
කඩිනමින් ජයගත යුතු ජනවාසකරණයට ලක්වූ ජනතාව මුහුණ දෙන අභියෝග
හේරත් මුදියන්සේලාගේ ආසිරි

ශ්‍රී ලංකාවේ සමාජීය, ආර්ථික හා දේශපාලනික හේතු මුල් කරගනිමින් ජනවාසකරණය (Resettlement) වූ ජනතාව බොහෝ අභියෝගයන්ට මුහුණ දෙමින් සිටි. දශක කිහිපයක ඉතිහාසයක් ඇති මේ අර්බුදය එක රැයින් සිදුවුවක් නම් නොවේ.තිස් වසරක යුද්ධය,සුනාමි ව්‍යසනය,වෙනත් ස්වාභාවික හෝ කෘතීම ආපදා, සංවර්ධන ව්‍යාපෘති, සහ පාරිසරික හේතුන් නිසා මෙම ජනවාසකරණය නොඑසේනම් නැවත පදිංචි කිරිම සිදු වී තිබේ. විශේෂයෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වල පැවති යුද්ධය නිසා ජනතාව නව ජනවාසවලට යොමු කිරීමට සිදුවිය. එසේම, මහවැලි සංවර්ධන ව්‍යාපෘති මෙන්ම නගර සංවර්ධන ව්‍යාපෘති නිසා ද බොහෝ ජනතාවට තම පදිංචි ස්ථාන අත්හරිමින් වෙනත් ස්ථානවලට පිවිසෙන්නට සිදුවිය.
මෙම ලිපියේ ප්‍රධාන අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ ජනවාසකරණයට ලක්වූ ජනතාව මුහුණදෙන සමාජීය, ආර්ථිකීය, සංස්කෘතික හා මානසික ගැටලු සවිස්තරාත්මකව විශ්ලේෂණය කිරීමයි.
ජනතාව ජනවාස කලාපවලට යොමු කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන ගැටළුවක් වන්නේ ආදායම් මාර්ග අහිමිවීමයි. පසුගිය කාලය තුළ යුධ ගැටුම් නිසා ජනවාස කරනු ලැබූ ජනතාව සඳහා ඔවුන්ගේ සම්ප්‍රදායික වෘත්තික ක්‍රියාකලාප නැවත ආරම්භ කිරීම ඉතා අභියෝගාත්මක කාර්යයක් වී ඇත. විශේෂයෙන්ම කෘෂිකර්මය, මසුන් ඇල්ලීම, හා වතු කර්මාන්තය මෙන්ම සම්ප්‍රදායික ජීවන ක්‍රමයන් අහිමි වීම ඔවුන්ගේ ආර්ථික ස්ථාවරතාවයට බලපායි. මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය නිසා ජනවාස කරනු ලැබූ ගම්මානවල ගොවියන්, තම පැරණි භූමිවලට සමාන භූමි ලබා නොගැනීම හෝ ජලය නොමැති වීම නිසා නව භූමියේ කෘෂිකර්මය ආරම්භ කිරීමට අපහසුතාවන්ට මුහුණ දෙයි.
ජනවාස කරනු ලැබූ ජනතාවට ලබාදෙන ඉඩම් හා නිවාස බොහෝවිට ප්‍රමාණවත් නොවේ. විශාල පවුල් සඳහා කුඩා නිවාස ලබාදීම, හෝ පූර්ණ අයිතිය නොමැති ඉඩම් ලබාදීම ගැටලු උදා කරයි. ඉඩම් හිමිකම් පිළිබඳ නීතිමය ගැටළු, පසුකාලීනව විරෝධතා වලට හේතු වේ. මේ හේතුවෙන් එම ඉඩම් වෙනත් පාර්ශවයන්ට කුලියට හෝ බද්දට ලබා දෙමින් ඉඩම් හිමියන් ඔවුන්ගේ මුල් පදිංචි ස්ථාන වෙත ගමන් කරයි. මේ හේතුවෙන් ජනාවාස ආශ්‍රිතව ඉඩම් හිමිකාරිත්වය සහා අසල්වාසීන් අතරද ගැටුම් හට ගනී.උදාහරනයක් ලෙස ගාල්ල වෙරළබඩ ජනතාව සුනාමි ව්‍යසනයෙන් පසු නැවත පදිංචි කරනු ලැබුවේ අක්මීමන ප්‍රදේශයේය.නගරයෙන් ඈත්ව පිහිටි එය ග්‍රාමිය ප්‍රදේශයකි.ඔවුන්ගේ ප්‍රධාන ජිවන මාර්ග ඔවුන්ට අහිමිවිය.දරුවන්ගේ පාසල් අධ්‍යපන කටයුතුද වෙනස්විය.නගරය කේන්ද්‍ර කරගත් ඔවුන්ට ගම්වැසියන් විමට සිදුවිය.ගාල්ල නගරය යනු බහු ජාතික,බහු ආගමික බහු සංස්කෘතික නගරයකි.අක්මීමන ඇත්තේ ඊට හාත්පසින් වෙනස් තත්ත්වයකි.සුළු ප්‍රශ්නයක් ලෙස මෙය කෙනෙක්ට පෙනියාහැකි නමුත් මෙවැනි තැන්වල ඇතිවිය හැකි ප්‍රති විරෝධතා අවසානයේ කෙළවර වන්නේ බරපතල ගැටුම්වලිනි.
එසේම, නව නිවාසවල ආරක්ෂක පහසුකම්, සෞඛ්‍යාරක්ෂිත පිරිසිදු පානීය ජලය හා විදුලි පහසුකම් ප්‍රමාණවත් නොවීමත් අභියෝගයක් වේ. බොහෝවිට ඉදිකරන නිවාස මූලික වශයෙන්ම පවතින නවීන වාසස්ථාන මට්ටමට නොගැලපෙයි.
නව ජනවාසයක පදිංචි වීම සමාජීය හා සංස්කෘතික ගැටළු රැසකට මඟ කියයි. ප්‍රදේශයන් මාරු වීමත් සමඟ, පැරණි සමාජ ජාලයන් හා සම්බන්ධතා කඩවී යන අතර, පවුල් සම්බන්ධතා හා හිතමිතුරු සබඳතා අහිමි වේ. විවිධ භාෂා, ආගමික සහ සංස්කෘතික පසුබිම් ඇති ජනතාව එකම ප්‍රදේශයක පදිංචි වීමේදී සන්සුන් සම්බන්ධතා පවත්වාගෙන යාම අභියෝගාත්මක වේ.
විශේෂයෙන්ම උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල යුධ සමය නිසා ජනතාව නැවත ජනවාස කරනු ලැබූ විට, ආගමික සහ ජනවාර්ගික ගැටුම් බහුල වීමට හේතු විය.
නව ජනවාසවල නිසි අධ්‍යාපන පහසුකම් නොමැතිවීම සහ සෞඛ්‍ය සේවා අඩුපාඩු ජනවාසකරුවන්ට දැඩි බලපෑමක් සිදු කරයි. බොහෝ විට දරුවන්ට උසස් අධ්‍යාපනය ලබා ගැනීම සඳහා ඈත ප්‍රදේශවලට යාමට සිදුවේ. එවන් අවස්ථාවල මව්පියන්ට දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ විශාල ගැටලු මතුවන අවස්ථා බොහෝය . යුද්ධයෙන් බලපෑමට ලක්වූ මුලතිව් සහ කිලිනොච්චි ප්‍රදේශවල නැවත ජනවාස කළ ප්‍රදේශවල සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන නොමැතිවීම හේතුවෙන් බොහෝ ජනතාවට සෞඛ්‍ය පහසුකම් සඳහා දුර ගමන් කළ යුතු විය. එසේම සූරියවැව මහවැලි කලාපය ආශ්‍රිතවද පාසල් අධ්‍යාපනය ලබා ගැනීම සදහා දරුවන්ට විශාල දුරක් ගෙවා පාසලකට ළගා වීමට හේතු වී තිබේ. වන අලි ගැටළුවද උග්‍ර ලෙස පවතින මේ ප්‍රදේශයේ දෙමාපියන් ඔවුන්ගේ සහ දරුවන්ගේ ජීවිත පිළිබදව අවදානමක සිටි.
ජනවාස කරනු ලබන ජනතාවට මානසික ආතති (psychological stress) රැසකට මුහුණ දෙයි. වසර ගණනාවක් ජීවිතය ගෙවූ ප්‍රදේශයකින් ඉවත් වීම, නව පරිසරයට අනුගත වීමට සිදුවීම, හා සමාජ අභිලාෂයන් කඩවී යාම මේ සඳහා හේතු වේ. විශේෂයෙන් යුධ ගැටුම් නිසා අහිමි වූ පවුල් සාමාජිකයන්ගේ මතකයන් ඔවුන්ට මානසිකව දැඩි බලපෑමක් කරන බව සමාජීය විශ්ලේෂණ හෙළිදරව් කර තිබුනද ඒ පිළිබද ප්‍රමාණවත් අවධානයක් යොමුකර නැත.
ජනවාසයන්ට අයිතිකරුවන් පිළිබඳ නීතිමය ගැටලු බොහෝ විට නිරාකරණය වි නැත. ඉඩම් හිමිකම් සම්බන්ධ නීතිමය ගැටළු සහ රාජ්‍ය ආයතනවල කටයුතු ප්‍රමාද වීම ද ජනතාවට දැඩි අපහසුතාවයකට ලක්කර ඇත.
ශ්‍රී ලංකාවේ ජනවාසකරුවන් මුහුණදෙන ගැටළු සමාජීය, ආර්ථික, සංස්කෘතික, හා මානසික මට්ටමින් දැක්විය හැකි අතර, මෙම ගැටළු සඳහා ප්‍රතිඑලදායක ප්‍රතිපත්ති සැලසුම් කිරීම හා එම ජනතාවගේ ජීවින තත්ත්වය උසස් කිරීම අත්‍යවශ්‍ය වේ. ඒ සදහා පහත ක්‍රියාමාර්ග පෙන්වා දිය හැකිය. ජනවාසකරුවන්ගේ ආදායම් මාර්ග සංවර්ධනය කිරීම. ඉඩම් හිමිකම් පිළිබඳ නීතිමය ගැටළු නිරාකරණය කිරිම .ඇතිවිය හැකි නොසන්සුන්තාවයන් අවම කිරිම උදෙසා සමාජ සංස්කෘතික සම්බන්ධතා වර්ධනය කිරීම. නව ජනවාසවල අධ්‍යාපන සහ සෞඛ්‍ය පහසුකම් ව්‍යාප්ත කිරීම. මානසික සෞඛ්‍ය සහාය සහ ප්‍රතිසාධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.මෙම ක්‍රියාමාර්ගයන් ක්‍රියාත්මක කිරීම මඟින් ජනවාසකරුවන්ගේ ජීවිත තත්ත්වය යහපත් කිරීමට හැකියාව ඇති අතර, ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ද මෙය උපකාරී වේ.