ජනමාධ්‍ය තුළ දමිළ කාන්තාව (1992-2004)
ගෞරි මහා
පොදුවේ ගත් කල, දමිළ කාන්තාවන් හොඳින් අධ්‍යාපනය ලබා රැකියාවල නිරත වුවත්, ඇය සිය පවුල් ඒකකයක් නඩත්තු කරන්නේ කෙසේද යන සංකල්පය කේන්ද්‍රගත කොටගෙන පමණක් කාන්තාවන්ගේ සියලු හැකියාවන් ඇගයීමට ලක් කෙරේ. එබැවින් පොදු අවකාශයෙහි මතුවන කාන්තාවකගේ හැකියාවන් ප්‍රසිද්ධියේ ඇගයීමට ලක් නොකෙරේ. පිරිමි පාර්ශවය සඳහා එය එසේ නොවේ, පොදු අවකාශයෙහි ඔවුන්ගේ හැකියාවන්වලට අවධානය යොමුවන අතර එම හැකියාවන් ඇගයීමටද ලක් කෙරේ. එබැවින් පොදු අවකාශයෙහි (හඳුනන්නන්, ආගන්තුකයින්, දන්නා ස්ථාන සහ නොදන්නා ස්ථාන ආදී ඕනෑම ස්ථානයක ඕනෑම අයෙකු සමඟ කථා කළ හැකි විවෘත අවකාශය) කාන්තාවක් ලෙස, විශේෂයෙන් දමිළ කාන්තාවක් ලෙස, විශේෂයෙන්ම සිංහල භාෂාව අධිකව භාවිතා වන අගනගරයෙහි 1992 වර්ෂයේ සිංහල භාෂාව බිඳකුඳු නොදන්නා අයෙකු ලෙස මා ඉදිරිපත් වූ අවස්ථාවේදී මෙම ක්ෂේත්‍රය උචිත නොවනු ඇති බව සම්මුඛ පරීක්ෂණයේදී මා හට උපදෙස් ලැබිණි. සම්මුඛ පරීක්ෂකයින් විසින් “ඔබ කාන්තාවක්, මෙය දවසේ පැය 24 පුරාම වැඩ කළ යුතු ක්ෂේත්‍රයක් ඔබ විවාහ වූවහොත් ඔබට මෙම රැකියාව සාර්ථක කරගෙන යාමට නොහැකි වනු ඇත.” යන අදහස ඉදිරිපත් කරන ලදී. ඔවුන් එවැනි අදහසක් ඉදිරිපත් කළේ මා පිළිබඳව යහපත් චේතනාවන් විය යුතුයි. තවද මා හට උචිත රැකියාව ගුරු වෘත්තිය බවද ඔවුහු නිර්දේශ කළහ. “මා කළ යුතු රැකියාව මෙයයි” යන මතයේ මා ස්ථිරව සිටි නිසා ඔවුන් මෙම රැකියාව සඳහා මා බඳවා ගත් බව මාගේ විශ්වාසයයි. මා කාන්තාවක් වීම හේතුවෙන් මා කළ යුත්තේ කුමන ආකාරයක රැකියාවක්ද යන වග සමාජය විසින් තීරණය කිරීම මෙතැනින්ම ආරම්භය විය.
කාර්යාලය තුළ මා කළ යුත්තේ කුමක්ද යන්න ඔවුන් විසින් තීරණය කරන ලදී. කාන්තා අංශය, ළමා අංශය, කෙටිකතාව සහ විචාරයන් ලිවීමේ කාර්යභාරය මා හට පැවරිණි. ගැටලුව ආරම්භ වූයේ, කාන්තා අංශය භාරගෙන වැඩ කිරීම ආරම්භ කළ පසුය. කාන්තා අංශයේ මාතෘකාවන් මූලිකවම කේන්ද්‍රගතව පැවතියේ නිවසේ සිට ස්වාමිපුරුෂා හා දරුවන් රැකබලා ගනිමින්ද ආහාර පිසිමින් සහ තම රූපාලංකාරයට ප්‍රධාන තැනක් දුන් කාන්තාවන් ආශ්‍රිතව පමණි. මාතෘකාව වෙනස් කිරීමට ගත් උත්සාහයන් ව්‍යර්ථ විය.
“මාතෘකාව එබඳු විය යුතුයි. අනිවාර්යයෙන්ම ඉවුම් පිහුම් හා රූපලාවන්‍යයට මුල්තැන දිය යුතුයි. ඉතිරිය ඔබ කැමති ආකාරයට සකසා ගන්න ” යනුවෙන් කතුවරයා තදින්ම උපදෙස් දුන්නේය. හොඳයි කියා එය පිළිගෙන ඉතිරි කොටසේ කාන්තා ගැටළු ගැන ලිවීමට පටන් ගතිමි. “පාර්තතුම් සින්දිත්තතුම්”, “කේල්වි නාන්ගල්, විඩෛහල් නීන්ගල් ” වැනි විශේෂාංග එක් කරමින් විවිධ කාරණා ඔස්සේ පාඨකයින්ගේ අවධානය යොමු කරවීමට කටයුතු කළෙමි. පිරිමින්ගේ ලෝකයේ කාන්තාවන් පිළිබඳව ප්‍රතිරූපය කෙබඳුදැයි යන මාතෘකාව ඔස්සේ මාගේ අත්දැකීම් පාදක කරගනිමින් සිදුවීම් කිහිපයක් ලීවෙමි පිරිමින්ගේ ලෝකයේ කාන්තාවගේ ප්‍රතිරූපය ශරීරයෙන් ඔබ්බට නොයන බවට අදහස් සහිතව ලිපි මා විසින් ලියැවිණි. “ඔබ අපේ කාර්යාලයේ සිටින පිරිමින් ගැන ලිව්වා” යන චෝදනාව ඉදිරිපත් කරමින් කතුවරයාගේ ප්‍රශ්න කිරීම් වලටද ලක් වූයෙමි. “නැහැ. මම පොදුවේ ලිව්වේ ඔබලා විසින්ම තොප්පිය දමා ගන්නවා නම් මම මොනවා කරන්නද?” යනුවෙන් මම ඇසුවෙමි. “නැවත මේ අකාරයේ දේවල් නොකරන්න වගබලා ගන්න” යනුවෙන් මා හට දැඩිව අවවාද කරන ලදී.
ඉතින් කුමක් කළ යුතුද, කුමක් ලිවිය යුතුද, ලිවිය යුතු ආකාරය යන සියල්ලම තීරණය කරනු ලැබුවේ මාධ්‍ය ආයතනවල තීරණ ගන්නා පිරිමින් විසිනි. ඔවුන් නියම කළ දෙය ඉටු කිරීමට අප අපොහොසත් වූවහොත් අප එම ස්ථානයෙන් ඉවත් කිරීම සිදුකරන ලදී. එබැවින් එහි රැඳිසිටිමින් හිමිවන අවකාශය භාවිතා කරන්නේ කෙසේදැයි මම කල්පනා කළෙමි. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව පිළිබඳ මහජන අදහස් ලබාගනිමින් ඒවා පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කිරීම හා ඒවා ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් රූපලාවන්‍යය පිළිබඳව ලිවීමට තැනක් නොතිබුණි. ඉවුම් පිහුම් දැන්වීම් ලෙස පමණක් ප්‍රකාශයට පත් කිරීමට සිදුවිය. එයින් මා මහත් සේ සතුටට පත්වීමී.
වරක් කතුවැකිය සඳහා පිටුවේ කිසිදු ලිපියක් නොතිබූ කාලයක, මා ලියූ දේශපාලන ලිපියක් (මා කාන්තාවක් වූ නිසා වරෙක ප්‍රතික්ෂේප වූ ලිපියක්) ප්‍රකාශයට පත් කරන ලදී. නමුත් ඒ ලිපියෙහි මාගේ නියම අනන්‍යතාව හෙළි නොකොට නමෙහි මුලකුරු පමණක් යොදා එම ලිපිය ප්‍රකාශයට පත් කරන ලදී. කියවා බලා එම ලිපිය ලියුවේ මා බව දැන ගත් කාර්යාල සගයන් “ඔයාද ලිව්වේ!” යැයි පුදුමයෙන් ඇසූහ. මන්ද කාන්තාවන් දේශපාලන ලිපි ලියන්නේ නැති බවත් කාන්තාවන් එසේ දේශපාලන ලිිපි ලියුවහොත් ඒවා කිසිවෙක් කියවන්නේ නැත යන මානසිකත්වය පැවතීම මෙයට හේතුවයි. එම මානසිකත්වයෙන් මිදීම ඔවුන්ට අපහසු විය.
වෙනත් මාධ්‍යය ආයතනයකට උසස්වීම් ලබා ගිය විට කාන්තාවන් සඳහා වූ කළාපයේ මාතෘකාව වෙනස් කිරීමට හැකි විය. කුමන ආකාරයේ ලිපි ප්‍රකාශයට පත්විය යුතුද යන්න තීරණය කිරීමට මට හැකි විය. සංකල්පමය වශයෙන්, සංකල්පීයකරණයේදී ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය අවබෝධ කර දීමට හැකි විය. එහෙත් නව අදහස් ඉදිරිපත් කිරීම අපහසු විය. පවුල් ඒකක වහල් ස්වරූපයෙන් පවතින බවත් පවුල් ඒකකයක් තුළ ප්‍රජාතන්ත්‍රවාදයේ අවශ්‍යතාවයත් පෙන්වා දෙමින් මම ලිපියක් ලියන විට, කාර්යාල සගයන් එහි කාන්තාවන්ද ඇතුළත් විය, මහජනතාව ලෙස පෙනී සිටිමින් නිර්නාමික ලිපි ලිවීය. මාගේ ලිපිය කාන්තා ගෞරවය හා ඔවුන්ගේ මනස තුළ කැළඹිලි සහගත තත්ත්වයක් ඇතිකරන බවත්, එබැවින් මාගේ ස්වයං විනය හා ජීවිතය ගැන ඉතා නින්දා සහගතව ලියන ලද ලිපි කිහිපයක් මානව සම්පත් කළමනාකාරවරයා විසින් මා හට පෙන්වූ අතර, “මාගේ කාර්යාල සගයන් සමඟ ප්‍රවේශමෙන් කටයුතු කරන්න” යනුවෙන් පැවසීය.
කාන්තා මාධ්‍යවේදිනියක් මහජන මතයක් ඉදිරිපත් කරනවිට එම මතය පිළිගත නොහැකි මානසිකත්වයක් පොදු අවකාශයේ ඇත. දේශපාලනය හෝ ආර්ථිකය අළලා කාන්තාවක් මොනයම් ලිපියක් හෝ ලියා ඇත්නම්, එය කාන්තාවක් විසින් ලියන ලද්දක් දැයි සැක සහිතව විමසීමත්, පුරුෂාධිපත්‍ය අදහස්වලින් ඔබ්බට නව සිතුවිලිවලට පණ පෙවීමට කාන්තාවක් උත්සාහ දරන්නේ නම් ඇගේ එම වෑයම අඩාල කිරීම සඳහා ප්‍රථමයෙන්ම ගනු ලබන ආයුධය එම ස්ත්‍රියගේ සදාචාරයයි! කාන්තා මාධ්‍යවේදිනියකට එරෙහිව මානසික ප්‍රචණ්ඩත්වයක් ඇති කළ හැකි නම් එය බොහෝ විට පළමුවෙන්ම සිදුවන්නේ ඇගේ කාර්යාලය තුළ සිටම බව සත්‍යයකි. එ්වාට එරෙහිව අදාළ නීති රීති මේ දක්වා එම කාර්යාලවල නොපවතින බවත් විශේෂයෙන් මෙහිදී සඳහන් කළ යුතුය.
90 දශකයේ අග භාගයේදී කාන්තාවන් අධික වශයෙන් මාධ්‍ය ආයතනය තුළට බඳවා ගන්නා ලදී. ඔවුන් ජනමාධ්‍යවේදිනියන් ලෙස පමණක් නොව විවිධ අංශයන්හි (පරිගණක, ගිණුම්කරණය, කළමනාකරණය, වෙළඳ ප්‍රචාරණය …) සේවයේ නියුතුවූවන් විය. එහෙත් ස්ත්‍රී පුරුෂ සමානාත්මතා සංකල්ප ගොඩනැගීම එතරම් පහසු නොවීය.
කාන්තාවගේ “පාරිශුද්ධත්වය” පිළිබඳ සංකල්පය ප්‍රශ්න කිරීම හෝ ප්‍රජනනය පිළිබඳ ගැටලු හෝ කාන්තාවන්ට තේරුම් ගත හැකි ආකාරයට ලිංගික හැඟීම් විශ්ලේෂණය කිරීම යනාදී කරුණු ජනමාධ්‍ය තුළ කළ විවෘතව කතා කළ නොහැකි තත්තවයක් විය. “ලිංගිකත්වය සහ කාන්තාවන් තේරුම් ගැනීමේ අවශ්‍යතාවය” යන ලිපිය ලියූ අවස්ථාවේදී තීරණ ගැනීමේ හැකියාව මා සතුව තිබුණද, ඉහළ කළමනාකාරීත්ව ව්‍යුහය මගින් එය මාධ්‍ය තුළ ප්‍රකාශයට පත් කිරීම සදහා අවසර නොලැබුණි. පසුව එම ලිපිය කාන්තාවන් සඳහාවූ මාසික සඟරාවක පළ විය. එය ද අභියෝගාත්මක විය. ලිපිය දුටු කාර්යාල සගයන් (කාන්තාවන් ද ඇතුළුව) මෙය ලිව්වේ ඇයි? ඔබ මෙවැනි දෙයක් ලියා නොතිබිය යුතුයි යනුවෙන් අවධාරණය කළේය. ඔවුන් තවදුරටත් තර්ක කළේ මෙම කරුණු ප්‍රසිද්ධියේ පැවසීම උචිත නොවන බවයි.
මේ අතර ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබඳව අදහස් වැපිරීමට උත්සාහ කළද භාෂාව කාන්තාවන්ට උචිත ආකාරයේ එකක් නොවීය. කාන්තා භාෂාව පිළිබඳ මතභේද ඇති වූයේ මේ නිසා ය. පිරිමි මාධ්‍යවේදීන් හැඳින්වීම සඳහා මාධ්‍යවේදීන් යන පදය යොදා ගනී. ඔබට කාන්තාවක් මාධ්‍යවේදියෙක් ලෙස හඳුන්වාදීමේදී දෙමළ භාෂාවේ එය “කාන්තා මාධ්‍යවේදියා (පෙන් ඌඩහවියලාලර්) ” ලෙස ලිවිය යුතු තත්ත්වයක් පවතී. නමුත් “පිරිමි මාධ්‍යවේදියා” යනුවෙන් කිසි විටෙකත් හඳුන්වන්නේ නැත.
කාර්යාලය තුළ තත්වය මෙය නම්, අප කාන්තාවන් වීම හේතුවෙන් බාහිර ලෝකයේ මිනිසුන් අප සමඟ සංවාදයට පැමිණියත් අපට අවශ්‍ය තොරතුරු ලබා දීම සම්බන්ධයෙන් ගත් කල ඔවුන් ඒ සඳහා පෙරමුණ ගන්නේ නැත. තොරතුරු ලබා දීමට පෙර අපගේ වෘත්තීමය තොරතුරු වලට වඩා අපගේ පෞද්ගලික පැතිකඩ දැන ගැනීම කෙරෙහි බොහෝ අය උනන්දු වන බව දක්නට ලැබේ.
එය නීරස දෙයක් හා අනවශ්‍ය දෙයක් ලෙස මා විසින් කිහිපවාරයක්ම ඔවුන් හට දැනීමට ඉඩ හැර ඇත. අප ඕනෑම වේලාවක ඕනෑම ස්ථානකට යා යුතු වෘත්තියක යෙදී සිටින නිසා ලිංගික වශයෙන් අප වෙත ප්‍රවේශ වීම වරදක් නොවන බව ඇතමෙකු සිතන්නට ඇත. මෙය ඔවුන්ගේ සමහර ක්‍රියාවන් තුළින් අවබෝධ කර ගත හැකිවිය.
මම එවැනි අය සමඟ කෙලින්ම කතා කොට මාගේ විරුද්ධත්වය ප්‍රකාශ කර සිටියෙමි. මට ඒ ගැන කිසිදු උනන්දුවක් නැහැ, මම එ්වාට එකඟවන කෙනෙකුත් නෙවෙයි, ඒ නිසා මේ ආකාරයේ ප්‍රවේශවීම් මෙතනින්ම නවත්තවන්න කියා මම මිත්‍රශීලීව පවසා සිටිමි. මේ ආකාරයෙන් බොහෝ දෙනෙක් ඉවත්ව ගිය අවස්ථා තිබේ.
1990 දශකයේ අගභාගය සහ 2000 දශකයේ මුල් භාගය ලංකාව තුළ සිවිල් ගැටුම් උත්සන්නව පැවති කාලපරිච්ඡේදයක් විය. පිටත තොරතුරු රැස් කරන ස්ථානවල පමණක් නොව ආරක්ෂක අංශද අපගේ පෞද්ගලික තොරතුරු දැන ගැනීමට වැඩි කැමැත්තක් දැක්වීය.
මගේ හැඳුනුම්පතේ යම් ප්‍රදේශයක මා ඉපදුණු බවත් සඳහන් වූ නිසාත්, මාධ්‍යවේදියෙකු ලෙස සේවය කිරීම නිසාත් බොහෝ ස්ථානවල නැවත නැවතත් මාගෙන් ප්‍රශ්න කිරීම් සිදුවිය. අවුරුද්දකට වැඩි කාලයක් තිස්සේ මට මගේ උපන් ගමට යාමට නොහැකි විය. හේතුව මාධ්‍යවේදීන්ට එම ස්ථානවලට යාමට අවසර නොලැබීමයි. ඒ අතරම එම ප්‍රදේශයේ සටන්කාමී ක්‍රියාකාරකම් අධිකව පැවතීමත් නිසා ගමනාගමනයේදී සෑම විටම පාහේ අධික ලෙස ප්‍රශ්න කිරීම්වලට භාජනය වූ අතර මාර්ග බාධක අවහිරතාද අධිකව පැවතිණ. මේ නිසා මම කාර්යාලයෙන් පිටතට ගොස් ප්‍රවෘත්ති රැස් කිරීම කෙරෙහි අප ආයතනයද වැඩි කැමැත්තක් නොදැක්වීය. මම සිංහල මාධ්‍යවේදීන් සමඟ පිටතට ගිය අවස්ථා තිබුණි. එවිට අපව තනිව තබා ප්‍රශ්න කළ අවස්ථා බොහෝය. එවකට සිංහල මාධ්‍යවේදීන් පැමිණ “ එහෙනම් අපෙන්ද විමසීම් කරන්න” යනුවෙන් පැවසූ අවස්ථාද ඇත. පිරිමීන්ගෙන් ඇතිවන ගැටලු විසඳීමට අනෙක් පිරිමි පාර්ශවය ඉදිරිපත් වූයේ කෙසේද, ඒ ආකාරයෙන්ම සිංහල ජනතාවගෙන් ඇති කරන ලද ගැටලු සෙසු සිංහල ජනතාව විසින් විසඳූ අවස්ථාද තිබුණි.
ජනමාධ්‍යවේදියෙකු ලෙස කාර්යාලවලින් දත්ත ලබා ගැනීම ඉතා අපහසු විය. අප දෙමළ වූ නිසාවෙන් ඔවුන් කිසිදු දත්තයක් ලබා දීමටද සූදානම් නැත. අපව ත්‍රස්තවාදී කෝණයෙන්ම බැලීමට ඔවුහු පුරුදු වී සිටියහ. සාමාන්‍ය දත්ත විමසා සිටීමද භයානක විය.
වරක් මම කාර්යාලයක් අමතා අධ්‍යාපනය හා සම්බන්ධ දත්ත ඉල්ලා සිටියෙමි. සතියකට පසු බුද්ධි අංශයේ දෙදෙනෙක් ලිපියක් පළ කිරීමට පැමිණෙන මුවාවෙන් අප කාර්යාලයට ඇතුළු වී මගේ මේසය වෙත පැමිණියා. ඔවුන් ඇවිත් වාඩි වී මගෙන් ප්‍රශ්න කරන්න පටන් ගත්තා.
ජනාධිපතිවරයාගේ විවිධ රැස්වීම්වලදී ඔවුන් නිතිපතා මාගේ රුව දකින බවත්, නමුත් මාගේ නමින් කිසිදු ප්‍රවෘත්තියක් පළනොවන බවත් පවසමින් ඔවුහු මා වෙත බොරු චෝදනාවක් ඉදිරිපත් කළහ. මම සතිඅන්ත පුවත්පතේ ප්‍රධාන කර්තෘ වෙමි. තවද කාර්යාලයේ වැඩ අධිකව පැවතීම නිසා මා පිටතට යාම සීමා සහිත බව මා අවධාරණය කර සිටියත්, ඔවුන් ඒ කිසිත් විශ්වාස කළ බවත් පෙනුනේ නැත. ඔවුන් සියැසින්ම මා දැක්ක බව තවදුරටත් ඔවුන් ප්‍රකාශ කර සිටියා. පසුව මම පරිපාලනය හා ප්‍රධාන කතෘවරයා අමතා සත්‍යය තහවුරු කරගන්නා ලෙස පවසා මා ඔවුන්ව එහි පිටත්කර හැරියෙමි. ඔවුන් එහි සාකච්ඡා කොට පිටත්ව ගියහ. ඔවුන් පැවසුවේ මෙම කාර්යාලයෙන් ඔවුන් වෙත නිර්නාමික ලිපියක් ලැබුණු බවයි. කිසිදු සත්‍යයතාවයක් නොමැතිවූවද අපට එරෙහිව සුළු තොරතුරක් හෝ ලැබුණේ නම්, අපව විමර්ශනය කිරීමට හෝ අත්අඩංගුවට ගැනීමට හැකි කාලයක්ව එම අවධිය පැවතිණි.
මේ අනුව කාර්යාලයේ සහ ඉන් පිටතත් දමිළ කාන්තා මාධ්‍යවේදිනියක් වීම අභියෝග රැසකට මුහුණ දිය යුතු එකක් විය.
தழிழ் பெண்ணாக ஊடகத்துறையுள் (1992-2004)