට ලැබුණා.අපි මේ වැඩපිළිවෙළත් එක්ක ඒ මතය වෙනස් කළා. අපිට මේ වගේ හොඳ දේකට මුහුණු පොත ඔස්සේ එකතු වීමට පුළුවන්. මේ වැඩේට තරුණ පිරිස ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා ඉන්නේ. ඔවුන් තමන්ගේ ශ්‍රමය හා කුසලතාව රට වෙනුවෙන් ලබා දෙන්නේ මුදල් හෝ වෙනත් වරප්‍රසාද අපේක්ෂාවන් නොවෙයි. රට ලස්සන වෙනකොට ලස්සන මහනුවර තවත් ලස්සන කරන්න විතරයි අපිට ඕන. මහනුවර සුධර්මාරාමය,ගලේවෙල හා මැණික්හින්න පුරාණ විහාරස්ථානවල ස්වාමින්වහන්සේලාගේ උපදේශකත්වය වගේම මහනුවර උඩවෙල විද්‍යාලයේ චිත්‍රකර්ම උපදේශක මලලසේකර මහතාගේ දායකත්වයත් මෙයට ලැබී තිබෙනවා.
චිත්‍රවලින් හිස් තාප්ප හැඩ කරන්නට එක්ව සිටින කණ්ඩායමේ සිත් බිත්තිවලින් මතුවන චිත්‍රවලටත් වඩා සුන්දර ය. ඒ සිත්වල ජාති, ආගම්, කුල බේද කිසිවක් නැත්තේ ය.මහ සංඝරත්නය සමඟ එක්ව චිත්‍ර අඳින්නට මුස්ලිම් කාන්තාවක ද එක්ව සිටින්නී ය.
‘අපි හැමෝම ලාංකිකයෝ.මේ අපි හැමෝගෙම රට. ඒක ලස්සන කරන්න සිංහල,දෙමළ,මුස්ලිම් අපි හැමෝම එකතු වෙන්න ඕන.පාරවල් වල බිත්ති විතරක් ලස්සන වෙලා රටක් ගොඩ නගන්න බැහැ.ඒකට අපේ හිත් ලස්සන වෙන්න ඕන.හිත් ලස්සන මිනිස්සු ටිකක් මෙතන්ට එකතු වෙලා ඉන්නවා. මේ හිත්වල උපදින ආදරය, කරුණාව, දයාව කියන දේවල්වලින් තමයි අපි අපේ රට පාට කරන්න ඕනෑ‘යි ගලේවෙල ධර්මදූත මධ්‍යස්ථානයේ පත්කොළගොල්ලේ පේමානන්ද හිමියෝ පවසති.
‘මේ වැඩේ පටන් ගත්තේ පසුගිය ඉරිදා. එදා තමයි මේ කණ්ඩායමට ඇවිත් එකතු වුණේ. ජාති, ආගම් හෝ දේශපාලන භේදයෙන් තොරව අපිට එකතු වෙලා වැඩක් කරන්න පුළුවන් වෙන්න ඕන. අපේ සිතුවිලි හා ආකල්ප වෙනස් වෙන්න ඕන. මං වෘත්තියෙන් විහාර කර්මාන්තය හා චිත්‍ර තමයි කරන්නේ. අපි පරිත්‍යාගශීලින් විදියට සතුටින් තමයි මේ දේ සමාජයට දෙන්නෙ. මේකට මූලික අඩිතාලම දැම්මේ උදාර. උදාර කිව්වා එන්න අපි වැඩේ කරමු. අපි අවශ්‍ය උපකරණ සපයා ගනිමු කිව්වා. මේක ලංකාව පුරා නගරවල ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. මෙතන ඉන්නේ මේ රටේ අනාගතය බාර ගන්න ඉන්න තරුණ පිරිස. මේ අය ජාති,ආගම් බේද නැතුව එකට එකතු වෙලා රට වෙනුවෙන් වැඩ කරන්න පෙළඹීම ගැන මට හරි සතුටක් දැනෙනවා. දැන් අපේ පාරම්පරික ජාති, ආගම් හා කුල භේද විසිරිලා ගිහිල්ලා. අපි ලාංකිකයෝ කියන තැනට මිනිස්සු ඇවිල්ලා ඉන්නවා. අද අපිට කතෝලික පල්ලියේ සිස්ටර් කෙනෙක් තේ ගෙනල්ලා දුන්නා. ද්‍රවිඩ ළමයි විශාල වශයෙන් ඉන්නවා මෙතන. මුස්ලිම් සහෝදරියක් සිතුවම් අඳිනවා. හැම කෙනෙකුගේ සිත්වල තිබුණු වෙන්වීම් එක තැනට ඇවිත් තිබෙනවා.ඒ ගැන මට හරිම සතුටුයි.‘
නොයෙක් පාට එක්වී සුන්දර දේදුන්නක් නිර්මණය වන්නා සේ ජාති හා ආගම් බේද සියල්ල පසෙක තබා එකට එක්ව සිටි මෙම පිරිස අතරෙහි වූ අස්මා මරියම් මහත්මිය මහනුවර හීරැස්සගල ජීවත්වන සිවු දරු මවකි.
‘මගේ ගේ, මගේ ගෙවත්ත විතරක් නෙවෙයි මේ රටම ලස්සනට තියෙන්න ඕන කියලා අපි හිතන්න ඕන.එතකොට තමයි අපිට පුළුවන් වෙන්නේ අපේ ළමයින්ට ලස්සන ශ්‍රී ලංකාවක් දායාද කරලා දෙන්න. ගඳ ගහන අපිරිසිදු රටක් වෙනුවට පිරිසිදු ලස්සන රටක් අපිට ඕන. ඒක අපිට ආඩම්බරයක්. මේ දායකත්වය ලබාදෙන කටයුත්ත නිසා රටට විශාල පණිවිඩයක් යනවා.තාප්ප ලස්සන වෙනවා වගේම රටත් පිරිසිදු වෙනවා.රට පිරිසිදු වුණොත් බෝවන රෝග අඩු වෙනවා.ළමා මනස සුවපත් වෙනවා.‘යිඇය පවසයි.
තාප්ප පුරා ඇඳෙන චිත්‍ර බොහොමයක දක්නට ලැබෙන්නේ බෞද්ධ ආරකි.ඉස්ලාම් ආගමිකයෙකු වන අස්මා මරියම් මහත්මිය ඒ ගැන පැවසුවේ මෙවන් අදහසකි.
‘මං ඉපදුණේ බෞද්ධ රටක. හැදුණේ වැඩුණේ බෞද්ධ සමාජයක.මං ජීවත් වෙන්නේ ඒ අය එක්කයි. අනිවාර්යෙන්ම මගේ ගමන යන්න ඕන මේ අය එක්කමයි. මට ළමයි හතර දෙනෙක් ඉන්නවා.ඒ අයවත් ගෙදර තියල තමයි ම‘ මේ ගමන ආවේ.මහත්තයා රට. එයාට මේවා ගැන ප්‍රශ්නයක් නැහැ. මං හැදුණෙම බෞද්ධ සමාජයත් එක්ක. බෞද්ධ පාසලක අධ්‍යාපනය ලැබුවේ. මං ඉගෙන ගත්තේ ඉස්ලාම් නෙවෙයි බුද්ධාගමයි. ආගම කියන්නේ පෞද්ගලික දෙයක්. ඒකට මේවා සම්බන්ධයක් නැහැ. සමාජ සේවයට ආගම අවශ්‍ය නැහැ.මේක අපි හැමෝම ජීවත් වෙන රට. මං කියන ප්‍රතිපත්තිය අපේ හදවත්වලට ආවොත් කවදාවත් මෙවැනි දෙයක් කරන්න බැහැ.‘
ප්‍රවීණ චිත්‍ර ශිල්පී චාල්ස් දයානන්ද මහතා පවසන්නේ මේ ආකාරයෙන් චිත්‍ර කලාව සම්බන්ධව මුහුණු පොත මගින් හරි පිබිඳීමක් ඇති වීම යහපත් ප්‍රවණතාවක් බව ය.
‘දක්ෂ,නිර්මාණශීලි තාරුණ්‍යයක් අප සතු බව පේන්න තිබෙනවා. මේ අයගේ නිර්මාණ කුසලතාව මෙන්ම වර්ණ සංයෝජනය ඉතා ඉහළ මට්ටමක තිබෙනවා. අඩුපාඩුවක් ලෙස මා දකින්නේ සමහර තැන්වල ඇඳලා තිබෙන චිත්‍රවල ජාති හා ආගම් නැඹුරුව ඉස්මතුව තිබීමයි. යුදවාදී හැඟුම් ඉස්මතු කිරීම ඇතැහ් නිර්මාණවල දකින්නට ලැබෙනවා. දුටු ගැමුණු එළාර යුද්ධය මහනුවරට මොකටද? ඒ වෙනුවට අවශ්‍යනම් අපිට ගන්නෝරුව සටන චිත්‍රණය කරන්න තිබුණා. දුටු ගැමුණු එළාර යුද්ධය මඟින් පෙන්වන්න උත්සහ කරන්නේ දෙමළ විරෝධයක් නම් ඒක අනුමත කරන්න බැහැ. ජාති,ආගම් බේදයෙන් තොරව සියලු ජනතාවට එකඟ විය හැකි, සියලු ආගමිකයින්ට රස විඳිය හැකි නිර්මාණ මේ පොදු ස්ථානවල සිතුවම් වෙනවා නම් හොඳයි.ඒ තැනට අපි මේ දක්ෂ ජවසම්පන්න තාරුණ්‍යයට මඟ පෙන්වන්න ඕන.මේක විශ්ව භාෂාවක්. සිතුවම එක ජාතියකට, ආගමකට කොටුවූ කලාවක් නොවෙයි. අපි මේක තේරුම් අරන් නිර්මාණ කරන්න ඕනෑ‘
මේ එක්වූ පිරිස රට තල්ලු කරමින් සිටින්නේ අපූරු තැනකට ය. ජාතික හා ආගමික සංහිඳියාව පිළිබඳ සාකච්ඡා, සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීමට රුපියල් කෝටි ගණන් වැය කරද්දී මේ තරුණ පිරිස එය කළ හැක්කේ මුදල්වලින් නොව හදවත්වලින් මෙලෙස එක්ව කටයුතු කිරීමෙන් බව තහවුරු කර තිබේ. පත්කොළගොල්ලේ පේමානන්ද හිමි සහ අස්මා මරියම් මහත්මිය එක්ව අඳින චිත්‍රයට වඩා ඇත්තෙන්ම ලස්සන උන්වහන්සේත් ඇයත් එකට සිට චිත්‍ර අඳින දසුනයි. ඒ දසුන මතුවටත් රැක ගතහොත් මේ අඳින චිත්‍ර ද සදාකල් සුරැකෙනු නොඅනුමාන ය.
This article was originally published on the catamaran.com