අදහස් ප්‍රකාශ කිරීම අයිතියකි, එය වෛරසයක් නොවේ – දෙවන කොටස
අසංක අබේරත්න
විවිධ ආගම් අදහන ප්‍රජාවන් ශ්‍රී ලංකාව තුළ ජීවත් වේ. මෙවැනි තත්ත්වයක් යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට ප්‍රමුකත්වය ලබාදී තිබීම නිසා රජය අයි.සී.සී.පී.ආර් කොන්දේසි ව්‍යවස්ථාව තුළම උල්ලංඝණය කර තිබේ. එමෙන්ම අයිතිවාසිකම් අන්තර්ගත ලියවිලි වල ‘කැමති ආගමක් ඇඳහීම’ පුද්ගල අයිතිවාසිකමක් ලෙස පිළිගෙන තිබුණද කිසිදු ආගමක් අදහන්නේ නැතිව සිටීමට තිබෙන නිදහස හෝ අයිතිය පිළිබඳව මේ එකදු ලියවිල්ලකවත් සඳහන් නොවේ. එහෙත් රජය විසින් ප්‍රමුඛත්වය ලබාදෙන ආගම, ජාතිය විවේචනය කළ විට ඉහත සම්මුතිය අවභාවිත කරමින් දඩුවම් කරයි. Daily Mirror පුවත්පතේ පළවූ “From Islamic Terrorism to Sinhala Buddhist Violence” ලිපිය මගින් කතෘ කුසල් පෙරේරා ජාතිවාදී හා ආගමික වෛරයට තුඩුදෙන ආකාරයේ ප්‍රචාරයන්වල නිරත වන්නේ යැයි පවසමින් ඔහුව අත්අඩංගුවට ගැනීම, “අර්ධ” නම් කෙfටිකතාව තහනම් කරමින් ශක්තික සත්කුමාර අත්අඩංගුවට ගැනීම හා මාලක දේවප්‍රියගේ “කනට පහරක්” ගුවන්විදුලි වැඩසටහන වාරණය කිරීම, “බුදුන්ගේ රස්තියාදුව” කෘතිය තහනම් කිරීම අදහස් පල කිරීමේ නිදහස් අයිතිය මර්දනය කිරීම පිළිබඳ මෑතකාලීන උදාහරණ වේ. වාචික, ලිඛිත, කලාත්මක, දෘශ්‍ය හෝ ඉලෙක්ට්‍රොනික සන්නිවේදනයකින් සම්ප්‍රේෂණය වන කිසියම් ප්‍රකාශනයක්, මතයක් හෝ තොරතුරක් සඳහා පූර්ව වාරණය, සෘජු හෝ වක්‍ර මැදිහත්වීම හෝ පීඩනය නීතියෙන් තහනම් කළ යුතුය. අදහස් හා මතයන් නිදහස්ව සංසරණය වීම සීමා කිරීම මෙන්ම තොරතුරු අත්තනෝමතික ලෙස පැටවීම සහ තොරතුරුවල ගලායාම අවහිර කිරීම නිසා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස් අයිතිය උල්ලංඝණය වේ. එබැවින් අප හෙළා දැකිය යුත්තේ ජාතිය සහ ආගම මත පදනම්ව රජය විසින් පවත්වාගෙන යන ප්‍රජාවන් කොන්කිරීමේ ප්‍රතිපත්තිය හා දේශපාලන වැඩපිළිවෙළ මිස එය පවත්වාගෙන යන ආණ්ඩුවට එරෙහිව සිදු කරන විවේචනය නොවේ.
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස් අයිතිය ශ්‍රි ලංකාව තුළ දීර්ඝ කාලයක සිට විටින්විට මර්දනයට යටත්කර තිබේ. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මැඩපැවැත්වීමට යොදාගත් ප්‍රධානම උපක්‍රමය වූයේ සුදු වෑන් පැහැරගැනීම්, අතුරුදහන් කිරීම් සහ අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීමයි. මාධ්‍යවේදීන්ට පහර දීම, වාර්තා කිරීමට බාධා කිරීම, පරිවර්තකයන් නොමැතිව ප්‍රශ්න කිරීම මෙන්ම මානව හිමිකම් ආරක්ෂා කරන්නන් සම්බන්ධයෙන් නොරුස්සන සුලු ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම මේ වනවිටත් සිදුවෙමින් ඇත. මාධ්‍යවේදීන් ඉලක්ක කර ගැනීමේදී පුවත්පත් සහ පත්‍රිකා බෙදාහරින පුද්ගලයින්ද ඇතුළත් වේ. මෙමගින් බිය ගැන්වීම හා අවනත කර ගැනීමේ බල ව්‍යූහයක් නිර්මාණය කිරීම මගින් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය දේශපාලන වුවමනාවන්ට අනුව හැසිරවීමට ආණ්ඩුව උත්සාහ දරයි. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා කිරීම සාධාරනීකරණය කිරීම සඳහා රජය භාවිත කළ මූලික නෛතික ලියවිල්ල වන්නේ 1978 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතයි. එහෙත් සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ක්‍රියාකාරිත්වය සඳහා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, තොරතුරු නිදහස සහ මාධ්‍ය නිදහස අඛණ්ඩව පැවතිය යුතුය. වසංගතයට ප්‍රතිචාර දැක්වීමේදී අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, තොරතුරු ලබා ගැනීමේ අයිතිය සහ ලෝකයේ බොහෝ රටවල පෞද්ගලිකත්වයට ඇති අයිතියට අගුලු වැටී ඇත. හදිසි අවස්ථා ප්‍රකාශයට පත්කිරීමේදී බොහෝ රාජ්‍යයන් විසින් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඇතුළු මූලික අයිතිවාසිකම් බරපතල ලෙස සීමා කර තිබේ.
සත්‍ය සහ විද්‍යාත්මක තොරතුරු ගලායාම නැවතුනහොත්?
ප්‍රජා සෞඛ්‍ය අවදානම පිළිබඳ කාලෝචිත තොරතුරු සැපයීම වසංගතයට ප්‍රතිචාර දැක්වීමේදී තීරණාත්මක අංගයකි. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, මාධ්‍ය නිදහස, තොරතුරු දැන ගැනීමේ අයිතිය වසංගත පාලනය සඳහා අත්‍යවශ්‍ය වේ. වසංගතය තුළ අදහස් සහ තොරතුරු හුවමාරු කර ගැනීම විශේෂයෙන් වැදගත් වන්නේ නිවැරදි දත්ත නොමැතිව වෛරසයෙන් ආරක්ෂා විය නොහැකි නිසාය. වෛරසය මර්දනය කිරීමට fඖෂධ සහ එන්නත් නිපදවීම සඳහා විද්‍යාත්මක දත්ත සහ වසංගතය පිළිබඳ තොරතුරු අවශ්‍ය වේ. සත්‍ය තොරතුරු සහ විද්‍යාත්මක දත්ත වලින් තොරව වෛරසයට සාර්ථක එන්නතක් නිපදවිය නොහැකිය. වසංගත තත්ත්වය තුළ සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම වුව කළ හැක්කේ නිවැරදි තොරතුරු ඇත්නම් පමණි. එහෙත්, අධිකාරීවාදී පාලන තන්ත්‍ර සත්‍යය සහ වැදගත් තොරතුරු විකෘති කරයි. ඔවුන් පෞද්ගලික විශ්වාසයන් හා මිථ්‍යා විසඳුම් මත විශ්වාසය තබමින් කටයුතු කරයි. එබැවින් තොරතුරු අයිතිය පමණක් තව දුරටත් ප්‍රමාණවත් නොවන අතර නිවැරදි හා විශ්වසනීය තොරතුරු තෝරා ගැනීමට නිදහස් අවකාශයක් තිබීම ද වැදගත් වේ. අවම වශයෙන් වසංගත තුළ හෝ ජනතාව තමන්ගේ දේශපාලකයන් පිළිබඳව තිබෙන සම්ප්‍රදායික විශ්වාසයෙන් බැහැර විය යුතුය. වසංගත රෝග පිළිබඳ විශේෂඥයින්ට සවන්දීම වඩාත් නුවනට හුරු බව ජනතාව අවබෝධ කරගත යුතුය. සත්‍ය සහ විද්‍යාත්මක තොරතුරු ගලායාම නැවතුනහොත් වෛරසයට නිදහසේ ව්‍යාප්තවිය හැකිය. එය වඩාත් භයානක බැවින් අප සතුරුකම් කළ යුත්තේ වෛරසයට මිස වසංගතයේ අගුලු මත සිට අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස් අයිතියට නොවේ. ආණ්ඩුවේ තර්කය නම් විවේචනයට ඉඩ දීමෙන් රජය කෙරෙහි ඇති විශ්වාසය නැති වී යන අතර එවැනි විශ්වාසයක් නැතිවීම වෛරසයට වඩා භයානක දේශපාලන කුණාටුවක් විය හැකි බවයි.
පුද්ගලයන්ට ආණ්ඩු විවේචනය කිරීම තහනම් නම් වෛරසයට දක්වන ප්‍රතිචාර ජන ජීවිතවලට බලපාන්නේ කෙසේද යන්න නිවැරදිව හඳුනාගත නොහැක. කොවිඩ් පාලනය තුළ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට අදාළ ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන් සපුරාලීමට බොහෝ රාජ්‍යයන්ගේ අසමත්කම පිළිබඳව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ප්‍රකාශයට පත්කළ ‘අදහස් හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම පිළිබඳ විශේෂ වාර්තාව’ (2020) තුළ අවධානය යොමුකර තිබේ. සමහර රජයන් සෑම විටම ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට අනුකූල නොවී, වැරදි තොරතුරු වලට එරෙහිව සටන් කිරීම සඳහා නීති සම්මත කර ඇත. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට එල්ලවන නීතිමය අභියෝගයන්ට ප්‍රතිචාර ලෙස යුනෙස්කෝ විසින් ජාතික හා ප්‍රාදේශීය මට්ටමින් විනිසුරුවන් සහ උසාවි සඳහා මාර්ගෝපදේශ නිකුත් කර තිබේ. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා මානව හිමිකම් ප්‍රමිතීන්ගේ න්‍යායත්මක රාමු ක්‍රියාත්මක කිරීමට එමගින් මාර්ගෝපදේශ සපයා ඇත. එමෙන්ම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ප්‍රවර්ධනය කිරීමට නීතිමය ප්‍රතිපාදන පමණක් ප්‍රමාණවත් නොවේ. වඩාත් වැදගත්ම දෙයනම් වෙනස් අදහස් ඉවසීමට හා නිදහස් මතවාදවලට ගරු කිරීමට පුද්ගලයන් ලෙස පුරුදු වීමයි. භෞතික විද්‍යාඥයකු වූ Albert Einsteinවරක් මෙසේ පැවසීය, “සෑම මිනිසෙකුම තම අදහස් බලපෑමකින් තොරව ඉදිරිපත් කිරීමට නම්, මුළු ජනගහනය තුළම ඉවසීමේ හැඟීමක් තිබිය යුතුය”.