සමාජ

ගමේ හොඳ ම විශ්වාසවන්තයා අද අවිශ්වාස ඇයි?

මංගලනාත් ලියනාරච්චි

එදා මෙදාතුර සුරැකි සිංහල – මුස්ලිම් සබඳතා හා සුහදතාව පළුදු කළ හේතු කාරණා පිළිබඳ සිහිනුවණින් විමසා බලන්නටත්, එවැනි සිදුවීම් තවදුරටත් සිදුනොවනු පිණිස මුස්ලිම් ජනතාව පටු වර්ගවාදී ගොදුරු බවට පත්වීමෙන් වලක්වා ගනු සඳහාත් සිදු කෙරෙන වැඩපිළිවෙළක වුවමනාව අද වෙනදාටත් වඩා දැඩි ව දැනෙන්නකි. එවන් වැඩපිළිවෙළක් මුස්ලිම් ජනයා අතරින් ම ඉස්මතු වන්නේ නම් එහි අගය අපට වඩාත් දැනෙනු ඇත. ශ්‍රී ලංකා යුද හමුදාවේ බ්‍රිගේඩියර් වරයකු වන අසාද් ඉසදීන් මේ උත්සාහ දරන්නේ එවන් කටයුත්තක් උදෙසා ය.

“ඒ කාලේ සිංහල ජනතාව වන්දනාවේ යන කොට එයාලගේ වටිනා කියන දේවල් හැම දෙයක්ම භාරදීලා යන්නේ, අපේ අයට. එයාලා වන්දනාවේ ගිහින් එනකම් එයාලගේ වටිනා කියන දේවල් ආරක්ෂා කරලා දුන්නෙ ගමේ හිටිය විශ්වාසම කෙනා, ඒ තමයි ගමේ නානා.. එහෙම තිබුණ විශ්වාසය තමා අද මේ පළුදු වෙලා තියෙන්නේ…“ ඒ සිංහල හඬ මතු ව එන්නේ ත්‍රිකුණාමලය උතුරු වෙරළ පාරේ පිහිටි මොහොයිදීන් ජුම්මා දේවස්ථානයෙනි. ශ්‍රී ලංකා යුද හමුදාවේ බ්‍රිගේඩියර්වරයකු වන අසාද් ඉසදීන් මේ උත්සාහ දරන්නේ එදා මෙදාතුර සුරැකි සිංහල – මුස්ලිම් සබඳතා හා සුහදතාවට පළුදු ඇති කළ හේතු කාරණා පිළිබඳ සිහිනුවණින් විමසා බලන්නටත්, එවැනි සිදුවීම් තවදුරටත් සිදුනොවනු පිණිස මුස්ලිම් ජනතාව පටු වර්ගවාදී ගොදුරු බවට පත්වීමෙන් වලක්වා ගනු සඳහාත් ය.

ගෙවී අවසන් වූයේ මුස්ලිම් ජාතිකයන්ගේ උතුම් වු රාමසාන් උපවාස සමයයි. රාමසාන් උපවාසය ඔවුන් භාර ගන්නේ,මහත් හරසරිනි. මෙවර රාමසාන් උපවාස සමය පැමිණියේ, අසුබ දිනක පැමිණි සුබ පැතුමක් මෙනි. රාමසාන් සතුට බොඳ කිරීම පිළිබඳ මුස්ලිම්වරුන් සිත් තැවුලෙන් සිටින්නේ තමන් මෙතෙක් කලක් අන් ජාතීන් සමග පැවති සංහිදියාවට පාස්කු ඉරිදා ප්‍රහාරය වින කෙටු බැවිනි. ශ්‍රී ලංකා යුද හමුදාවේ සක්‍රිය සේවයේ නිරත උසස් මුස්ලිම් ජාතික හමුදා නිලධාරීන් පිරිසක් මුස්ලිම් ප්‍රජාව හමුවී, පසුගිය සමයේ හට ගත් සිදුවීම් පිළිබඳ යළි අවලෝකනයක නිරත වන්නේ,අනාගතයේ දිනක එවැනි සිදුවීම් තවදුරටත් තම ප්‍රජාවේ නාමයෙන් නොසිදුවිය යුතු බවට වන පණිවිඩය තමප්‍රජාව සමඟ බෙදා හදා ගැනීමේ අදහසිනි. වත්මන් යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් පෙරේරා ගේ අදහසකට අනුව ක්‍රියාත්මක වු මෙම වැඩ සටහන මුස්ලිම් හා සිංහල ප්‍රජාවන් අතර පැවැති ඇතැම් අනවබෝධාත්මක සැකයනට සැපයූ කදිම පිළිතුරක් විය.

තිස් වසරක් පුරා විහිදුණු යුද්ධය අවසන් වී ඉසිඹුලන්නටත් පෙර, සහෝදර මුස්ලිම් ජනයා සමඟ විරසකයකට මඟ පාදන්නට පාස්කු ඉරිදා මිලේච්ඡ ප්‍රහාරය දිය හා පොහොර සැපයී ය.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු සිදුවු ඇතැම් සිදුවීම් සහෝදර මුස්ලිම් ප්‍රජාව පිළිබද සැකය වඩ වඩාත් තීව්ර කරවීමට සමත් වු බව නොරහසකි. එනමුදු ශ්‍රී ලංකාවට නිදහස දිනා ගැනීම පිණිස සිදු කළ අරගලවල දී මෙන් ම මෑතකාලීනව අප අත්විඳි තිස් වසරක යුද්ධයේදී ද රටේ ස්ථාවරභාවය හා ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා එදා මෙදාතුර සිංහල ප්‍රජාව සමඟ උරෙනුර ගැටී කැප වී කටයුතු කරන්නට පෙරට ආ මුස්ලිම් ජනතාව මෙන් ම මුස්ලිම් නායකයන් පිළිබඳ බොහෝ උදාහරණවලින් ලාංකීය ඉතිහාසය පොහොසත් ය. එදාමෙදාතුර මුස්ලිම්වරුන් මෙරටට සිදු කළ කැපකිරීම්වල වටිනාකම අවතක්සේරු කරන්නට පාස්කු ඉරිදා ප්‍රහාරය ඇතැම් පිරිස් යොදා ගත් බව නොරහසකි. මේ නිසාම බොහෝ මුස්ලිම්වරුන්ට සිදුවූයේ කුමක්ද? තමන් ඉදිරියට කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳ අවබෝධයක් නොමැතිව දුර්මුඛ වී සිටින්නට ය. එවන් මොහොතක යුද හමුදාවේ මුස්ලිම් ජාතික උසස් නිලධාරීන් පිරිසක් රට පුරා විසිර සිටින මුස්ලිම් ජාතිකයන් හමු වී මෙලෙස අදහස් හුවමාරු කර ගැනීමට කටයුතු කිරීම මුස්ලිම්වරුන්ට මහත් අස්වැසිල්ලක් වූ බව නොරහසකි.

අසාත් සායිබු අන්සාර් සහ සුබයිර්

“මීට කලිනුත්,මේ වගේ ගැටුම්වලට දිගන දී, බේරුවල දී අපිට මුහුණ දෙන්න සිද්ධ වුණා. අපි බොහෝ කාලයක් තිස්සෙ මේ රටේ සිංහල හා දෙමළ ජනතාව සමඟ සහෝදරත්වයෙන් කටයුතු කරමින් සිටින පිරිසක්. අපි මේ රටේ වාර්ගික සංයුතියේ තවත් කොටසක් පමණයි. අපිට යම් යම් අඩුපාඩුකම්, අඩු ලුහුඩුකම් ඇති වෙන්න පුළුවන්. අපි අපේ ආගමික සිද්ධස්ථාන හරහා සිදු කරන්න ඕනේ, මේ තත්වයන් අපේ අලුත් පරපුරට පහදා දෙන එකයි.එහෙම නැතුව වෛරය පතුරවන එක නෙවෙයි. මේ අපේ වෑයම ඒ වෙනුවෙන්…“
බ්‍රිගේඩියර් ඉසදීන් සිය අදහස විස්තර කරයි.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු මුස්ලිම්වරුන් වැඩි දෙනෙකුට සහෝදර අනෙක් ජනයාගේ මුහුණ බැලීමේ අපහසුතාවකින් පෙලුණු බව බොරුවක් නොවේ.ඇතමුන් බොහෝ විට තම කඩ සාප්පු වසා දමා දෛනික කටයුතු වලින් බැහැරව සිටියහ. එදා සිට මේ දක්වා එකිනෙකා කෙරෙහි තබා තිබු විශ්වාසය බිඳ වැටීම පිළිබඳ ඔවුන් පසුවූයේ පශ්චත්තාපයෙනි.

“අපි අවුරුදු 30 ක් යුද්දෙන් බැට කෑවා. යුද්දේ අවසන් වුණාට පස්සේ අපි ජාති තුනම නැවත වරක් ත්‍රිකුණාමලයේ බොහොම සමගියෙන් සහයෝගයෙන් ජීවත් වුණා. මුස්ලිම්වරුන් ගැන කිසිම කෙනෙකුට සැකයක් තිබ්බේ නැහැ. 21 වැනිදා ප්‍රහාරයෙන් පස්සේ අපේ ජන ජීවීතේ මුළු ජීවීතේම කනපිට හැරුණා. දැන් අපේ ව්‍යාපාර බිද වැටිලා. ඉස්සර අපේ කඩවල්වලට ආපු මිනිස්සු දැන් අහක බලා ගෙන යනවා. මේ තත්වයට අපිත් වග කියන්න ඕනේ. මුස්ලිම්වරුන් කියන්නේ, තවත් ආගමක් විනාශ කරලා තමන්ගේ ආගම පතුරවන අය නෙවෙයි. ඒ අදහස බහුතර ලාංකිකයන් තළ තහවුරු වන ලෙසයි අප කටයුතු කළ යුත්තේ…“ යැයි කියන්නේ, ත්‍රිකුණාමලයේ සිවිල් ආරක්ෂක කමිටුවේ උප සභාපති අසාත් සායිබු අන්සාර්ය.

මුස්ලිම් හමුදා නිලධාරීන්  මොහොයිදීන් ජුම්මා දේවස්ථානයේ දී රාමසාන් උපවාසය අත හරිමින්

ප්‍රහාරයෙන් පසු ආරක්ෂක අංශ සාමාජිකයන් වැඩි වශයෙන් මුස්ලිම්වරු අපහසුතාවයට ලක් කරමින් පරික්ෂා කිරීම් සිදුකරන බවත්,මේ තත්වය අවම කිරීමට කටයුතු කරන ලෙසත් ඇතැම් තරුණයන් කළ ඉල්ලීමට වැඩිහිටි මුස්ලිම් ජාතිකයන්ගෙන් හිමිවූයේ,එතරම් යහපත් ප්‍රතිචාරයක් නොවේ.

“අපි අතින් වැරද්දක් වෙලා තියෙනවා. සහරාන්ලා ආගම වැරදි විධිහට ප්‍රචාරය කරද්දී අපි මොකද කලේ කියලා අපි කල්පනා කරන්න ඕනේ. “ යි ත්‍රිකුණාමලය මැද පාර මොහොමඩ් ජුම්මා පල්ලියේ මොහොමඩ් ෆරීඩ් මෞලවීතුමා කියයි.

හිංසනය කිසිසේත් ඉස්ලාම් අගමේ අංගයක් නොවන බව පහදා දෙනබ්‍රිගේඩියර් ඉසදීන් මුස්ලිම් ජාතිකයන්ගෙන් ඉල්ලා සිටියේ ,සහෝදර සිංහල හා දෙමළ ජනතාව සමඟ පෙර පරිදි සහෝදරත්වය හා මිත්‍රත්වය ඇතිකර ගැනීම පෙර පැවති සබඳතා අඛණ්ඩව ඉදිරියට ගෙන යාමටත්, එදා මෙදාතුර සුරැකි සිංහල – මුස්ලිම් සබඳතා හා  සුහදතාවට පළුදු ඇති කළ හේතු කාරණා පිළිබඳ සිහිනුවණින් විමසා බලන්නටත්, එවැනි සිදුවීම් තවදුරටත් සිදුනොවනු පිණිස මුස්ලිම් ජනතාව පටු වර්ගවාදී ගොදුරු බවට පත්වීමෙන් වලක්වා ගනු සඳහාත් කටයුතු කරන ලෙසිනි.

“අපි ඉන්නේ, ලංකාවේ මිසක් සෞදි අරාබියේ නෙවෙයි. අපි අපේ දරුවන්ට අරාබි භාෂාව උගන්නන්න කලින්, පළමුව සම්බන්ධීකරණ බසක් ලෙස සිංහල උගන්වන්න හැකි නම්, මේ ගැටලු මෙතරම් උග්‍ර වෙන්නේ නැහැ.බෙදී හුදෙකලා වීම වෙනුවට සාමය හා සංහිදියාව ඇති කර ගන්නට උපයෝගි කර ගත හැකි ප්‍රබලතම ආයුධය භාෂාවයි..“ බ්‍රිගේඩියර් අසාත් කියා සිටියේය.

This article was originally published on the catamaran.com

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts