ස්ත්‍රී පුරුෂ භාවය සහ අනන්‍යතාවය

කාන්තාවන් : ශ්‍රී ලංකාවේ පීතෘමූලික ප්‍රහේලිකාවේ අපූර්ව කොටස

කමන්ති වික්‍රමසිංහ

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය ලෙස ප්‍රවෘත්ති ශීර්ෂපාඨ මැවූ 1960 දී, එය බොහෝදෙනාගේ ව්‍යාකූලත්වයට හේතු වන අනපේක්ෂිත සමාජීය ක්‍රියාරම්භයක් විය. කාන්තාවන් දේශපාලනයෙහිලා අසමත් යැයි සිතූ බොහෝ දෙනාට (වැඩිවශයෙන් පුරුෂයන්) වරදකාරී හැඟීමක් ඇති වන්නට ඇත. තර්ජනයක් වන්නට ඇත. 

එවැනි ප්‍රගතිශීලී පියවරක් මඟින්, තීරණ ගැනීමේ මට්ටමේදී කාන්තා අයිතිය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ අසමානතා වැනි විෂයය ක්ෂේත්‍ර පිළිබඳ සාකච්ඡා කිරීම වඩා පහසු වනු ඇතැයි ඇතැමෙකු සිතන්නට ඇත.  

එහෙත්,  61 වසරකට පසුව දේශපාලන ක්ෂේත්‍රයේ යම් යම් උන්නතීන් සිදු ව තිබියදී පවා, බොහෝ ස්ත්‍රීන් බහුලව ගෘහස්ථ හිංසනයට, දූෂණයට සහ අපයෝජනයට ලක්වන අතරම විසමානුපාතික ලෙස රැකියා අහිමිවීම් අත්විඳින්නට ද සිදුවීමෙන් විශේෂයෙන්ම කොවිඩ් වසංගත සමයේ  ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ සමානතා තත්ත්වය වඩාත් නරක අතට හැරී ඇත. 

දුර්වල නෛතික ආවරණය

දැනටමත් පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය යටතේ අනුක්‍රමිකව රට අගුළු දැමූ කාලසීමාවලදී ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, ස්ත්‍රී දූෂණ සහ ලිංගික අපයෝජනවලට අදාළ සිදුවීම් අනතුරුදායක මට්ටමින් නරක අතට හැරී ඇත. වතු ක්ෂේත්‍රය සහ කොළඹ අගනගර කලාපය හා තදාසන්න ප්‍රදේශවල අසල්වැසියන්ට ඌන සේවා සපයන අඩු ආදායම් ලාභී පිරිස් වැනි දැඩි අවදානමක් සහිත ප්‍රජාවන්හි කාන්තාවෝ දෛනිකව මෙහි ඵලවිපාකවලට මුහුණ දෙන්නෝ අතර වෙති. 

නෛතික ආවරණය නමින් මෙහි පවතින්නේ දශක ගණනාවක් පුරා ආමන්ත්‍රණය නොකෙරුණු අපැහැදිලි කලාප වේ.

‘දූෂණය’ යන්නෙහි නෛතික විග්‍රහය ශ්‍රී ලාංකික සන්දර්භය තුළ කෙතරම් පටු විෂයය පථයක් වන්නේ ද යන්න විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් සංගෘහිත ‘ලිංගිකත්වය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වයට එරෙහි නෛතික ප්‍රතිසංස්කරණ’ නමින් වූ වාර්තාවේ  පැහැදිලි කරයි. උදාහරණයක් ලෙස, ‘දූෂණය’ අර්ථ දක්වා ඇත්තේ යෝනි මාර්ගයට ශිෂ්ණේය විනිවිදීම වශයෙන් වන අතර විරුද්ධ ලිංගික හෝ සමලිංගික පුද්ගලයන් අතර එකඟත්වයෙන් තොර ක්‍රියාවන් අන්තර්ගත කර නැත. 

වඩාත්ම නරක තත්ත්වය නම්, ශ්‍රී ලංකාවේ බොහෝ දූෂණ සිදුවන්නේ එයින් හානිකර දඬුවමක් නොලැබෙන නිසා වීමය. 2013 වසරේ වාර්තාවලට අනුව ස්ත්‍රී දූෂණවලට සම්බන්ධ පිරිමින්ගෙන් සියයට 96.5ක්ම කිසිදු නෛතික ප්‍රතිවිපාකයකට මුහුණ දී නැත. 

වෛවාහික දූෂණය හෙවත් විවාහක පුද්ගලයන් දෙදෙනකු අතර සිදුවන දූෂණයක කිසිදු නෛතික  වරදකාරීත්වයක් ඇති බවක්වත්  පෙ‌නෙන්නට නැත. ශ්‍රී ලංකාවේ නීතිය යටතේ පිරිමියකු දූෂණයක් කළා වන්නේ කාන්තාවකගේ කැමැත්තකින් තොරව ලිංගික සංසර්ගයක යෙදුණේ නම් පමණි. 

එහෙත් ඒ කාන්තාව ඔහුගේ බිරිය වන්නේ නම් සහ ඔවුන් නීත්‍යානුකූලව වෙන් නොවූවන් වන්නේ නම් එය අදාළ නොවේ. එනිසා කාන්තාව ලිංගික සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වයෙන් ආරක්ෂා කරගැනීමෙහිලා වෛවාහික දූෂණය ශ්‍රී ලංකා නීතිය යටතේ අපරාධයක් නොවීම ප්‍රධානම හිඩැසක් බවට පත්ව තිබේ. 

දණ්ඩ නීති සංග්‍රහයේ 364 වැනි වගන්තියේ  ස්ත්‍රී දූෂණ වරදට දඬුවම් ලැයිස්තුගත කර ඇත. වරදට දඬුවම වසර 7 සිට 20 දක්වා අතර කාලයකට සිරගත කිරීම විය හැකිය යන්නෙන් අදහස් වන්නේ දූෂකයකුට වසර 7ට අඩු දඬුවමක් අධිකරණයෙන් ලබා දිය නොහැකිය යන්නයි. 

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ ප්‍රමාදයන් නිසා නඩු අධිකරණයේ ගොනුවන විට පවා වින්දිතයා අවසානයේ ඔවුන් සහකරු බවට සැලකිය හැකි වරදකරු සමඟ සහජීවනයෙන් විසීමට නිරන්තර පොලඹවනු ලබයි. නඩු විමසීම්වල දිගු ප්‍රමාදය නිසා ඇයගේ නඩුව විභාග වන අවස්ථාව වන විට වින්දිතයා වැඩිවියට පැමිණ තමන්ගේම පවුලේ කෙනෙකු සමඟ විවාහ වී සිටිය හැකිවා මෙන්ම නඩුව දිගට ගෙන යමින් වරදට චෝදනා කරමින් සිටීමේ උනන්දුවක් නොදක්වන තත්ත්වයට පත්ව සිටිය හැකිය. 

කෙසේ හෝ නඩු අධිකරණයේ ගොනු වන විට පවා, ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ ප්‍රමාදයන් දිග්ගැස්සීම හේතුවෙන් දූෂණයේ වින්දිතයන් වසර ගණනාවක් ජීවත් වන්නේ අපයෝජකයා දිගින් දිගටම නිදහසේ සිටින අතරය. පවුල තුළ සහ ගෘහස්ථ දූෂණ සිදුවීම්වලදී වින්දිතයාට අපයෝජකයා සමඟ අඹුසැමියන් ලෙස ජීවත් වීමට බල කෙරෙයි. සමහර සිදුවීම් සුළු සංඛ්‍යාවකදී පැහැර හැරිය නොහැකි සංස්කෘතිකමය අවශ්‍යතා මත ඇතැම් විට වින්දිතයාට අපයෝජකයා සමඟ විවාහ වීමට බලකෙරෙන්නේ දූෂණයේ ප්‍රතිඵලයක් ලෙස බිහිවිය හැකි දරුවන් වෙතොත් ඔවුන්ගේ සුබසාධනය සහ රැකවරණය  සැලසීම වෙනුවෙනි. 

නීතියේ ප්‍රමාදයේ අනෙක් තත්ත්වයන්හිදී අඩු වයස් දූෂණ වින්දිතයන් වැඩිවියට එළැඹ විවාහ වී ඔවුන්ගේ පවුල් සංස්ථා ගොඩනඟා ගන්නා අතර සමාජීය වශයෙන් අපහසුතාවට පත්වීමට ඇති නොකැමැත්ත නිසා තවදුරටත්  නඩු මඟට බැසීමට පෙලඹීමක් නැති විය හැකිය.

අන්තර්ජාලය හා බැඳුණු (සයිබර්) අපරාධ

අන්තර්ජාලය හෝ තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ අපරාධ සැලකූ කල තත්ත්වය වඩ වඩාත් නරක ඇතට හැරී ඇත. දිනපතා සමාජ මාධ්‍ය ඔස්සේ මෙයට ගොදුරු වන්නේ කාන්තාවන් හා තරුණියන් පමණක් නොවන අතර අන්තර්ජාල අපරාධ හැසිරවීම සඳහා නීති බලාත්මක කිරීම සඳහා ස්ථාපිත නියෝජිත ආයතනවල වගකිව යුතු නිලධාරීන් පවා මේ නව ක්‍රමවේදයේ අපරාධවලට ප්‍රතිචාර දැක්වීමේදී වෘත්තීයමය ආකාරයෙන් කටයුතු කිරීමට තවදුරටත් පුහුණු කළ යුතුව තිබේ. 

බොහෝ කරුණු පිළිබඳ නීතිය අපැහැදිලි තත්ත්වයක පවතී. තවද සමාජ මාධ්‍ය වේදිකාවලට අදාළ ප්‍රජා මාර්ගෝපදේශ ඇත්තේ වින්දිතයාට සාධාරණයක් ඉටුවන අයුරින් නොවේ. මාර්ගෝපදේශවල ප්‍රමාණවත් අයුරින් දැඩි නීති පනවා නැති අතර බලාත්මක කිරීමේ ක්‍රමවේදයද අඩුපාඩු සහිතය. 

ගෘහස්ථ හිංසනය

කෙසේ වෙතත්, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ගත් කල තත්ත්වය වෙනස්ය. කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ගෝලීය වශයෙන් සෞඛ්‍ය කරුණක් ලෙස සලකනු ලැබුවද එය නෛතික සහ ප්‍රතිපත්ති සම්පාදන ලිපිගොනු තුළට ගෙන ඒමේදී ප්‍රමුඛත්වයක් ලබා දීමට අපොහොසත් වී ඇත.  

ශ්‍රී ලාංකික සන්දර්භය තුළ, සමීප සහකාර ප්‍රචණ්ඩත්වය (මානසික සහ කායික යන දෙයාකාරයෙන්ම) වඩාත් ක්‍රියාත්මක චර්යාව ලෙස විමර්ශනය ලක් වී ඇත. නිකුත් වන දත්ත මඟින් පෙන්නුම් කරන්නේ ශිෂ්ටසම්පන්න  සමාජයකට නොගැළපෙන කනගාටුදායක ප්‍රවණතාවකි.

කුමුදු විජේවර්ධන ඇතුළු පිරිස ‘ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවම කිරීමේ ප්‍රතිපත්ති සම්පාදනයෙහිලා දේශපාලන ප්‍රමුඛතා හැඩගැස්වීමේ සාධක’ මැයෙන් කළ ඔවුන්ගේ පර්යේෂණාත්මක අධ්‍යයනයකදී හෙළිදරවු වූයේ ජීවිත කාලය පුරාම ඔවුන්ගේ සහකරුවන්ගේ ප්‍රචණ්ඩත්වය අත්විඳින කාන්තාවන් ප්‍රතිශතය 25-35% බවට අධ්‍යයනවලට අනුව යෝජනා කෙරෙද්දී සමීප සහකරුවන්ගේ ප්‍රචණ්ඩත්වය 20-72% අතර පරාසයක පැතිර පවතින බවය.

වසර ගණනාවක් පුරා කාන්තා අයිතිවාසිකම් පිළිබඳ කණ්ඩායම් කළ පෙලඹවීම්වලින් අනතුරුව  2005 අංක 34 දරන ගෘහස්ථ හිංසනය වැළැක්වීමේ පනත  සම්මත විය. කෙසේ වෙතත් තවමත් බොහෝ පුරවැසියන් දකින්නේ ගෘහස්ථ හිංසනය යනු අදාළ පවුලට සීමා වූ පෞද්ගලික ප්‍රශ්නයක් මෙන්ම මේ ආකාරයේ නීති මඟින් පවුල් සංස්ථාවේ පාරිශුද්ධත්වය බිඳ වැටෙන බවකි.

ඒ අතර නීතියේ ද දෝෂ පවතී. ඉන් විශාලම දෝෂය වන්නේ ගෘහස්ථ හිංසනය සඳහා පූර්ණ නිර්වචනයක් එමඟින් සපයා නොතිබීමය. එසේම පනත මඟින් ගෘහස්ථ හිංසනය සාපරාධී වරදක් ලෙස නිර්මාණය කර නැත. 

2005 පනතෙහි අරමුණ වන්නේ වින්දිතයා රැකවල් ආඥා ඔස්සේ රැක ගැනීමය. ගෘහස්ථ හිංසනයට අදාළ සිදුවීම් පාලනය සඳහා නව නීති විරෝධී ක්‍රියාවක් දක්වා නොමැති වීමෙන් වරදකරුවන්ට දඬුවම් කිරීමේදී පවතින දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති මත යැපීමට සිදුව ඇත. 

කෙසේ වෙතත් අපරාධ යුක්ති ක්‍රමවේදය ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් වන ප්‍රචණ්ඩත්ව සිදුවීම් කෙරෙහි විශාල වශයෙන් ප්‍රතිචාර නොදක්වන තත්ත්වයක පැවතෙයි. මේ නිසා වින්දිතයන්ට ජීවිතයේ බොහෝ දේ සමඟ කරන ගනුදෙනුවේදී කායික, මානසික මෙන්ම ආර්ථික වශයෙන් පවා අයහපත් බලපෑම්වල ඵලවිපාකයන්ට  මුහුණ දීමට සිදුව ඇත. 

විභූතියේ අසමානතාව

එක්සත් ජාතීන්ගේ ස්ත්‍රීපුරුෂ සමාජභාවයේ අසමානතා දර්ශකයේ ලංකාව දැක්වෙන්නේ රටවල් 187කින් 74 වැනි ස්ථානයේය. 

ශ්‍රී ලංකාවේ ජනගහන සංයුතියෙන් 51%ක් කාන්තාවන් වුවද සෑම කාර්මික ක්ෂේත්‍රයකම පාහේ පුරුෂයන්ගේ බලය අඛණ්ඩව පවතින බව කීම වරදක් නොවේ. දේශපාලන ක්ෂේත්‍රය සැලකුවද එම සංඛ්‍යාලේඛන එකමය.

පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 25%ක් දක්වා වර්ධනය කිරීමට කෙතරම් ප්‍රවර්ධන වැඩපිළිවෙළ ගෙන ගිය ද අදටත් එහි අසුනක් රැක ගැනීමට සමත් වී ඇත්තේ කාන්තාවන් 12 දෙනකු පමණි.

ශ්‍රී ලංකා ශ්‍රම බලකා සමීක්ෂණයට (2021 2වැනි කාර්තුව) අනුව ‘ආර්ථික වශයෙන් අක්‍රිය’ ජනගහනය මිලියන 8.6ක් පමණ වන අතර ඉන් සියයට 72.9ක් ම කාන්තාවන්ය.

උදාහරණයක් ලෙස ඇඟලුම් ක්ෂේත්‍රය මෙයට සාක්ෂියක් වන අතර මිනිස්බල නියෝජිත ආයතන මඟින් සේවයෙහි යෙදවූ කාන්තාවන්ට වසංගත තත්ත්වය යටතේ එක රැයින් තම රැකියා අහිමි වීම දැක්විය හැකිය. නිකුත් කළ සෞඛ්‍ය රීති යටතේ වරකට සේවයෙහි නියුක්ත කළ හැකි සංඛ්‍යාව අඩු කළ යුතු වූ විට බොහෝ සේවා ස්ථානවල සේවකයන්ගෙන් කොටසක් ගෙදර යැවීම හැර අන් විකල්පයක් නොවීය.

ඇඟලුම් ක්ෂේත්‍රය සැලකූ කල බොහෝ කාන්තාවෝ කේවල මවුවරු වන අතර ඔවුන්ගේ පවුලේ එකම ආදායම් උපයන්නෝද වෙති. අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් මේ ඛේදනීය තත්ත්වය යටතේ ඇඟලුම් සේවිකාවන් මුහුණ දෙන මේ අසාධාරණයට එරෙහිව දිගින් දිගටම හඬ නැඟූහ. ඔවුන් පෙන්වා දුන්නේ ඇතැම් මූලික කම්කරු අයිතීන් පවා නොමැතිව මේ සේවිකාවන් ඔවුන්ගේ ඉලක්ක ඉටු කරමින් සුළු මුදලක් හරිහම්බ කර ගැනීම සඳහා ඔවුන්ගේ සෑම උත්සාහයක්ම දරන බවයි. බොහෝ දෙනා තම වැඩ මුරය පුරාම විවේකයක් පවා නොගෙන සේවය කරන්නේ ඔවුන්ගේ ඉලක්කගත නිෂ්පාදන අරමුණු ළඟා කරගැනීම තහවුරු කිරීමටය. 

කෘෂිකර්මාන්තය, සෞඛ්‍යාරක්ෂණ සහ ධීවර ඇතුළු අනෙක් ක්ෂේත්‍රවල කාන්තාවෝ විවිධ විසම ඵලවිපාකයන්ට මුහුණ දෙති. කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ කාන්තාවන්ට ඔවුන්ගේ මූලික ආදායම් මාර්ග අහිමි වෙමින් පවතින්නේ පොහොර නොමැතිකමින් ගොවිතැන් අඩුවීම නිසාය. ධීවර ක්ෂේත්‍ර ගත් කල එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හටගත් ගින්න පාරිසරික අර්බුදයකට හේතු වූ අතර වෙරළබඩ තීරය පුරා ධීවර ප්‍රජාවලට බරපතළ ලෙස අයහපත් බලපෑමක් ඇති කළේය.   

සෞඛ්‍යාරක්ෂණ ක්ෂේත්‍රයේ හෙදියන් සහ වෛද්‍යවරියන් වසංගත රාජකාරීවලට යට වී ඇත. එය සෞඛ්‍යාරක්ෂණය ‘අත්‍යාවශ්‍ය සේවාවක්’  නිසා පමණක් නොව හෙදියෝ  සහ අනෙක් වෛද්‍ය සහ පරිපාලන නිලධාරීහු කිසිදු ආසාධනයකින් රැකවරණය ලැබීමේ  ස්ථිරසාර ක්‍රමවේදයකින් තොරව ඉදිරි පෙළ සේවයේ නියුක්ත වන නිසාය. 

රජයේ ඉහළ තලවල කාන්තාවන්ට නිගරු කිරීම

අප කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට එරෙහිව අන්තර්ජාතික දිනය සමරන විට පවා, පිළිකුල් සහගත ලෙස, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සභාගැබේ කතාවකදී කාන්තාවක් වාචික හිංසනයට ලක් කිරීමේ  මතභේදාත්මක කරුණ පිළිබඳ සමස්ත ජාතියේම තුඩ තුඩ රැව්පිළිරැව් දෙන්නට විය. 

දින දර්ශනයේ කාන්තාවට එරෙහි ප්‍රචණ්ඩත්වය තුරන් කිරීමේ අන්තර්ජාතික දිනය සඳහන් වන දිනට දවසකට පෙර රජයේ ඇමැතිවරයෙකු රජයේ නීති සම්පාදන ආයතනවලින් උසස්ම වූ වඩාත් ගෞරවාන්විත ස්ථානය වන පාර්ලිමේන්තුවේ විවාදයක් අතරතුර පාර්ලිමේන්තු අසුනක සිටින තවත් මන්ත්‍රීවරියක් සම්බන්ධයෙන් සහ විපක්ෂ නායකවරයාගේ බිරිඳ සම්බන්ධව  ලිංගික සහ අපහාසාත්මක මතයක් පළ කළේය. 

එහි උපහාසාත්මක කරුණ වන්නේ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් සභාවේ විවාද කොටස පාර්ලිමේන්තු  හැන්සාඩ් වාර්තාවෙන් (නිල වාර්තාව) ඉවත් කරන ලෙස ඉල්ලීමක් කිරීමයි. එම වැරැදි සහගත මතය පළ කෙරුණේ 2022 අය වැය සම්බන්ධයෙන් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කවිරත්න කළ කතාවකට ප්‍රතිචාරයක් වශයෙන් ඇයට එරෙහිවය. 

ඊට ප්‍රතිචාරයක් වශයෙන් ද්විපාර්ශ්වික කණ්ඩායම වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ කණ්ඩායම (WPC)අදාළ ඇමතිවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගැනීම පමණක් නොව සිදුවීම පිළිබඳ ඇමැතිවරයා විසින් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලීමක් කළ යුතු බවට කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය. 

“පාර්ලිමේන්තුවේ සිටින්නේ මන්ත්‍රීවරියන් 12 දෙනකු පමණක් නිසා කාන්තා නියෝජනය ඉහළ නැංවීම අපට අවශ්‍යයි.” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ කණ්ඩායමේ සභාපතිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරිය සභා ගැබේ සිය කථාව පවත්වමින් පැවසුවාය. “පක්ෂ දේශපාලනයෙන් තොරව සියලු කාන්තාවන්ට ජනතාව ගෞරව කළ යුතුයි. මේ සිදුවීමෙන් පුළුල් ලෙස පෙනී යන්නේ පිරිමින් කාන්තාවන් පිළිබඳ සිතන ආකාරයයි. 225ට අයත් සියලු සාමාජිකයන් එක්කෝ  මවකගේ කුසින් බිහි වූ අය වගේම එක්කෝ විවාහක අය හෝ සහෝදරියන් සිටින අයයි. නිර්මාණාත්මක අයුරින් කරන විවේචනයන් පිළිගත හැකි වුවත් ලිංගික සහ අපහාසාත්මක මත පළකිරීම් පිළිගන්නට බැහැ”

ඇය තවදුරටත් පැවසුවේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගේ හැසිරීම නිසා අන් සියලු සාමාජිකයන්ගේ ආත්මගෞරවය බිඳවැටෙන බවයි. “නීති සම්පාදනය කරන ස්ථානය මෙය වන අතරම ජනතාව නියෝජනය කිරීම සඳහා උගතුන් තෝරා පත්කර එවන උත්තරීතර ස්ථානය මෙයයි.”

සමඟි ජන බලවේගයේ කාන්තා අංශය ද ඇමැතිවරයා සමාව අයැදිය යුතු බවට ඉල්ලීමක් කළේය. “මෙයින් පෙනී යන්නේ ආණ්ඩුවට එරෙහිව කතාකරන්නෙකු නිහඬ කරවීම සඳහා ඔවුන් ඕනෑම දෙයක් කරන බවයි. ඔවුන් කාන්තාවක් දූෂණය කිරීමට හෝ යමෙකු මරාදැමීමට වුවත් පුළුවන්.” යනුවෙන් කවිරත්න මන්ත්‍රීවරිය අදහස් ප්‍රකාශ කළාය.

අඳුරු අනාගතයක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ ප්‍රකාශයේ ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ සමානතාවට ඉඩක් වෙන් කර තිබුණ ද තේරී පත්ව ඇති නියෝජිතයන් රජයේ විධායකයේ ප්‍රධානියාගේ උපදෙස් හෝ ඔහු විසින් ප්‍රකාශයට පත් කරන ලද ප්‍රතිපත්ති අනුගමනය කරන බවක් දක්නට නැත.

එසේම ගෘහස්ථ හිංසනය, ස්ත්‍රී දූෂණය සහ ලිංගික අපයෝජනය සම්බන්ධ බොහෝ සිදුවීම් ප්‍රවෘත්ති මාධ්‍යවල පළ වන්නේ තෝරාගැනීමකින් බව පැහැදිලිය. ඇතැම් විට එවැනි ආන්දෝලනාත්මක සිදුවීම් භාවිත වන්නේ ප්‍රේක්ෂකයන් කිතිකවමින් දේශපාලන ක්ෂේත්‍රයේ ගන්නා වැදගත් තීන්දු තීරණවලට ප්‍රතිචාර දැක්වීමෙන් ඉවත් කිරීමේ ක්‍රමෝපායක් ලෙසය.

අයිතිවාසිකම් පිළිබඳ කණ්ඩායම් ස්ත්‍රී පුරුෂ සමාජභාවයට අදාළ ප්‍රචණ්ඩත්වය, විශේෂයෙන්ම අන්තර්ජාල (සයිබර්) අවකාශය තුළ ඇතිවන සිදුවීම් සමථයකට පත් කිරීමට අඛණ්ඩව වෙහෙස වෙයි. මේ අවස්ථාවේ සයිබර් අපරාධවලට ගොදුරුවූවන් සඳහා නෛතික ආරක්ෂාවක් හඳුන්වා දීම අත්‍යාවශ්‍යය. 

එහෙත් නීතිය ඵලදායී ලෙස බලාත්මක කිරීම තහවුරු කිරීමේදී රජයෙන් ලැබෙන සහයෝගය සියල්ලට වඩා ප්‍රමුඛය. වාර්තා පොත්වල පැමිණිලි කඳු ගැසෙමින් පවතී, එහෙත් කාන්තා කටයුතු පිළිබඳ වෙනම අමාත්‍යාංශයක් වෙන් කිරීමට අපොහොසත් වූ රජයකින් සිය පාලන සමය තුළ කාන්තාවන් මුහුණ දෙන අභියෝගවලට ප්‍රමුඛත්වයක් දෙමින් ආමන්ත්‍රණය කිරීමට කටයුතු යොදනු ඇත්ද යන්න පිළිබඳ බොහෝ සැක සංකා මතුව ඇත.

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts