අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

ජනප්‍රිය පාසල්වලට ඇතුලත් කර ගැනීමේ කඩඉම් ලකුණු ඉහළ යාමෙන් ශිෂ්‍යත්වලාභී දරුවන්ට වැට

දිල්හානි තන්තිරිමුදලිගේ

කොරෝනා වසංගතය හේතුවෙන් දිගු කාලයක් තිස්සේ පාසල් වසා දමා තිබී, 2020 ඔක්තෝම්බර් මාසයේදී පවත්වන ලද 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත්වීම අනෙක් වසරවලට සාපේක්ෂව ප්‍රමාද විය. සිසුන් 10 දෙනෙකු ලකුණු 200 න් 200 ක් ලබා ගෙන තිබිණි. ගුරු-සිසු සෘජු හමුවීම්, සහ පන්ති පැවැත්වීම සඳහා සීමිත අවකාශයක් තිබුණද සිසුන් 20,000 ක් ශිෂ්‍යත්ව විභාගය සමත් විය.
දිවයින පුරා ජනප්‍රිය පාසල් 149 ක් ඇති අතර ඒවාට ඉහළ ඉල්ලු‍මක් පවතී. දරුවන් ශිෂ්‍යත්ව විභාගයේදී ඉහළ ලකුණු ලබා ගැනීමට ප්‍රධාන හේතුව වන්නේ, වඩා හොඳ පහසුකම් ඇති එම පාසල්වලට ප්‍රවේශ වීමේ අපේක්ෂාව ය.
කෙසේ වෙතත්, 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ සමත් වීමේ ලකුණු මට්ටම ද මෙතරම් ඉහළ මට්ටමක තිබූණු පළමු අවස්ථාව මෙය වන අතර සිසුන්ට ඔවුන් අපේක්ෂා කරන පාසලකට ඇතුළු වීම අපහසු කටයුත්තක් බවට පත් විය. කොළඹ පාසලකට ඇතුළත් වීමට නම්, සිසුන් එක් විෂයයකට ලකුණු 97 ක් සමග ලකුණු 190 ක් ලබා ගත යුතුවේ. මෙය පෙර වසරවලට සාපේක්ෂව මුළුමනින්ම අනපේක්ෂිත තත්වයකි.
ලංකා ගුරු සේවා සංගමය 2020 විභාග කඩඉම් ලකුණු අඩු කරන ලෙස ඉල්ලා උද්ඝෝෂණයක නිරත විය. අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්ට ලිපියක් භාර දුන් ඔවුහු අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද කඩඉම් ලකුණු මත පදනම්ව නව ශිෂ්‍යයන් ඇතුළත් කරගන්නා සංඛ්‍යාව ප්‍රකාශයට පත් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුනි. වඩා හොඳ පාසලකට යාමේ අරමුණින් විභාගය සමත් වූ සියලු‍ම සිසුන්ට සමාන අවස්ථා ලබා දිය යුතු බව ද එම ලිපියේ සඳහන් විය. අනපේක්ෂිත ලෙස 2020 වසර සඳහා කඩඉම් ලකුණු ඉහළ නැංවීම පිළිබඳව දෙමාපියන් සහ ගුරුවරුන්ගේ අවධානය ද යොමුවී තිබේ. බොහෝ දෙනෙක්ගේ අදහස වන්නේ, දරුවන් ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කරගැනීම වෙත දේශපාලනික හස්තයක් අත පොවා ඇති අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ ද විනිවිදභාවයක් නොමැති බවයි.
දිවයින පුරා ඇති දෙමාපිය සංගම් පවසන්නේ වෙනත් ක්‍රම මගින් 6 වන ශ්‍රේණියට ළමයින් ඇතුළත් කරගෙන ඇති අතර ශිෂ්‍යත්වලාභීන්ට ජනප්‍රිය පාසල්වලට ඇතුළත් වීමේ වරප්‍රසාදය අහිමි කොට ඇති බවය. පසුගිය වසරේ රාජකීය විද්‍යාලයේ කඩඉම් ලකුණු මට්ටම 184 ක් වූ නමුත් මේ වසරේ එය 193 දක්වා ඉහළ ගොස් තිබේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් පාර්ලිමේන්තුවට මෙම මාතෘකාව ඉදිරිපත් කරද්දී අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු අසාධාරණ ලෙස වැඩි කර නොමැති බවයි. ප්‍රශ්න පත්‍රය තුළ ශිෂ්‍යයාගේ කාර්ය සාධනයට අනුකූලව කඩඉම් ලකුණු තීරණය කළ බවත්, මේ වසරේදී දරුවන් ඉතා හොඳින් දස්කම් දක්වා ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් කපිල පෙරේරා ප්‍රකාශ කළේ පාසල්වලට ඇතුලත් කරගත හැකි සිසුන් සංඛ්‍යාව හා පන්ති ගණන අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළ කර ඇති අතර එමඟින් කරුණු පැහැදිලි කර ගත හැති බවය.
කෙසේ වෙතත් කොළඹ රාජකීය විද්‍යාලයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් සිසුන් ඇතුළත් වීමේ ඉල්ලු‍ම ඉතා ඉහළ ය. මාසයක් ඇතුළත මෙම ගැටලු‍වට විසඳුම ලබා දෙන බව ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
ශිෂ්‍යත්ව විභාගයේ පරමාර්ථය වන්නේ වඩා හොඳ පහසුකම් ඇති පාසලකට යාමට දරුවන්ට අවස්ථාව ලබා දීම වන අතර, නිශ්චිත ඉලක්කයක් ඇති දරුවෙකුට තමා කැමති වෘත්තියක් සඳහා උපාධියක් ලබා දීමට මග සලසන වැදගත්ම විභාගය ද මෙය ය. මෙම ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය තුළින් අද මෙරටට සේවය කරන බොහෝ වෘත්තිකයින් බිහිකර තිබේ. එය දරුවාව පහසුකම් හා ඉහළ අවස්ථාවන්ගෙන් පිරි පාසලකට ඇතුළත් කර දෙයි.
ග්‍රාමීය පාසල් සඳහා හොඳ විද්‍යාගාර, ක්‍රීඩා පහසුකම් සහ කොළඹ රාජකීය විද්‍යාලයේ මෙන් සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂයයන් වැඩි විෂය විකල්ප තිබුණේ නම් මෙම ගැටළුකාරී තත්ත්වය වළක්වා ගත හැකිය. දරුවන්, දෙමාපියන්, සහ ගුරුවරුන්ගේ මානසික ආතතිය හා බලාපොරොත්තු සුන්වීම අවම කර ගැනීම සඳහා ජනප්‍රිය පාසල්වලට සමාන පහසුකම් සහිත ග්‍රාමීය පාසල් වැඩිදියුණු කිරීමට කටයුතු කරන ලෙස දෙමාපියන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටී.

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts