සාමය

ජාතික ගීයේ විකාශනය සමග එන වාද විවාද සහ මතවාද (පළමු කොටස )

ධනුෂ්ක සිල්වා

ශ‍්‍රී ලංකාවේ ජාතික ගීය ගායනා කළ යුතු භාෂාව ගැන විවාදයක් සෑම ජාතික උත්සවයක් ආසන්නයේදීම හටගැනීම දැන් ලංකා සමාජයේ සාමාන්‍ය තත්ත්වයක් බවට පත්ව ඇත. මෙවර 73 වැනි ජාතික උත්සවය මුවවිට ද එවන් සංවාදයක් ගොඩනැගුණි- රටක ජාතික ගීය යනු යම් අයෙකු තුළ තමා උපන් රාජ්‍යය කෙරෙහි දක්වන පක්ෂපාතීත්වය උත්තේජනය කොට සහතික කිරීම උදෙසා ගැයෙන දේශමාමක හැඟීම් රැගත් ගීතයකි. ශ‍්‍රී ලංකාවේ ජාතික ගීයටත් වඩා ඒ ගීය ගයන භාෂාව අනුව රටේ සාමය, ජාතික සමගිය එක්සත්කම රැඳී පවතින බව බහුතර සිංහල සමාජය විශ්වාස කරයි.
පශ්චාත් නිදහස් ශ‍්‍රී ලංකාවේ ආරම්භයේ සිට ම නව රාජ්‍යයක අනන්‍යතාවය ගොඩනගන පුරවැසිභාවය, ඡන්දදායකයා, ජාතික ධජය හා රාජ්‍ය භාෂාව අර්බුදයක ගැලී තිබේ. ඒ සියල්ල සිංහලකරණය කර සිය අණසක ප‍්‍රදර්ශනය කිරීමේ මාදිලි ලෙස සංවර්ධනය කර ඒ මත ආධිපත්‍යයක් පවත්වා ගැනීමට බහුතර සිංහල සමාජය කැමැත්තක් දක්වයි. මෙම ලිපියෙන් ජාතික ගීතය හා බැඳී තිබෙන ඓතිහාසික භාෂා පටලැවිල්ලේ පරිනාමය හා එහි සාමාජීය පැතිමාණයන් විග‍්‍රහ කිරීමට උත්සහ කෙරේ.

භාෂා පටලැවිල්ල
ශ‍්‍රී ලංකාවේ ජාතික ගීය උපන් දා සිටම පටලැවිල්ලක සිරවී සිටී. එහි සම්භවය සහ පරිණාමය පිළිබඳ අධ්‍යයනයක යෙදෙන විට මේ කරුණ පැහැදිළි වේ. ශ‍්‍රී ලංකාවට ජාතික ගීයක් පිළිබඳ අදහස මුල්වරට ඇතිකරන ලද්දේ බි‍්‍රතාන්‍යයන් විසිනි. දෙවියෝ (රජු/රැජිණ) රකීවා God saves the king & queen) යන ගායනාව බි‍්‍රතාන්‍ය ජාතික ගීය බවට පත් වූයේ 1745 දී ය. බි‍්‍රතාන්‍ය දේශපාලන සම්ප‍්‍රදාය මෙන් ම ජාතික ගීය ද සම්ප‍්‍රදාය හා ව්‍යවහාරයන්ගේ විකාශනයකි. බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයේ ව්‍යාප්තිය නිසා යටත්විජිතවල ජාතික ගීය වූයේ ද දෙවියෝ රජු / රැජිණ රකීවා යන ගායනයයි. ලංකාවේ ද විසිවන සියවසයේ මුල් දශක දෙක තෙක් ජාතික ගීය වූයේ මෙම ගායනාවයි.
1919 වසරේ දී ආරම්භ වූ ලංකා ජාතික සංගමය 1923 වසරේදි ඩඩ්ලි සේනානායක හා ජූනියස් රිචඩ් ජයවර්ධන යෝජනාවක් සම්මත කරමින් ලංකාවට නව ජාතික ගීයක අවශ්‍යතාවය පෙන්වා දුන්නේ ය. ඒ අනුව නව ජාතික ගීයේ පද මාලාව ඤූ.එස් මුණසිංහ රචනා කරන ලදුව දේවාර් සූර්යසේනගේ සංගීත ස්වර රචනයෙන් ගායනා කෙරිණි. 1942 පවත්වන ලද ලංකා ජාතික සංගමයේ සැසිවාරවල දී ගායනා කරනු ලැබුවේ මේ ගීතයයි.
ලංකාව ඩොමිනියන් තත්වයක් යටතේ නිදහස ලැබෙන විට සම්මත ස්වදේශීය ජාතික ගීයක් භාවිතාවේ නොතිබුණි. එමනිසා නව ජාතික ගීයක් සූත‍්‍රගත කිරීම කෙරෙහි ලංකා ගාන්ධර්ව සභාවේ අවධානය යොමු වී තිබිණි. සුදුසු ගීතයක් තෝරා ගැනීම සඳහා තරඟයක් සංවිධානය කළ අතර ජී.බී.ඉලංගසිංහ පද රචනය කළ ලයනල් එදිරිසිංහ ස්වර රචනය කළ, ”ශ‍්‍රී ලංකා මාතා, යස මහිමා” ගීය නව ජාතික ගීය වශයෙන් තෝරා ගැනුණි. එහෙත් මෙම ගීතයට තදබල විරෝදය එල්ල වූයේ ගීය තෝරාගැනීමේ කාර්යය සඳහා සහභාගී වී සිටි තීරක මඩුල්ලේ ම සාමාජිකයන් දෙදෙනෙකු විසින් මෙම ගීතය ඉදිරිපත් කර තිබූ නිසා ය.
තරගයෙන් දිනූ ගීතය ජනයාගේ අප‍්‍රසාදයට ලක්වන අතරේ තරඟයට ඉදිරිපත් කළ එහෙත් තෝරා නොගැණුනු ගීතයක් ජනතාවගේ පිළිගැනීමට ලක්වෙමින් තිබිණ. සුප‍්‍රකට චිත‍්‍ර ශිල්පියෙක් හා කවියෙකු ද වූ ආනන්ද සමරකෝන් විසින් රචනා කරන ලද නමෝ නමෝ මාතා එම ගීතය වේ.
පුළුල් මහජන පිළිගැනීමකට ලක්ව තිබුණ නිසා නමෝ නමෝ මාතා ගීතය මෙරට නිල ජාතික ගීය විය යුතු සැයි යෝජනාවක් 1950 දී එවකට මුදල් අමාත්‍ය ජේ.ආර්. ජයවර්ධන කැබිනට් මණ්ඩල යෝජනාවක් ඉදිරිපත් කරන ලදී. මේ කාරණය පිළිබද ග‍්‍රාම සංවර්ධන ඇමති. ඊ.ඒ.පී.විජේරත්නගේ ප‍්‍රධානත්වයෙන් කමිටුවක් පත්කළ අතර සුළු වෙනස්කම් සහිතව නමෝ නමෝ මාතා ගීතයේ පද මාලාව ජාතික ගීය වශයෙන් නම් කිරීම සුදුසු යැයි යෝජනා කළේ ය. 1951 අගෝස්තුවේ දී අමාත්‍ය විජේරත්න එම ගීතය ජාතික ගීය හැටියට පිළිගත යුතු යැයි නිර්දේශ කරමින් කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කලේ ය. ඒ පත‍්‍රිකාව කැබිනට් මණ්ඩලයේ ඒකමතකව අනුමත කරන ලද අතර 1951 නොවැම්බර් 22 දා නීත්‍යානුකූලව ලංකාවේ ජාතික ගීය ලෙස පිළිගැනුණි.
පසුව නමෝ නමෝ මාතා ගීතයට විරුද්ධ 1956 බණ්ඩාරනායක ආණ්ඩුවේ විරෝදය එල්ල විය. ආණ්ඩුවට එරෙහි දේශපාලන පෙළපාලි, කම්කරු වැඩ වර්ජන, ජාතිවාදී ප‍්‍රචණ්ඩ ක්‍රියා, ගංවතුර, නායයෑම් වැනි ස්වාභාවික විපත් නිර්මාණය වන විට එහි සියලූ විපත්වලට හේතුකාරකය නමෝ නමෝ මාතා ගීතය යැයි අතාර්කික ප‍්‍රවාදයක් හිස ඔසවමින් තිබිනි. ජාතියට මඟ පෙන්වන ගීතයේ ආරම්භ කරන අක්ෂර අපල බවත් ඒ ගීතය අශුභ ගණයකින් පටන්ගත් විට ජාතියම වලපල්ලට යන බවට පසුගාමී තර්කයක් සූත‍්‍රගත විය. මෙහිදී ගණයක් යනු පළමු අකුරු තුන පිහිටුවා ගන්නා ආකාරයයි. එනම් දීර්ඝාක්ෂර හා ලඝු අක්ෂර සංයෝග කිරීමටයි. ජාතික ගීයේ ආරම්භක පදයේ න-මෝ-න එනම් ලූහු අකුරු – ගුරු අකුරු – ලූහු අකුරු සංයෝගය අභාග්‍යසම්පන්න ගණ පිහිටුවීමක් යැයි කියැවිණි. එම පසුගාමී තර්කවල වටිනාකම ඉහළ ගියේ 1959 සැප්තැම්බරයේ දී අගමැති එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක ඝාතනය වීමත් සමඟිනි.
1960 ජූලි මැතිවරණයෙන් බලයට පත් වූ සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුව සංස්කෘතික ඇමති මෛත‍්‍රිපාල සේනානායක පත්තළ කමිටුව නිර්දේශ කළේ ජාතික ගීයේ ආරම්භක පදවැල ශ‍්‍රී ලංකා මාතා යනුවෙන් වෙනස් විය යුතු බවයි. එහෙත් ආනන්ද සමරකෝන් යෝජිත වෙනස්කිරීමට දැඩිව විරෝදය පල කළේ ය. කෙසේ වෙතත්, 1960 පෙබරවාරි නිදහස් දිනයේ දී ශ‍්‍රී ලංකා මාතා යනුවෙන් පදවැල වෙනස්කර ගයන ලදී. මේ පිළිබඳ දැඩිව කළකිරුණු සමරකෝන් 1962 අපේ‍්‍රල් 5 දා මියැදී සිටින වග සොයාගනු ලැබීය. මිය යෑමට දවස් කිහිපයකට පෙර ඔසපැි දf ක්‍ැහකදබ පුවත්පතේ විශේෂාංග තීරුවට ලිපියක් ලියූ හේ මෙසේ ලියා තිබිනි. ”ජාතික ගීයේ හිස කපා දමා තිබේ. මේ හේතුකොටගෙන ගීය විනාශ වුණා පමනක් නොව රහි රචකයාගේ ජීවිතය ද විනාශ වී තිබේ. මා හොඳටම කළකිරීමෙනි. මා වැනි නිහතමානී සංගීතඥයෙකුට එවැනි දෙයක් සිදු වූ රටක තවදුරටත් ජීවත් වීම මහා අභාග්‍යයකි. මරණය වඩා සැපයත් ය.”

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts