තොරතුරු දැනගැනීමේ අයිතිය විනිවිදභාවය

අලි එලවන්න කෝටි 72ක් වැය කරයි විසදුමක් නැති අලි මිනිස් ගැටුම

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

ලංකාවේ පවතින අලි මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා  2014 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා කාලය තුලදී පමණක් රුපියල් කෝටි 72ක (මිලියන 722)අලි වෙඩි ලබාදී තිබෙන බව තොරතුරු දැනගැනීමේ පනත මගින් වනජීවී දෙපාර්තමේන්තුවෙන් ලබාගත් තොරතුරු මගින් අනාවරණය වේ.මේසා විශාල මුදලක් වැයකර ඉන් ලැබි ඇති ප්‍රතිපලය කුමක්දැයි විමසා බැලිය යුතු යි.

 අලි මිනිස් ගැටුම ඇතිවීම කෙරෙහි සෘජුවම බලපා ඇත්තේ, වන අලින්ගේ නිජ බිම් අහිමි වීම නිසා ඉතිරිවන රක්ෂිත ප්‍රදේශ තුළ වන අලින්හට ජීවත්වීම සඳහා ප්‍රමාණවත් භූමි ප්‍රදේශ අහිමි වීමත් ඒ තුල ප්‍රමාණවත් ආහාර නොතිබීමත් ය. එහිදී ගම් වදින වන අලි වගා හානි දේපල හානි මෙන්ම ජීවිත හානි ද සිදුකරනු ලබයි. මෙම උවදුරු සදහා දැඩිසේ මුහුණ දෙන්නේ ග්‍රාමීය ජනතාවයි.

  මෙවන්  පසුබිමක දශක කීපයක් තිස්සේ  පවතින අලි මිනිස් ගැටුම සදහා නිසි විද්‍යාත්මක ව විසදුමක් ලබාදීමට කිසිදු පැවති ආණ්ඩු අපොහොසත් වී  ඇති අතර ඒ සදහා සිදුකර ඇත්තේ අලි වැට ඉදිකිරිම මෙන්ම අලි මිනිස් ගැටුමට මුහුණදෙන ගොවින් ඇතුළු ජනතාවට අලි වෙඩි ලබාදීම ය.

  මේ ආකාරයෙන් පවතින අලි මිනිස් ගැටුම අවම කරමින් ගොවීන්ගේ ජීවිත හා වගා බිම් ආරක්ෂා කර ගැනීමට ලබාදුන් අලි වෙඩි සදහා කොපමණ මුදලක් වාර්ෂිකව වනජීවී දෙපාර්තමේන්තුව විසින් වැය කර තිබේද යන්න පිළිබදව තොරතුරු දැනගැනීමේ පනත මගින් වනජීවී දෙපාර්තමේන්තුවෙන් ලබාගත්  තොරතුරුවලට අනුව 2014 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා වූ කාල සිමාව දක්වා අලි වෙඩි 6468750ක් අලිමිනිස් ගැටුම පවතින කලාප සදහා බෙදා දී තිබෙන බවත් ඒ සදහා රුපියල් මිලියන 722කට ( කෝටි  72ක්)  අධික මුදලක් යොදවා තිබෙන බවත් අනාවරණය විය.

  අලි මිනිස් ගැටුම වෙනුවෙන් වාර්ෂිකව දිස්ත්‍රික්ක සදහා ලබාදුන් අලි වෙඩි ප්‍රමාණය සලකා බැලීමේදී 2014ට සාපේක්ෂව 2020 වර්ෂය වන විට අලි වෙඩි ලබාදීම 49% කින් වැඩි වී තිබේ.

    දීර්ඝ කාලයක් තිස්සේ ලංකාවේ පවතින බරපතල සමාජ ගැටළුවක් වන අලි මිනිස් ගැටුමට නිසි විද්‍යාත්මක පර්යේෂණ ඔස්සේ විසදුම් ලබා නොදීම නිසා මානව ක්‍රියාවන් හේතුවෙන්  වසරකට අහිමිවන අලින්ගේ ජීවිත මෙන්ම අලින් පහරදීමෙන් වසරකට අහිමි වන මිනිස් ජීවිත ගණන සුළුපටු නොවේ. ඒ අයුරින්  2019 වසරේදී  අලි 407ක් සහ මිනිසුන් 122ක් මරණයට පත්ව තිබුණි. එමෙන්ම 2020 වර්ෂයේ පමණක් අලි මිනිස් ගැටුම හේතුවෙන්  වන අලින් 327ක් මෙන්ම මිනිස් ජීවිත 205ක් අහිමි වී තිබේ. අලි වෙඩි ලබාදීමේ ප්‍රතිශතය වැඩි වුවත් අලි මිනිස් මරණ මේ ආකාරයෙන් වැඩි වීමෙන් පෙනී යන්නේ අලි මිනිස් ගැටුමට අලි වෙඩි ස්ථිරසාර විසදුමක් නොවන බවයි.

 එමෙන්ම වනජීවී දෙපාර්තමේන්තුවෙන් ලබා ගත් තොරතුරුවලට අනුව ලංකාවේ අනුමාන වශයෙන්  අලි ඇතුන්  6000ක් පමණ ජීවත්වන අතර එම අලි පලවා හැරීම වෙනුවෙන් නිකුත්කර තිබෙන අලි වෙඩි ප්‍රමාණය ගත හොත් 2014 වර්ෂයේදී එක් අලියෙකු වෙනුවෙන් අලි වෙඩි 102ක් පමණ වන අතර 2020 වර්ෂය වන විට එක් අලියෙකු වෙනුවෙන් අලි වෙඩි 205ක් පමණ පත්තු කර තිබෙන බවද පෙන්වාදිය හැකි ය. වනජීවී දෙපාර්තමේන්තුවෙන් ලබාගත් තොරතුරු විශ්ලේෂණය කිරීමේ දී එය තහවුරු වේ. නමුත් වනාන්තරවල සිටින අලි අතරින් සියලු අලින් ගම් නොවදින අතර එසේ ගම්වදින්නේ සියයට 50ක පමණ වූ වන අලින් ප්‍රමානයක් වේ. ඒ අනුව ගතහොත් එක් අලියෙකු වෙනුවෙන් ඊටත් වඩා අලි වෙඩි ප්‍රමණයක් වාර්ෂිකව පත්තු කර තිබෙන බව පෙන්වා දිය හැකි ය.

වාර්ෂිකව අලි වෙඩි මිලදී ගැනීමට සිදුකළ වියදම්

   වාර්ෂිකව මිලදීගෙන  ඇති අලි වෙඩි ප්‍රමාණයන්

 මේ ආකාරයෙන් විශාල මුදල් ප්‍රමාණයක් යොදවා වාර්ෂිකව දිස්ත්‍රික්ක වශයෙන් හෝ කලාප වශයෙන්   අලි වෙඩි බෙදා දුන් දිස්ත්‍රික්ක සම්බන්ධයෙන් විශ්ලේෂණය කිරීමේදී දැක ගැනීමට හැකිවූයේ අලි වෙඩි බෙදාදීම වාර්ෂිකව වැඩි වීමක් දක්නට ඇති බවයි. ඒ තුලින් මනාව පිළිබිඹු වන්නේ වාර්ෂිකව අලි මිනිස් ගැටුම ද එම දිස්ත්‍රික්ක හෝ කලාප තුළ වර්ධනය වී ඇති බවයි.

දිස්ත්‍රික්ක වශයෙන් වාර්ෂිකව  අලි වෙඩි බෙදා දී ඇති ආකාරය

අලිවෙඩි විසඳුමක් නොවෙයි

  ගම් වදින වන අලි එළවීම සඳහා ගොවීන්ට ලබාදී තිබෙන තාවකාලික විසඳුමක් වන්නේ අලි වෙඩි ය. නමුත් ඒ ආකාරයෙන් අලි වෙඩි දැමුව ද දැන් අලි එලවා දැමීමට නොහැකි බව ගොවීන්ගේ අදහසයි. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සූරියවැව මදුනාගල ප්‍රදේශයේ පදිංචි සුමනානන්ද මහතා,

” මම වසර ගණනාවක් තිස්සේ මදුනාගල පදිංචිවෙලා හිටිය කෙනෙක්. ඒ දවස්වල අලින්ගෙන් අපිට කරදර තිබුණේ නෑ. නමුත් විවිධ සංවර්ධන සඳහා මෙන්ම නීති විරෝධී කැලෑ හෙලිකිරිම් නිසා අපේ ගම්වලට වගාවන්ට අලි පනින්න පටන්ගත්තා. ඒකට හේතුව කැලේ සුද්දකරන නිසා අලින්ට කන්න නැතිවීමයි. ඊට පස්සේ ගම් වදින අලි එලවන්න අලි වෙඩි ලබාදුන්නා වසර ගණනාවක් තිස්සේ. අපි අලි වෙඩි ගහලා අලි එලවා එලවා හිටියා. නමුත් දැන් අලියට වෙඩිල්ල ගැහැවුවාම ටිකක් වෙලා හැංගිලා ඉදලා ආපහු ඇවිත් වගාව කනවා. අලියා දැන් අලි වෙඩිවලට හුරුවෙලා ඉන්නේ. ඒ නිසා අලි වෙඩිවලට මෙච්චර වියදම් කරන්න ඕන නෑ. බලධාරීන් රක්ෂිත ආරක්ෂා කරනවා නම් ප්‍රශ්නෙ විසඳෙනවා. ”

  අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ පදිංචි ගුණපාල විතාරණ මහතා, ” අපි අලි කරදරයෙන් දුක් විඳින්නේ අවුරුදු ගණනාවක ඉඳන්. නමුත් ඉස්සරට වඩා දැන්  අලි ප්‍රශ්න වැඩියි. අපි එළිවෙනකන් කරන්නේ අලි එලවන එක. අපේ පැතිවල රෑට අලි වෙඩි පත්තු වෙන්නේ හරියට යුද්ධයක් වගේ. හැබැයි උදේට බලනකොට අලි ගෙවල් කඩලා, වගාවන් විනාශ කරලා, අලි වෙඩිවලට දැන් අලි පුරුදු වෙලා. ”

අලි වෙඩි මගින් අලිමිනිස් ගැටුම සඳහා විසඳුමක් සෙවිය නොහැකි කාරණයක් බව වන අලින් සම්බන්ධයෙන් පර්යේෂකයෙකු වන  ආචාර්ය පෘතුවිරාජ් ප්‍රනාන්දු මහතා කියා සිටි.

  ”මිනිසුන්ට අලි වෙඩි දෙනවයි කියන්නේ අලියත් එක්ක ගැටුමක් ඇතිකරගෙන අලියා පන්න ගන්න කියන එක. ඒකෙන් අලි මිනිස් ගැටුමට මිනිසුන් යොමුකරන එක කරන්නේ. අලියා පන්න ගන්න ඕන තමයි. නමුත් ප්‍රශ්නය තියෙන්නේ අලි වෙඩි ලබාදීම වැඩිවී තිබීම. ඒ කියන්නේ අපි ඒක  මතම රැදෙනවයි කියන එක. අනිත් එක අලියා ඉගෙන ගන්නවා මේක ශබ්දයක් විතරයි. ඒකෙන් ප්‍රශ්නයක් නෑ කියලා එතකොට අලියා යන්නේ නෑ. ඊළඟ කාරණය තමයි  දිගින් දිගටම අලියාගේ ඉස්සරහට ගිහින් අලියා එක්ක ගැටෙද්දී කවදා හරි අලියා අනිත් පැත්ත හැරෙනවා. එතකොට අලියා දුවගෙන ආපස්සට අවොත් දුවල බේරෙන්න ඕන. නැත්නම් පෑගිලා හරි මැරෙනවා, මේක අත්දැකපු අලියෙක් ඉගෙන ගන්නවා මම හැරුනොත් මම දිනුම් කියලා. එතනින් තමයි අපි ප්‍රචණ්ඩකාරී අලි  හදන්නේ. මිනිස්සු නිකරුනෙත් අලි වෙඩි පත්තු කරනවා. කොහොම වුණත් අලි වෙඩි පත්තු කරන්න ,කරන්න ගැටුම තව වැඩිවෙනවා”

”  මේකට තියෙන හොදම විසදුම තමයි විදුලි වැට, අපේ ගෙවත්තට හරි වගාවට හරි හොද අලි වැටක් ගහගන්න පුලුවන් නම් අපිට අලියත් එක්ක හැප්පෙන්න ඕන නෑ ,දැනට තියෙන අලි වැටවල්වලින් දෙපැත්තේම අලි ඉන්නවා ඒක තේරුමක් නැති එකක් ” බව ද ආචාර්ය පෘතුවිරාජ් මහතා කියා සිටියා

C:\Users\Sampath Deshapriya\Downloads\1.jpg

C:\Users\Sampath Deshapriya\Downloads\9.jpg

C:\Users\Sampath Deshapriya\Downloads\d2.JPG

C:\Users\Sampath Deshapriya\Downloads\ගුණපාල විතාරණ.JPG

C:\Users\Sampath Deshapriya\Downloads\10 (1).jpg

C:\Users\Sampath Deshapriya\Downloads\5.jpg

Rs.720 Million Unresolved Elephant-Human Conflict

தீர்க்கப்படாத யானை-மனித முரண்பாடு: யானைகளை விரட்டுவதற்கு ரூ .720 மில்லியன் செலவு!

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts