අපි ජාති, ආගම් බේද ඔළුවට දාගෙන ලොකු අවුලක් ඇති කරගෙන
ගයාන් යද්දෙහිගේ
මෙරට ආදිවාසී ජනතාවගේ වත්මන් නායකයා වන්නේ වනස්පති ඌරුවරිගේ වන්නියලෑ ඇත්තෝ ය. වන්නියලෑ ඇත්තෝ මෙරට සමාජ,දේශපාලනික හා සංස්කෘතික කාරණා කෙරෙහි දැඩි සංවේදිතාවක් දක්වයි. මෙරට ජාතික ප්රශ්නවලදී සෑම අවස්ථාවකම මධ්‍යස්ථ මතයක රැඳී සිටිමින් කටයුතු කරන ඔහු, පාස්කු ප්‍රහාරයෙන් පසු රටේ ඇතිව තිබෙන දේශපාලන හා සමාජ කාරණා සම්බන්ධයෙන් මෙසේ සිය හඬ අවදි කරයි.
පාස්කු ප්‍රහාරයෙන් පසු රටේ ඇතිවී තිබෙන තත්ත්වය ඔබ විමසන්නේ කෙලෙසින් ද?
දැන් රට අවුල් වුණු නූල් බෝලයක් බවටයි පත්ව තිබෙන්නේ. සිංහල,දෙමළ හා මුස්ලිම් ජනතාව එකිනෙකා කෙරෙහි සැකයෙන් හා බියෙන් බලන තත්ත්වයක් ඇති වෙලා. මේක මේ රටේ ඉදිරි ගමනට හොඳ දෙයක් නොවෙයි. නායකයින් කියන දේවල් ගැන ජනතාවට විශ්වාසයක් නැහැ. ඔවුන් අද කියන දේ නොවෙයි හෙට සිද්ධ වෙන්නේ. මේ මොහොතේ ජනතාව ජාති,ආගම් වශයෙන් පමණක් නොවෙයි කණ්ඩායම් වශයෙනුත් බෙදිලා ගිහින්. සමාජය කැළඹිලා විනාශවී ගිහින් තියෙන්නේ. මේ අවුල ලිහා ගන්න පුළුවන් තැනක් තියෙනවා. සියලු දෙනා එකතු වෙලා ඒ තැන හොයා ගන්න ඕන. ඒකට මුලින්ම ජාතික හා ආගමික සමඟියක් ඇති වෙන්න ඕන.එහෙම වුණොත් තමයි අනාගත පරපුරට සුරක්ෂිත රටක් ආරක්ෂා කර දෙන්න හැකියාව ලැබෙන්නේ. දැන් සියලු ප්‍රශ්න තිබෙන්නේ අළු යට ගිනි වගේ. පොඩ්ඩක් පිඹලා බලන්න ඕන ඇවිළෙන හැටි දැක ගන්න. මේ සමාජය නිහඬ වෙලා තියෙන්නේ තාවකාලිකවයි. අපි අළු දිහා බලලා ගින්නක් ඇති වෙන්නේ නැහැ කියලා හිතනවා නම් අනාගතයේදී අපිමයි ඒ ගින්නෙන් විනාශයට පත් වෙන්නේ.
අතීතයේ මේ සෑම ජන කොටසක් ම ඉතා සමඟියෙන් සංහිඳියාවෙන් ජීවත් වුණු බවයි අපට මතක තියෙන්නේ?
අපේ ආදි මුතුන් මිත්තන් මේ රටේ සාමයෙන් සමඟියෙන් ජීවත් වුණා. එදා යක්ෂ,නාග,දේව හා රාක්ෂ කියලා ගෝත්‍ර හතරක් තිබ්බා. සිව් හෙළේ කියලා හැඳින් වුණේ මේ ගෝත්‍ර හතරයි.විජය රජුගේ ආගමනයෙන් පස්සේ තමයි මේ සිව් හෙළේ සිංහලේ වුණේ.මේ ගෝත්‍ර හතර පාලනය කළේ රජවරුන් හතර දෙනෙක්.රටේ ලොකු සංවර්ධනයක් කෘෂි අංශයෙන් කළා. වැව් ගොඩ නැගුවා. අද මාදුරු ඔය ලෙස හඳුන්වන්නේ එදා බම්බා වැවයි. එහි වේල්ල අඩි 200 ක් උසට විශාල ගල් පතුරු එකිනෙක තියලා ගොඩ නැගුවේ යක්ෂ ගෝත්‍රයට අයත් බම්බාවන්. රටේ මංමාවත් හදලා ඉංජිනේරුමය දක්ෂතා දැක්වූයේ රාක්ෂ ගෝත්‍රිකයින්. නාවික කටයුතු කළේ නාග ගෝත්‍රිකයින්. මේ අය ඉතා සමඟියෙන් සහයෝගයෙක් එකට කටයුතු කළා. විජයගේ පැමිණිමෙන් පස්සේ මේ දේවල් වෙනස් වුණා. ලංකා ඉතිහාසයේ පළමු දික්කසාදය විජය කුවේණි අත හැරීමයි. ගහ මරා ගැනීම්, වැඩිහිටියන්ට නොසැලකීම් වගේ දේවල් ලංකා සමාජයට එකතු වුණේ විජය සහ ඔහු සමඟ මෙරටට පැමිණි පිරිස නිසයි. මේ අය ඉන්දියාවෙන් නැව් නග්ගලා රටින් පිටුවහල් කළේ නොමනා හැසිරීම් නිසයි. එදා තිබූ සමඟිය සංවර්ධනයත් එක්ක ක්‍රමයෙන් නැතිව ගියා.
ඔබ ජාති හා ආගම් වාදය ප්‍රතික්ෂේප කරනවද?
අපි හැමෝම මිනිස්සු.ජාති,ආගම්,කුල ආදි දේවල්වලට කලින් අපිට ලැබුණේ මනුෂ්‍යත්වයයි. ඒත් අපි මනුෂ්‍යත්වය අමතක කරලා මේ දෙවනුව ලැබුණ දේවල් කරමත තියා ගෙන කටයුතු කරනවා. රොඩී කුලේ කෙනාගේ වගේම ඉහළම කුලයක් යැයි කියා ගන්නා අයෙකුගේත් ලේ රතු පාටයි. ලේවලින් ඒ පුද්ගලයාගේ ජාතිය, ආගම්, කුලය හොයන්න බැහැ. සිංහල, දෙමළ, මුස්ලිම් ජාතීන් වුණත් එහෙමයි.මිනිසුන් බෙදා වෙන් කොට සැලකීමට මං විරුද්ධයි
අපි සමාජයට කරන යහපත් හා අයහපත් දේවල්වලින් තමයි අපිව වර්ග කරන්න ඕන. රටට,ජාතියට ආදරය කරන හා නොකරන අය ලෙසත් සතාට සිව්පාවාට ගහ කොළට ආදරය කරන හා නොකරන අය ලෙසත් අපිට මිනිස්සු බෙදන්න පුළුවන්. ඒත් ජාති,ආගම්,කුල ලෙස මිනිස්සු බෙදා වෙන් කරමින් වෙනස් කොට සැලකීමට මං විරුද්ධයි.
වනාන්තරයේ අලි,කොටි,වලස්සු වගේ විවිධ සතුන් ජීවත් වෙනවා. මිනිස්සු අතරත් මේ වගේ විවිධ ජාතීන් ජීවත් වෙනවා. මේ විවිධත්වය රටක, සමාජයක පැවැත්මට සපයන දායකත්වය ඔබ මනින්නේ කෙලෙසින්ද?
වනන්තරේ අලියා, කොටියා, වලහා, ඌරා, මුවා, වඳුරා වගේ විවිධ සත්තු ජීවත් වෙනවා. මේ හැම සතාටම කැලෑව අයිතියි. එකම දිය වලේ මේ සත්තු වතුර බොන්නේ. එකම පිට්ටනයේ තණ උලා කනවා. නිදා ගන්නවා. මේ විවිධත්වය නිසා වනාන්තරය ලස්සනයි. කැලෑවේ එක එක ගස් තියෙනවා. කොච්චර ලස්සනද? එකම සත්තු ටිකකුයි එකම මිනිස්සු ටිකකුයි හිටියොත් මොකද වෙන්නේ. ජාති,ආගම් බේද ඔළුවට දාගෙන අපි ලොකු අවුලක් ඇති කරගෙන ඉන්නේ. කැලෑවේ ජීවත් වන සත්තු තමන්ගේ ආහාර සොයා ගන්න,ආරක්ෂාව සලසා ගන්න මහන්සි වෙනවා.ඒත් මිනිස්සු තන්හාව,ඊර්ෂ්‍යාව,බලය නිසා මේ අවශ්‍යතා වලින් ඔබ්බට ගිහින් කටයුතු කරනවා.ප්‍රශ්න ගොඩක් ඇති වෙලා තිබෙන්නේ මේ නිසයි.
මේ රටේ යම් ප්‍රමාණයකට ගොඩ නැඟී තිබුණු සාමය හා සංහිඳියාවට පාස්තු ඉරිදා ප්රහාරයෙන්සිදු වුණු බලපෑම ඔබ දකින්නේ කෙලෙසින් ද?
මේකට සම්බන්ධ වුණේ සුළු පිරිසක්.මේ වගේ ප්‍රශ්න ඇති කරන අය ඕනම ජාතියක ඉන්න පුළුවන්. කැලෑවේ ඉඳලා එන අලියෙක් වගා බිමකට ඇතුළු වෙලා ඒක විනාශ කරලා ඉර පායන්න කලින් කැලේට රිංගනවා. අපි මොකද කරන්නේ පහුවදාට හැම අලියටම බනිනවා.ඇත්තටම එක අලියයි වගාවට හානි කළේ. ඒත් ඔක්කොම අලින් ඒකට වග කියන්න ඕන වගේ කියලා තමයි අපි බනින්නේ.හැම මුස්ලිම් ජාතිකයාටම ඇඟිල්ල දිගු කිරීම හොඳ නැහැ
මුස්ලිම් ජනතාව අතරින් මේකට සම්බන්ධ වුණේ ඉතා සුළු පිරිසක්. අපි ඒක අල්ල ගෙන හැම මුස්ලිම් ජාතිකයාටම ඇඟිල්ල දික් කිරීම හොඳ නැහැ.මේකෙන් සිද්ද වෙන්නේ ඒ අය අපෙන් තවත් ඈත් වීම විතරයි.
මෙහිදී දේශපාලනඥයින්ට පැවරෙන වගකීම ගැනකතා කළොත්?
අද මේ රටේ සාමය, සමඟිය, සහජීවනය ගැන සමුළු පවත්වමින් කතා කරන්න වෙලා. ඒ තරමට මේවා අපේ සමාජයෙන් දැන් ඈත් වෙලා. තමන්ගේ ජාතියට, තමන්ගේ ආගමට, තමන්ගේ භාෂාවට ගරු කරන්න එදා සිව් හෙළේ ජනතාව පියවර ගත්තා. අද ඒ සියල්ල අපෙන් ඈත් වෙලා. අපේ හදවතේ ලේවලට ඒ ආගමට, දහමට ඇති ආදරය කාවැදිලා තිබුණා. අපේ පැරණි රජවරු ආගමට, ජාතියට වගේම පරිසරයටත් ගරු කළා. බින්තැන්නේ සිට ඉඟිනියාගල දක්වා ඖෂධ උයනක් බුද්ධදාස රජු ඇති කළා. අදත් ඒක තිබෙනවා. මේ රට එක තැනකට ගේන්න නම් මේ බෙදීම් නැති කර ගන්න ඕන. බෙදෙන්න පුළුවන් හැම විදිහටම ජනතාව බෙදිලා ඉන්නේ. දේශපාලනඥයින්ද මේකට වග කියන්න ඕන.තාමත් අපේ පාලකයින් අවුල් වූ නූල් බෝලය ලිහා ගන්නේ කොහොමද කියලා කල්පනා කරන බවක් පේන්න නැහැ.
ඡායාරූප හිමිකම: http://www.srilankanindigenous.com
This article was originally published on the catamaran.com