අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් විනිවිදභාවය

කෝවිඩ්-19 වෛරස ව්‍යාප්තිය හමුවේ ශ්‍රී ලාංකික සිනමාවේ අනාගතය

කීර්තිකා මහාලිංගම්

“දහසක් දෙනා එකවර දෑස් දල්වා නරඹන සිහිනය සිනමාව නම් වේ – පෙර්ඩාලුසි” ( පෙර්ඩාලුසි යනු ඉතාලි ජාතික චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු හා තිර කතා රචකයෙකි)

වර්තමානය වනවිට සමාජ මාධ්‍යට වඩා ලොව පුරා යම් මාධ්‍යක් බලගතු වේ නම් ඒ අන් කවරකුත් නොව සිනමා මාධ්‍යයි. තවද ආසියාතික රටවල ජනතාවගේ දෛනික ජන ජීවිතය පවා සිනමාවෙන් ප්‍රතිනිර්මාණය වන ආකාරය ඇස් මනාපිට දැකගත හැකිය. විශේෂයෙන්ම සමාජය පුරා කොරෝනා වෛරස ව්‍යාප්තිය සිදුව ඇති මෙවන් පසුබිමක සිනමාව යන්න නිර්මාණකරණයෙන් ඔබ්බට ගොස්, අපිව අප විසින්ම සනසවාගන්නා උපාය මාර්ගයක් බවට පරිවර්තනය වී ඇත. බොහෝ දෙනා ලෝක සිනමාව හා ඉන්දියානු සිනමාව පිළිබඳව තර්ක විතර්කයන් හා විමර්ශනයන් කිරීමට පෙළඹී සිටියත් ශ්‍රී ලාංකික සිනමාව හා ලාංකික කලාකරුවන්ව සහමුලින්ම අමතක කර දැමීම කනගාටුවට කරුණකි. ශ්‍රී ලාංකික සිනමා කර්මාන්තයේ නිරත පුද්ගලයින්ගෙන් ලාංකික සිනමාවේ වර්තමාන තත්ත්වය පිළිබඳව තොරතුරු විමසා ඒ පිළිබඳව කරුණු අධ්‍යනය කිරීම මෙම ලිපියෙහි මූලික අරමුණයි.

සිනමා කර්මාන්තයෙහි නිරත ශ්‍රී ලාංකික කලාකරුවන් මුහුණ දෙන අභියෝගය 

“අධ්‍යක්ෂවරයෙකු ලෙස චිත්‍රපට කිහිපයක වැඩකටයුතු ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබුණත් කොරෝනා හේතුවෙන් ඒ සියල්ල අතරමගදී නතර කර දැමීමට සිදුවුණා. මේ වනවිට ඒ සියලු කටයුතු නැවත ආරම්භ කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. මම අධ්‍යක්ෂවරයෙක් පමණක් නොව රංගන ශිල්පියෙක් ලෙස රංගන කටයුතුවලත් නිරතව සිටින නිසා රඟපෑම සඳහා විවිධ අවස්ථා පැමිණියත් කොරෝනා හේතුවෙන් ඒ සියල්ල මඟ හැරුනා” යනුවෙන් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු හා රංගන ශිල්පියෙකු වන කිංග් රත්නම් පවසයි.

කොරෝනා ව්‍යාප්තියට පෙර සිටම ශ්‍රී ලාංකික සමාජයේ සිනමා කර්මාන්තය විවිධ අභියෝගයන් මාධ්‍යයේ පැවතුණි. තවද ලාංකික දමිළ මාධ්‍ය සිනමා ඉතිහාසය පිළිබඳව අවධානය යොමු කිරීමේදී පැහැදිලි වන්නේ විටින් විට දමිළ භාෂා චිත්‍රපට එකක් හෝ දෙකක් පමණක් නිෂ්පාදනය කෙරුනත් එහි පැවැත්ම සඳහා තවමත් ස්ථාවර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර නොමැති බවයි. සිංහල සිනමාව කෙරෙහි අවධානය යොමු කරත් එයත් මරණ මංචකයේ තම අවසන් හුස්ම රැක ගැනීමේ උත්සහයක නිරතව සිටින ආකාරයක් හඳුනාගත හැකිය. සමස්ථ ලෝකයෙහිම සිදුවන මෙවැනි සිදුවීම් පිළිබඳව අවධානය යොමු කිරීමේදී පැහැදිලි වන්නේ සිනමා කර්මාන්ත සඳහා නව ප්‍රවේශයන් අවශ්‍යව ඇති බවයි. නමුත් මෙරට සිනමා කර්මාන්තට අත්ව ඇති සෝචනීය ඉරණම පිළිබඳව කිසිවෙකුගෙත් අවධානය යොමු නොවීම කනගාටුවට කරුණක් බව ඔහු වැඩිදුරටත් පවසයි.

“සිනමා කර්මාන්ත පවත්වාගෙන යෑමේදී අප සතුව ඇති තාක්ෂණික පහසුකම් අවම වීම නිසා කොරෝනා වෛරස ව්‍යාප්තියේ බලපෑම අපට දැඩිව දැනේ. මෙරට වාණිජ චිත්‍රපට නිෂ්පාදනය නැවත ආරම්භ කරන ලද්දේ වසර 40 කට පසුව එනම් 2016 වසරේදී ය. කොරෝනා හේතුවෙන් ශ්‍රී ලාංකික සිනමාවට අත්ව ඇති බලපෑමෙන් මිදීමට නම් දීර්ඝ කාලීන සාර්ථක වැඩපිළිවෙළවල් කිහිපයක් ක්‍රියාත්මක කල යුතුය. මහජනයාට කොරෝනා සමග ජීවත්වීමේ වාතාවරණයක් උදාවී තිබේ නම් සිනමා කර්මාන්තයත් කොරෝනා මාධ්‍යයේම පවත්වාගෙන යෑමට සුදුසු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කල යුතුයි. එපමණක් නොව මේ කාලවකවානුවේදී රූගත කිරීම් ආරම්භ කරන ලද චිත්‍රපට කිහිපයක්ම කොරෝනා හේතුවෙන් අතරමග නැවතී ඇත” යනුවෙන් චිත්‍රපට අධ්‍යක්ෂ භවදාරිනී රාජසිංහම් පවසයි.

“ලොව පුරා සිනමා ශාලාවලදී චිත්‍රපටයක් තිරගත කිරීමට අමතරව වර්තමානය වන විට OTT තාක්ෂණය භාවිත කරමින්ද චිත්‍රපට තිරගත කිරීමේ වාතාවරණයක් දක්නට ලැබේ. අපගේ චිත්‍රපට තිරගත කිරීමට සුදුසු ස්ථාන නොලැබීම නිසා මම පසුගිය වසරේ OTT වේදිකාව භාවිත කරමින් චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම ආරම්භ කලා. ලෝක සිනමාව අති නවීණ තාක්ෂණික භාවිතාවන්වලට යොමු වී ඇති මෙවන් පසුබිමක කාලය විසින් අපේ ගැටලුවට විසඳුම් ලැබේවි යන්න සිතා අපි බලා සිටියහොත් අපට කෙදිනකවත් සිනමා කර්මාන්තයෙන් සාර්ථක වීමට නොහැකි වේවි. (https://ceynema.com/) එපමණක් නොව ශ්‍රී ලාංකික සිනමාව පිළිබඳව තෘප්තිමත් හැගීමක් ලාංකික සිනමා ප්‍රේක්ෂකයා තුළ නැත. චිත්‍රපට නැරඹීම සඳහා ඉල්ලුම ඇති කරනු ලබන්නේ ප්‍රේක්ෂකයා විසිනි. එම නිසා ඔවුන්ට නිවැරැදි චිත්‍රපට කොටස් තෝරා දීම, පහසු ගෙවීමේ ක්‍රම හඳුන්වා දීම හා නිසි ලෙස ඒවා ක්‍රියාත්මක කිරීම මගින් ප්‍රේක්ෂකයා ඒ කෙරෙහි පහසුවෙන්ම යොමු කල හැක. මීට අමතරව මෙරට අන්තර්ජාල භාවිත කිරීම මගින් චිත්‍රපට තිරගත කිරීමට තරම් ප්‍රමාණවත් චිත්‍රපට ශ්‍රී ලංකාවේ නොමැති වීම සුවිශාල අඩුපාඩුවකි” යනුවෙන් කිංග් රත්නම් පවසයි.

“2020 වසරේ ජනවාරි මස 15 වන දින තිරගත කරන ලද ‘සුනාමි’ චිත්‍රපටය රටවල් 50 පමණ අති සාර්ථක ලෙස ප්‍රදර්ශනය කෙරුණි. එය දකුණු පළාතේ නිෂ්පාදනය කරන ලද ද්වි භාෂා චිත්‍රපටයකි. මෙම චිත්‍රපටයේ රූගත කර ඇති දර්ශන බහුල වශයෙන් දමිළ බසින් නිමවා තිබුණත්, මෙම චිත්‍රපයේ අඩංගු අන්තර්ගතය අනාගත පරපුරට ලගාවිය යුතු නිසා මෙම චිත්‍රපටය පාසල් ළමුන් සඳහා ද ප්‍රදර්ශනය කල යුතු බවට අධ්‍යාපන අමාත්‍යාංශයෙන්ද ඉල්ලීමක් කර ඇත. උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල මෙම චිත්‍රපට තිරගත කිරීම පෙර සති දෙකක් වැනි කාලයකදි ඒ සඳහා අවශ්‍ය ප්‍රචාරණ කටයුතු සිදු කෙරුණු අතර චිත්‍රපටය නැරඹීම සඳහා ප්‍රේක්ෂකයින් විසින් කලින්ම ටිකට්පත් වෙන්කර තිබුණු පසුබිමක කොරෝනා හේතුවෙන් චිත්‍රපට ශාලා සියල්ල වසා දැමුණි. පෞද්ගලිකව මෙය මට ඉතාමත් කනගාටුදායක සිදුවීමක් විය. ‘සුනාමි’ මගේ රංගන දිවියේ තවත් එක් වැදගත් චිත්‍රපටයක්. එම චිත්‍රපටයෙහි මම සුවිශේෂී රංගනයක නිරත වුණා” යනුවෙන් රංගන ශිල්පී නිරංජනී ශංමුගරාජා පවසයි.

“සුනාමි චිත්‍රපටය හැරුණුකොට මගේ තවත් චිත්‍රපට 3ක් තිරගත වීමට නියමිතව තිබුණා. නමුත් කොරෝනා හේතුවෙන් ඒ සියල්ල තිරගත වුනේ නැහැ. කලා කටයුතුවල නිරත පුද්ගලයින්ට විශේෂයෙන් රංගනයෙහි නිරත නළුවෙකුට හෝ නිළියකට තම කලා ජීවිතයෙන් වසරක පමණ කලයක් අහිමි වීම ඉතාමත් විශාල අහිමි වීමකි. විශේෂයෙන් බාහිර ස්වරූපය, වයස වැනි කාරණා පදනම් කරගනිමින් චිත්‍රපට සඳහා සුදුසු චරිත නිර්ණය කිරීමේදී කොරෝනා සමයේ ඇතිවූ බලපෑම අතිශයින්ම අහියෝගයකි. ශ්‍රී ලාංකික සිනමාව බලවත් කර්මාන්තයක් බව පැවසිය නොහැක. එම නිසා වසරක් වැනි කෙටි කලයකදී ලාංකික සිනමාවේ එතරම් විශාල වෙනසක් සිදුවී නොමැති නමුත් කලාකරුවන් ලෙස අපි විවිධ අභියෝගයන්ට මුහුණදී සිටින්නෙමු” යනුවෙන් ඇය තවදුරටත් පවසයි.

‘ශ්‍රී ලාංකික සමාජයේ පූර්ණ කාලීනව රංගනයෙහි නියැලෙන්නන් සිටින්නේ රංගන ශිල්පීන් අතලොස්සක් පමණි. බොහෝමයක් කලාකරුවන් තමන්ට ස්ථිර ආදායම් මාර්ගයක් තබාගෙන රංගන ක්ෂේත්‍රයට පිවිසෙයි. එවැනි අයවලුන් තේරීමට ලක් කිරීම ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින්ට විශාල අභියෝගයකි. කෝවිඩ් බලපෑම  හමුවේ මගේ ආදායම් මාර්ගය ස්ථාවරව පැවතීමට මම නිවේදිකාවක් වීමත් හේතුවක් වුණා’ යනුවෙන් ඇය වැඩිදුරටත් පවසයි.

ගීත රචකයින්ගේ තත්ත්වයත් මීට නොදෙවෙනි බව ගීත රචක අස්මින් පවසයි. “මම 2019 වසරේදී ගීත රචනා කල ශ්‍රී ලාංකික චිත්‍රපටයක් තවමත් තිරගත කිරිමට නොහැකිව තිබෙනවා. මේ නිසා මෙම චිත්‍රපට වෙනුවෙන් ඇප කැපවී සේවය කල බොහෝ පුද්ගලයින් හා කලාකරුවන් විශාල වශයෙන් මානසික පීඩනයට ලක්ව සිටී. ශ්‍රී ලාංකික සමාජයේ සිනමා කර්මාන්තය ස්ථිර නොවන වාතාවරණයක ගීත රචකයින් සඳහා වෙනමම ස්ථාවරත්වයක් බලාපොරොත්තු විය නොහැක. ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ කේන්ද්‍රීයව ගීත ඇල්බම් නිකුත් වන නමුත් එම ගීත ඇල්බම් සඳහා ගීත රචනා කරන රචකයින්ගේ සුදුසුකම් පිළිබඳව නැවත විමසා බැලිය යුතුය. ශ්‍රී ලාංකික සමාජයේ මගේ අනන්‍යතාවය තහවුරු වූයේ මම ඉන්දියානු සිනමාවේත් මාගේ නම සනිටුහන් කල නිසාවෙන්ම පමණි. මගේ ගීත නිර්මාණ හා මගේ කෘති කෙරෙහි ලාංකිකයින් අවධානය යොමු කලේ ඉන්දියානුවන් අතර මාගේ ගීත රචනා අවධානයක් දිනාගත් නිසාවෙන් හා එහි පැවති තරගවලින් මා ජයග්‍රහණ කල නිසාවෙනි” යනුවෙන් ගීත රචක අස්මින් පවසයි.

“ලොව පුරා සිනමාව වාණිජ ආදායම් මාර්ගයක් ලෙස දක්නට ඇති නමුත් ලාංකික සමාජයේ සිනමාව දක්නට ඇත්තේ ඒකාකෘතික කලා නිර්මාණයක් ලෙස පමණි. සිනමා ශාලාවකට ගොස් චිත්‍රපටයක් නැරඹීම තම සංස්කෘතියට නොහොබිනා ක්‍රියාවක් බව සිතන බොහොමයක් දෙනා වර්තමාන ලාංකික සමාජයේ පවා සිටී. එපමණක් නෙව ශ්‍රී ලාංකික සිනමා කර්මාන්තය ජනතාවගේ රසඥතාවය පරිපූර්ණ කිරීමට සුදුසු චිත්‍රපට නිෂ්පාදනය නොකිරීමත් මෙහිදී අඩුපාඩුවක් ලෙස දැකිය හැකිය. තත්වයෙන් බාල චිත්‍රපට නිෂ්පාදනය කර ඒ සඳහා පිළිගැනීමක් නොමැති බව පැවසීමත්, ශ්‍රී ලාංකික කලාකරුවන්ට අනන්‍යතාවයක් නොමැති බව පැවසීමත් වැරදි ක්‍රියාවකි. අපේ රටේ රංගනයෙහි නිරත රංගන ශිල්පීන්ට මෙරට ජනතාව කලාකරුවන් ලෙස වටිනාකමක් දී නොමැත. නමුත් මෙරට කලාකරුවන් ඉන්දියාවට ගොස් ඉන්දියානු කලාකරුවන් සමග රංගනයෙහි නිරත වුවහොත් ඔවුන් කලාකරුවන් බවට මනසින් හෝ පිළිගැනීමේ වාතාවරණයක් දක්නට ලැබේ. ශ්‍රී ලාංකික සිනමාව දෙස බලා බොහොමයක් දෙනා දැඩි උනන්දුවෙන් කෙටි චිත්‍රපට නිෂ්පාදනයට හා කලා නිර්මාණය කිරීමට යොමුවී සිටී. අප විසින් රචනා කරන චිත්‍රපට තිරකතාව ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තිර කතාව ලියාපදිංචි කර අනුමැතිය ලබා ගැනීමෙන් පසු තිර කතාවක් චිත්‍රපටක් බවට පරිවර්තනය කිරීමට අවශ්‍ය රූගත කිරීමේ කටයුතු අරම්භ කල හැක. චිත්‍රපටයක් සඳහා අනන්‍යතාවයක් ගොඩ නැගෙන්නේ ඒ සඳහා චිත්‍රපට සංස්ථාවෙන් අනුමැතිය ලැබීමෙන් පසුවය. එසේ නොකර තමා විසින්ම චිත්‍රපටයක් රූගත කරන්නේ නම් එය කලා නිර්මාණයක් පමණි. මෙම ක්‍රියාවලිය පිළිබඳව අවබෝධයක් නොමැති පුද්ගලයින් මෙම ක්ෂේත්‍රයට අවතීර්ණ වීම විශාල ගැටලුවකි’’ යනුවෙන් කිංග් රත්නම් පවසයි.

ශ්‍රී ලාංකික සිනමාවේ දේශපාලනික බලපෑම

වසර 70 පසුව ශ්‍රී ලංකාවේ පැවති රජයන් විසින් සිනමා කර්මාන්ත ගොඩනැංවීම සඳහා කිසිඳු උත්සහයක් ගෙන නොමැත. ඔවුන් එසේ ක්‍රියා කලත් සිනමා මාධ්‍ය දේශපාලනය සඳහා භාවිත කලා විනා සිනමාවේ ප්‍රගමනයට කිසිඳු දායකත්වයක් ලබාදී නොමැත. ශ්‍රී ලාංකික සමාජයේ සිනමාව යන්න මුලු මහත් රටම රසිකයින් බවට පත් කරන සිනමා මාධ්‍යක් බවට පත්වී නොමැත. සිනමාවත් සිංහල, දමිළ හා මුස්ලිම් ලෙස බෙදා වෙන් කර ඇති ආකාරයක් දක්නට ලැබේ. හැකිනම් සිනමාව මගින් ජාතීන් බෙදා වෙන් කිරීමේ උත්හයක නිරත වීමටත් රජය සැදී පැහැදී සිටී. මෙවැනි අවාසනාවන්ත ක්‍රියාවන් නිරීක්ෂණය කිරීමෙන් පැහැදිලි වන්නේ ලාංකික සිනමාවේ උන්නතිය වෙනුවෙන් කිසිඳු රජයක් ක්‍රියා කර නොමැති බවයි. මැතිවරණ සමයේ දේශපාලන ප්‍රචාරණයන් දියත් කිරීම සඳහා පමණක් රංගන ශිල්පීන් යොදාගන්නා නමුත් ඔවුන් වෙනුවෙන් කිසිදු සැබෑ වැඩපිලිවෙලක් මේ වනතෙක් රජ විසින් ක්‍රියාත්මක කර නොමැති බව චිත්‍රපට අධ්‍යක්ෂක කිංග් රත්නම් පවසයි.

“ශ්‍රී ලාංකික සිනමාවෙහි දේශපාලන මැදිහත්වීම තවදුරටත් වර්ධනය විය යුතු බව අවධාරණය කිරීමට කැමැත්තෙමි. මන්දයත් ශ්‍රී ලාංකික සිනමාවේ, කලා කරුවන්ගේ මෙන්ම තාක්ෂණ ශිල්පීන්ගේ ද අනාගත පැවැත්ම තවමත් ප්‍රශ්නාර්ථයක්වී ඇති නිසාවෙනි. කලාව සඳහා වන කැපවීම මත, කලාකරුවන් සඳහා නිසි වැටුප් හා ඔවුන්ගේ වගකීම කෙරෙහිත් වත්මන් ආණ්ඩුව හෝ පැවති කිසිඳු ආණ්ඩුවක අවදානය යොමු වී නොමැත” යනුවෙන් චිත්‍රපට නිෂ්පාදක භවදාරිනී රාජසිංහම් පවසයි.

“දේශපාලනිකව හෝ සංගම් මගින් කලාකරුවන්ට ලබාදුන් නිවාරණ ද්‍රව්‍ය හෝ උපකාරයන් ලබා දෙනු ලැබුවේත් පාක්ෂිකයින් හෝ දේශපාලනික වශයෙන් හිතවත් කලාකරුවන්ට පමණි. එහිනුත් ප්‍රමුඛ පෙලේ නළු නිළියන්, සහයක නළු නිළියන් ලෙස බෙදා දැක්වීමක් නැහැ. සමහර කලාකරුවන්ට මෙවැනි ව්‍යසනකාරී වාතාවරණයක පවා දේශපාලනික වශයෙන් කිසිඳු සහයක් නොමැති බව අවධාරණය කල හැකිය” යනුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළ රංගන ශිල්පිනියක් වන නිරංජනී ශන්මුගරාජා පවසයි.

“මා දන්නා පරිදි රජය චිත්‍රපට නිෂ්පාදකයින්ට ණය මුදල් ලබාදීමක් සිදු කරයි. නමුත් චිත්‍රපට නිෂ්පාදනයෙහි නිරත දමිළ ප්‍රජාවගෙන් බොහොමයක් චිත්‍රපට සංස්ථාව සමග එකට එක් නොවී තනිවම තම මුදල් වැය කරමින් චිත්‍රපට නිෂ්පාදනය කරන නිසා ඔවුන්ට රජය විසින් ලබා දෙන ණය පහසුකම පිළිබඳව අවබෝධයක් නැත. යාපනයේ සිටින කලාකරුවන්ට කොළඹ සිටින කලාකරුවන් සමග එතරම් සමීප සම්බන්ධතාවයක් නැහැ. එමෙන්ම කොළඹ සිටින කලාකරුවන්ටත් උතුරු ප්‍රදේශයේ සිටිය කලාකරුවන් සමග සම්බන්ධතාවයක් නැහැ. එමපණක් නොව රජය විසින් කලාකරුවන්ට ලබාදෙන සහන පිළිබඳව කලාකරුවන්ටත් නිසි අවබෝධයක් නොමැති තරම්. අපේ කලාකරුවන්ට සහය වීම සඳහා තාක්ෂණික වශයෙන් සංගම් හෝ සංවිධාන කිසිවක්ද නැති තරම්. එපමණක් නොව මූල්‍යමය වශයෙන් චිත්‍රපට ක්ෂේත්‍රයේ පවත්නා ගැටලු හෝ අඩුපාඩු නිරාකරණය කිරීම සඳහා රජයේ මැදිහත් වීමක්ද සිදු නොවේ. සමහර කලාකරුවන්ට ජීවත් වීමට අවශ්‍ය ජීවනාධාර හා උපකාර රජය විසින් ලබාදී ඇති නමුත් මෙය විශාල ගැටලුවක් ලෙස සිතා රජය ඒ කෙරෙහි අවධානය යොමු කරන්නේ නැහැ” යනුවෙන් ගීත රචක අස්මින් පවසයි.

මේ ආකාරයෙන් සිනමා කර්මාන්තයෙහි පවත්නා ගැටලු කිහිපයක් පිළිබඳව දේශපාලනාධිකාරියේ අවදානය යොමුවීම නිසා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මැදිහත්වීම මත සිනමා කර්මාන්තය කෙරෙහි බල පැවති බදු මුදල් ප්‍රතිපත්තිය වසර දෙකක විනෝද බද්දෙන් ඉවත් කරන බවට 2021.01.11 දින ප්‍රකාශයට පත් කරනු ලැබුණි. ඒ අනුව 2021 – 2022 යන වර්ෂ දෙකට අදාල වන පරිදි දිවයින පුරා සිනමා ශාලාවල තිරගත වන චිත්‍රපට විනෝද බද්දෙන් නිදහස් කෙරුණු අතර 2023 වර්ෂයේ සිට චිත්‍රපට කර්මාන්තය සඳහා වන බදු මුදල් 7.5% කින් අවම කිරීමටත් මෙහිදි නියම කර ඇත. 

(https://tamil.news.lk/news/political-current-affairs/item/40233-2021-01-12-07-40-06 )සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අනුගමනය කරමින් රට පුරා ඇති සිනමා ශාලා ජනවාරි මස 01 වන දින සිට නැවත ආරම්භ කෙරුණු අතර චිත්‍රපටි නැරඹීමට සඳහා පැමිණෙන සියලු දෙනා සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අනුගමනය කිරීම අනිවාර්ය බවත් සඳහන් කර ඇත. නමුත් මේ සියලු විසඳුම් තාවකාලිකය. ශ්‍රී ලාංකික සිනමාව වෙනුවෙන්ම වෙන්වූ අනන්‍යතාවක් හා ස්ථිරසාර වැඩපිළිවෙළක් හඳුන්වාදීමත්, කලාකරුවන්ට අනන්‍යතාවයක් හා නිසි මූල්‍යමය වටිනාකමක් ලබාදීම මගින් රජයේ නිවැරදි මැදිහත්වීම මත සෘජු තීරණයන් ගැනීමත් තවදුරටත් ශක්තිමත් විය යුතුයි. ‘ලිඛිත සියල්ල සාහිත්‍යය නොවේ, තිරගත කරන සියල්ල සිනමාවක් නොවේ’ යන ප්‍රකාශයට අනුව සිනමා රසිකයින් වෙනුවෙන් උසස් ගණයේ කලා කෘතීන් දායාද කිරීම සඳහා සිනමා කලාකරුවන් නිවැරදි දැක්මකින් යුතුව කටයුතු කල යුතුයි.

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts