Uncategorized

කඩොලාන හරිත කලාප වර්ධනයට නාවික හමුදා මෙහෙයුමක්

රේඛා තරංගනී ෆොන්සේකා

නාවික හමුදාව විසින් රටවටා වෙරළබඩ කලපු ආශ්‍රිතව කඩොලාන ශාක රෝපනය කරමින්  ආරම්භකළ පරිසර වියමන් සෑදීමේ වැඩසටහන පිළිබඳව සොයා බැලීමට   කංකසන්තුරේ, කරෙයිනගර්,පුත්තලම, ඇතුළු ප්‍රදේශවල සංචාරයක යෙදීමට පසුගියදා අවස්ථාව උදාවිය. රට වටා වෙරළ ඛාදනය වලකාලීමේ පරිසර හිතකාමී පියවරක් වශයෙන් කඩොලාන හරිත කලාප කටයුතු වඩාත් පුළුල් කිරීමට නාවික හමුදාව සැලසුම් කොට තිබේ.

 ගොඩබිම සහ ජලය එක්වන ගංගා මෝය සහ කලපු ආශ්‍රිතව, වඩදියට යට වී බාදියට නිරාවරණය වන බිම් ප්‍රදේශයන්හි වැඩෙන සුවිශේෂී ශාකයක් වන කඩොලාන ඇතැම් සත්ත්ව වි‍ශේෂ වලට රැකවරණය සපයන පරිසර හිතකාමී ශාකයකි.

පඳුරු මෙන්ම උස් ගස් දක්වා ප්‍රමාණයෙන් වෙනස් වන මෙම ශාක  වර්ධනයේදී ඇතිවන අභියෝග ජය ගැනීම සඳහා විවිධ අනුවර්තන දැරීම විශේෂත්වයකි.

ලවණ ජලයෙන් අවශ්‍ය ජලය අවශෝෂණය කිරීමේ හැකියාව මෙන්ම ලුණු සහිත ජලය අවශෝෂණය කර පත්‍ර තුළ ලුණු ගබඩා කිරීම හා පසුව පත්‍ර හලා දැමීම මෙහි දක්නට ඇති අපුරු ක්‍රියාවලියකි

ජලයෙන් ලුණු වෙන්කර පිට කිරීමට හැකි ග්‍රන්ථි පිහිටීම උත්ස්වේදනයේ දී පිටවන ජල ප්‍රමාණය අවම කර ශාකය තුළ ජලය සංචිත කිරීම,එම ශාකයේ විශේෂිතම අනුවර්තනයක් ලෙස සැලකිය හැකිය.

මෙම ශාක ප්‍රජාව වඩාත් පුළුල්ව ව්‍යාප්ත වීම  ඝර්ම කලාපීය රටවල මුහුදු සහ කලපු ආශ්‍රිතව වැඩි වශයෙන් දක්නට ඇති අතර ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්ලොරීඩා වෙරළ ආශ්‍රිත කලාපයට උතුරින්ද, ජපානය,නවසීලන්තය,ආජන්ටිනාව වැනි රටවලද  කඩොලාන ශාක ප්‍රජාව වඩාත් ව්‍යාප්ත වී තිබේ.

 ලෝකයේ පරිසරවේදීන් පෙන්වාදෙන ආකාරයට ලොවපුරා කඩොලාන ශාක ව්‍යාප්තිය හෙක්ටයාර මිලියන 15.9ක් ලෙස ගණනය කර ඇති අතර අප රටතුළ කඩොලාන ව්‍යාප්තිය හෙක්ටයාර දොලොස් දහසකට ආසන්නය.

ශ්‍රි ලංකාවේ සුවිශේෂී කඩොලාන ශාක වර්ග 17ක් දැකිය හැකි අතර මහ කඩොල් (Rhizophro mucronta / (Rhizophro apiculata), මල් කඩොල්(Bruguera gymnorhiza), රතු කඩොල් (Ceriops tagal), මණ්ඩා- Avicennia marina), බෑරිය(Lumnitzera recemosa)තෙල(Excoecarias agallocha), හීන් කඩොල්- (Aegiceras cornicul), කටු ඉකිලිය(Acanthus ilicifolius) ,ගිංපොල් (Nypa fruticans) යන කඩොලාන විශේෂ වෙරළ ,කලපු හා මෝය ආදී ස්ථාන ආශ්‍රිතව බහුලව දැකිය හැකිය.

වඩදිය බාදිය හේතුවෙන් කලපු ආශ්‍රිතව ජීවත් වන සතුන්ට වරක දී ජලයෙන් යට වූ පරිසරයක ද තවත් වරක දී වායුගෝලයට නිරාවරණය වූ පරිසරයක ජීවත්වීමට සිදු වන අතර වෙරළ පරිසර පද්ධතියේ ජෛව විවිධත්වය සුරැකීමට  කඩොලාන ශාකයෙන් සැලසෙනුයේ විශාල සහයකි.

කඩොලාන පරිසරයේදි සත්ව විශේෂ රැසකට සිය වාසස්ථාන ඇතිවීම ධීවර කර්මාන්තයට වාසිදායක තත්වයක් උදා කරවන්නකි.

මඩ කකුළුවා, තනි අඬු කකුළුවා, මුහුදු කකුළුවා , මඩ පොකිරිස්සා, කිරි ඉස්සා, කඩොලාන මට්ටි, ටෙලස්කෝපියම් බෙල්ලන්, සෙරිතිඩිය බෙල්ලන් (ඌරි)ලිටොරාරිය බෙල්ලන් (කඩොල් බෙල්ලන්), කඩොලාන කවාටි, දිය හූනා, කඩොල් කොකා, ඇලි කොකා, ගලුවියන් හා මුහුදු ලිහිණියන්, සිලි බිල්ලන් වැනි සත්ව විශේෂ කඩොලාන ශාක ආශ්‍රිතව ජීවත්වෙති.

 නාවික හමුදාව ප්‍රකාශ කරන පරිදි, නාවික හමුදාවේ 71 වැනි සංවත්සරය වෙනුවෙන් ද පසුගිය දිනවල පැළ ලක්ෂයක් රෝපණය කිරීමේ ව්‍යායාපෘතියක්ද බල ගැන්වී ඇති අතර හලාවත කලපුව වනාතවිල්ලූව,එළුවන්කුලම,ගඟේවාඩිය යන ප්‍රදේශවල මෙම කඩොලාන ශාක 100000 සිටුවීම සිදුකර තිබේ.

 නාවික  හමුදාවේ දත්තයන්ට අනුව  යාපනය, කරේයි නගර, කන්කසන්තුරේ,ඩෙල්ෆ්,මන්ඩතිව්,පුංගුඩුතිව්  මුත්තූර් ,ත්‍රිකුණාමලය ,මුලතිව්,පුත්තලම ,පල්ලියේවත්ත ,මුල්ලිකුලම්,පානම,අම්පාර,උප්පුවේලි, යන ප්‍රදේශ ඇතුළුව ප්‍රදේශ හැට අටක පැල හාරලක්ෂ විසිදහස් දෙසිය හැත්ත නවයක් සිටුවීමට පියවර ගෙන ඇත.

 මේ වන විට කරෙයිනගර් කලපු තීරයේ ඉතා සරුවට වැඩී තිබෙන කඩොලාන ශාක අටදහසක පමණ ප්‍රමාණයක්  ඇතැම් ධීවරයින්ගෙන් රැක ගැනීම විශාල ගැටලුවක්ව පවතින බව කඩොලාන ශාක රැක බලා ගැනීමට යොදවා සිටින නාවික හමුදා නිලධාරීහු පවසති.

කරෙයිනගර් කලපු ආශ්‍රිත ඇතැම් ධීවරයින් කඩොලාන ශාකය හේතුවෙන් මත්ස්‍ය අස්වැන්න අඩුවන බවට වැරදි වැටහීමක සිටින බවත්, ඒ  නිසා ඔවුන් හොඳට වැඩීගෙන එන කඩොලාන ශාක ගලවා විසි කිරීමට පෙළඹී ඇති බවත් එම නිලධාරීයා වැඩිදුරටත් පැවසීය.

ඉව්රු ඛාදනය වලකාලන මෙම ශාකය තව තවත් රට වටා වෙරළ සහ කලපු  ආශ්‍රිතව සිටුවීමේ ඉදිරි වැඩසටහන් සැලසුම්කර ඇතැයි නාවික හමුදාපති  වයිස් අද්මිරාල් යූ.වී.එම්.පී. පෙරේරා මහතා පවසයි.

 උතුරු නැගෙනහිර,බස්නාහිර වැනි ප්‍රදේශ රැසක  කඩොලාන ශාක රෝපණය ඉතා සාර්ථකව සිදු වෙමින් පවතින බවත්,උතුරු ප්‍රදේශයේ ඇති දූපත් සියල්ලෙහිම පාහේ මේ වනවිට කඩොලාන ශාක රෝපණය  කොට ඇති අතර කන්කසන්තුරේ මෙම ව්‍යාපෘතිය වඩාත් සාර්ථකව සිදු කරගෙන යන බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts