අනාවරණ

කටුවාපිටිය සුවපත් කරනසප්ත මහා බලවේගය

ප්‍රසාද් පුර්ණාමාල් ජයමාන්න

පාස්කු ඉරුදින සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මාස තුනක් ගතවීමට ආසන්න මොහොතේ කටුවාපිටිය ජනතාව ඒ අමිහිරි අත්දැකීම් සියල්ල පරාජය කරමින්, නැඟීටීමට වෙර දරන අයුරු පිළිබඳ එක්වරම දැනෙන්නේ පුදුමයකි. කටුවපිටිය අරමුණු කරගෙන දිව රෑ දෙකෙහි ක්‍රියාත්මක වන වැඩපිළිවෙළ දකින්නකුට එහි පුදුම වන්නට දෙයක් නැති බව අනතුරුව වැටහෙයි.

“මං පොඩ්ඩක් ප්‍රමාද වුණා… සමාවෙන්න.. දරුවා ටියුෂන් පන්තියට දාලා එන්න ගියා…”

ඉතා නිහතමානීව ගලා ආ මේ වචන කීපයේ දහසක් දේ ගැබ්ව ඇති බව එකවර කිසිවකුට සිතෙන්නේ නැත. සුදු ලෝගුවකින් සැරසී සිනාමුසුව පැමිණි ඔහු, දරුවන් පන්ති ගෙනයෑම වැනි ජීවිතයේ එදිනෙදා කටයුතු පැවරුණු අප වැනි සාමාන්‍ය පියෙකු නොවේ, පියතුමෙකි. වඩාත් නිවැරදිව කිවහොත් ජේසු නිකායේ පූජකවරයෙකි.

රශ්මි මධුසංක ප්‍රනාන්දු පියතුමන් සමඟ මේ කතාබහ ආරම්භ වූයේ මීගමුව කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථාන බිම් කඩෙහි ය. පාස්කු ඉරුදින මේ දේවස්ථානයේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සිදුව මාස තුනක් ගතවීමට ආසන්න මොහොතේ කටුවාපිටිය ජනතාව ඒ අමිහිරි අත්දැකීම් සියල්ල පරාජය කරමින්, නැඟීටීමට වෙර දරන අයුරු පිළිබඳ එක්වරම දැනෙන්නේ පුදුමයකි. කටුවපිටිය අරමුණු කරගෙන දිව රෑ දෙකෙහි ක්‍රියාත්මක වන වැඩපිළිවෙළ දකින්නකුට එහි පුදුම වන්නට දෙයක් නැති බව අනතුරුව වැටහෙයි.

රශ්මි මධුසංක ප්‍රනාන්දු පියතුමා කටුවාපිටියේ විපතට පත් ජනතාව නඟා සිටුවීමේ ක්‍රියාන්විතයේ නිරත එක් අයෙකු පමණි. මෙවැනි විශාල පිරිසක් මේ ක්‍රියාදාමය පිටුපස සිටිති. ඒ අතර කතෝලික ආගමික පූජ්‍ය පක්ෂය ද වෙයි. මීට අමතරව එහි වෛද්‍යවරුන්, නීතිඥවරුන්, රාජ්‍ය නිලධාරීන්, දේශපාලකයන්, ස්වෙච්ඡා සංවිධාන ඇතුළු ආයතන හා පුද්ගලයන් රැසකි. කටුවාපිටිය ග්‍රාමයේ ජනතාව කායිතව මෙන් ම මානසිකව ද ගොඩනැගීම සඳහා මොවුන් අත්වැල් බැඳගෙන ඇත්තේ එකම දම්වැලක පුරුක් මෙනි.

රශ්මි මධුසංක ප්‍රනාන්දු පියතුමන් හා මංජුල නිරෝෂන් ප්‍රනාන්දු පියතුමන්

“මට පවුල් දෙකක් භාර දීලා තියනවා. එක පවුලක අම්මා මේ බෝම්බ ප්‍රහාරයෙන් මියගියා. තාත්තා ඊට අවුරුදු එකහමාරකට පෙර මියගිහින් තිබුණා. මේ පවුලේ ලොකු පිරිමි දරුවට වයස අවුරුදු 16 යි. මේ පාර සාමාන්‍ය පෙළ කරනවා. දෙවනියට වයස අවුරුදු 08 යි තුන වසරේ. මේ දෙන්නට අන්තිමට ඉතුරුවුණේ වයසක සීයයි ආච්චියි විතරයි. ඒ දෙන්නත් ඉන්නෙ ලෙඩින්. අනෙක් පවුලේ තාත්තා බෝම්බෙන් නැති වුණා. ඉතුරු වුණේ අම්මයි දරු දෙන්නයි. මේ පවුලේ ලොකු ළමයාගේ වයස අවුරුදු දහයයි. දෙවනියට පහයි. අම්මා ඉන්න නිසා මේ පවුලේ තත්වය ටිකක් හොඳයි. මුලදි ඒ අයත් ගැටලු ගණනාවකට මුහුණ දුන්නා. මං මේ පවුල් දෙකට අමතරව තවත් පවුල් හතක කටයුතු පිළිබඳ සොයා බලනවා.” රශ්මි මධුසංක ප්‍රනාන්දු පියතුමා සිය වගකීම් ගැන කතා කරන්නේ කෘප්තිමත් හැඟීමකිනි. රශ්මි මධුසංක ප්‍රනාන්දු පියතුමා, පාස්තු ප්‍රහාරයෙන් අසරණ වූ දරුවන් හතරදෙනෙකුට පියකු වී සිටී. මේ දරුවන් වෙනුවෙන් පියතුමන් අපමණ වෙර දරයි. සිය මෙහෙවරෙහි බරපතළ බවින් ඔහු කිසි දින වෙහෙසට පත් කළ නොහැකි සේ ය.

“අපි පසුගිය සතියෙත් මේ පවුල්වල දරුවන් දෙන්නෙක් රෑ කෑමකට එක්ක ගියා. තවත් දවසක ඔවුන් ලෙෂර් වර්ල්ඩ් එක්ක ගියා. පුළුවන් හැම දවසකම මේ දරුවන් බලන්න, ඔවුන්ගෙ වුවමනා ගැන සොයන්න අපි මේ ගෙවල්වලට යන්න උත්සහා කරනවා.” යි පවසන්නේ වෛද්‍ය දිමුත් පොන්වීර ය. කටුවාපිටිය යළි නඟා සිටුවීමේ කාර්යයේ පෙරමුණ ගත් තවත් ප්‍රධාන පාර්ශ්වයක් වන වෛද්‍යවරුන් ගෙන් ඔහු ද කෙනෙකි. ජනතාවට පිහිට වීම සදහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වූ එක් වෛද්‍යවරයකු වූ දිමුත් පොන්වීර මීගමුව තමන් සේවය කරන රෝහල නොවුණත් සිද්ධිය සැලවූ වහා මීගමුවට පැමිණ සියලු දේ සම්බන්ධීකරණය කරමින් කටයුතු කිරීමට කැප වූවෙකි. අද වන විටත් කටුවාපිටිය ජනතාව සමඟ සිටිමින්, ඔවුන්ගේ තායික හා මානසික සුවසෙත වෙනුවෙන් ඔහු කරන සේවය අමිල ය.

” එදා බෝම්බය පිපිරුණු අවස්ථාවේ සිට මේ දක්වා ගත වූ මාස තුන තුළ අපේ කණ්ඩායම – ඒ කියන්නේ වෛද්‍ය ක්ෂේත්‍රයට හා සෞඛ්‍ය ක්ෂේත්‍රවලට සම්බන්ධ රජයේ හා රාජ්‍ය නොවන අංශයේ පිරිස්, කටුවාපිටිය ග්‍රාමය ගොඩනගන්න දිවා රෑ නොබලා වැඩ කළා. එකවර විශාල පිරිසක් මියගිහින්, එකවර විශාල පිරිසක් තුවලා ලබපු මේ වගේ අත්දැකීමක් අපි මීට පෙර ලබල තිබුණෙ නැහැ. අපි සියලු පාර්ශව එකමුතු වීම තුළ මේ ගමේ ජනතාව ඒ තත්තවයෙන් කඩිනමින් ගොඩගන්න, පිළිතුරු සපයන්න අපිට හැකිවුණා. මියගිය පුද්ගලයන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමේ සිට මිහිදන් කිරීමේ කාර්යයේ දක්වාත්, තුවාල ලැබූවන් ප්‍රතිකාර කොට නිදුක් නිරෝගී තත්ත්වයට පත් කිරීම දක්වාත් වන විශාල පරාසයක් ඇතුළත අපි මේ කාර්යය ඉටු කළා. තව දුරටත් ඉටුකරමින් සිටිනවා ”

වෛද්‍ය රොෂාන් පෙරේරා හා වෛද්‍ය දිමුත් පොන්වීර

කැඩුණු බිඳුණු ගොඩනැගිලි පිළිසරක කළ ද, ඒවා නැවත ඉදිකළද බිඳුණු සිත් යළි පිරිද්දීම හෝ එකතු කිරීම එතරම් පහසු කාර්යයක් නොවේ. එය එක්තරා අන්දමකට කාලය සම්බන්ධ ගැටලුවකි. එම කාර්යය ද තම කර පිට තබා ගනිමින් කටයුතු කරන පිරිසක් ද මේ වෙදැදුරන් අතර විය.

“මේ පිරිසගේ එකම අරමුණ වුණේ පාස්කු දින එල්ලවූ බෝම්බ ප්‍රහාරයෙන් කැඩී බිඳී ගිය සිත් යළි සුවපත් කිරීමයි. අපි වෛරී ප්‍රකාශවලට ඉඩ තිබ්බෙ නැහැ. පළපුරුදු මානසික වෛද්‍යවරුන් මෙන්ම පළපුරුදු විශේෂඥ වෛද්‍යවරුන්, කාර්ය මණ්ඩල මේ සඳහා අප එක් කර ගත්තා ” යිවෛද්‍ය දිමුත් පොන්වීර කියයි.

කැඩී බිඳී ගිය සිත් යළි සුවපත් කිරීමට එලෙස පෙරමුණ ගත් අය අතර මීගමුව මහ රෝහලේ මානසික වෛද්‍ය ඒකකයේ වෛද්‍ය රොෂාන් පෙරේරා කෙනෙකි. ඔහු ප්‍රකාශ කළ පරිදි මේ ප්‍රහාරයෙන් සිත් බිඳී ගිය වැඩිදෙනෙකු තමනට එවන් මානසික සෞඛ්‍ය ගැටලුවක් ඇති බව පිළිගෙන මානසික සෞඛ්‍ය ඒකකයකට හෝ සායනයකට පැමිණීමට අකමැති වූ අය වෙති. ඔවුන් වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයේ ද සහාය ඇතිව වෛද්‍ය සායන සූදානම් කෙරිණි. ඉන් ප්‍රෙද්ශයේ ජනතාවගේ කායික මෙන් ම මානසික සුවතාව සම්බන්ධයෙන් ද අවධානය යොමු කෙරිණි.

රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයේ ද සහාය ඇතිව කටුවාපිටියේ පැවැති වෛද්‍ය සායනයක්

“පෙනෙන තුවාලයක් නම් බෙහෙත් ටිකක් දාලා හොඳ කරන්න පුළුවන්. නොපෙනෙන තුවාලයකට අපි කොහොමද බෙහෙත් දාන්නේ. පෙනෙන තුවාලයට වඩා නොපෙනෙන තුවාලය භයානකයි. අපි වෛද්‍යවරුන් විදිහට මේ පිරිසගේ සිත් සුවපත් කරන වැඩපිළිවෙළට පල්ලියත් එක් කර ගත්තා. මාස තුනක් වැනි කාලයක් තුළ කටුවාපිටියේ බිඳුණු සිත් සුවපත් කිරීමේ අභියෝගය ජය ගන්න හැකි වීම ගැන අප ලොකු සතුටක් විඳිනවා. හිත හොඳ මිනිසුන් එකට එකතු වීම තමයි කටුවාපිටිය කඩිනමින් යළි ගොඩනැඟීමේ රහස. මේ හිත හොඳ මිනිසුන් අතර බෞද්ධ, මුස්ලිම් කතෝලික, හින්දු සියලු ආගමිකයන් ඉන්නවා.” යි වෛද්‍ය රොෂාන් පෙරේරා කියයි.

කටුවාපිටිය නඟ සිටුවීමේ කාර්යයේ තවත් සුවිශේෂී කාර්යයක් සිදු කරන ආයතනයක් ලෙස සෙත්සරණ ආයතනය ප්‍රමුඛ වෙයි.සෙත්සරණ අධ්‍යක්ෂ ලෝරන්ස් පෙරේරා පියතුමන්ගේ උපදෙස් පරිදි මහිම ගුණවර්ධන සහෝදරතුමා මාස තුනකට ආසන්න කාලයක් ඒ වෙනුවෙන් සිදු කළ වැඩ කොටස වසර ගණනකින් වුව ද සිදු කළ නොහැකක් බව ඒ ගැන අවධානය යොමු කරන කාට වුව ද වැටහෙයි. මහිම ගුණවර්ධන සහෝදර තුමන් ප්‍රකාශ කළේ කටුවාපිටිය බෝම්බ ප්‍රහාරයෙන් පවුල් හැත්තෑ පහකට අයත් 115 දෙනෙකුට දිවි අහිමි වූ බව ය. මිය ගිය බවයි.

” මේ ප්‍රහාරයෙන් පුද්ගයලන් 250 දෙනෙකු තුවාල ලැබුවා. මියගිය හා තුවාල ලැබූ පවුල්වල ළමයින් 140 ක් ඉන්නවා. මේ පවුල්වල නිවාස නොමැති පුද්ගලයන් ඉන්නවා. අපේ වැඩපිළිවෙළ යටතේ ළමයින්ගේ අධ්‍යාපනය නඟා සිටුවීමට මුල් තැන ලැබෙනවා. මේ සෑම ළමයෙකුගේම අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මාසිකව රුපියල් 5000ක මුදලක් අප ලබා දෙනවා. මෙම වැඩපිළිවෙළ ඒ දරුවන් උසස් අධ්‍යාපනය නිම වන තෙක් ක්‍රියාත්මක කෙරෙනවා. මේ දරුවන් ගේ අධ්‍යාපනික දැනුම වැඩි කරන්නත් වුවමනා වැඩපිළිවෙළක් අප ක්‍රියාත්මක කරනවා. ඒ යටතේ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන් හා සිසුන් පැමිණ උසස් පෙළ හා සාමාන්‍ය පෙළ ළමයින් සදහා සම්මන්ත්‍රණ පවත්වනවා.
අප තුවාලකරුවන් ගේ සුවය සඳහා අවශ්‍ය වියදම් සියල්ල දරනවා. ඔහුගේ හෝ ඇයගේ පවුලේ නඩත්තුව වෙනුවෙන් ද අප දායකත්වය සපයනවා. ඒ වෙනුවෙන් මාසයේ සෑම පළමු ඉරිදාවක ම වෛද්‍ය කඳවුරක් ද අප සංවිධානය කර පවත්වනවා ” යි මහිම ගුණවර්ධන සහෝදරතුමන් කියයි.

කාදිනල් හිමිපාණන් කටුවාපිටිය දේවස්ථානය ආසිරි ගැන්වීමේ අවස්ථාවට සහභාගී වෙමින්

කාදිනල් හිමිපාණන්ගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වූ කතෝලික සභාව කටුවාපිටිය බෝම්බයෙන් විපතට පත් වූ පවුල්වල උපකාර ඇවැසි දරුවන්140 දෙනෙකු හඳුනා ගෙන සිටියි. මේ සඳහා කටුවපිටිය මීසමේ සේවය සඳහා පැමිණි මංජුල නිරෝෂන් ප්‍රනාන්දු පියතුමන් නායකත්වය ගෙන ඇති අතර සෙත්සරණ ආයතනයද ඊට දායකත්වය සපය.

“මගේ මූලික කාර්ය වුණේ විපතට පත්වූ ජනතාව හදුනා ගැනීමයි. ඉන් අනතුරුව මේ විපතට පත්වූ ජනතාවගේ ගැටලු අංශ තුනක් යටතේ හඳුනාගෙන ඔවුනට සහාය වීම සදහා වැඩපිළිවෙළක් සකස් කළා. ඉන් ප්‍රධාන වන්නේ ළමයින්ගේ අධ්‍යාපනය. ඉන් අනතුරුව නිවාස, සෞඛ්‍ය, අදායම් මාර්ග ඇතිකිරීමේ අවශ්‍යතා පිළිබඳ කටයුතු කළා. මේ හඳුනාගත් ළමයින් 140 දෙනාගෙන් අඩුම වයස දරුවාගේ වයස මාස තුනයි. මේ හැම ළමයකුටම වයස අවුරුදු 18 වන තෙක් අපි මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා.” යි නිරෝෂන් ප්‍රනාන්දු පියතුමන් පවසයි.

විපතට පත් වූ ජනතාවට නිවාස ලබා දීමේ වැඩ පිළිවෙළක් රජයේ සහාය ද ඇතිව කතෝලික සභාව ක්‍රියාත්මක කරයි. ඒ යටතේ ඉඩමක් හිමි අයකුට නිවසක් තනා දීමේ වැඩපිළිවෙළ මේ වන විටත් ක්‍රියාත්මක ව පවතින බව මංජුල නිරෝෂන් ප්‍රනාන්දු පියතුමන් කියයි.

“අපට තිබුණ ලොකුම ගැටලුව වුණේ නිවාස තනා දීමයි. මේ ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා රජය සහාය වුණා. එහිදී රජය දැනුම් දුන්නේ ඉඩම් ඇති විපතට පත් ජනතාවට නිවසක් තනා දීමේ හැකියාව ඇති බවයි. මේ සඳහා ඉඩමක් මිලදී ගන්න සිද්ධවුණා. මේ ඉඩමේ නිවාස 15ක් හදන්න පුළුවන්. තුවාල වූ අය අතරේ ඉන්නේ නිවාස නැති පවුල් 24 යි. ඉතිරි පවුල් නවයටත් ඉතා ඉක්මනින් අපි නිවසක අයිතිය ලබා දෙන්න කටයුතු කරනවා.‘ යි පියතුමන් තිර අදිටනින් පවසයි.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත් වූ පවුල් 352ක් නඟා සිටුවීම සඳහා අගරදගුරු අරමුදලින් රුපියල් කෝටි හතකට වැඩි මුදලක් මේ වන විට වැය කර ඇති බව කතෝලික සභාව නිවේදනය කරයි.

This article was originally published on the catamaran.com

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts