අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

ඉදිරියට යන නිලාවරෙයි මතගැටුම

පාර්තිපන්

ඓතිහාසික පෞරාණිකත්වය සහ ස්වාභාවික චමත්කාරයන් නිසා බොහෝ දෙනා අතර ගෞරවාදරයට පාත්‍ර වූ යාපනයේ වලිකාමම් ප්‍රදේශය මෑතක සිට මතභේදයට තුඩු දුන් බිමක් බවට පත්ව ඇත. වලිකාමම්හි පිහිටි නිලාවරෙයි යනු ශ්‍රී ලංකාවේ දකුණු දිග බොහෝ දෙනා ඇතුළු සංචාරකයන් ඇද ගන්නා යාපනයේ ප්‍රධාන  ආකර්ෂණීය ස්ථානයකි. කොවිඩ් -19 නිසා වසර එකහමාරකට වැඩි කාලයක් නිලාවරෙයි ප්‍රදේශය ජනශූන්‍ය බවට පත්ව ඇත. මතභේදය පැන නැඟුණේ නැඟෙනහිර වලිකාමම් ප්‍රාදේශීය සභාවේ දැඩි විරෝධය අතර ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නිලාවරෙයි ප්‍රදේශයේ කැණීම් කටයුතු කිරීමට ගත් උත්සාහයේදීය. එහි උණුසුම තාවකාලිකව සමනය වුව ද අළු යට සැඟවුණු ගිනි පුළිඟු නිසා ඇත්තේ එම තාවකාලික සටන් විරාමය  පහසුවෙන් බිඳී යෑමේ තර්ජනයකි. 

පුරාවිද්‍යා මැනීම්  සහ මහජන විරෝධතාව

ශ්‍රී ලංකාවේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව පිළිබඳ රටේ දෙමළ ජනතාවට ඇත්තේ සැකයකි. මේ දෙපාර්තමේන්තුවට වන්නියේ සහ නැඟෙනහිර පළාතේ පිහිටි දෙමළ ජනතාවගේ ඓතිහාසික වැදගත්ස්ථාන සිංහල-බෞද්ධ භූමි ලෙස අර්ථකථනය කිරීමේ ඉතිහාසයක් ඇත. දෙපාර්තමේන්තුව පවසන්නේ සිය කරුණ සනාථ කිරීමට සාක්ෂි ඇති බවයි. එනිසා එම දෙපාර්තමේන්තුව මඟින් දෙමළ සහ හින්දු ස්ථානවල කරනු ලබන කැණීම් පිළිබඳ දෙමළ ප්‍රජාවට ඇත්තේ කනස්සල්ලකි. දෙමළ දේශපාලනඥයන් චෝදනා කරන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඓතිහාසික දෙමළ ප්‍රදේශවල  සිංහල ආධිපත්‍යය ඇති කිරීම සඳහා යොදා ගන්නා රජයේ අතකොළුව බවටයි. නලීන් වීරරත්න (උතුරු පළාත්) පුරාවිද්‍යා දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ප්‍රමුඛ නිලධාරීන් පස් දෙනකු නිලාවරෙයි හි නිලාවරෙයි ළිඳ වෙත 2021 ජනවාරි 21 වැනිදා පැමිණියේ මිනුම් කටයුතු කිරීමටය. 

පුරාවිද්‍යා කණ්ඩායම කැණීම් ඇරඹීමට පටන් ගත් විට දේශපාලනඥයන් ප්‍රමුඛ පිරිසක් එයට මැදිහත් විය. නැඟෙනහිර වලිකාමම් ප්‍රාදේශීය සභාවේ සභාපති නිරෝෂ් ත්‍යාගරාජා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් විරෝධතාවයේ පෙරමුණ ගත්හ. නිලාවරෙයි ළිඳ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ තිබුණද එහි නඩත්තුව පිළිබඳ වගකීම ඇත්තේ නැඟෙනහිර වලිකාමම් ප්‍රාදේශීය සභාවටය. 

මහජනතාවට පිළිතුරු දෙමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ ඔවුන්ගේ අරමුණ වූයේ එම ප්‍රදේශයේ නඩත්තුව සඳහා පිරිසිඳු කිරීම බවය. කෙසේ වෙතත් මහජන විරෝධය වැඩිවත්ම නිලධාරීහු එතැනින් ඉවත් වූහ. මේ පිළිබඳ අදහස් දක්වමින් ප්‍රාදේශීය සභාවේ සභාපති ත්‍යාගරාජා පැවසුවේ නිලාවරෙයි ළිඳ පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් බවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ගැසට් කර ඇති බවයි. කෙසේ වෙතත් ළිඳට යාබදව ඇති ප්‍රදේශය ප්‍රාදේශීය සභාව මඟින් නඩත්තු කරන ඊට ආසන්නයේ ඇති ශිව දේවාලයට අයත් භූමියකි. “අපි අධිකරණයට අදාළ සාක්ෂි භාර දුන්නා. මේ ප්‍රදේශය සිංහලකරණයට අරමුණු කරගත් බොහෝ සිදුවීම් සිදු වනවා. මගේ පරිපාලන බලය අනුව මට දැනගන්න අවශ්‍යයි මොනවාද සිදුවන්නේ කියලා” ඔහු වැඩදුරටත් පැවසීය.

දෙවැනි උත්සාහය

2021 මාර්තු 26 වැනිදා පුරාවිද්‍යා නිලධාරීහු  යළි පැමිණ නිලාවරෙයි ප්‍රදේශයේ මිනුම් කටයුතු කිරීමට දෙවැනි වරටත් උත්සාහ දැරූහ. එහෙත් නැවතත් නැඟෙනහිර වලිකාමම් ප්‍රාදේශීය සභාවේ සභාපති පම්‍රඛ පිරිසක් එයට මැදිහත් වීම නිසා උණුසුම් තත්ත්වයක් ඇති විය. අවසානයේ පුරාවිද්‍යා නිලධාරීන් එතැනින් පිටත් වුවද තත්ත්වය පාලනය කිරීමට පොලීසියේ මැදිහත්වීම අවශ්‍ය විය. සභාපති ත්‍යාගරාජා ඔහුගේ විරෝධතාවයේ අරමුණ පහත කරුණු මත පදනම්ව පැහැදිලි කළේය. ” දෙමළ ප්‍රදේශවල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරකම් සැමවිටම අබිරහස් මෙන්ම සැකසහිත බවින් යුක්තයි. අතීතයේ දෙපාර්තමේන්තුව ගත් පියවරවලින් පෙනෙන්නේ එය අපේ ජනතාවගේ ඉතිහාසය විකෘති කිරීමට කටයුතු කර ඇති බවයි. දෙපාර්තමේන්තුව බෞද්ධ සිද්ධස්ථාන පිහිටුවා ආක්‍රමණශීලී ලෙස කටයුතු කර තිබේ. ඒ නිසා අපි ඔවුන්ට පවසන්නේ ඔවුන් නිලාවරෙයි ප්‍රදේශයට කරන්නට යන දේ හෙළි කරන ලෙසයි. අපේ ඉල්ලීම දිස්ත්‍රික් සංවර්ධන මණ්ඩලයෙන් අවසර ලබාගෙන ඔවුන්ට අවශ්‍ය දේ කරන ලෙසයි” යනුවෙන් ත්‍යාගරාජා අවසන් වශයෙන් පැවසීය.

නිලාවරෙයි හි වැදගත්කම

නිලාවරෙයි යනු යාපනය දිස්ත්‍රික්කයේ පුතූර් හි පිහිටි ගම්මානයකි. මේ ප්‍රදේශය සියවස් ගණනක් පුරා ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ පතුළක් රහිත බවට සලකන නොගැඹුරු ළිඳ නිසාය. මේ ළිඳෙහි ජලය නොසිඳෙන අතර අසල පිහිටි ගම්වල කෘෂිකාර්මාන්තයන් සඳහා වාරිජලය සපයයි. මේ ළිඳේ ඉතිහාසය හා බැඳුණු අපැහැදිලි  මිථ්‍යා කතා සහ බොහෝ අබිරහස් නිසා එය යාපනයේ ආශ්චර්යයන් අතරින් එකක් බවට සැලකෙයි. විවිධ රටවලින් පැමිණි පර්යේෂකයන් විසින් මේ ළිඳ පිළිබඳ සියවස් ගණනාවක් පුරා අධ්‍යයනයන් රැසක් කරනු ලැබුවද ඒ කිසිවක් තෘප්තිමත් විය හැකි ප්‍රතිඵළ ගෙන දුන්නේ නැත.   

2016 වසරේ නිලාවරේ ළිඳ සම්බන්ධව කළ අධ්‍යයනයකින් ඒ පිළිබඳ ඇති ජනශ්‍රැති කිහිපයක් තහවුරු කළේය. මෙහිදී නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් නවීන ආරක්ෂක ක්‍රමවේද සහ රොබෝ තාක්ෂණය භාවිත කරමින් ළිඳ පිළිබඳ ගවේෂණය කරන ලදී. ඔවුන් මීටර 55.5 සලකුණ (අඩි 182ක ගැඹුර) වෙත ළඟා වනවිට ළිංපතුල පෙනෙන්නට විය. ගොන් කරත්ත තුනක සුන්බුන් ළිඳ පතුලේ තිබී හමු විය. රොබෝවරුන් මඟින් ගන්නා ලද ඡායාරූපවලින් මේ සොයාගැනීම තහවුරු විය. ගොන්කරත්තවල තත්ත්වය සලකා බැලූ පර්යේෂකයන් අනුමාන කළේ මේ නෂ්ටාවශේෂ වසර සිය ගණනකට පෙර වූ සිදුවීම්වලින් ඇති වූ ඒවා බවයි.  

නිලාවරෙයි පිළිබඳ කළ අධ්‍යයනයන්

මේ රොබෝවරුන් යොදා කරන ලද අධ්‍යයනයේදී ළිඳේ ගැඹුරු තැන්වලින් විවිධ දිශාවන්ට යොමු වූ ගුහා උමං මාර්ග ඇති බව සොයා ගැනිණි. උමං මාර්ග ඔස්සේ ගලා යන ජල ධාරාවන් ජාලයක් මඟින් පෙනී යන්නේ කීරිමලෙයි පොකුණට යොමු වූ මාර්ගයක් ඇති බවයි. නිලාවරෙයි ළිඳට දමන දෙහි ගෙඩියක් පැය කීපයකට පසු කීරිමලෙයි පොකුණේ දකින්නට හැකි බවට විශ්වාසයක්ද ඇත. පොකුණේ දකුණු කෙළවරේ පුද්ගලයකුට ඇතුළු විය හැකි තරම් වන ගුහාවක් ද දැකිය හැකිය. රොබෝවරුන් විසින් නිලාවරෙයි ළිඳෙහි සනාථ කළ අනුමානයන් අනුව : පර්යේෂකයන් පොකුණ හා ගුහාව අතර ඇති ජල සම්බන්ධතාවය පෙන්වා දී තිබේ.  කෙසේ වෙතත්, මෙය තවදුරටත් විද්‍යාත්මක පර්යේෂණ කිරීමෙන් ප්‍රයෝජන ගත හැකි විමසුමකි.

එහි ගැඹුර නිසා නිලාවරෙයි ළිඳ නියඟයේ  සහ මෝසම්වල බලපෑමට හසු වන්නේ නැත. එය දරුණු නියං කාලවලදී පවා අසල ගම්වලට ජලය සපයන්නේ ඒ නිසාය. ළිඳට මුහුණ ලා අනෙක් පස ඇති පෞරාණික ශිව දේවාලයටද ඓතිහාසික වටිනාකමක් ඇත. එහි පිහිටීමෙන් සහ ව්‍යූහයෙන් තහුරු කළේ වරක් එම ළිඳ දේවාලයේ ශුද්ධ වූ පොකුණ ලෙස භාවිත කරන්නට ඇති බවය. යුද්ධය අවසන් වූ පසු සමස්ත ප්‍රදේශයම ප්‍රධාන සංචාරක ආකර්ෂණයක් සහිත පෙදෙසක් විය. කොහොඹ සහ සූරිය මාර ගස්වලින් බහුල එහි සුළඟ සිද්ධස්ථානයක මෙන් වන අතර භාවනානුයෝගී පරිසරයක ආස්වාදය දනවයි.   

නිලාවරෙයි ළිඳ පිහිටි බිම උරුමයක් වන අතර උතුම් වස්තුවක් මෙන් රැකගැනීමට  අවශ්‍යය.  මේ ප්‍රදේශය වර්තමානයේ කොරෝනා ව්‍යාප්තිය නිසා පාළුවට ගියද විවාදාපන්න දේශපාලනයේ විෂදළවලින්  රැකගත යුතුව ඇත.

The Ongoing Nilavarai Controversy

சர்ச்சைக்குள் சிக்கிய நிலாவரை!

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts