ජන අරගලය සහ ගාලු මුවදොර නිර්පාක්ෂික අරගලය
අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු
ඉතිහාසයේ අන් කිසිම ආණ්ඩුවක් මුහුණ නොදුන් ජනතා විරෝධයකට වත්මන් ආණ්ඩුව මුහුන දෙමින් සිටී. මේ වන විට ලංකාවේ ආණ්ඩු විරෝධි අරගලයක් නොවුණු ගමක් නගරයක් සොයාගැනීමට නොහැකි තරම් ය. ඒ තරමටම ආණ්ඩු විරෝධය ජනගත වී අවසානය.
මේ අරගල අතර ගාලුමුවදොර පැවැත්වෙන අඛණ්ඩ ජන අරගලයට විශේෂ තැනක් හිමිවේ. දින ගණනක් එකම තැන සිට කෙරෙනා අඛණ්ඩ අරගල ලංකාවේ අපට එතරම් හුරු නැත. එවැනි අරගල ශිෂ්‍ය ව්‍යාපාරය තුළ දැක ඇති උපවාස සත්යග්රහයන් තුළ විනා පොදුජන අරගල ලෙස ජනගත නොවූ තරම් ය.ාඅරගලකරුවන්ට එරෙහිව එල්ල වු සංවිධානාත්මක මැර ප්‍රහාරයත් සමග රටපුරා උද්ගතවු තත්ත්වය අරගලය කෙතරම් දුරට සමස්ථ රට වැසියා සමග ඓයින්ද්රියව බද්ධවි තිබුනේද යන්න පැවසිමට හොදම උදාහරනයකි.
ගාලුමුවදොර අරගලය සැබැවින් අසංවිධාත්මක එකකි. එහි නායකයෝ මෙන්ම දේශපාලන බේදද දැක ගන්නට නැත. ජාති ආගම් භාෂා යන කිසිම බේදයන්ද එහි නැත. ඇත්තේ දේශපාලන ක්රමයේ වෙනසක චේතනාව පමණි. මේ විරෝධතාවය සබැවින්ම රටට ආදර්ශයකි. රටේ අනාගත උරුම කරුවෝ එක අරමුණකට එළඹ දිගු කාලීන සටනක නියැලෙති. තනි සිංහල ආණ්ඩුවක් සෑදීමට ජන්දය දුන් තරුණයන් තරුණියන් සැලකිවයුතු ප්‍රමාණයක් ගාලු මුවදොර අරගලයේදී දෙමළ මුස්ලිම් තරුණයන් සමග දැඩි සහෝදරත්වයෙන් ආණ්ඩුව එළවන්නට උද්ඝෝෂණය කරති. මීට වසර දෙකකට පෙර දේශපාලන සුරුවම් බවට පත්කරගෙන සිටි රාජපක්ෂ පවුල විවේචනය කරති . ඔවුන් විගණනය කිරීමට යෝජනා කරති. ලංකා ඉතිහාසයේ මුල් වතාවට පෞද්ගලික සහ රාජ්‍ය විශ්වවිද්‍යාල සිසුහු එක පෙරමුණක සටන් වදිති. තරුණ තරුණියන් එක අරගල බිමක දින ගනන් රැදී සිටියද කිසිදු විනය කඩ කිරීමක් නැත. මේ සියල්ල අතිශය සාධනීයය.
දහස් ගණනක් ජනාධිපති ලේකම් කාර්යාලය වටකරගෙන සිටියත් ඒ බිමට කඩදාසි ගුලියක් හෝ වීසි කරන්නට කිසිවෙක් ඉදිරිපත්ව නැත. දෙසතියකට පසුත් උද්ඝෝෂන භූමියේ කැළි කසළ දක්නට නැත. ඉවතලන ජල බෝතල් ආදියෙන් අලංකාර නිර්මාණ කර ඇත. සුළු මාර්ග තදබදයක් අවට පැවතියද ගල් කැටයක් හෝ වීසී කරන්නට කිසිවෙක් ඉදිරිපත් වෙන්නේ නැත. නායකයෙක් හෝ අණ දෙන්නෙක් නැති මුත් ස්වැයං විනයකට අනුකූලව සියල්ල සිදුවෙයි . මේ සියල්ල මේ රටේ උද්ඝොෂණ භූමිවලට ආගන්තුක අත්දැකීම් ය.
මේ වන විට ආණ්ඩුව පසුවන්නේ සැළකිවයුතු අසීරු අඩියකය. අගමැති ප්‍රමුක කැබිනට් මණ්ඩළය ඉල්ලා අස්වී ඇත. . ජනතා විරෝධයට බියෙන් මැති ඇමැත්තෝ කොළඹ නිළ නිවාස හෝ හෝටල්වලට කොටුව සිටිති. ජනාධිපති පවා සිටින්නේ තම කාර්යාලයට යාගත නොහැකිවය. ආණ්ඩුවට උදම් ඇනූ තුනෙන් දෙකේ බහුතරය පමණක් නොව රජයක් ගෙනයාමට අවශ්‍ය සරළ බහුතරයද අදවන විට අහිමිවී ඇත්තේය.ජනාදිපතිවරයා අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්කර ඇත. එය අරගලයේ නියුතු ජනතා අපේක්ෂාව නොවේ.එය තවත් ගැටළු රැසකට මුල පිරිමකි. මේ අර්බුදය කාලයක් තිස්සේ රට තුළ වර්ධනය වෙමින් ආ ආණ්ඩු විරෝධය නිසා නිර්මාණය වූ ඒවාය. එහෙත් අවාසනාවකට මෙන් ඇතැම් පාර්ශව ආණ්ඩුවේ මෙකී බිඳවැටීම් සියල්ලේ ගෞරවය ගාලු මුවදොර අරගලයට හිමිකර දීමට උත්සහ ගනිති. එය සැබැවින්ම සාධාරණ නොවේ. එක් අතකින් දින ගනනක් එකම පෙරමුණක සටන් කරනා තරුණ පරපුරට කරනා අපහාසයකි.
ගාලු මුවදොර අරගලය පෙර සඳහන් කරුණු සහ තවත් හේතු ගණනාවක් නිසා අද්විතීයය. එයට ඉතිහාසයේ නියමිත තැන අනිවාර්යයෙන් හිමිවනු ඇත. එහෙත් අදවනවිට ආණ්ඩුව පත්ව සිටිනා අවිනිස්චිත බව මෙන්ම අද හෝ හෙට ආණ්ඩුව බිඳවැටුනහොත් එහි ගෞරවයද එක් පාර්ශවයකට හිමිකර දීම කිසි සේත් සාධාරණ නොවේ. සැබැවින්ම මේ ආණ්ඩුව රට වංකගිරියක අතරමං කරනා බව මේ රටේ දෙශපාලන සහ සිවිල් සමාජ ක්රියාකාරිකයන් කියන්නේ කලක සිටය. පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුව අසාර්ථක බවට ජනතා දැනුවත් කිරීම් කරන්නේ දෑවසරක සිටය. වෘතිය සමිති මෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පක්ෂද ආණ්ඩුවේ අසාර්ථක බව පිළිබඳ කළක සිට කරුණු දැක්වූහ. සංඛ්‍යාත්මකව සහ භාගීත්වය සුළු ප්‍රමාණයක් වුවද එකී දැනුවත් කිරීම් නොසලකා හැරිය යුතු නොවේ .
සමගි ජන බලවේගය මෙන්ම සමාජවාදී තරුණ සංගමයද ජනාධිපති ලේකම් කාර්යාලය වටකර උද්ඝෝෂණය කරන ලදි. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ප්රමුඛ කණ්ඩායාමක් ජනපති ගේ නිවස මෙන්ම ඔහුට උපදෙස් දෙන ඥානක්කාගේ දේවාලයද වට කර උද්ඝෝෂණය කරනා ලදි. මාර්තු 31 වැනිදා ආර්ථීක ප්‍රශ්ණ දරාගත නොහැකිවූ ජන සමූහයක් ජනාධිපතිගේ මිරිහාන නිවස වට කර උද්ඝෝෂණය කර රටටම පණිවිඩයක් දුන්නේය. එය මෙම අරගලයේ සංධිස්ථානයකි ගෘහනියන් මුළුතැන්ගෙයින් නික්මී උද්ඝෝෂණ බිමට එක්වූහ. අම්මලා කිරි දරුවන් කර පින්නාගෙන ජනපති නිවස වටකරන්නට එක්වූහ. ගෑස් පෝලිම්වල ඩීසල් පෝලිම්වල දිනගණන් සිටි මිනිසුන් මහ මග හරස් කරමින් උද්ඝෝෂණය පවත්වමින් ආණ්ඩුවට විරෝධය පෑහ. නාමල් රාජපක්ෂ බණ්ඩාරවෙල නොගොස් ආපසු හරවා යවන්නට ඒ උද්ඝෝෂණ සමත් විය. ආණ්ඩුවේ මන්ත්රීවරුනට ජනතාව ප්‍රසිද්දීයේ හූ කියා විරෝධය පළ කළහ. මන්ත්‍රීවරු වාහනවල තිබූ ස්ටිකර් ඉවත්කර උද්ඝෝෂකයන් මග හැර ගමන් කරන්නට පටන් ගත්හ. මේ සියල්ල තරුණ තරුණියන් ගාලු මුවදොර අරගලය ආරම්භ කරනා විට ( අප්‍රේල් 9 ) මේ මහ පොළවේ දැක ගත හැකි වූ දේවල් වන අතර තවමත් මේ අරගල රට පුරා සිදුවෙමින් පවතී. පසුගියදා කෑගල්ලේදී තරුණ ජීවිතයක් පොලිස් වෙඩි පහරින් අහිමි වෙන්නේත්, තවත් සළකිවයුතු පිරිසක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේත් එවන් අරගලයකට දායක වීම නිසාය. එහෙයින් අදවන විට ආණ්ඩුව මුහුණ දෙමින් සිටිනා ඇදවැටීමට මේ සියළු ජනතා අරගලද අඩු වැඩි වශයෙන් දායක වූ බව ඕනෑම කෙනෙකුට වටහා ගත හැක.
මේ වන විට ආණ්ඩුව එල්ලී සිටින්නේ ව්‍යවස්තාවේ ඇති අන්තිම රැහැන් වලිනි. ඊට ජනතා බලයක් තව දුරටත් නැත. ඒ තත්ත්වයට මර්ධනකාරී ආණ්ඩුව මෙවන් පරාධීන තත්ත්වයකට ඇද දැමීමේ ගෞරවය රටම අරගල බිමක් කර ගත් ජනතාවට සමසේ හිමිවිය යුතුය. ගාලු මුවදොර අරගලයේ යෙදෙනා තරුණ තරුණියනට මේ මොහොතේ විශල වග කීමක් වේ. ඔවුන් දැන්වත් පක්ෂයක් හෝ පෙරමුණක් ලෙස සංධාන ගතවිය යුතුය. පවතින සියළු දේශපාලන පක්ෂ ප්‍රතික්ශේප කිරීම වැනි ප්‍රායෝගික නොවන සටන් පාට අතහැර දමා රට ගොඩ ගත හැකි හොදම ක්‍රමය පිළිබඳ විකල්ප මත දරන්නන් සමග සාකච්චා කළ යුතුවේ. ඊට දායකත්වය දීම සියළු දේශපාලන සහ සමාජ ව්‍යාපාරයන්ගේ මෙන්ම ජනතාවගේද වග කීම වේ.
මේ ආණ්ඩුව එළවා තවත් අවුල් සහගත ආණ්ඩුවක් බලයට පත්වීම වලකාලීම අනිවාර්යය වෙයි. එනිසා පමා නොවී මේ ආණ්ඩුව ව්‍යවස්ථාපිත රාමුවක් තුළ පරාජය කර පත්වන භාරකාර රජයට නිසි වලංගු බවක් ලබාදිය යුතුවේ. එසේ කිරීමෙන් පමණක් ඉදිරි වසරක පමණ කාලයේදී ජාත්‍යන්තරය සමග සහයෝගයෙන් කටයුතුකර රට යම් ස්ථාවරයකට ගෙන ඒමට හැකි වනු ඇත. අපි කෙතරම් සිහින දුටුවත් මේ මොහොතේ මිත්‍ර රටවල් සහ ජාත්‍යන්තර සංවිධානවල සහය නොමැතිව රට ගොඩ ගැනීම කළ නොහැක්කකි. රට වඩාත් හොඳින් ගොඩ ගැනීමට නම් වඩාත් ශක්තිමත් මහජන කේන්ද්‍රීය ව්‍යවස්තාවක් සමගින් අළුත් රජයකට වගකීම භාර දිය යුතුවේ. ඒ සඳහා පවතින ව්‍යවස්ථාව පුළුල් සංශෝදනයකට ලක් කර සංක්‍රාන්තික (අතුරු) ව්‍යවස්තාවක් ලෙස භාවිත කළ හැක. වසරකින් හෝ ඊට ආසන්න කාලයකින් පවත්වන මැතිවරණයකට වෙනසක් පතන අළුත් පරපුරේ තරුණ තරුණියන්ටද දේශපාලන පක්ෂයක් ලෙස සංධාන ගතවී ඉදිරිපත් වන්නැයි ඇරයුම් කළයුතුය. ගාලු මුවදොර අරගල බිමේ සිට වුවද ඔවුනට ඒ සඳහා මුල පිරිය හැක.