සමාජ

අපේ රස්සාවයි සිංහල අයයි ගහට පොත්ත වගේ

මංගලනාත් ලියනාරච්චි

අපි එක්ක විරසක වෙලා හිටිය අල්ලපු ගමේ අය කිසිම දෙයක් නොවෙච්ච ගානට ආපහු අපේ වළං ගන්න ගමට ආවා ගියා. කොහොම වුණත්, අපිට අපේ නැති වෙච්ච ජීවිත ලැබුණා නේද කියලා ලොකු සතුටක් දැනුණා.”

“මගේ තාත්තගේ නම කුංජන්..තාත්තගෙන් තමයි මට මේ රස්සාව උරුම වුණේ.. අපේ තාත්තා මේ රස්සාව කෙරුවේ,සිංහල උදවිය හිංදමයි. දෙමළ අය තාමත් වැඩිපුර උයා පිහා ගෙන කන්න පාවිච්චියට ගන්නේ, ඇල්මිනියම් සාස්පාන්. සිංහල අය මැටි වළං, හට්ටි තමා උයන්න ගන්නේ. අපේ ගමට අල්ලපු ගම මිහිඳුපුර.. ඊළඟට ආන්දන්කුලම. අනිත් පැත්තෙන් විල්ගම්වෙහෙර.. මේ ගම්වල අය සිංහල අවුරුද්දට වෙසක් එකට පොසොන් එකට වළං, හට්ටි, මැටි පහන් ගන්න එන්නේ අපේ ගමට. මේ නිසා අපේ රස්සාවයි සිංහල අයයි ගහට පොත්ත වගේ..”යි රාමු  නවරාජා අතීත මතක අවදි කරන්නේ මහත් තෘප්තියකිනි.

83 කළු ජූලිය සිංහල, දෙමළ  සහෝදරකම් මෙන්ම මනුස්සකම් ද අමු අමුවේ සමූල ඝාතනයට ලක්වූ වසරකි. එහි අතීත මතක ආවර්ජනය කළ නොහැකි තරමටම අමිහිරි ය. 83 කළු ජූලිය රාමුලා ගේ ජීවිත දඋඩු යටිකුරු කර දමන්නේ, එතෙක් පැවති සිංහල – දෙමළ සහෝදරත්වය ද සුණු විසුණු කරවමිනි.

‘අපේ තාත්තා ඒ කාලේ සමසමාජකාරයා. හැම මැයි දිනේටම සිංහල අයත් එක්ක කොළඹ පෙලපාලියට යනවා. ගෙදර පොටෝ එකක් හරි තිබ්බ නම් තිබ්බේ, ඇන් ඇම්ගේ. කොල්වින්ගේ. ඒ කාලේ අපි දන්න එල්ටීටීඊ එකක් නැහැ. තාත්තගේ යාළු සිංහල අය ඇවිත් තාත්තට කිව්වා ඉදිරියේ මොනවා වෙයිද දන්නැති නිසා අපි ආරක්ෂාව තියෙන තැනකට යමු කියලා. අපි ඉස්සෙල්ලාම කදවුරට ගියේ එහෙමයි..”

“83 කලබලවලදි අපේ ගෙවල් දොරවල් අල්ලපු ගමෙන් ආපු මැරයෝ ගිනි තියලා විනාශ කළා. අපේ හරක්, එළුවෝ, කුකුල්ලු අපි බලා ගෙන ඉන්දැද්දිම කොල්ල කෑවා.‘ රාමු බිඳුණු ළෙන්ගතුකම් ගැන මතක පුරුද්දයි.

සහෝදර වෙනත් ජනතාවක් සමඟ එක්ව විසීම තව දුරටත් අනතුරක් සේ සලකා  ත්‍රීකුණාමලයෙන් පලායාම විනා විකල්පයක් ඔවුනට නොවීය. කළු ජූලියෙන්  ඇරඹෙන රාමුලාගේ අවතැන් කඳවුරු වට වන්දනාව අවසන් වන්නේ, විශ්ව මඩු වලිනි.ඒ 1990 වසරේදී ය.

“අපි 83 කදවුරුවලට ගියාට සැරින් සැරේ ආපු සාම ගිවිසුම්, සාම සාකච්ඡාවලදි ආපහු තෝරංකාටුවට ආවා. ඒත් ස්ථීර සාමයක් තිබුණෙ නැහැ. අන්තිමේ 1990 දි කලබල දරුණුවටම ආවා. මං ඒ වෙන කොට කසාද බැඳලා හිටියේ. පුතා පුංචියි. අපි ඒ වෙලාවේ, කැලෑ පාරවල්වලින් පුල්මුඩේට ගිහින් පස්සේ බෝට්ටුවෙන් තමයි විශ්ව මඩුවලට ආවේ.. අපේ ගමේ පවුල් දහයක් විතර අපි එක්කලා විශ්ව මඩුවලට ඔය සන්දියේ ආවා. අපි ටික කාලයක් කඳවුරුවල ඉදලා පස්සේ මෙහෙත් සුපුරුදු රස්සාවටම බැස්සා..”

ත්‍රීකුණාමලය අතහැර කිලිනොච්චියේ පැල පදියම් වන රාමුලා ගේ ජීවිතය ත්‍රීකුණාමලයේදී මෙන් මනෝරම්‍ය  වන්නේ නැත. ටික කලක් සුපුරුදු වළං කර්මාන්තයේම යෙදෙන රාමුලා ඉන් යහපතක් නැති තැන වෙන වෙන රැකියා වලටත්, අවසානයේ කුලී වැඩටත් වැටෙති.

සරෝජා දේවි වළං පදම් කරමින්

“ටික කලකින් අපිට වන්නියම එපා වුණා. එහේ අය උයා පිහාගෙන කන්නේ, සාස්පාන්වල. මැටි වළං ගන්නෙම නැති තරම්. ඉතින් අපි වලං හදලා කාට දෙන්නද? අනික කුල භේදය. අපි වළං හදන අය කියලා එහේ අය අපිව කොන් කළා. ළමයි ස්කෝලේ ගියහම අනිත් ළමයි එයාලට කුයියවන් (වළංකාරයෝ) කියලා අපහාස කරනවා..  ත්‍රීකුණාමලයේ දී එහෙම නැහැ. ඒ දවස්වල මිහිඳුපුර ගමේ සිංහල අය අලුත් අවුරුද්දට අපෙන් වළං ගන්න එද්දි, කැවිලි පෙවිලි පවා අරන් එනවා. අපේ ළමයි සෙල්ලම් කළේ, සිංහල ළමයි එක්කලා.. කවදාවත් එහෙම භේදයක් ඇති වුණේ නෑ. අපි කොයි තරම් සතුටින් ජීවිතේ ගෙව්වද කියලා නිතර දෙවේලේ කතා වුණා. අන්තිමේ මැරුණත් කමක් නැහැ කියලා ආපහු වන්නියෙන් ත්‍රීකුණාමලේට එන්න ආවා. සමහරක් අය එහෙම නැවතුණා..”

ජීවීතය සොයා නැවත වරක් 98 වසරේ දී වන්නියේ සිට තෝරංකාඩුවට රාමුලා පැමිණෙන විට, ඔවුන්ගේ කියා කිසිවක් තෝරංකාඩුවේ ඉතිරිව තිබුණේ නැත. ඒ වන විටත්,ඔවුන්ගේ නිවසේ වහලය පමණක් නොව, බිත්ති බැඳ තිබු ගඩොල් පවා ජාති ආලයේ රුදු හස්තයට හසුව තිබුණේ, රාමුලා තමන් උපන් බිමේ අන්ත අසරණ කරමිනි. නැවත වරක් තම දෙපා උපන් බිමේ පහස ලද සංතෘෂ්ටිය හා උතුරු දෙමළ ජන සමාජයේ පිළිලයක් සේ පැතිරුණු උග්‍ර කුල භේදය ත්‍රීකුණාමලයේ දී අත් විඳීමට සිදු නොවන බැවින් ඔවුහු සතුටට පත්වූහ.

“අපි එනකොට ගෙදර බිත්තිත් නැහැ. ගෙයක් කියලා තිබ්බේ, බිම සිමෙන්තිය විතරයි.  අපිට රොටරි සමාජයෙන් මේ ගෙවල් හදලා දුන්නා.ආපහු වළං කර්මාන්තය සුළුවෙන් පටන් ගත්තා. අපි එක්ක විරසක වෙලා හිටිය අල්ලපු ගමේ අය කිසිම දෙයක් නොවෙච්ච ගානට ආපහු අපේ වළං ගන්න ගමට ආවා ගියා. සමහරක් අය නම් නැති වෙලා.. නැත්නම්,එයාලත් අපි වගේ යුද්දෙට බයෙන් යන්න ගිහිල්ලා. කොහොම වුණත්,අපිට අපේ නැති වෙච්ච ජීවිත ලැබුණා නේද කියලා ලොකු සතුටක් දැනුණා.”

කෝවින්දන් තෛම්මාගේ මැටි උදුන් නිෂ්පාදනය

තෝරංකාඩුවේ පදිංච සරෝජා දේවි ද රාමුලා මෙන් ජීවිතය සොයා වන්නියට ගිය එකියකි. ඇය එහිදී මුහුණ දෙන්නේ, ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වැනි උභතෝකෝටික ගැටලුවකටය. කොටි සංවිධානයේ පිරිස් සරෝජනීලාගේ දරුවන් ඩැහැ ගැනීමට මාන බලමින් සිටින බව ඒත්තු වූ විට සරෝජනීට වන්නිය ගිනි ගොඩක් විය.

“අපි අනාථ වෙලා ආපු අය නිසා සංවිධානයේ අය හැම වෙලාවෙම අපිව තමයි උදාහරණයට ගත්තේ. රැස්වීම් තියලා හැම වෙලේම මිනිස්සුන්ට කිව්වේ, සිංහල මිනිස්සු සිංහල හමුදාව මිලේච්ඡයෝ. දෙමළ ගැහැනු ළමයි දූෂණය කරනවා. ගෙවල් ගිනි තියෙනවා. එහෙම නැතිව නිදහසේ ඉන්න ඕනෙ නම් වෙනම ඊළමක් හදන්න ඕනේ කියලයි. සිංහල අය පන්නලා දාපු අය හැටියට අපිව තමා මිනිස්සුන්ට පෙන්නන්නේ.‘

එහේ අය එයාලගේ ළමයි ස්කෝලේ යන්න ඕනේ,අපේ ළමයි යුද්දෙට යන්න ඕනේ කියන මතේ තමා හිටියේ. බැරිම තැන අපි හිත හදාගෙන ළමයි බේර ගන්න ආපහු ත්‍රීකුණාමලේට ආවේ. අපි එදා ඒ ගමන නාවා නම් අද අපේ දරුවෝ අපිට නැති වෙන්නත් තිබ්බා..” සරෝජා දේවි අවසන් වචන ටික මුදා හරින්නේ,ඉසිලිය නොහැකි මහා බරක් බිමින් තිබ්බා සේ ය.

සරෝජා දේවිට දරුවන් තිදෙනෙකි.එක් පුතකු විවාහ වී සිටින්නේ, මුස්ලිම් තරුණියක සමඟ ය.

රාමු කියන අන්දමට ප්‍රාදේශීය සභාව හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඔවුන් කර්මාන්තකරුවන් ලෙස රජයේ ලියාපදිංචි කිරීමට උනන්දුවක් නොදක්වයි.

මේ හේතුව නිසා  මෙම කර්මාන්තය වැඩි දියුණුකර ගැනීම සදහා බැංකු ණයක් හෝ ලබා ගැනීම අපහසු ය. එවැනි කර්මාන්තකරුවන්ට බැංකු ණය ලබා දෙන බවට රාජ්‍ය හා පුද්ගලික බැංකුදැන්වීම් හරහා පුන පුනා කීවද, මෙතෙක් එවැනි බැංකු ණයක් කිසිදු ආයතනයකින් ලබා ගැණීමට නොහැකි වු බව හෙතෙම කියා සිටි.

මෙම කර්මාන්තකරුවන් වෙසෙන තෝරංකාඩු හෙවත් වරවෝදය නගර් අයත් වන්නේ,ත්‍රීකුණාමලය නගර හා කඩවත් ප්‍රාදේශීය සභාවට ය. කුඹල් කර්මාන්තකරුවන් ලියාපදිංචි කිරීමට ප්‍රාදේශීය සභාව වැඩි උනන්දුවක් නොදක්වන බවට කරන චෝදනාව සම්බන්ධයෙන් එම ප්‍රාදේශීය සභාවේ වත්මන් සභාපති වෛද්‍ය ඥාණගුනාලන් මහතා පවසන්නේ මේ පිරිස් පැමිණ ඉල්ලීමක් ඉදිරිපත් කරන්නේනම් ඔවුන් ලියාපදිංචි කර අවශ්‍ය පහසුකම් සපයන බව ය.

යුද්ධය පැවති සමයේ කොතරම් කෝන්තර තිබුණද, අසල්වැසි මිහිඳුපුර ගම්මානයේ ජනයා මේ වන විට පැරණි හිතවත්කම් සොයා තෝරංකාඩුවට පැමිණෙමින් සිටිති. සිංහල අවුරුදු සමය ලංවෙන විට අලුත් වළං මිලදී ගැනීමට සිංහල ජනයා මිහිදුපුරට පැමිණීම චාරිත්‍රයක් බවට පත්ව තිබේ.

“අපේ අම්මලා ඒ කාලේ අවුරුදු ළං වෙද්දී වළං ගන්න තෝරංකාඩුවට යනවා. අපිත් ඒ පස්සේ යනවා. අම්මලා අලුත් වලං ගද්දී පුංචි අපිට චූටි වළං නිකං දෙනවා. අපි ඒ කාලේ හරි ආශාවෙන් ඒ ගමන යන්නේ, චූටි වළං ගන්න.හැබැයි,යුද්දෙ ආවට පස්සේ ඒ ගමේ අය ගම දාලා යන්න ගියා. කොහොම හරි දැන් ඒ අය ආපහු ඇවිත් ඉන්න එක අපිට සතුටුයි.අපි ගිය අවුරුද්දටත් වළං අර ගන්න ගියා…” යි කියන්නේ, මිහිඳුපුර පාසල් මාවතේ පදිංචි චම්පිකා හේවාවිතාරණ මහත්මියයි.

“අපි තාමත් මේක කර ගෙන යන්නේ, පරම්පරාවේ හුරුවෙන්. මේ වෙන කොට මැටි මල් පෝච්චිවලට හොද ඉල්ලුමක් තිබෙනවා. විසිතුරු මැටි භාණ්ඩ වලටත් එහෙමයි. අපි හැමදාම වළං, කලගෙඩි හදනවා. ත්‍රීකුණාමලයේ මී කිරි කර්මාන්තයට ප්‍රසිද්ධයි.දවසකට හටිට් දෙතුන් දාහක් කොළඹට යනවා. ඒ වළං ගේන්නේ පිට පළාත්වලින්. අපිට ඒ වෙළද පොළ හදලා දෙනවා නම්,දෛනිකව හොද ආදායමක් ලබන්න පුළුවන්…” යැයි කියන්නේ,කෝවින්දන් තෛම්මායි. සැමියා අහිමි දරුවන් දස දෙනෙකුගේ මවක් වන ඇය ස්ව උත්සහයෙන්ම මැටි උදුන් නිෂ්පාදනය කරමින් ජීවිකාව ගෙන යන්නී ය.

සකපෝරුව කැරකෙමින් රළු මැටි ගුලියක් සුන්දර මෙවලමක් මැව්වද, රාමුලාගේ රැකියාව තවමත් එක තැන පල් වෙන මඩ වලක් මෙනි. කාලයත් සමඟ වෙනත් පළාත්වල කුඹල්කරුවන් වෙනස් වී ඇතත්, රාමුලාගේ රැකියාව ඉදිරියට ගොස් නැති තරම්ය.  සකපෝරුවෙන් ඔබ්බට යෑමක් පිළිබඳ මෙහි කිසිවෙකුත් නොදනී.

 “ඇල්මිනියම් භාජනවල කෑම උයන්න එපා මැටි වළං භාවිතයට ගන්න කියලා දැන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ප්‍රචාරයක් ගෙනියනවා. පිලිකා හැදෙන්නේ ඇල්මිනියම් භාජන හිංදා කියලා පරීක්ෂණවලින් ඔප්පු වෙලා තියෙනවා කියලා කියන්නේ. ඒ ප්‍රචාරයට වියදම් කරන සල්ලිවලින් ගම්මාන කිහිපයක් තෝර ගෙන මැටි වළං කට්ටලය ගානේ සහන මිලකට දෙන්න පුළුවන්නම්, මිනිස්සු ඒවට හුරු වෙනවා. එහෙම දෙයක් වෙන බවක් අපි තවම දකින්නේ නැහැ.”

රාමු වෙනත් මානයකට කථාව යොමු කරවන්නේ,ගෑස් උදුන් වල තබා ආහාර පිසිය හැකි නාගරික පවුල්වලට භාවිතයට ගත හැකි නවීන පන්නයේ හට්ටි කිහිපයක් ද පෙන්වමිනි.

This article was originally published on the catamaran.com

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts