ඡන්දදායකයන්ට අල්ලස් දුන්නොත් තනතුර අහිමි වන අධිකරණ තීන්දුව
සී ජේ අමරතුංග
සුළු සිදුවීමක් ලෙස පෙනුනත් ඉතා වැදගත් නඩු තීන්දුවක් පසුගිය දා ප්‍රකාශයට පත් වී ය. තීන්දුව දුන්නේ මොනරාගල මහාධිකරණය යි. නඩුවේ නිමිත්ත වුයේ අපේක්ෂකයකු විසින් පළාත් පාලන ආයතනයේ නියෝජිතයකු ලෙස පත්වීමට සිය ඡන්ද දායකයන්ට අල්ලස් දුන් බවට චෝදනා නැගී තිබීම යි. මෙරට මැතිවරණ නීතියට අනුව ඡන්ද දායකයන්ට අල්ලස් දීම වරදක් වුව ද, එය දිගින් දිගට සිදුවෙමින් තිබීම මැතිවරණ කෙරෙහි අහිතකර බලපෑම් ඇති කරන බවට සැකයක් නැත.
නිදහස් සහ සාධාරණ මැතිවරණ සඳහා ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් පැෆරල් සංවිධානයත්, මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය හෙවත් සී එම් ඊ වී සංවිධානයත් නඩුව ඉදිරිපත් කිරීමට මුලිකත්වය ගෙන ක්‍රියා කළේ ය. නඩුවට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට තොරතුරු දැනගැනීමේ පනත යටතේ කළ විමසීම් හා ඒවාට ලැබුණු ප්‍රතිචාර වැදගත් වූ බව එම සංවිධාන ප්‍රකාශ කරයි.
වසර දෙකකට වැඩි කලක් තිස්සේ විභාග වූ නඩුවේ තීන්දුව දෙමින් මොනරාගල මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා නියෝග කළේ අදාළ ඡන්ද අපේක්ෂකයා ඡන්ද දායකයන්ට අල්ලස් දුන් බව ඔප්පු වී ඇති නිසා පළාත් පාලන ආයතනයේ ඔහුගේ තනතුර අහෝසි වන බව යි. ඔහුගේ තනතුර අහෝසි කොට ලයිස්තුවේ ඊළඟට වැඩි ම ඡන්ද ගත් අපේක්ෂකයාට තනතුර ලබාදිය යුතු බවට අධිකරණය නියෝග කළේ ය.
මෙම තීන්දුව ක්ෂණිකව අදාළ වන්නේ පළාත් පාලන ආයතනයක එක නියෝජිත තනතුරක් සඳහා ය. එයින් රටේ දේශපාලනයේ විශාල වෙනසකට මුල පිරීමක් වනු ඇතැයි කිසිවකුට එකවර පෙනී යන්නේ නැතිවා විය හැකි ය. එසේ වුව ද, මෙම තීන්දුවේ ඇත්ත බලපෑම වන්නේ එය ඉදරි මැතිවරණ සියල්ලට පුර්ව ආදර්ශයක් ලෙස කරන බලපෑම හේතුවෙනි. එනම්, ඡන්ද දායකයන්ට අල්ලස් දීම තමන්ට තනතුර නැති වීමට හේතුවක් වන්නේ ය යන අදහස නැතහොත් පාඩම සියලු ඡන්ද අපේක්ෂකයන්ට ලැබීම හේතුවෙනි.
ඡන්ද දායකයන්ට අල්ලස් දීම මැතිවරණ නීතිය යටතේ වරදක් වුයේ අද ඊයේ නොවේ. එය මෙරට මැතිවරණ නීතියේ දිගට ම තිබු තහංචියකි. එපමණක් නොවේ. ඡන්ද දායකයන්ට සංග්‍රහ කිරීම ද වරදකි. එසේ වුව ද, කලක් තිස්සේ අඩු වැඩි වශයෙන් තිබු මෙම වැරදි මෑත කාලයේ ඉහ වහ ගිය බව කිව හැකි ය.
මෑත කාලයේ ප්‍රධාන මැතිවරණ වල දී අප දුටුවේ, විවිධ අයථා ක්‍රමවලින් මුදල් උපයාගත් ඡන්ද අපේක්ෂකයින් ඡන්ද දායකයින් සඳහා දාන ශාලා පවත්වාගෙන යන ආකාරයකි. ඇතැම් අපේක්ෂකයින් දිවා රෑ ක්‍රියාත්මක විශාල දාන ශාලා පවත්වාගෙන ගියෝ ය. ඡන්ද නීතිවලට පටහැනි බව දැන සිටියත්, බියක් නැතිව එම වැරදි කළේ ඒවාට කිසිදු දඬුවමක් නොලැබෙන්නේ ය යන විශ්වාසය පැවති හෙයිනි. මැතිවරණ නීති සියල්ල කඩා හෝ ඡන්දය දිනුවොත් ඉන් පසු ඊට එරෙහිව කළ හැකි කිසිවක් නැති බව ඔවුන්ට මෙතෙක් තිබු අත්දැකීම යි. මේ දක්වා කරුණු සිදු වුයේ ද ඒ ආකාරයෙනි.
මැතිවරණයක දී පෝස්ටර් ගැසීම, කටවුට් , බැනර් දැමීම තහනම් ය. අවසර ඇත්තේ රැස්වීමක් දැනුම් දීමේ පෝස්ටර් සඳහා පමණකි. එය ද, රැස්වීම පවත්වන අසල ප්‍රදේශයේ ය. මනාප අංක ප්‍රදර්ශනය ද තහනම් ය. එසේ වුව ද, ඡන්ද අපේක්ෂකයින් දිගට ම කළේ මෙම සියලු නීති කඩමින් මැතිවරණ ප්‍රචාරණය කොට කෙසේ හෝ ජයගන්නට බැලීම යි. ජයගත් පසු සුරක්ෂිතය යන හැගීමක් ඔවුන්ට තිබිණි.
මැතිවරණ නිරීක්ෂක සංවිධාන දිගින් දිගට කළ බලපෑම් හේතුවෙන් මෙම ඇතැම් නීති ක්‍රියාත්මක කරන්නට මැතිවරණ කොමිසම කටයුතු කළේ ය. පෝස්ටර් ගැලවීම ඉන් එක් ක්‍රියාමාර්ගයකි.
තමන්ගේ පෝස්ටර් ගැලවා ඇතැයි පොලිසියට පැමිණිලි කරන්නට ඇතැම් අපේක්ෂකයින් උත්සහ කළේ එය තම අයිතියක් යැයි සිතාගෙන ය. කාලයක් තිස්සේ එයට හුරු වී තිබු නිසා, ඊට වෙනස් නීතියක් ගැන හිතා ගැනීමටවත් ඔවුනට බැරි ය. සමහරු මාධ්‍ය ඉදිරියේ මැසිවිලි නැගුහ. මෙහෙම නැතිව මැතිවරණ කරන්නේ කොහොම දැයි ඔවුහු විමසුහ. මැතිවරණ නීති කැඩීම පිළිගත් නීතිය බවට පත්ව තිබුණේ ඒ ආකාරයෙනි.
කාලෙකට ඉහත තම අපේක්ෂකයා වෙනුවෙන් පක්ෂ ක්‍රියාකාරීහු ගෙන් ගෙට ගියේ ස්වේච්ඡාවෙනි. පසුගිය කාලය වන විට එයද වෙනස් වී තිබිණි. ගෙන් ගෙට යන ක්‍රියාකාරීන්ට කෑමට සහ මත්පැන්වලට අමතරව අතට මුදලක් ද දීම සිදුවිය. මැතිවරණ වකවානුවේ එය ඇතැම් පිරිසකගේ රැකියාව බවට පත්ව ඇත.
මැතිවරණ ප්‍රචාරක රැස්වීම් වල තත්ත්වය ද, ඒ තරමට ම පිරිහී ඇත. ප්‍රධාන රැස්වීම්වලට දැන් කරන්නේ සෙනග අදින එක ය. ඒ සඳහා කුලියට බස් යෙදවිය යුතු ය. කන්න දිය යුතු ය. බොන්න මත්පැන් ද සැපයිය යුතු ය. දැන් රස්වීම් කරන්නේ එහෙම ය.
මේ අප කියුවේ අපගේ මතිවරණ ව්‍යාපාරවල අද තත්ත්වය යි. සියල්ල කෙරෙන්නේ අල්ලස් වලින් බව කිව හොත් වැරද්දක් නැති තත්ත්වයට මැතිවරණ ක්‍රමය පිරිහී ඇත. යථාර්ථය එයයි.
මෙමතත්ත්වය යටතේ මැතිවරණ කළ හැක්කේ මුදල් යහමින් ඇති අපේක්ෂකයන්ට බව අමුතුවෙන් කිව යුතු නැත. එවිට මැතිවරණ සාධාරණ වීමට ඉඩක් නැත. ගොඩ නැගෙන්නේ ඇති එකා දිනන නැති එකා වැනසෙන තත්ත්වයකි. මෙහෙම කරන මැතිවරණ වලින් රටට යුක්තිගරුක සාධාරණ ආණ්ඩු පත්වනු ඇතැයි විශ්වාස කිරීම ද දුෂ්කර ය.
අනෙක් කාරණය මෙහෙම ඡන්ද කොට බලයට පත්වන අය දුෂිතයින් බවට පත්වීම යි. එක් අතෙකින් මැතිවරණය විසින් ම ඔවුන් දුෂිතයින් බවට පත් කරනු ලබයි. අනෙක් අතට බලයට පත් වූ විට ඔවුනට මැතිවරණයට මුදල් වියදම් කල දුෂිත ව්‍යපාරිකයන් සතුටු කරන අතරම මැතිවරණයට වියදම් වූ අති විශාල ධනස්කන්ධය නැවත උපයා ගැනිමට මාර්ග සෙවීමට සිදුවේ. කොන්ත්‍රාත්, අල්ලස් , කොමිස්, කප්පම්, ආදී කොයි ආකාරයකින් හෝ මුදල් ඉපයීම ඔවුන්ගේ ප්‍රධාන අරමුණ බවට පත් වන්නේ ඒ නිසා ය.
මෙම ක්‍රමයෙන් දුෂිත ආණ්ඩු, පළාත් සභා, නගර සභා, ප්‍රාදේශීය සභා බිහිවන්නේ ඒ ආකාරයෙනි.
මෙම දුෂිත ක්‍රමය වෙනස් කිරීමට නම් දුෂණට පෙලඹිමක් ඇති කරවන මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතු ම බව අමුතුවෙන් කිව යුතු නැත. නිදහස් සහ සාධාරණ මැතිවරණ පවත්වා ගන්නට අපට නොහැකි නම් දුෂණයෙන් තොර ආණ්ඩු බිහිකර ගැනීමට ද නොහැකි වනවා ඇත.
මොනරාගල මහාධිකරණය දුන් ඉහත කී නඩු තීන්දුව අපට වැදගත් වන්නේ ඒ නිසා ය. මෙයින් දී ඇති ආදර්ශය වන්නේ මැතිවරණයක දී අල්ලස් දීමෙන් තනතුර අහිමි විය හැකි ය යන්නයි. එය මෙතෙක් නොතිබුණු තත්ත්වයකි. ඒ අනුව එය මෙරට මැතිවරණ දේශපාලනයේ සන්ධිස්ථානයක් විය හැකි නඩු තීන්දුවකි.
මෙම නඩු තීන්දුවෙන් පමණක් සියල්ල වෙනස් වන්නේය යන්න එයින් අදහස් වන්නේ නැත. මෙය ආරම්භයක් පමණකි. මෙතනින් ඉදිරියට බොහෝ දේ කළ යුතු විය හැකි ය. මෙම නඩු තින්දුවේ පුර්වාදර්ශය පදනම් කරගෙන තව දුරටත් කටයුතු කළ යුතුව ඇත. එනම්, අනාගතයේ මෙබඳු තව තවත්, නඩු පවරන්නට සිදුවනු ඇත. අල්ලස පමණක් නොව වෙනත් වැරදි සඳහා ද , නීති ක්‍රියාමාර්ග පුළුල් කිරීම ද වැදගත් විය හැකි ය.
මෙබඳු දුෂණයන්ට තුඩු දෙන මැතිවරණ ක්‍රමය ප්‍රතිසංස්කරණය ද ඊට සමගාමිව සිදු විය යුතු තවත් කාර්යයකි. ඒ සඳහා දැනට දැරෙන උත්සාහයන් ශක්තිමත් කොට ඉදිරියට ගෙන යාම ද අවශ්‍ය වෙයි.
රටට අවශ්‍ය පිරිසිදු මැතිවරණ ක්‍රමයක් ගොඩ නගා ගත හැකි වන්නේ එබඳු උත්සාහයන්ගේ ප්‍රතිඵල වශයෙනි.