ආර්ථික සමාජ

කොරෝනා තර්ජනය සහ කුකුළු ගොවිපළවල් වැසීයාම

යූ. එස්. මහරුෆ්

එස්. එල්. නසීම් ඔහුගේ බෑනාගේ මූල්‍ය සහාය ද සමඟ අඩාලච්චේන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ, අෂ්රෆ් නගරයේ පිහිටි ඔහුගේ ඉඩමක ලක්ෂ 37ක් යොදවමින් නව කුකුල් කූඩු සකසා කුකුළු ගොවිපළක් ආරම්භ කළේ ය. ඔහු පසුගිය වසර 4 තුළ අඛණ්ඩව ගොවිපළ පවත්වාගෙන ගිය අතර පෙබරවාරි මස එය වසාදැමී ය. බිත්තර දමන කිකිළියන් 9000ක් පමණ සිටි විශාල කූඩු හය මේ වන විට හිස්ව ඇත. නසීම් පැවසුවේ, ඔහු මෙම ගොවිපළෙන් හොඳ ආදායමක් ලබාගත්ත ද දැන් ඒ සියල්ල අහිමි වී ඇති බව යි. සිදුවූයේ කුමක් ද?

බිත්තර දමන කිකිළියකට දිනකට කුකුල් කෑම ග්‍රෑම් 110ක් අවශ්‍ය වේ. කිලෝග්‍රෑම් 50ක එම කෑම බෑගයක් මුල දී රු.3400කට අලෙවි කළ ද, එය පසුව රු.4400 දක්වා වැඩිවිය. මෙම හදිසි මිල ඉහළ යාම නිෂ්පාදන වියදම වැඩිකිරීමට හේතු වුව ද, ඒ අනුව බිත්තරයක මිල ඉහළ නොගිය බව ඔහු ශෝකයෙන් පැවසී ය. මේ වන විට ඉතිරිව ඇත්තේ මඩු සහ උපකරණ පමණක් වන අතර කුකුළන් එහි නොමැත. මාසික වැටුපට සේවකයන් හතරදෙනෙකු මෙහි සේවයේ යෙදුණි. කොරෝනාවලින් පසු, මෙවැනි ගොවිපළවල් බොහොමයක් වැසී යන ලදී. විශාල ආයෝජකයන් සහ ඔවුන්ගේ සේවකයන් ප්‍රමාණයකට ඔවුන්ගේ අදායම සහ රැකියාව අහිමිවිය. 

නසීම් පැවසුවේ, “ගොවිපළවල් පවත්වාගෙනයාමෙන් අපේ මුදල් දහස් ගණනින් අහිමිවුණා. එමනිසා, අපි තීරණය කළා ගොවිපළවල් වසාදමන්න. කුමන හෝ ක්‍රමයකින් කුකුළන් විකුණා දමන්න අපිට සිද්ධවුණා. මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින්, මස් වෙළෙන්දන් ඉතා අඩු මිලට අපේ කුකුළන් ගත්තා. මෙහි දී පවා අපිට විශාල පාඩුවක් අත්විඳින්නට සිදුවුණා.”     

පශ්චාත් කොරෝනා සමයේ ගොවිපළවල් ලාභ නොමැතිව පවත්වාගෙන යයි

එම්.එච්.එම්. මනාෆ්, අෂ්රෆ් නගරයේ ගොවිපළක් පවත්වාගෙන යයි. ලක්ෂ 50ක මුදලක් ආයෝජනය කරමින් ඔහු බිත්තර රකින පක්ෂීන් 2000ක් පමණ ඇති කර යි. ඔහු ද මේ වන විට අපහසුතාවයන්ට මුහුණ දී සිටී. “මේ කුරුල්ලන් පෝෂණය කරන්න සහ නඩත්තු කරන්න දිනකට අපිට රු.21000ක පමණ මුදලක් වැයවෙනවා. රජය තීරණය කර ඇති මිලට අනුව බිත්තර අලෙවි කිරීමෙන් අපිට මේ වැයවෙන මුදල ආවරණය කරගන්න අපහසු යි. තීරණය කර ඇති මිලට අලෙවි කිරීමට නම්, බිත්තරයක බර ග්‍රෑම් 55ක් විය යුතු යි. සාමාන්‍යයෙන් කුරුල්ලෙක් බිත්තර රකින්න පටන්ගන්නේ මාස හතරකට පස්සේ. ආරම්භයේ දී, ගොඩක් බිත්තරවල බර ග්‍රෑම් 55ට වඩා අඩුයි, ඒ නිසා ස්ථිර මිලට මේවා අලෙවි කරන්න අපිට හැකියාවක් නෑ. සාමාන්‍යයෙන්, පක්ෂීන් මාස 18ක් පමණ අඛණ්ඩව බිත්තර රකිනකොට එහි බර ක්‍රමයෙන් ග්‍රෑම් 55 දක්වා වැඩිවෙනවා. ඒ වෙනකම්, අපි මොකද කරන්නේ? ”. 

ඔහුගේ පක්ෂීන් 2000න් ලබාගත හැකි සාමාන්‍ය ප්‍රතිලාභය බිත්තර 1700ක් පමණ වේ. කුඩා සහ හානි වූ බිත්තර ඉවත්කිරීමෙන් පසුව, තීරණය කරන ලද මිලට ඔහුට අලෙවි කළ හැකිවන්නේ එපමණකි. “මුලින් අපිට බිත්තරයක් රු.19ට අලෙවි කරන්න පුළුවන් වුණා.මැයි 26 ඉඳන් බිත්තරයක මිල රු.14 යි. එක් අවස්ථාවක රජය විසින් රු.10ක් ලෙස බිත්තරයක් සඳහා ස්ථිර මිලක් ලබාදුන්නා. කුකුල් ගොවිපළවල්වල කුරුල්ලන් පෝෂණය, බෙහෙත්, විටමින් සහ රෝග ආරක්ෂණ දීම ආදී සියල්ල සඳහා යන වියදම ද ඉහළ ගොස් ඇත. නමුත්, කොරෝනා සමයේ මෙම මිල ඉහළ යාම් හේතුවෙන්, අපේ අලෙවි කිරීම් සමඟ ඒ සඳහා ළඟාවීමේ හැකියාවක් නොමැති බව” මනාෆ් පැවසී ය.

බිත්තර ගබඩා කර තැබිය හැක්කේ උපරිම සති දෙකක් පමණි. මේ තත්ත්වය තුළ, දීර්ඝ වසාතැබීම් සහ සංචරණ සීමාවන් හේතුවෙන් බිත්තර අලෙවි කරගැනීමේ අපහසුතාවයන්ට ඔවුන් මුහුණ දී සිටී. සියල්ල මෙසේ වුවද, මනාෆ් අඛණ්ඩව ඔහුගේ ව්‍යාපාරය පවත්වාගෙන යයි. නමුත් ඔහු පවසන්නේ, මෙම තත්ත්වය අඛණ්ඩව පැවතුනහොත්, ඔහුගේ ව්‍යාපාරය බලාපොරොත්තු විරහිතව නවතා දැමීමට සිදුවන බව යි. 

අඩාලච්චේන පශුවෛද්‍ය රෝහලේ ප්‍රධාන නිලධාරී වෛද්‍ය එච්. තහානා පවසන්නේ, ඔවුන්ගේ වාර්තාවන්ට අනුව 1000ට වැඩි බිත්තර රකින පක්ෂීන් සහිත ගොවිපළවල් 18ක් ද, 1000ට අඩු බිත්තර රකින පක්ෂීන් සහිත ගොවිපළවල් 32ක් ද පවතින බව යි. මෙම ගොවිපළවල් සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු අතර ලියාපදිංචි සහතිකයක් නිකුත් කරනු ලබයි. මෙම සහතිකය හිමි ගොවිපළවල් සඳහා නිවාරණ ඖෂධ සහ අනෙකුත් පහසුකම් නොමිලේ සපයනු ලබන බව යි. 

අඩාලච්චේනේ පවතින කුකුල් ගොවිපළවල් මඟින් දිනකට දහස් ගණන් බිත්තර සපය යි. නමුත්, අයිතිකරුවන් සඳහන් කරන්නේ, තම ගොවිපළවල් පාඩුපිට පවත්වාගෙන යන බවත්, ඉන් ඇතැම් ගොවිපළවල් මේ වන විට වසාදමා ඇති බවත් ය. මේ හේතුවෙන්, සේවකයන්ට ඔවුන්ගේ රැකියා අහිමි වී ඇත. 

කුකුල් ආහාර නිපදවන්නන් පවසන්නේ කුමක් ද?

කුකුල් ආහාර නිෂ්පාදන ආයතනයේ කළමනාකරු අශෝක රත්නායක පවසන්නේ, කුකුල් ආහාර නිපදවීමට ගන්නා අමුද්‍රව්‍ය මිල ඉහළයාම හේතුවෙන් කුකුල් ආහාරවල මිල වැඩි වී ඇති බව යි. මුලදී, කුකුල් ආහාර සඳහා අවශ්‍ය ප්‍රධාන අමුද්‍රව්‍ය වන බඩඉරිඟු කිලෝග්‍රෑම් එකක් රු.50-60 අතර මිලකට ගැනීමට ඔවුන්ට හැකියාව තිබුණි. නමුත්, දැන් එහි කිලෝවක මිල රු.90 කි. මැදිහත්කරුවන් මෙම මිල ඉහළයාමට හේතු වී ඇත. මේනිසා, කුකුල් ආහාරවල මිල ඉහල දැමීමට සිදු වී ඇත. තවත් අමුද්‍රව්‍යක් වන දහයියා මිල ද 40% සිට 50% දක්වා ඉහළ ගොස් ඇත. 

ඇත්තටම සිදුවූයේ කුමක් ද?

ශ්‍රී ලංකා ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව, බිත්තර රකින පක්ෂීන් 1000ට වැඩි කුකුල් ගොවිපළවල් කුරුණෑගල, පුත්තලම, අනුරාධපුර සහ අම්පාර යන දිස්ත්‍රික්කවලින් සොයාගෙන ඇත. 2018-2019 අතර සීග්‍ර වර්ධනයක් පෙන්නුම්කරන කර්මාන්ත අතරින් මෙය ද එකකි. ශ්‍රී ලංකාව කුකුල් මස් සහ බිත්තර අංශයෙන් ස්‌වයංපෝෂිත වේ. විදේශිකයන් සහ ගුවන් ප්‍රවාහන ආහාර අවශ්‍යතා සඳහා ඉතා සුළු ප්‍රමාණයකින් මේවා ලංකාවට ආනයනය කර යි. 

සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ 2019 ප්‍රකාශනයේ සඳහන්වන්නේ, 2019 දළ ජාතික නිෂ්පාදිතයෙන් 64%ක ප්‍රමාණයක් කුකුල් ගොවිපළවල් ආශ්‍රිත කර්මාන්තයන් ගෙන් පැවතෙන බව යි. එතරම් ප්‍රමාණයකින් වේගවත් ලෙස වර්ධනය වූ කුකුල් ගොවිපළවල්, 2019න් පසු ඇදවැටීමට බලපෑ හේතු දෙකකි. පළමුවැන්න, පාස්කු ඉරුදින ප්‍රහාරය වන අතර දෙවැන්න, කොරෝනා වෛරස ව්‍යාප්තිය යි. මෙම හේතු නිසා, සංචාරක කර්මාන්තය ද පසුබෑමට ලක්ව ඇත. සංචාරක හෝටල් සහ රෙස්ටුරන්ට් ක්‍රියාත්මක නොවීම, කුකුල් ගොවිපළවල් ආශ්‍රිත නිෂ්පාදන පරිභෝජනය ප්‍රබල ලෙස බිඳවැටීම ආදිය හේතුවෙන් මේ සියලු කර්මාන්ත ප්‍රබල අභියෝගයකට මුහුණදෙමින් සිටී. 

අශෝක රත්නායක තවදුරටත් පැවසුවේ, කුකුල් ආහාර සහ ඖෂධ සඳහා අවශ්‍ය වන සෝයා, පාම් තෙල් සහ අනෙකුත් අමුද්‍රව්‍ය විදේශ රටවලින් ආනයනය කරන බව යි. එහි ප්‍රතිඵලයක් ලෙස, ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහළ බැස ඇති බැවින් ආනයනයන් සඳහා 23%ක් අපි ගෙවමින් සිටී. 

මේ අවස්ථාවේ, බොහෝ කර්මාන්තයන් හි කඩාවැටීම දේශීය පාරිභෝගිකයන් සහ ව්‍යවසායකයන්ට බලපා ඇති අතර ඔවුන්ගේ නිෂ්පාදනයන් අලෙවි කරගත් නොහැකිවීම සහ පාරිභෝගිකයනට ඔවුන්ට අවශ්‍ය භාණ්ඩ මිල දී ගත නොහැකිවීම යනාදිය මෙම ආර්ථික තර්ජනය හමුවේ තනි තනිව දරාගැනීමට සිදු වී ඇත.  

கொரோனா சுமை! மூடப்படும் கோழிப் பண்ணைகள்!

The Burden Of Corona & Closing Down Poultry Farms

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts