ජාතික ගීයේ භාෂා ප්‍රශ්නය සහ අර්බූදයේ ස්වභාවය (දෙවැනි කොටස )
ධනුෂ්ක සිල්වා
ඩී.ඇස්. සේනානායක අමාත්‍ය මණ්ඩලය තුළ ජී.ජී.පොන්නම්බලම් හා සී. සිත්තම්බලම් යන දමිළ ඇමතවරු දෙදෙනාත් සිටියහ. කැබිනට් මණ්ඩලය තුළ කැබිනට් පත‍්‍රිකාව සම්මත වනවාත් සමඟම ඒ සඳහා සුදුසු දමිළ පරිවර්තනයක් සමිමත කර ගත යුතු යැයි අගමැතිවරයා ඉල්ලීමක් කර තිබේ. උගතකු වු පණ්ඩිත එම්. නල්ලතම්බි හට එම කාර්යය භාර වුණු අතර ඒ සඳහා අනගි පරිවර්තනයක් ඉදිරිපත් කළේය.
1952 පෙබරවාරි 4 දා නමෝ නමෝ මාතා ගීය නිල ජාතික ගීය වශයෙන් සිංහලෙන් ගායනය කිරිමට සමාන්තරව එදිනම යාපනය, වව්නියාව, මන්නාරම, ත‍්‍රිකුණාමලය හා මඩකලපුව ආදී ප‍්‍රදේශවලට පැවැත්වූ නිදහස් දින උත්සවවලදී එහි දමිළ පරිවර්තනය නමෝ නමෝ තායේ ගයනු ලැබ තිබේ. 1954 වසරේ ශ‍්‍රීමත් ජෝන් කොතලාවල යාපනය සංචාරය කළ අවස්ථාවේ දී අගමැතිවරයා පිළිගැනීම සඳහා ජාතික ගීයේ දමිළ පරිවර්තනය ගායනා කර තිබේ. 1974 වසරේ දී ශ‍්‍රී ලංකා විශ්ව විද්‍යාලයේ යාපනය මණ්ඩපය විවෘත කිරීම සඳහා සිරිමා බණ්ඩාරනායක අගමැතිනිය ඉදිරියේ ජාතික ගීය භාෂා දෙකෙන්ම වාදනය කෙරිණි.
ශ‍්‍රී ලංකාවේ දැන් ගායනා කෙරෙන ජාතික ගීය ගැන විකිපීඩියා ශබ්ධ කෝෂයේ තබා ඇති සටහන මෙසේය: ”ශ‍්‍රී ලංකා ජාතික ගීයේ පද මාලාව රටේ නිල භාෂාව වන සිංහල හා තමිල් භාෂාවලට පරිවර්තනය කොට තිබේ. එය මුලින් ම ලියන ලද්දේ සිංහල භාෂාවෙන් ය. මෙම තමිල් පරිවර්තනය සමහර අවස්ථාවලදී ගායනා කෙරෙන අතර බොහෝ විට එසේ කෙරෙන්නේ තමිල් ජනයා බහුතරය වෙසෙන පලාත්වල තිබෙන තමිල් පාසල්වලටය.” ශ‍්‍රී ලංකාවේ ජාතික ගීයේ අන්තර්ගතය පිලිබඳ විමසීමේ දී එය ආන්තීකරණය නොවූ ලංකාව නැමැති මාතාවගේ එක දරුකැළ හැටියට එක් රොක් වන්නැයි කරන දේශමාමක ප‍්‍රශස්තියක් බව පෙනේ. ඒ නිසා දමිළ ජනයා අතර ජාතික ගීයේ අන්තර්ගතය ප‍්‍රතික්ෂේප කිරීමට හෝ විරෝධය දක්වන්නට හේතුවක් නැත. බොහෝ විට ඔවුන්ගේ විරෝධය එල්ල වන්නේ ඔවුන් හරිහැටි නොදන්නා භාෂාවකින් ජාතික ගීය ගායනා කිරීමටයි.
සිංහලකරණය
ජාතික ගීය සිංහල හා දෙමළ භාෂා දෙකෙන්ම දැනට දශක ගණනාවක් තිස්සේ අප රට තුළ ගැයෙමින් තිබේ. බොහෝ රාජ්‍යය හා නිල උත්සවවල දී මුල් සිංහල ගීය වාදනය කෙරෙන අවස්ථාවල දී එහි දමිල පිටපත වාදනය කෙරිණි. දමිළ භාෂාව ජාතික භාෂාවක් හැටියට පිළිනොගත් කාලයේ දී බලයේ සිටි ආණ්ඩු පවා මේ කාරණයේ දී වඩාත් බුද්ධිමත් ලෙස ක්‍රියා කර තිබේ. අජිත් තිලකසේන සිය භාෂා අර්බුදයේ ගමන් මග කෘතියෙන් කැඳවන නිගමනය වන්නේ ලංකාවේ පැවතියේ ජනවාර්ගික අර්බුදයක් නොව භාෂාව මත ගොඩනැගුනු අර්බුදයක් යන්නයි. 80 දශකයේ සිට 21 වැනි ශතවර්ෂයේ පළමු දශකය දක්වා ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීම අත්හිටුවන ලද්දේ පැවති යුධමය තත්වය හේතුවෙනි.
යුද්ධයෙන් පසු ජාතික ගීය ගායනා කරන බස තීරණය වූයේ හුදු දේශපාලනික අවශ්‍යතා මත මිස ජනවාර්ගික සංහිදියාව වර්ධනය කිරීමේ ඇත්ත උවමනාවෙන් නොවේ. 2010 දෙසැම්බර් 8 වෙනි දා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩල පත‍්‍රිකාවක් මගින් ජාතික ගීයේ දමිළ පරිවර්තනය අහෝසිකර සිංහලෙන් පමණක් ගායනා කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශනය ලබාගෙන තිබේ. ඒ සඳහා සිංගප්පූරු ලාංජනය ජාතිය කොඩිය හා ජාතික ගීය පිළිබඳ පනතේ (2007) 6 වැනි වගන්තියෙන් මෙරට නිලධාරීන් ආලෝකය ලබාගෙන තිබිනි. එහි දැක්වෙන්නේ කිසිවෙකු ජාතික ගීය ගායනා කරන්නේ නම් එසේ සම්මත කරගත යුත්තේ නිල පිටපතක් අනුව නොවේ ය යන්නයි. එහෙත් මෙරට නිලධාරීන් එම නීතිය මෙරට නීතියට ඈඳා ගනු ලැබුවා මිස නීතියේ සාරය පිළිබඳ නිවැරදි අවබෝධයකින් කටයුතු කළේ ද? සිංගප්පූරු මජුලා සිංගපුරා (ඉදිරියටම සිංගප්පූරුව) ජාතික ගීය ගැයෙන්නේත් රචනා කර තිබෙන්නේත් මැලේ භාෂාවෙනි. එරට ජනගහණයෙන් බහුතරය චීන ජාතිකයන් (75.2%) වේ. ජාතික ගීය ඉංග‍්‍රීසි, මැන්ඩරින්, චීන තමිල් ආදී භාෂාවලට පරිවර්තනය කර ඇතත් රාජ්‍ය උත්සව වල දි ගැයෙන්නේ සුළුතර මැලේ භාෂාවෙනි.
යටත්විජිතකරණයට ලක්වූ බොහෝ රාජ්‍යයන්ට භාෂා අර්බුදය තදින් බලපා තිබේ. කැනඩාව, බෙල්ජියම,ස්විස්ටර්ලන්තය හා දකුණු අප‍්‍රිකාව වැනි රටවල් ගණනාවක් ම ජාතික ගීය මුළුමනින් ම හෝ එහි කොටසක් භාෂා දෙකකින් හෝ ඊට වැඩි ගණනකින් ගායනා කරන්නේ සුළුතර භාෂා සමාජයන්ට යම් සාධාරණයක් ඉටු කිරීමට ය. බොහෝ රටවල් පරිවර්තනය කරන ලද ජාතික ගීය සීමිත වශයෙන් භාවිතයට ගැනීමට අවසර ලබා දී තිබේ. ලංකාවේ බහුතරයගේ භාෂාව සිංහල භාෂාව වන අතර ප‍්‍රධාන රාජ්‍යය භාෂාව හැටියට ව්‍යවස්ථානුකූලව පිළිගැනීම ලබාගෙන තිබේ. ස්වකීය මව් භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීමට යම් ජන කොටසකට තිබෙන අයිතිය පැහැරගැනීම ඔවුන් වෙත එල්ල කරන සංකේතමය ප‍්‍රහාරයකි. එය වෙන් ව යාමට බලකිරීමකි. 2010 වසරේ ජාතික ගීය සිංහලකරණය කිරීමට තීරණය කල ආණ්ඩුවට ණයට ගත් නීතිය නොව එහි සාරය ගැන නැවත සිතා බැලීම වර්තමාන ආණ්ඩුවට වඩා වැදගත් ය