ආබාධ සහිත පුද්ගලයන් උදෙසා කොවිඩ් වසංගත සමයේ එන දෙසැම්බර් 03
ලසන්ත ද සිල්වා.
සෑම වසරකම දෙසැම්බර් 03 වැනිදාව ආබාධ සහිත තැනැත්තන් උදෙසා වන ජාත්‍යන්තර දිනය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. මානව හිමිකම්, තිරසාර සංවර්ධනය, සාමය සහ ආරක්ෂාව වැනි ක්ෂේත්‍රවල සෙසු ගෝලීය පුරවැසියන් හා සම අවස්ථා ආබාධ සහිත පුරවැසියන්ට හිමිවීම තහවුරු කිරීම අවධාරණය කරමින් මෙම දිනය සැමරේ. ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා කැපවීම සාධාරණත්වය උදාකරලීමක් පමණක් නොවන අතර එය පොදු අනාගතයක් උදෙසා වන ආයෝජනයක්ද වන බව මෙවර දෙසැම්බර් 03 වැනිදා සැමරුමට පූර්වගාමීව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළේය. වියවුල් නොපිරි සමාජයකත් ආබාධ සහිත පුරවැසියන් නොසළකා හැරීම්, හිංසන හා පීඩාවන්ට භාජනය වෙද්දී කොවිඩ් 19 ගෝලීය වසංගත ව්‍යාප්තිය සමඟ ව්‍යාකූල වූ සමයෙක ඔවුන් වඩාත් අර්බුදකාරී වාතාවරණයකට මුහුණ දෙමින් සිටිතැයි මේ වනවිට උපකල්පනය කරනු ලබයි. ගෝලීය පුරවැසියන් අතරින් බිලියනයක් වන, ආබාධ සහිත ජනයා වසංගතයේ බරපතලම පහරදීමට ගොදුරු වූ සහ සමාජයේ වඩා අවවරප්‍රසාදිත කණ්ඩායමක් වේ.
“ලංකා සමාජය ඇතුළෙ කාන්තාවන් තවම දෙවන පෙළ පුරවැසියො හැටියට සළකද්දි අපි වගේ අය ගැන මේ වගේ වසංගත කාලයක තියෙන අවධානය කොහොමත් අඩුයි. ඒකම තමයි අපි මුහුණ දෙන අර්බුදය”. ඇය “අපි වගේ” යන සඳහන තුළ අවධාරණය කරන්නේ ගැහැනුන් සහ ආබාධීත බවයි. ශ්‍යාමලී දිල්රුක්ෂි ඌව පළාතේ වැල්ලවායට නුදුරු සියඹලාගුණය නම් ඉතාම දුෂ්කර ගම්මානයක පදිංචිකාරිණියකි. උපතේදීම ආබාධිතව සහ ඇවිදීමේ දුබලතාවක් සහිත ඇය වනගත දුෂ්කර මගක කිලෝමීටර් කිහිපයක් දුර ඔබමොබ ගමන් කරමින් වැල්ලවාය නගරය හා සම්බන්ධතා පැවැත්වීමද දුෂ්කර ප්‍රයත්නයක්ම ය. මේ වනවිට සියඹලාගුණය පාසලේ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සේවය කරන ඇය දෙසැම්බර් 03 වැනිදා සමරනු ලබන ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ ජාත්‍යන්තර දිනය පිළිබඳ අදහස් දක්වන්නේ ආබාධ සහිත පුද්ගලයන්ගේ වෙල්ලස්ස සංවිධානය වෙනුවෙනි. දිල්රුක්ෂි මේ සමූහයේ ලේකම්වරියයි. පිරිසිදු පානීය ජලය, සනීපාරක්ෂාව, ස්වස්ථතාව මෙන්ම ආහාර හා පෝෂණය පිළිබඳ තෘප්ත වූ හැඟීම් ජනිත නොවන කලාපයක ජීවත්වන ඇය තමන් නියෝජනය කරන පුරවැසි කුලකය සාමාන්‍යයෙන් අත්විඳින ගැටලු කිහිපයක් වසංගත සමයේ තීව්රව පවතින ආකාරය විස්තර කරන්නේ කනගාටුවෙනි. “මං කතා කරන්නේ කාන්තාවන් සහ ගැහැනු ළමුන් වෙනුවෙන්. අපි හිතමු බුද්ධිමය වර්ධනය බාල ගැහැනු දරුවො ඉන්න අම්මලා මුහුණ දෙන අපහසුතා ගැන විශේෂයෙන් මේ වගේ කාලෙක. අපි දන්න එහෙම ළමයි මාසික ඔසප් වීමෙදි තමන්ගෙ සනීපාරක්ෂාව පවත්ව ගන්න හැටිවත් දන්නෙ නැහැ. ඉතිං වසංගතය අතරෙ සනීපාරක්ෂක තුවායක් ගන්න එක පවා සීමාවෙද්දි අර වගේ දුවලා ඉන්න අම්මලා පත්වෙන අපහසුව සාමාන්‍ය සමාජය තේරුම් ගන්නෙ නැහැ. ආබාධ සහිත මං වගේ කෙනෙක් පොදු ප්‍රවාහන පද්ධතිය භාවිතා කරද්දි වෙනදා නැති ගැටලුවලට මුහුණ දෙනවා. වෙනදා වගේ කාටවත් පහසු නැහැ මට බස් එකට නගින්න උදව් කරන්න” ඇය පවසයි. කථන හා ශ්‍රවන ආබාධ සහිත කාන්තාවන් සහ ගැහැණු ළමුන් මුහුණේ ඉරියව් මගින් සන්නිවේදනය කිරීමේදී මුහුණ දෙන ගැටලුද ඇය අවධාරණය කරන්නීය. දිල්රුක්ෂි පවසන්නේ මෙවැනි තත්ත්ව පිළිබඳව රාජ්‍ය මැදිහත්වීම හා වගවීම මත පිළිතුරු සෙවීම ශිෂ්ට සම්පන්න ජනසමාජයක කර්තව්‍ය විය යුතු බවයි.
ආබාධ, අනුකම්පාව සහ ගෞරවය
සෑම වසරකම දෙසැම්බර් 03 වැනිදාව ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාත්‍යන්තර දිනය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශයට පත් කළේ 1992 වසරේදී ය. එහි අරමුණ වූයේ සමාජයේ වෙසෙන සෑම ආකාරයකම ආබාධීත පුද්ගලයන්ගේ අයිතීන් හා යහ පැවැත්ම තහවුරු කිරීමත්, ඔවුන් සංවර්ධනයේ ප්‍රතිලාභීන් බවට පත් කිරීමත් ය. එහිලා දේශපාලනික, සමාජ, ආර්ථික හා සංස්කෘතික ජීවිතයේදී ඔවුන් සෙසු පුරවැසියන් හා අසමානයන් නොවන බව පසක් කරලීමය. මෙවර යුනෙස්කෝව මගින් ප්‍රකාශිත “ආබාධ සහිත පුද්ගලයන් සඳහා ඔවුන්ද සහභාගි කරගනිමින් ප්‍රවේශ විය හැකි හා තිරසාර පශ්චාත් කොරෝනා ලෝකයක් කරා වඩා හොඳ ආපසු ගමනක් ගොඩ නැගීම” යන තේමාව මුල් කරගනිමින් දෙසැම්බර් 03 වැනිදාවේ සිට සතියක කාලයක් ඔවුන් පිළිබඳව කතාබහට කාලය වෙන්වෙනු ඇත. එහෙත් වඩාත් වැදගත් වන්නේ මෙවැනි ගෝලීය කතිකාවක් කෙරෙහි ලංකාවේ ප්‍රවේශය කුමක්ද යන්නයි.
ආබාධ සහිත පුද්ගලයන්ගේ වෙල්ලස්ස සංවිධානයේ උද්දේශන නිලධාරි ලෙස සේවය කරන ආබාධිතයෙකුද වන දුලිප් සම්පත් පවසන්නේ ගෝලීය කතිකාවන්ට ප්‍රවේශවීමේදී ලංකා සමාජයේ පවතින සීමාකාරී සංස්කෘතික සාධක අයහපත් ලෙස බලපාන බවයි. “කොහොමත් ආගමික හා සංස්කෘතික කතිකාවන් ඇතුළෙ ලංකාවේ මිනිස්සු ආබාධිතයො දකින්නේ කරුමක්කාරයෝ හැටියට. ඉතිං මිනිස්සු ආබාධිතයන්ට දක්වන්නේ අනුකම්පාව මිස මානව ගෞරවයක් නෙවෙයි. උන් පව් කියලා. රැකියාවක් කරන කාටවත් බරක් නැති ආබාධිතයෙක් පාරෙ දැක්කත් අපේ මිනිස්සු බත් පැකට් එකක් හරි රුපියල් විස්සක් හරි දිගු කරනවා” දුලිප් පවසන්නේ පුරවැසියන්ගේ මේ සහකම්පනය වරදක් නොවන නමුත් එය මානව ගෞරවය හා සම අයිතීන්ද, සමාන සැළකුම්ද පිළිගන්නා තත්ත්වයට වර්ධනය විය යුතු බවයි. පවත්නා සදොස් භාවිතය කොවිඩ් සමයේ වැඩි වර්ධනය වීමටද හේතුව ආබාධිතයන් පිළිබඳ සාම්ප්‍රදායික ආකල්ප වෙනස් කිරීමේ ක්‍රමවත් වැඩපිළිවෙලක් නොවීම බව ඔහු පවසයි. “දැන් ලංකාවේ ඉදිකරන හැම පොදු ගොඩනැගිල්ලකටම ආබාධ සහිත වූවන්ට ප්‍රවේශ පහසුකම් සපයන්න වුවමනයි කියලා නීති තියෙනවා. හැබැයි පොදු තත්තවය තමයි මේවා ගැන ඒතරම් හිතන්න වුවමනා නැහැ වගේ අදහසක් මිනිසුන් තුළ තිබීම. බලන්න කොවිඩ් එක්ක ආබාධිත ජනයා මුහුණ දෙන විශේෂ ගැටලු. අන්තර් සම්බන්ධතාවලදී අපි සාමාන්‍ය මිනිසුන්ට වඩා අනෙකා එක්ක යැපෙනවා. ඒකෙදි කොවිඩ් එක්ක බැඳෙන මූලික සෞඛ්‍ය පිළිවෙත් තුනේදිම සමාජය ක්‍රියා කරන්නේ අපි ගැන හිතන්නේ නැතිව. දෑත් සෝදන්න පහසුකම් සපයන තැන්වල කකුල්වලින් තමයි තෙරපන්නේ ජලය ගන්න. අපිට දෙපා ආබාධිත නම් ඒ පහසුකම ලබන්න බැහැ. මුව ආවරණ භාවිතා කළාම මුහුණේ හැඟීම්වලින් සන්නිවේදනය කරන අය සීමා වෙනවා. හිතන්න අන්ධ අයට, ඇවිදින්න බැරි අයට තව කාගෙ හරි උදව් වුවමනයි. ඒ අයට සමාජ දුරස්ථ බව පවත්ව ගන්න අමාරුයි.” දුලිප් පවසන අන්දමට මෙම ගැටලුවලට පිළියම් සෙවීම පහසු නොවන බව ඇතමුන් කල්පනා කළත් තාක්ෂණය භාවිතා කරමින් ඒවා විසඳන්නට අවස්ථාව ඇති බවයි. “වතුර කරාමවලට සංවේදක හයි කරනවා වගේම, සබඳතා පැවැත්වීමට භෞතික සහභාගීත්වය නැතිව ඔන්ලයින් ක්‍රම දිරිගන්වනවා වගේ ක්‍රම හරහා අපිට වෙනස් වෙන්න පුලුවන්.” ඔහු පවසයි. “මේවා ගැන සාමූහික කල්පනාවකට සමාජය යොමුවෙනවානම් මං අර කිව්වා වගේ අනුකම්පාව වෙනුවට ගෞරවය හා සම අවස්ථා ලබාදෙන්න පුලුවන්. කරාමයක් ගාව පැඩලය පාගාගන්න බැරිව ඉන්න ආබාධිතයෙක් ගැන අනේ පව් කියල බලන්න වුවමනා නැහැ එහෙම වුනානම්. කළ යුත්තේ කොහොමත් ඈත්කරලා ඉන්න අපි වගේ අය තවත් ඈත් කරන එක වළක්වා ගැනීම. හැම තැනම නෙවෙයි ප්‍රධාන පෙළේ තැන්වලවත් පහසුකම් දියුණු කරන්න වුවමනයි”
සේවා විමධ්‍යගත කිරීමත් පිළියමක්
ඔවුන් සියල්ල අඳුරු පැහැයෙන් දකින්නේ නැත. ඇතැම් අවස්ථාවල නිලධාරීන් ආබාධ සහිත පුද්ගලයන් කරා පැමිණ සේවා සම්පාදනය කිරීම වැනි අවස්ථා අගය කළ යුතු බව දුලිප් පවසයි. කොවිඩ් වසංගත සමයේ වඩා යහපත් දිවිපැවැත්මක් සිය කුලකයේ ප්‍රජාව වෙත උදාකරලිය යුතු බව දකින ටිකිරි කුමාර ජයවර්ධනද දුලිප්ගේ මේ අදහස් සමග එකඟ වෙයි. ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන වෙල්ලස්ස සංවිධානයේ සභාපතිවරයාද වන මැතිවරණ කොමිසමේ සේවයේ නියුතු ටිකිරි පවසන්නේ ආබාධ සහිත වූවන් යනු අඩුපාඩු සහිත පිරිසක් ලෙස නොව සමාජ විවිධත්වය තුළ වෙනස්කම් සහිත පිරිසක් ලෙස දැකිය යුතු අතර ඒ වෙනස්කම්මම ඔවුන්ගේ විශේෂත්වය බවයි. “පූර්ණකාලීනව රෝද පුටුවේ ඉන්න මම වෘත්තිකයෙක්. හැබැයි මගේ කාර්යාලයේදී මං වැඩකිරීමේ පහසුකම් ලබලා සමානයෙක් වෙලා ඉන්න නිසා මට අනුකම්පාව මත යැපෙන්න වුවමනාව නැහැ.” යැයි පවසන ටිකිරි සඳහන් කරන්නේ කොවිඩ් වසංගතය මධ්‍යයේ යහ ජීවිතයක් සඳහා ආබාධිතයන්ටද අවශ්‍ය පහසුකම් සැපයීමට තරම් ලෝකය සංවේදී විය යුතු බවයි. විශේෂයෙන් පෝෂණය හා ආහාර මෙන්ම ස්වස්ථතාව හා සනීපාරක්ෂාව වැනි කරුණු ගැන ටිකිරි අපේ අවධානය යොමු කරවනවා. “ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන අන්දමට ගෝලීය ජනගහණයෙන් සියයට 15ක්වත් ආබාධ සහිත අය. ආර්ථික දරිද්‍රතාව පවතින රටවල ආබාධිත අයගෙ පෝෂණය හා සෞඛ්‍ය ගැන බලන්නේ අඩුවෙන්. මොනරාගල වගේ දිස්ත්‍රික්කෙක තත්ත්වය ව්‍යාකූලයි. ආබාධිත නොවන අය ඉන්න පවුලකට වඩා ආබාධිත අය ඉන්න පවුලක ජීවන වියදම වැඩියි” ඔහු සහේතුකව පෙන්වා දෙන අන්දමට එවැනි පවුලක ප්‍රවාහන වියදම පවා සාපේක්ෂව වැඩිය. “එහෙම පසුබිමකනෙ කොවිඩ් එන්නෙ. හැබැයි කොවිඩ් තිබුණා කියලා සහන සළසද්දි අර වගේ පවුල් ගැන විශේෂයෙන් හොයලා බලලා නැහැ. සුසුම්නාව ආශ්‍රිත ආබාධ තියෙන දරුවන්ට කැතීටර එහෙම මාරු කරන්න ගියාම දැන් ප්‍රශ්න වැඩිවෙලා. කොරෝනා අස්සේ ඒවාගේ මිල දෙගුණ වෙලා. බුද්ධී ඌණතා තියෙන ගැහැනු දරුවො ඉන්න අම්මලා ඒ අයගෙ සනීපාරක්ෂාව ගැන වද වෙනවා” යනුවෙන් ටිකිරි පවසයි. මේ වනවිට රජයවත් ලංකාවේ ජනගහණයෙන් ලක්ෂ විස්සකට ආසන්න ආබාධිත ජනයා කෙරෙහි විශේෂ අවධානයක් දක්වමින් වසංගතයට පිළියම් සෙවීමට කටයුතු නොකරන බව ටිකිරි මහත් කම්පාවෙන් පෙන්වා දෙයි.
නියුක්ලියස් පදනමේ ජීවන් කොඩිතුවක්කු සමාජ ක්‍රියාකාරිකයෙකි. ඔහු පවසන්නේ ආබාධ සහිත ජනයා පිළිබඳ කතා කරන දෙසැම්බර් 03වැනිදාව මෙවර සුවිශේෂී සමාජ සන්දර්භයක් යටතේ උදාවීම සැළකිය යුතු කරුණක් බවයි. “ලංකාවේ පාර්ලිමේන්තුව සම්මත කරපු පනතක් තියෙනවා ආබාධ සහිත පුද්ගලයන්ගේ හිමිකම් ආරක්ෂා කරන්න. එහි අර්ථකතන තියෙනවා ආබාධ සහිත අය ගැන. අපි අත්සන් කරල තියෙනවා එක්සත් ජාතීන්ගේ සම්මුතීන්වලට මේවාට අදාලව. හැබැයි අපේ ආකල්ප ඔවුන්ට සමබිමක් උදාකරලා දෙන්නේ නැහැ. මේ කොවිඩ් සමයේත් අපිට ඒ බව පේනවා.” යැයි පවසන ජීවන් කොඩිතුවක්කු පෙන්වා දෙන්නේ සැබෑ ඌණතාව පවතින්නේ ආබාධ සහිත පුද්ගලයන් තුළ නොව සෙසු ජනයා තුළ බවයි. “ඉතිං ඒ නිසා සිදුවිය යුත්තේ මේ වගේ සැමරුම් දිනවල ඔවුන්ට අත්වාරු, කෑම පැකට් බෙදීම නෙවෙයි. පහසු හා සම අවස්ථා සඳහා ප්‍රතිපත්ති සම්පාදනය කිරීමයි. කොවිඩ් සමයේ පිරිසිදු ජලය, ආහාර හා පෝෂණය, සනීපාරක්ෂාව, ස්වස්ථතාව වගේ අවශ්‍යතා මුල් කරගෙන සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික ජීවිතයේදී ඔවුනට තිරසාර හෙටක් උදා කරලීම සඳහා පියවර ගනිමින් එය කරන්න පුලුවන්” ඔහු පවසයි.