අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් අනාවරණ

කාබනික පොහොර ආනයනය මගින් මෙරට කෘෂිකර්මය අනතුරක

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

ලොවක් බිය ගන්වමින් පැතිර යන මරණීය වසංගතයක් දෙවෙනි තැනට දමමින් ලංකාවේ අප ඊළඟ කන්නය වවන්නේ රසායනික පොහොරෙන්ද නොඑසේනම් කාබනික පොහොරෙන්ද යන්න තීරණය කරගත නොහැකිව වාද විවාද කරමින් සිටින්නෙමු . ඊට හේතුව ඊළඟ කන්නයේ සිට රසායනික පොහොර භාවිතය මුළුමනින්ම නවතා දමන්නට රජය තීරණය කර තිබීමය. රසායනික පොහොරෙන් මිදී කාබනික පොහොරෙන් පමණක් වගා කිරිම වූ කලී සබුද්ධික ප්‍රජාවකට ඉවතලිය නොහැකි ආකර්ශණීය වූ යෝජනවකි. නමුත් මනෝමූලික වාචික සංකල්පයන්ගෙන් මිදී රසායනික පොහොර මුළුමනින්ම තහනම් කිරීම පොළව මත යථාර්තයට පිටුපැමකි.

රසායනික පොහොර තහනම් කිරීමට  විකල්පය ලෙස රජය ගෙනඑන්නේ කාබනික පොහොර භාවිතයට ගැනීමය . ආරම්භයේදී රටට අවශ්‍ය සියළුම කාබනික පොහොර දේශීයව නිෂ්පාදනය කිරීමට කථා කළද අද වනවිට කාබනික පොහොර රටින් ගෙනෙ එන තැනට පල්ලම් බැසීමට ආණ්ඩුවට සිදුව ඇත. එ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වන සමස්ත ලංකා ගොවිජන සම්මේලනයෙ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පවසනුයේ මේවන විටත් ඉන්දියාවේ සිට ශ්‍රීලංකාවට කාබනික පොහොර බහාළුම් කිහිපයක් ගෙනවිත් ඇති බවය .එමෙන්ම ඒවා මේ වනවිට ඔරුගොඩවත්ත ප්‍රදේශයේ අංගනයක ගබඩා කර ඇති බවත් ඔහු පවසයි .

එහෙත් පරිසර නීතිය පිළිබඳ ප්‍රාමාණිකයෙකු වන ආචාර්ය ජගත් ගුණවර්ධන පවසනුයේ නීතියේ ආදිපත්‍ය නිසි ලෙස ක්‍රියාත්මක වන්නේනම් ශ්‍රීලංකාවට කාබනික පොහොර ගෙන්වීමට කිසිදු අවකාශයක් නොමැතිබවය . 

” කාබනික පොහොර කියන්නේ දිරා යන ශාක සහ සත්ව කොටස් , මේවායේ ක්ෂ්ද්‍ර ජිවී ක්‍රියාකාරීත්වය  අඛණ්ඩව සිදුවෙනවා. එබැවින් කාබනික පොහොර නියැදියක සක්‍රීය ක්ෂුද්‍ර ජීවීන් විශාල වශයෙන් සක්‍රීයව ඉන්න පුළුවන්. එවැනි ජෛව නියැදීන් සහිත කාබනික පොහොර මෙරටට ගෙන ඒම නීතියෙන් තහනම්.1981-12-02 දරණ ශාක ආරක්ෂක පණත රටතුළ ක්‍රියාත්මක වන බැවින් කිසිඳු ශාක ද්‍රව්‍යක් මෙරටට ගෙනෙ ඒමට බෑ. ගෙන එනවානම් ඒ සඳහා කෘෂිකර්ම අධ්‍යක්ෂවරයාගේ අවසරය ගත යුතුයි . පරයේෂණ කටයුතු සඳහා යම් පමනක් ගෙන ආයුතු මුත් ඒවා පොළවට යෙදිය නොහැකයි . ගබඩා කර තැබිය යුතුය.” ඔහු පවසන්නෙය.

පරිසර හිතකාමි පොහොරක් වන කාබනික පොහොර සඳහා මෙවැනි නීතියක් පණවා ඇත්තේ ඇයිදැයි අපි ආචාර්ය ගුණවර්ධනයන්ගෙන් විමසූවෙමු . ඔහු ඊට හේතු මෙලෙස පැහැදිලි කළේය. ” ශාක ආරක්ෂක පණතා කෙටුම් පත් කරන්නේ පූර්වාරක්ෂක මූල ධර්මය පදනම් කරගෙනයි. ආපි නිස්චිතව නොදන්නා දෙයකින් යම් අනතුරක් වීමට ඇති ඉඩ කඩ වලකාලීම තමා මෙහි අරමුණ” . 

ඒ අනුව දිරායමින් පවතින ශාක කොටස් සහිත ක්ෂුද්‍ර ජිවී ක්‍රියා කාරීත්වයෙන් යුත් පොහොරක් රටට ගෙන ඒම අතිශ්‍ය අනතුරු දායකය. එමෙන්ම එය පවතින නීතියටද ඉඳුරම පටහැණිය. එවැනි පොහොර මගින් ඉතා හානිකර ක්ෂුද්‍ර ජීවීන්, දිළීර, බැක්ටීරියා වැනි ඇසට නොපෙනෙන ජෛව කොටස් මෙරටට පැමිණිය හැක. එවැනි ක්ෂුද්‍ර ජීවීනට මෙරට සමස්ත ජෛව විවිධත්වය පවා අනතුරේ හෙළීමට භැක. එමෙන්ම මෙරට දැනට දැක ගැනීමට නොමැති පලිබෝධ හානි රටට පැමිණිමටද කාබනික පොහොර ආනයනය හේතු විය හැක.

එසේනම් කාබනික පොහොර ජීවානුහරණය කර මෙරටට ගෙන ආ හැකි නොවේදැයි යන ගැටළුව ඔබටද මතුවිය හැක . එහෙත් ජීවාණුහරණය කර ක්ෂුද්‍ර ජීවී ක්‍රියාවලියන් විනාශ කළ පසු ඒවා කාබනික පොහොර නොව හුදු කාබනික ද්‍රව්‍ය පමණක් වන් බව ආචාර්ය ජගත් ගුණවර්ධණයන් අවධාරණය කරයි  . ” එවැනි කාබනික ද්‍රව්‍යක් පසට යෙදීමෙන් පලක් නෑ . එවැන්නකින්  ගුණාත්මක වෙනසක් වෙන්න ඉතා දිගුකලක් ගතවිය හැකියි . ජීවාණුහරණය කර ක්ෂුද්‍රජිවීන් විනාශකළ කළ කාබනික ද්‍රව්‍ය පසට යෙදීමෙන් හියුමික් අම්ලය වැනි අප බලාපොරොත්තුවෙන හිතකර කාබනික සංගටක පසට එක් වී පස සරු වෙන්න්නේ නෑ.  ” ආචාර්ය ජගත් ගුණවර්ධන පවසන්නේය .

මේ පිළිබඳ කෘෂිකර්ම දෙපාර්තමෙන්තුවේ නිළධාරියෙක් ( සිය අනන්‍ය තාව හෙළිකිරීමට අකමැති ) මේ ලියුම් කරු හා පවසා සිටියේ සක්‍රීය ක්ෂුද්‍ර ජීවී ක්‍රියාවලික් සහිත කාබනික පොහොර මෙන්ම ක්ෂුද්‍ර ජීවී ක්‍රියාවලියන් නිෂ්ක්‍රීය කළ පොහොර යෙදීමද හානිකර බවයි. ” ජිවාණුහරණය කරලා හරිවෙනක්‍රමයකින් හරි කබනික පොහොරවල ක්ෂුද්‍ර ජීවී ක්‍රියාවලිය නතර කරලා ඒවා නිකම්ම වග බිම්වලට දැමීම හානිකරයි. මොකද ඒ කාබනික ද්‍රව්‍ය ජීරණය කරන්න පසේ තියන නයිට්‍රජන් ටික යොදාගන්නවා . එතකොට ඒ ක්ෂෙස්ත්‍රයේ බෝග තවත් බාල වෙනවා. අපි අමු පිදුරු වගාවට දාන්න එපා කියන්නේ ඒකයි. මොකද අමු පිදුරුවල ක්ෂුද්‍රජීවීන් නෑ. ඒනිසා ඒවා දිරන්න පසේ තියන නයිට්‍රන් යොදාගන්නවා . ඒක හානිකරයි . දිරාගිය පිදුරු වල ක්ෂුද්‍රජීවී ක්‍රියාවලිය සිදුවෙනවා. ඒවා පොහොරක් ලෙස යොදා ගත හැකියි” ඔහු පැවසීය.

මේ පිළිබඳ ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරනා ශ්‍රීලංකාවේ කෘෂිකර්ම ආයතනය ( ීරසක්බන් ෂබිඑසඑමඑැ දf ්ටරසජමකඑමරු ) දියර හෝ ඝන ලෙස කබනික පොහොර විදේශයන්ගෙන් ගෙන ඒම තම ආයතනය අනුමත නොකරන බව කියා සිටී . එලෙස විදේශයන්ගෙන් කාබනික පොහොර ගෙන ඒමෙන් හානිකර බැර ලෝහ ඇතුළු රසායනික ද්‍රව්‍ය රැසක් පොළවට එක්විය හැකිබවත් එය පාංශුවාසී ක්ෂුද්‍ර ජීවීනගේ සිට මනුෂ්‍යන් දක්වා සෑම සියළු ජීවියෙකුටම තර්ජනයක් විය හැකි බවත් අවධාරණය කරයි. ඊට අමතරව  ආනයනික කාබනික පොහොර සමග අප රටේ පසට ක්ෂුද්‍ර ජීවීන් එක්වීම අනිවාර්‍ය බවත් එවැනි ක්ෂුද්‍ර ජීවීන් මගින් ශ්‍රීලංකාවේ ජෛව පැවැතමට බරපතල හානි විය හැකි බවත්  ශ්‍රීලංකාවේ කෘෂිකර්ම ආයතනය ජනාධිපතිවරයාට අනතුරු අඟවා සිටී .

ශ්‍රීලංකාවේ පළාත් පාලන ආයතන බහුතරයක් සිය බලප්‍රදෙශයන්හී ජනිතවෙන නාගරික කසළ කාබනික පොහොර බවට පත්කරයි . යෝජිත රසායනික පොහොර තහනම ක්‍රියාත්මක වූ පසු  කාබනික පොහොරට මතුවෙන ඉල්ලුම නිසා අනාගතයේදී දේශීය කෘෂිකාර්මික කටයුතු සඳහා එකී පොහොර වර්ගද යොදාගැනීම අනිවාර්ය වෙයි . ශ්‍රිලංකාවේ කසළ කළමණාකරනය ඉතා අවිධිමත්ව සිදුකරන්නක් බැවින් දෙශීය වශයෙන් කසළ යොදාගෙන නිෂ්පාදනය කරනා කාබනික පොහොර තුළ පවා හානිකර සංඝඨක, බැර ලෝහ වැනි දෑ අඩංගු වීමේ අවධානමක් ඇති බව අප අමතක කළ යුතු නොවේ.

මේවනවිටත් ආක්‍රමණික ශාකයක් ලෙස මෙරට පරිසර පද්ධතීන් ආක්‍රමණය කරමින් සිටිනා පාතීනියම් නම් පැලෑටිය මෙරටට පැමිණ ඇත්තේ 1987-88 කාලයේදීය එකල්හී මෙහි පැමිණ සිටි ඉන්දීය සාම හමුදාවේ ආහාරය පිණිස මෙහි ගෙන ආ සජීවී එළුවන්ගෙන් මළ වලින් පාතීනියම් මෙහි පැමිණි බව අප අමතක කළයුතු නොවේ. ඒ අනුව ඉදිරියේදී විදේශයන්ගෙන් ගෙන ඒමට යෝජිත කාබනික පොහොර නිසා අපේ රටේ දැනට වාර්තා නොවනා ගොළුබෙල්ලන්,පණුවන්, දළඹුවන් ව්නි සතුන්ගේ බිත්තර හෝ කීටයන් මෙරටට පැමිණීමට ඔනෑවටත් වඩා ඉඩකඩ ඇති බව පැහැදිළිය .

කාබනික පොහොර යෙදූ පමණින් එම වගාව කාබනික නොවේ . ඊට පොළවේ ඇති රසායනික ද්‍රව්‍ය ඉවත් විය යුතුය. ඒසඳහා වසර දෙකක් පමණ ගතවෙන බව ප්‍රාමාණික මතය වේ. කලකට පෙර මුළුමනින්ම කාබනික තේවගාවක් ක්‍රියාත්මක වූ හල්දුම්මුල්ලේ ”නීඩ් වුඩ්” වතුයායේ හිමිකරුවන් එහි පස යතා තත්ත්වයට පත්වෙන තෙක් වසර දෙකක් පමණ එහි කාබනික වගාවට යොදාගත් කොටස අත් හැර දමන්නට කටයුතු කරනා ලදි . එම කලයේ වගාවට කිසිම පොහොරක් නොයෙදු අතර වගාබිම කැලාවෙන් වැසී යන ලදි . අනතුරුව ජර්මනියේදී කරන ලද පාංශු විශ්ලේෂණයන්ගෙන් පසේ රසායනික ද්‍රව්‍ය නොමැති බව තහවුරු කරගැනීමෙන් පසු එහි තේ වගාව ඔවුන් විසින්ම නිපදවූ කාබනික පොහොර යොදාගෙන නඩත්තු කරන ලදි.

 එහි නිපදවන තේ සඳහා ඉහළ මිලක් ලැබුණු අතර ඊට හෙතුව පසේ රසායනික ද්‍රව්‍ය නොමැති බවට ජාත්‍යන්තරව ලද සහතිකය වේ. එසේ නොමැතිව අප කාබනික පොහොර යොදා වැවූ පමණින් එකී වගාවන්ගේ අස්වැන්න කාබනික අස්වැන්න ලෙස ලෝකය පිළිගන්නේ නැත. මෙකී ක්‍රමවේදයන් නොදන්නා දේශපාලනඥයෝ කාබනික වගාවන්ගේ පලදාව රට පටවා  කෝටි ගනනින් ඩොලර් ඉපැයිමට සිහිනදැකීම විහිළුවකි. 

ඒ අනුව බලනා කල කාබනික කෘෂිකර්මය යනු එක කන්නයකින් සාක්ෂාත් කරගත හැකි ඉලක්කයක් නොවනා බව පැහැදිලිය .

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts