අහං ඉන්න අහගෙන ඉන්න: නරක කාලයේ ඇසෙන අපේම කතාවක්
සත්‍යා නිර්මාණි
මගේ ජීවිතේ මා ගෙවා දමන ලද කාලය දෙස ආපසු හැරි බලන විට මා මේ ගත කරමින් සිටින්නේ දුෂ්කරම අවධිය යැයි මට සිතේ, ඒ මට පමණක් නොව. ශ්‍රී ලංකේයීය පුරවසියන් වූ අප කාටත් පොදු තත්ත්වයකි . අනාරාධිතව අපගේ ජිවිතවලට පැමිණි මේ අපහසුතාවන් සුහද ලෙස බාරගැනීමට අප කිසිවෙක් සූදානම් නැත. එසේ කිරීමට ද බැරිය. මන්ද මේ පුරවැසියන් වූ අපේ සෘජු වැරදි නොවන නිසාය. නමුත් මේවා අපේම වැරදි ය. අවධියෙන් නොසිට, අවබෝධයෙන් නො ඉද පත් කළ ජනතා නියෝජිතයන්ගේ වැරදි ය. ඉදින් අපිත් ඒවාට හවුල් කරුවන් නොවන්නේ කෙසේද?
මේවා දැන් කතා කර ඵලක් නැත. දැන් අපි සියල්ලෝ මේ තත්තවය පිළිබඳව සිටින්නේ අවබෝධයෙන් ය. පසුතැවිල්ලෙන් ය. නමුත් අද මා කතා කරන්නේ මේ අවස්ථාවේ මේ ගැටළුවට මුහුණ දී අගතියට පත් එක්තරා ජනකොටසක් පිළිබඳව ය.
රටේ සිටින සියලු ජනතාවට පවතින ගැටලු රටේ වෙසෙන විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට බලපාන ආකාරය ඔබ මදක් කල්පනා කර බැලුවාද? ඔව් ඔබටත් ගැටලු ඇති. නමුත් මෙතෙක් කල් ද විවිධ වූ ගැටලුකාරී පසුබිමක ජීවත් වූ මෙම පිරිසට දැන් අත්ව ඇති ඉරණම ඉතා කණගාටු දායකය.
රටේ මේ වන විට ආහාර, ඖෂධ, ඉන්ධන සහ ගෑස් හිඟ වී ඇත. ඇතැම් ආහාර ද්‍රව්‍ය සහ ඖශද නැත්තටම නැත. කෙටි කාලයක් තුළ අහසින් පොලොවට වැටුනා වැනි වූ මේ දෙයින් අප සියල්ලෝ වික්ෂිප්ත වී ඇත. විශේෂ අවශ්‍යතා සහිත පුද්ගල පිරිස ඊටත් වඩා අගතියට මේ නිසා පත්ව ඇත.
අද වන විට ඉන්දන මිල ඉතා ඉහළ ගොස් ඇති අතර මේ හේතුවෙන් ප්‍රවාහන ගාස්තු ද ඉතාම ඉහළ අගයක් ගෙන ඇත. මේ තත්ත්වය මත බොහෝ දෙනා පොදු ප්‍රවාහන මාධ්‍ය භාවිත කිරීමට සහ හැකි හැම විටම පයින් යාමට පටන්ගෙන ඇත. නමුත් මේ විසදුම් කරා යාම විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට අපහසු වී ඇත. විශේෂයෙන් දෘශ්‍යාබාදිත සහ කායික ආබාධ සහිත පුද්ගලයන්ට ඇතැම් විට තමන්ගේ පෞද්ගලික අවශ්‍යතාවන් ඉටු කරගැනීමට සහ රැකියා ස්ථාන කරා යාමට පොදු ප්‍රවාහන මාද්‍ය භාවිත කිරීම අපහසු වන අතර කුලී පදනම යටතේ සේවය ලබාදෙන ආයතන ඔස්සේ මෙතෙක් බොහෝදෙනා සිය ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගත්තේය. . නමුත් එම ආයතන ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමත් සමග ඔවුනට එම සේවාවන් ලබාගැනීම ඉතා අපහසු වී ඇත. විශේෂයෙන් රෝද පුටු භාවිත කරන කායික අපහසුතා සහිත පුද්ගලයන්ට පොදු ප්‍රවාහන මාධ්‍ය භාවිත කළ නො හැකි අතර පොදු ප්‍රවාහන ක්ෂේත්රය තුළ එවන් පුද්ගලයන්ට සේවය ලබාදීමට තරම් අපේ රට සංවර්ධනය වී නැත. එබවින් පෞද්ගලික රථ වාහන මෙතෙක් කල් භාවිත කළත් අය කරන ගාස්තු ඉහලයාම නිසා ඔවුන් බරපතල අපහසුතාවයකට පත්ව ඇත.
දෘශ්‍යාබාදිත පුද්ගලයන්ට ද මෙ ගැටලුව පවතින අතර හැකි හැම විටම පොදු ප්‍රවාහන මාධ්‍ය ඔවුන් භාවිත කරන අතර නමුත් එසේ ගමන්ගැනීමට අපහසු අවස්තාවන්හී දී ඔවුන් ද පෞද්ගලික ප්‍රවාහන මාධ්‍ය භාවිත කරති. කුඩා දරුවන් ගෙන යන විට, ගර්භණී වී සිටින විට දෘශ්‍යාබාදිත ජනතාවට පොදු ප්‍රවාහන මාධ්‍ය භාවිත කිරීම අපහසු වී ඇත. මේ තත්තවය මත පයින් යාමට අවශ්‍ය උවත් රට තුළ පවතින මාර්ග පද්දතිය විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට සමීප විය හැකි පසුබිමක නැති හෙයින් ඔවුනට පයින් යා හැකි දුරක් වුවද යා නො හැක. මා හට විශ්වවිදයාලයට යාමට ඇත්තේ 1km දුරකි. නමුත් පවතන මිල ගණන් අනුව දිනකට රු 250ක මුදලක් ඒ සදහා වැය වේ. එය මාසිකව බලන විට අද වන විට දැරිය නොහැකි තතත්වයකි. ඉදින් මේ මාගේ පසුබිම පමණක් නොව සමස්ථ විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව මුහුණ දෙන ඔබ තවමත් සංවේදි නොවු යථාර්තයයි. ඒ අනුව මේ වන විට ඉන්දන ගැටලුව සහ අධික ප්‍රවාහන ගාස්තු හේතුවෙන් රටේ වෙසෙන විශේෂ අවශ්‍යතා සහිත අප සියලුදෙනා ඔබටත් වඩා අසරණ වී ඇත. මීට පෙර උවත් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයෙක්ට මාසිකව වැඩිම වියදමක් දරණුයේ ප්‍රවාහනයට ය. රට තුළ අපට හිතකර සහ පහසුදායී ප්‍රවාහන පද්දතියක් හෝ මාර්ග පද්දතියක් නොමැති වීම තුළ අප මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් වී ඇත. රටේ උද්ගතව ඇති වර්ථමාන පසුබිම තුළ මේ ගැටලුව තවත් තීව්ර වී ඇත.
තවත් ගැටලුවක් ලෙස ගැස් ලබාගැනිම දැක්වීමට පුලුවන. අද වන විට මිනිසුන් අතේ මුදල් තිබුනත් ලබාගැනීමට ගෑස් නැත. දින ගණන් පෝලිමේ සිටීමට වී ඇත. කායික ආබද සහිත පුද්ගලයන්, සහ වෙනත් ආබාධ සහිත පුද්ගලයන් මේ තත්තවය තුළ මුහුණ දෙන ගැටළුවේ පරිමාව මොහොතකට සිතා බලන ලෙස මා ඔබට ගෞරවයෙන් ආරාධනා කරමි. අනාභාධිත ඔබ මෙන් ඔවුනට පෝලිමේ තරඟවැඳ ගෑස් ලබාගැනීම අපහසු ය. වෙලඳසැල් හිමියන්ට ද එවන් පුද්ගලයන්ට පවතින තත්තවය තුළ සහය දිය නොහැකි ය. මදක් දෑස් විවර කර බලන්න. ඔබ අසල සහය අවශ්‍ය එවන් කෙනෙක් සිටීද ඔවුනට සහයවන්න. ගෑස් එකක් ලබාගැනීමට උපකාරවන්න. ඔබත් ඇත්තේ පීඩනයෙන් බව මා ඉතා හොදාකාරව දනිමි. ඔබත් අපහසුවෙන් ය. නමුත් ඔබටත්වඩා මේ මොහොතේ ඔවුන් අවධානමට පත්ව ඇත. ඔවුන්ටත් කුසගින්න දැනේ. ඔවුන් ද කුසගින්නේ තමන් එනතෙක් පෙරමග බලා සිටින දරුවන්ගේ දෙමාපියන්ගේ හිස් කුසවල් පිරවිය යුතුය. එහෙත් ඔවුනට මේ දුෂ්කරතා ඔබ හා සමව දරා ගැනිම අපහසු ය.
මෑතකදී මා වෙලඳසැලකට ගියේ ඇඳිරි නීතිය අවසන් කල මොහොතක අවශ්‍ය දෑ ලබාගැනීමට ය. මා සහයට කෙනෙක් ගෙන ගිය නිසා අවශ්‍ය දෑ ලබාගැනීම එතරම් අපහසුවූයේ නැත. නමුත් මා තනිව ගියා නම් මට අවැසි දෑ ලබාගැනීම ඉතා අපසු වනවා සේම ලබාගැනීමට නොහැකිවීමට උවත් පුලුවන. ජනතාව ඉතා කලබලකාරී ලෙස සහ ආත්මාර්තකාමී ලෙස භාණ්ඩ රැස් කරන අතර තවත් කෙනෙක්ගැන නොසිතා ක්‍රියා කිරීම දැකීම කනගාටුදායක ය. මා වැනි වූ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් රැසක් මේ අවස්තාවේ මටත් වඩා මේ ආකාරයට අපහසුතාවන්ට ලක්ව ඇත. ඔබ වෙලදසැලක හෝ කුමන හෝ ආකාරයක භාණ්ඩ, එලවලු, පලතුරු මිලට ගන්නා අවස්ථාවක සිටීද ඔබ අසළ යම් විශේෂ අවශතා සහිත පුද්ගලයෙක් සිටීනම් සහයවන්න. මේ අවස්තාවේ පවතින පසුබිම තුළ ඔබටත් වඩා අප අගතියට පත්ව ඇතැයි කීවේ ඉහත කී කරුණු කිහිපයක් හේතුවෙනි. තවත් කාරනා ඇත. එසේම මේ සියල්ල මා අකුරු කරන්නේ මා ඇතුලු මාගේ හිතවත් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් නිරන්තරයෙන් අද වන විට ලබන අද්දැකීමෙන් හා නගන මැසිවිලි කරුණු කොටගෙන ය.
මේ අපහසු තත්වය තුළ ඔබ තුළ ඇති මානුශීය ගුණ මියදීමට ඉඩ නොදෙන්න. ඔබේ දරුවන්ට ආදර්ශයක් වන ලෙස මේ දුෂ්කර සමයේ අවදියෙන් ඉද විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට හෝ වයෝවෘධ වැඩිහිටියන්ට සහයවන්න.අපේ රටේ බොහෝදෙනාට ගැටලුව තමන්ගේ වන තුරු එහි බරපතල බව නොවැටහේ. එසේ නොවී සියල්ල තමන්ගෙ කෝණයෙන් සිතන්න. දකින්න. එවිට මේ තත්වය මදක් හෝ වෙනස්වනු ඇත. වෙනස් කිරීමට හැකිවනු ඇත.