අලි- මිනිස් ගැටුම් අවම කරගැනීමේ අභියෝගය
බුද්ධික වීරසිංහ
ලොව අලි – මිනිස් ගැටුම මගින් වැඩිම අලින් සංඛ්‍යාවක් සහ දෙවැනි වැඩිම මිනිසුන් සංඛ්‍යාව වාර්ෂිකව මරණයට පත්වන රට ශ්‍රී ලංකාව වන බවට නව විද්‍යාත්මකඅධ්‍යයනයකින් අනාවරණය වී තිබේ.
වර්ෂ 2010 – 2019 කාලසීමාව තුළ මෙරට වාර්තාවූ අලි – මිනිස් ගැටුම් ආශ්‍රයෙන් ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය, ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය සහ සංරක්ෂණ පර්යේෂණ ආයතනය නියෝජනය කරමින් සුපුන් ළහිරු ප්‍රකාශ්, ආචාර්ය ඒ. ඩබ්ලිව්. විජේරත්න සහ ආචාර්ය පෘතිවිරාජ් ප්‍රනාන්දු යන පර්යේෂකයන් විසින් මෙම අධ්‍යයනය සිදුකර තිබේ. අධ්‍යයනයට අනුව ශ්‍රී ලංකාවේ අලි – මිනිස් ගැටුම වසරක් පාසා දරුණු අතට හැරෙමින් සහ නව ප්‍රදේශවලට පැතිරෙමින් පවතින බව අනාවරණය වී ඇත.
අලින්ගේ වාසස්ථාන අහිමි වීම, කැලෑ එළිකිරීම, බහු ජාතික සමාගම් සදහා විශාල වශයෙන් වනාන්තර සතු ඉඩම් පවරා දීම ආදිය හේතුවෙන් ,මෙම වන අලින් ගම්වැදීම සිදුවේ.
මෙම වන අලි ගම්වැදීම නතර කිරීමට මෙතෙක් තෝරා ගත් ප්‍රධානම විසදුම වන්නේ විදුලි වැටවල් නොහොත් අලි වැටවල් ඉදිකිරීමයි. නමුත් අකාර්යක්ෂම සහ දූෂිත නිලධාරීන් හමුවේ එය දිනෙන් දින අසාර්ථක වෙමින් පවතී.
වටිනාකම රුපියල් මිලියන 500ට වැඩි භාණ්ඩ හා සේවා මිලදී ගැනීම අමාත්‍ය මණ්ඩලය පත් කළ ප්‍රසම්පාදන කමිටුව විසින් සිදු කළ යුතු වුව ද, 2021 වර්ෂයේදී ඇස්තමේන්තුගත වටිනාකම රුපියල් 631,067,014 වූ අලි වැට උපකරණ අයිතම 30 ක් මිලදී ගැනීම සඳහා කොන්ත්‍රාත් 07 කට වෙන්කර අවස්ථා 07 දී ලංසු කැඳවුම් 07 ක් දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුව විසින් සිදු කර තිබූ බව විගණකාධිපති වාර්තාව මගින් පෙන්වා දී තිබේ.
මේ හේතුව නිසා මිල ගණන් කැඳවීමට, පුවත්පත්වල ප්‍රසිද්ධ කිරීමට හා තාක්ෂණික ඇගයීම් කමිටුවට අවස්ථා 07 කදී ගෙවීම සිදු කිරීම හේතුවෙන් රුපියල් 557,320 ක අතිරේක වියදමක් දරා ඇති බවද විගණකාධිපති වරයා විසින් පෙන්වා දී තිබේ.
ප්‍රජා පාදක සංවිධාන සඳහා ඍජු කොන්ත්‍රාත් ක්‍රමය යටතේ සමිති මගින් කොන්ත්‍රාත් කටයුතු සිදු කිරීමේදී ව්‍යාපෘතියේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ව්‍යාපෘතිය සිදු කිරීමට යෝජිත සමිතියේ යෝග්‍යතාවය ඇගැයිය යුතුය. නමුත් මෙහිදී කොන්ත්‍රාත් කාර්යන් 05 ක් සඳහා කොන්ත්‍රාත් කටයුතු ප්‍රදානය කිරීමේදී තෝරාගැනීමේ කමිටුව විසින් එලෙස කටයුතු කර නොතිබිණි.
2021 විගණකාධිපතිගේ වාර්තාව මෙම විෂයය සම්බන්ධයෙන් හෙළිදරව් කර ඇති තවත් කරුණු කීපයක් නම්,2021 වර්ෂයේ වනජීවී කලාප 09 ක විදුලි වැට ඉදිකිරීම සඳහා මාර්ග එළි පෙහෙළි කිරීම හා විදුලි වැට ඉදිකිරීම සඳහා රුපියල් 29,322,490 ක් ඇස්තමේන්තුගත කර තිබුණ ද එහි ප්‍රගතිය 50% කට වඩා අඩු මට්ටමක පැවතුණි.මේ පිළිබඳ විමසීමේදී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ ඉඩම් ගැටලු සහ තවත් ගැටලු ඇතිවී ඇති බවයි. තවද ගොවි සංවිධාන මගින් ම ඉටු කිරීමේදී ඇස්තමේන්තු මුදලටම සිදු කිරීමට නොහැකි තත්වයක් ඇති වී තිබෙන බවයි
එමෙන්ම විදේශ ආධාර ව්‍යාපෘති වලින් ලැබෙන වත්කම් වාර්තාගත නොවීමේ අවදානම 2020 වර්ෂයේ විගණකාධිපති වාර්තාවෙන් පෙන්වා තිබුණද , 2022 පෙබරවාරි 19 දින විගණනය විසින් GIZ ව්‍යාපෘතියෙන් වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදුන් උපකරණ හා වත්කම් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂාකිරීම අනුව රුපියල් 20,755,328 ක් වටිනා වත්කම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගබඩාවේ GIZ වට්ටෝරු පොත් වල වාර්තා කර නොතිබූ බව හෙළිවී තිබේ. අදාළ උපකරණ , ආයතනය විසින් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට විධිමත්ව භාරදී තිබුණද එම දත්ත ගිණුම් අංශය හා ප්‍රධාන ගබඩා වෙත වාර්තා නොකිරීම හේතුවෙන් මූල්‍ය ප්‍රකාශන වලට ඇතුළත්ව නොතිබිණි.
2020 සහ 2021 වර්ෂ තුළ දී විදුලි වැට ඉදිකිරීම හා නඩත්තුව සඳහා දරන ලද වියදම පිළිවෙලින් රුපියල් 257,521,334 සහ රුපියල් 714,695,969 වූ අතර 2021 දෙසැම්බර් 31 වැනි දින වනවිට සම්පූර්ණ විදුලි වැටෙහි දිග ප්‍රමාණය කිලෝමීටර් 4756 ක් විය. එසේ වුවද පසුගිය වර්ෂ 5 තුළ සිදු වූ අලි මරණ මිනිස් මරණ හා දේපළ හානි සැලකීමේදී, විදුලි වැට ඉදි කළද අලි මිනිස් ගැටුම අවම වීමක් දක්නට නොලැබේ.
වනජීවි දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීයෙක් කියා සිටියේ උඩවලව ප්‍රදේශයේ මීටර් 500 වන අලි සංචරණ බාධක තැටි 6000 එලීම සඳහා 2001 මාර්තු 15 වන දින රෙකෝඩෝ ආයතනය සමඟ ගිවිසුම් අත්සන් කර තිබු බවකි.ගිවිසුම ප්‍රකාරව දින 90 ක් ඇතුළත එනම් 2001 ජූනි 15 වන වනවිට මෙම කාර්යය නිම කළ යුතු වුවද 2022 මාර්තු වන විටත් ගිවිසුම්ගත වටිනාකම රුපියල් 18,446,000 වූ වනඅලි සංචරණ බාධක තැටි 4010 ක් සපයා නොමැති බවයි.
තවද 2021 වර්ෂයේ කිලෝමීටර් 1500 ක් දිග විදුලි වැට ඉදිකිරීම සඳහා අවශ්‍ය වන පෙරසවි බලශක්ති 194ක්, පෙරසවි වැසිකිලි 385 ක් සහ කොන්ක්‍රීට් කියුබ් 3,080 මිලදීගැනිම වෙනුවෙන් රෙඩෙකෝ ආයතනය සමග 2021 මාර්තු 15 වැනි දින ගිවිසුම් අත්සන් කර තිබිණි. ගිවිසුම් ප්‍රකාරව දින 90 ක් ඇතුළත එනම් 2002 ජුනි 15 වැනි දින අවසන් වීමට පෙර සැපයීම සිදු කළ යුතු වුවද 2022 මාර්තු වනවිටත් ගිවිසුම්ගත වටිනාකම රුපියල් 46,683,426 ක් වූ පෙර සවි බල ශක්ති කුටි 59 ක් , කොන්ක්‍රීට් කියුබ් 634 හා පෙරසවි වැසිකිලි 346 ක් සැපයුම් සිදු කර නොතිබුණි.
මෙවැනි තත්ත්වයක් තුළඅලි මිනිස් ගැටුම් අවම කිරීමට හෝ මනුෂ්‍ය ජීවිත මෙන්ම අලින්ගේ ජීවිත ද ආරක්ෂා කිරීම තවදුරටත් සිහිනයක් ම විය හැකිය.