අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් දේශපාලන

අගමැතිකම ජාතික ලයිස්තුවට අකැප නැත

අරුණ ලක්ෂ්මන් ප්‍රනන්දු

හිටපු අගමැතිවරයෙක් වු රනිල් වික්‍රමසිංහ මහතා යලිත් වරක් එම ධුරයට පත්ව සිටී. ඔහු මීට පෙර පස් වරක් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධූරය හොබවා ඇත්තෙකි. එහෙත් ඒ සැම අවස්ථාවකම ඔහු පාර්ලිමේන්තුව නියෝජනය කළේ මැතිවරණයකින් ජයගත් මන්ත්‍රිවරයෙකු ලෙසිනි. මෙවර ඔහු අගමැති ලෙස පත්වනුයේ මැතිවරණයක් ජයගෙන පාර්ලිමේන්තුවට පිවිසි මන්ත්‍රීවරයෙක් ලෙස නොව 2019 වසරේ පැවති මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට හිමිවූ එකම ජාතික ලයිස්තු අසුන නියෝජනය කරනා මන්ත්‍රීවරයා ලෙසිනි. ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි අයෙක් අගමැති ධූරයට පත්වීම පිළිබඳ මේ මොහොතේ සමජයේ විවිධ මත සාකච්චාවට ලක්වෙමින් පවති. එහෙත් මහජන චන්දයෙන් නොතේරී පත්කළ මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුවට පිවිස ශ්‍රී ලංකාවේ අගමැති ධූරයට පත් මුල්ම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ නොවනා බව බොහෝ දෙනා හිතා මතා අමතක කරමින් සිටී.

ලංකා පාර්ලිමේන්තුවේ ඉතිහාසය විමසා බැලීමේදී මැතිවරණකට තරග නොකරන ලද කෙනෙකුට පාර්ලිමේන්තුවට පත්විය හැකි ක්‍රමයක් අතීතයේ සිටම ලංකාවේ තිබී ඇති බව පැහැදිළිව දැක ගත හැක.  බ්‍රිතාන්‍ය ලංකාවට සීමිත චන්ද බලය හඳුන්වා දුන් 1910 කෲ මැකලම් කොමිසම මගින්ද ආණ්ඩුකාරවරයාට ව්‍යවස්ථාදායක සභාවට නියෝජිතයන් පත් කිරීමේ අවස්ථාව හිමිවිය. ඔවුන්ද පත්කළ මත්ත්‍රීවරුන් වෙයි. විටෙන් විට විවිධාකාර පදනම් සමග මෙලෙස ආණ්ඩුකාරයා පාර්ලිමේන්තුවට නියෝජිතයන් පත් කිරීම සිදු විය. සෝල්බරි කොමිෂන් සභාව විසින් 1947 දී පිහිටුවන ලද පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලයට (සෙනට්) මන්ත්‍රිවරුන් පත්වූයේද සෘජු පත් කිරීම් ලෙසිනි.  එම සෙනට් සභවට 1960 ජූලි පත්වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය මහජන චන්දයෙන් පත් නොවී පත්කළ මන්ත්‍රී වරියක ලෙස පාර්ලිමේන්තුවට පත්ව ලංකාවේ පමණක් නොව ලෝකයේ මුල්ම අගමැතිනිය වූවය. ඒ අනුව ලෝකයේ ප්‍රථම අගමැතිවරියටද චන්දපදනමක් නැතැයි කෙනෙකුට තර්ක කළ හැක. නමුත් එය සාධාරන නොවේ. මන්දයත් සෙනට් මන්ත්‍රීවරයෙකුට අගමැති ධූරය දරීමට නෛතික බාධාවක් සෝල්බරි ව්‍යවස්තාවේ නොතිබුන බැවිනි.

කෙසේ වෙතත් 1972 මැයි 22 වැනි දින ශ්‍රී ලංකාවේ නව ජනරජ ව්‍යවස්ථාව සම්මත කිරීමට පෙර සෝල්බරි ව්‍යවස්ථාවට 8 වෙනි සංශෝදනය ගෙන එමින් 1971 ඔක්තෝබර් 2 දින ලංකාවේ සෙනට් සභාව සිරිමා බණ්ඩාරනායක රජය අහෝසි කරන ලදි. ඉන් අනතුරුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට නැවතත්  මැතිවරණයක් ජය නොගෙන කෙනෙකුට පත්වීමට අවස්ථාව හිමිවනුයේ දෙවෙනි ජනරජ ව්‍යවස්ථාව වන 1978 ව්‍යවස්ථාව මගිනි. ඒ 1989 පාර්ලිමේන්තු මැතිවරණයෙදීය . එම මන්ත්‍රී වරුන් ජාතික ලයිස්තු මන්ත්‍රී වරුන් ලෙස හැන්දින්වූ අතර රනිල් වික්‍රමසිංහ 2020 මැතිවරණයේන් පරාජයට පත්වුවද පාර්ලිමේන්තුවට පත්වනුයේ එකී ජාතික ලයිස්තුව නියෝජනය කරමිනි.

සෙනට් මන්ත්‍රීවරියක ලෙස පාර්ලිමේන්තුවට පිවිස ලංකාවේ පමණක් නොව ලෝකයේ මුල්ම අගමැතිනිය බවට පත්වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ජාතික  ලයිස්තු මන්ත්‍රීවරියක ලෙස පාර්ලිමේන්තුවට පිවිස 1994 – 2000 කාලයේ ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධූරය හොබවනු ලැබූවාය. ඒ අනුව  ඇය වරක් නොව දෙවරක්ම මැතිවරණයකින් තේරී පත්නොවී ශ්‍රි ලංකාවේ අග්‍රාමාත්‍ය ධූරය හෙබවූ බව අප අමතක නොකළ යුතුය.   ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසි රත්නසිරි වික්‍රමණායක 2005 වසරේ ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත් විය. එවර ඔහුටද අද බොහෝදෙනෙක් තර්ක කරනා ජන වරමක් තිබුනේ නැත. මැතිවරණයකට මුහුන නොදී ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට 2010 වසරේ පිවිසි දි.මු ජයරත්නද 2015 වසරේ ජනවාරි 8 වැනිදා තෙක් ශ්‍රී ලංකාවේ අගමති ධූරය දැරුවේය. ඔහුටද මෙ කියනා ජනාතා වරම තිබුනේ නැත. පුදුමය නම් කිසිම අවස්ථාවක කිසිවෙක් විසින් හෝ මෙම අගමැතිවරුන් සහ අගමැතිවරියගේ සුජාත බව හෝ අග්‍රාමාත්‍ය ධූරය දැරීමට ඇති සුදුසුකම් ප්‍රශ්ණ කළේ නැත.

 අප සලකා බලිය යුතු අනෙක් වැදගත් කරුන වනුයේ ජාතික ලයිස්තුවේ අරමුණය. තරගකාරී පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත්ව ජයගත නොහැකි උගතුන්, විවිධ විෂයන් පිළිබඳ ප්‍රාමාණිකයන්ට පාර්ලිමේන්තුවේ දොර විවෘත කිරීම ජාතික ලයිස්තුව හඳුන්වාදීමේ අරමුණ වෙයි.  උගතුන්ට වෙන්කළ කෝටාවෙන් පාර්ලිමෙන්තුවට පිවිසෙන මන්ත්‍රීවරයෙකුට මැතිවරණය ජයනොගත් නිසා  අගමැතිධූරයට පත්විය නොහැකියයි පැවසීම උගතුනට කරනා  අවමානයක් නොවන්නේද. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මෙන්ම අපේ ජනබල පක්ෂයේ එකම ජාතික ලයිස්තු අසුන නියෝජනය කරනා මැතිවරණයට තරග කොට පරාජයට පත් අතුරලියෙ රතන හිමිටද අගමැති ධූරයට පත්වීමට නෛතික බාධාවන් නැත.

ජාතික ලයිස්තු මන්ත්‍රිධූර හඳුන්වා දුන් 78 ව්‍යවස්ථාවේ කිසිදු ප්‍රතිපාදනයක ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණෙන මන්ත්‍රීවරයෙකුට අගමැති ධූරය දැරීමට නොහැකි බවට සඳහන් කර නැත. පාර්ලිමේන්තුවට පිවිසෙන ජාතික ලයිස්තු මන්ත්‍රීවරුනට කැබිනට් අමාත්‍යධූර, රාජ්‍ය අමාත්‍යධූර , නියෝජ්‍ය කතා නායක ධූර මෙන්ම පාර්ලිමේන්තු කමිටුවල නිළතළ දැරීමට නෛතික බාධවක් නැත. එවන් පසුබිමකදී අග්‍රාමාත්‍ය ධූරය දැරීමට පමණක් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය බාධාවක් කර ගැනිම පදනම් විරහිතය. සීරිමා බණ්ඩාරනායක, රත්නසිරි වික්‍රමනායක, දී.මූ ජයරත්න තිදෙනා පාර්ලිමේන්තු මැතිවරණයට තරග නොකොට සෘජුවම ජාතික ලයිස්තුවෙන් පත්වූවන් බවත්, රනිල් වික්‍රමසිංහ මැතිවරණයට තරග කොට පරාජය වීමෙන් පසු ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වූ අයෙක් බවත් කෙනෙකුට මෙතනදී තර්කයක් නැගිය හැක. එහෙත් එලෙස මතිවරණය පැරදී ජාතික ලයිස්තුවෙන් පාර්ලිමෙන්තුවට ගොස් තනතුරු දරණා මුල්ම තැනැත්තා රනිල් වික්‍රමසිංහ නොවේ. 2015 වසරේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධූරය දැරූ තිලංග සුමතිපාලද මැතිවරණයට තරග කොට පරාජය වීමෙන් පසු හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන විසින් ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තවට ගෙන ආ අයෙකි. මැතිවරණය පැරදුන අපේක්ෂකයන් පාර්ලිමේන්තුවට පත්වීම දේශපාලන සදාචාරය සම්බන්ධ ගැටළුවක් විය හැක. එහෙත් ජාතික ලයිස්තු මන්ත්‍රීවරුනට තනතුරු දැරීමට ඇති අයිතියට එමගින් බාධාවක් ඇති නොවේ.වඩා වැදගත් වනුයේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමින් ඔහු හෝ ඇය මහජනතාවගේ සුබ සිද්ධිය උදෙසා කරනු ලබන කාර්‍යභාරයයි.

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts