‘හරිත කාන්තාර’ වෙනුවට පරිසර හිතකාමී විකල්පයක්
ඉන්දු පෙරේරා
අපේ අතීත ගැමියෝ වර්ෂාපතනය වැනි ස්වභාවික සංසිද්ධීන් තමන්ට ආවේණික රටාවකට මැනවින් හඳුනාගෙන සිටියහ. යල් වැස්ස, මහ වැස්ස, අක් වැස්ස, කඳන් පළන වැස්ස, ඉල් වැස්ස ආදී වශයෙන් ඔවුන් එම වැහි වර්ගීකරණයකටද ලක් කරගෙන තිබිණි. සංචාරක කුරුල්ලකු වන අවිච්චියා මෙරටට පැමිණ නාද කරන විට ‘ඔන්න අවිච්චියත් ඇඬුවා’ යැයි ගැමියන් කියන්නේ ‘හෙට අනිද්දම වැස්ස පටන් ගනී’ යන්න ව්යගාර්ථයෙන් හැඟවීමටය. දයානන්ද ගුණවර්ධනයන්ගේ ‘බක්මහ දීගේ’ වේදිකා නාට්‍යයේ මෙන්ම එම චිත්රපටයෙහි ද එන
‘බක්මහටයි ගොඩ වැස්ස වහින්නේ’ ගීතය ඔබටත් මතක ඇතැයි සිතමු. අප්‍රේල් මැයි මාසවල තදින් ඇද හැලෙන අන්තර් මෝසම් වැස්ස පැරැන්නන් හැඳින්වූයේ ගොඩ වැස්ස ලෙසිනි.
නමුත් දැන් ඒ සියල්ල වෙනස් වී, පායන කාලයට වහින බවත්, වහින කාලයට පායන බවත්, මේ සියලු ව්‍යසනයන්ට හේතුව පරිසරය විනාශ කිරීම ඇතුළු මිනිසුන්ගේ වැරදි ක්‍රියාකාරකම් නිසා සොබාදහම කුපිත වීම බවත් පවසන්නේද මිනිසුන්මය. මෙයට එකඟ වීම හෝ ඊට එරෙහි වීම මෙහිදී මගේ උත්සාහය නොවේ. නමුත් මිනිසුන් විවිධාකාරයෙන් පරිසරය විනාශ කරන බව නම් අප පිළිගත යුතුය. ලෝකයේ සෑම පැයකටම වැසි වනාන්තර අක්කර 6000ක් විනාශ කරන බව ගණනය කර ඇත. අපි ලෝකය ගැන කතා කිරීම පසුවට තබා, අපේ රට ගැන අවධානය යොමු කරමු.
වනය වැනසුණු හැටි
ඉංග්‍රීසීන්ගේ පාලන සමයේ, එනම් 1881 වන විට අපේ රටේ වනාන්තර ආවරණය මුළු භූමි ප්‍රමාණයෙන් 84%ක් විය. නමුත් ඉංග්‍රීසීන් මුලදී කෝපි වගාව සඳහාත්, පසුව තේ වගාව සඳහාත් තෙත් කලාපයේ වනාන්තර ශීඝ්‍රයෙන් එළිපෙහෙළි කිරීම හේතුවෙන් 1900 වසර වන විට එම ප්‍රතිශතය 70%ක් දක්වා පහළ බැස තිබිණි. දිගින් දිගටම මෙය පහළ බැස ගොස් 1956 – 1961 සිදු කරන ලද සමීක්ෂණයන්ට අනුව එවකට මෙරට වන ආවරණය 44.2%ක් බව හඳුනා ගැනිණි. එය හෙක්ටයාරවලින් ගතහොත් 28,98,482කි.
මෙරට දෙවන වනාන්තර සමීක්ෂණය සිදු වූයේ 1982 – 85 වසරවල ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය මගින් වනාන්තර මහ සැලැස්ම සකස් කිරීම සඳහාය. එම සමීක්ෂණයට අනුව ඒ වන විට අපේ රටේ වන ආවරණය 37.5% දක්වා පහළ බැස තිබිණි. එම ප්‍රමාණය හෙක්ටයාර් 24,58,250 කි.
ඉන් පසු ලෙග් හා ජුවෙල් විසින් සකස් කරන ලද සිතියම් අනුසාරයෙන්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සකස් කළ පරිපාලන වාර්තාවලට අනුව 1992 වන විට ලංකාවේ වන ආවරණය 31.2% ක් විණි. එය හෙක්ටයාර 20,46,599කි. එම වාර්තාවට අනුව තෙත් කලාපයේ වනාන්තර ප්‍රමාණය හෙක්ටයාර 2,13,495ක් විය. එය ප්‍රතිශතයක් ලෙස 3.23%කි. මේ තත්ත්වය තවත් අඩු වී ගොස්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ 1996 වාර්තාවලට අනුව එවකට මෙරට වන ආවරණය හෙක්ටයාර 19,42,219 ක් වී තිබිණි. එය 1992 දී 31.2 %ක් වූ ප්‍රතිශතය 29.6% දක්වා පහළ බැසීමකි.
2010 වසරේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අවසන් වරට සිදු කළ වන ආවරණය පිළිබඳ අධ්‍යයන වාර්තාවලට අනුව ලංකාවේ වන ආවරණය 29.7%ක් (හෙක්ටයාර 19,51,472) බව දක්වා ඇත. නමුත් මෙමගින් වන වැස්මෙහි ප්‍රතිශතය පිළිබඳව නිවැරදි සංසන්දනාත්මක අවබෝධයක් ලබා ගත නොහැකි වී තිබෙන්නේ මෙම අධ්‍යයන, වනාන්තර සහ වනාන්තර දර්ශක පිළිබඳව එක් නිර්ණායකයක් මත පදනම්ව සිදු කර නොමැති නිසා ය.
අපේ රටේ වැසි වනාන්තර ආකාර තුනකින් පවතී. ඒ පහත රට වැසි වනාන්තර, උප කඳුකර වැසි වනාන්තර, ඉහළ කඳුකර වැසි වනාන්තර වශයෙනි. මීට වසර 13කට පෙර එනම්, 2010 සංඛ්‍යාලේඛනවලට අනුව පහතරට වැසි වනාන්තර හෙක්ටයාර 1,23,302( 1.9%)ක් ද, උප කඳුකර වැසි වනාන්තර හෙක්ටයාර 28,513 (0.4%)ක් ද, ඉහළ කඳුකර වැසි වනාන්තර හෙක්ටයාර 44,758 (0.7%)ක් ද විය. නමුත් අද වන විට මේ තත්ත්වය මීට වඩා පහළ අගයක් ගනී. එයට හේතුව තේ වැනි වාණිජ වගා බිම් ව්‍යාප්ත කිරීම සඳහා සැලකිය යුතු තරමේ වැසි වනාන්තර ප්‍රමාණයක් කපා හෙළි කර තිබීමය.
පණ රකින වැසි වනාන්තර
අපේ රටේ වැඩිම වර්ෂාපතනයක් ලැබෙන්නේ තෙත් කලාපයටයි. මෙලෙස වනාන්තර කපා එළි පෙහෙළි කිරීම හේතුවෙන් තෙත් කලාපයේ ජලය රඳවා ගන්නා ජල පෝෂක බිම් අහිමි වී යාම නිසා වැසි වනාන්තර තුළ ජීවත්වන ඉතාමත් දුර්ලභ ජීවී විශේෂයන්ගේ පැවැත්මට දරුණු අහිතකර බලපෑම් එල්ල වී තිබේ. මෙරට දැනට ඉතිරි වී ඇති ඉතාමත් ස්වල්ප වූ වැසි වනාන්තර තුළ මෙරටට ආවේණික ජීවී විශේෂ අතුරින් 90%ක් පමණ ම ජීවත් වේ. දරුණු ලෙස වඳවීමේ තර්ජනයට මුහුණ දී ඇති ජීවී විශේෂ අතුරින් ද 99%ක් ම දිවි ගෙවන්නේ මෙම වැසි වනාන්තර තුළය.
ලෝකයේම නිවර්තන වැසි වනාන්තර ඉතිරි වී ඇත්තේ හෙක්ටයාර බිලියන 1.84ක් බව පරිසරවේදීහු දක්වති. පෘථිවියේ සමස්ත භූමි ප්‍රමාණය ගැන බලන විට එය 12%ක් පමණ වේ. ලෝකයේ වැසි වනාන්තර ව්‍යාප්ත වී ඇත්තේ දකුණු ඇමරිකාව, කැරිබියන් දූපත්, මධ්‍යම අප්‍රිකාව, මැඩගස්කරය, ඉන්දියාව, ශ්‍රී ලංකාව, නැගෙනහිර හා අග්නිදිග ආසියාව, නිව්ගිනියාව සහ පැසිෆික් දූපත්වල පමණි. භෞමික ජීවීන්ගෙන් 50%ක් මෙම වනාන්තර තුළ ජීවත් වන අතර ලෝකයේ හඳුනාගෙන ඇති ජීවීන් ගෙන් 75%ක් පමණ ම වැසි වනාන්තරවලට ආවේණිකය. එසේම ලෝකයේ මෙතෙක් හඳුනාගෙන ඇති සත්ව විශේෂ අතුරින් 50%ක් වැසි වනාන්තර තුළ ජීවත්වන බව සොයාගෙන තිබේ. එපමණක් නොව සපුෂ්ප ශාක අතරින් 2/3ක්, ස්වභාවික ඖෂධවලින් 1/4ක් සොයාගෙන තිබෙන්නේ මෙම වනාන්තරවලිනි. මේ වනාන්තර තුළ අවම වශයෙන් කාබන් මෙට්‍රික් ටොන් බිලියන 250ක් ගබඩා කර තබනු ඇතැයි යන්න ද පරිසරවේදීහු වාර්තා කරති.
නමුත් ලෝකයේ දැව ලබාගැනීම සඳහාත්, කටු පොල් වැනි වාණිජ වගාවන් ව්‍යාප්ත කිරීම සඳහාත් නිරන්තරයෙන් වනය එළි පෙහෙළි කිරීම සිදු වේ. අපේ රට ගැන සලකන විට වැඩිම ප්‍රමාණයක් වැසි වනාන්තර ඉවත් කරනු ලබන්නේ තේ වගා බිම් ව්‍යාප්ත කිරීම සඳහාය. 1992 – 2010 දක්වා ගත වූ වසර 18 තුළ දී තෙත් කලාපීය වනාන්තර හෙක්ටයාර 16,922ක් කපා ඉවත් කර ඇත. මෙම 2023 වසර වන විට එය තවත් කිහිප ගුණයකින් ඉහළ ගොස් ඇති අතර මෙයට ප්‍රධාන හේතුව තේ වගා බිම් ඇති කිරීමය.
හරිත කාන්තාරකරණයේ ඇරඹුම
දේශීය නොවන වාණිජ වගාවන් මෙරට ස්ථාපිත කිරීම ආරම්භ වන්නේ බ්‍රිතාන්‍ය යටත් යටත් විජිත යුගයේදීය. ඒ මුලින්ම කෝපි සහ දෙවනුව තේ වගාවෙනි. නමුත් කෝපි වගාව මුලින්ම මෙරටට හඳුන්වා දුන්නේ වසර 1740 දී ලන්දේසීන් ය. ඉංග්‍රීසීන් අපේ රට යටත් විජිතයක් බවට පත්කර ගැනීමෙන් පසු ඔවුන් විසින් කෝල්බෲක් – කැමරන් ප්‍රතිසංස්කරණ කොමිසම ගෙන ඒමෙන් පසු මහා පරිමාණ වාණිජ වගාවක් ලෙස කෝපි වගාව මෙරට ස්ථාපිත කෙරිණි. මේ සඳහා කඳුකරයේ වනාන්තර විශාල වශයෙන් එළිපෙහෙළි කිරීම සිදු විය. අලි ඇතුන් ජීවත් වූ තෙත් කඳුකර වනාන්තර මෙලෙස කපා දමමින් එම සතුන් තෙත් කලාපයෙන් වඳ කර කෝපි වගාව ස්ථාපිත කර ඇති බවට ඉතිහාසය සාක්ෂි දරයි. ඒ අනුව වර්ෂ 1860 වන විට අපේ රට ලෝකයේ කෝපි නිෂ්පාදනය කරන ප්‍රධාන රටවල් අතරට එක් වී තිබිණි. මෙරට කෝපි වගාව කොතෙක් ව්‍යාප්ත වී තිබුණේ දැයි කිවහොත් වසර 1870 දී අපේ රටේ කෝපි වගාව ප්‍රමාණයෙන් අක්කර 275,000ක් පුරා පැවති බව සඳහන් ය. පසුව කෝපි වගාවට දිලීර රෝගයක් හේතුවෙන් ශීඝ්‍රයෙන් මෙම වගා බිම් විනාශ වන්නට විය.
මේ අතර 1867 දී ඉංග්‍රීසි ජාතික ජේම්ස් ටේලර් විසින් මහනුවර ලූල්කඳුර ප්‍රදේශයේ හෙක්ටයාර 8 ක් වූ භූමි භාගයක පළමුව අපේ රටේ තේ වගාව ආරම්භ කෙරිණි. ඉන් පසු 1872 දී අපේ රටේ පළමු තේ කර්මාන්ත ශාලාව ස්ථාපිත කළ ජේම්ස් ටේලර් තේ අපනයනය ආරම්භ කළේ 1873 වසරේදීය. මෙලෙස ආරම්භ කරන ලද අපේ රටේ තේ වගාව අද වන විට කඳුකරයේ සහ පහත රට තෙත් කලාපයේ හෙක්ටයාර 221,969ක් පැතිර පවතී. මුලින් හෙක්ටයාර 8කින් ආරම්භ වූ තේ වගාව අද වන විට මෙතරම් භූමි ප්‍රමාණයක් දක්වා ව්‍යාප්ත කිරීමට නොඉඳුල් කඳුකර, උප කඳුකර හා පහතරට තෙත් කලාපීය වනාන්තර විශාල ප්‍රමාණයක් එළි පෙහෙළි කර තිබේ. අද වන විටත් කඳුකර වනාන්තර සහ පහතරට තෙත් වනාන්තර අඛණ්ඩව එළිපෙහෙළි කරමින් තේ වගාව ව්‍යාප්ත කරමින් පවතින්නේ ඒ සඳහා විශේෂයෙන් විදේශ වෙළඳ පොළෙහි පවතින ඉල්ලුම නිසා ය. ඒ නිසා රක්ෂිත වනාන්තර පවා නීති විරෝධී ලෙස එළි පෙහෙළි කරමින් තේ වගාව ව්‍යාප්ත කිරීම දක්නට ලැබේ.
අපේ රටට විදේශ විනිමය ලැබෙන තේ වගාව ව්‍යාප්ත කිරීම නොකළ යුත්තක් දැයි කෙනෙකු තර්ක කළ හැකිය.
වැසි වනාන්තර හෙළි කරමින් ඇති කරනු ලබන තේ වගා බිම් ‘හරිත පැහැ කාන්තාර’ ලෙස හැඳින්වීම වඩාත් නිවැරදි ය. එක් පැත්තකින් එහි ජීවී විවිධත්වය ඉතා පහළ අගයක් ගනී. අනික් අතට තේ වගාබිම්වලට භාවිත කරනු ලබන අධික කෘෂි රසායන හේතුවෙන් සහ ශාක ස්ථර නොමැති වීමෙන් මෙම වගා බිම් ජීවී විවිධත්වයෙන් අඩු කාන්තාර බවට පරිවර්තනය වේ. මෙලෙස වනාන්තර පද්ධතිය ආශ්‍රිතව තේ වගා බිම් ව්‍යාප්ත කිරීම නිසා හුදෙකලාවූ වනාන්තර කුට්ටි ඇති වේ. එම වනාන්තර කුට්ටි අතර තේ වගා බිම් තුළින් බොහෝ ජීවීන් ගමන් කරන්නේ නැත. මේ නිසා පරිසරවේදීන් වැඩිදුරටත් පවසන්නේ ජීවී ගහනයන් වනාන්තර කුට්ටි තුළ හුදෙකලා කිරීමට ද තේ වගා බිම් හේතු වන බවයි.
විකල්පය කුමක්ද?
මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුත්තක් තිබේ. ඉහත කී තත්ත්වයන් ඇති කිරීම සඳහා ප්‍රධාන වශයෙන්ම දායක වන්නේ වතු සමාගම්වලට සහ මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට අයත් තේ වගා බිම් ය. සුළු පරිමාණ තේ වගා බිම් පවත්වා ගෙන යන ග්‍රාමීය ජනතාව එය බහු බෝග වගා බිමක් ලෙස පවත්වා ගැනීම සාමාන්‍ය ස්වභාවයයි. ඒ අනුව ඔවුන් තේ වගා බිම් තුළ මෙන්ම ඒ වටා ද බොහෝ ශාක වගා කිරීම සිදු වේ. කුරුඳු, කෝපි, ගම්මිරිස්, එනසාල්, කරාබු නැටි, පුවක්, පොල්, වල්ලපට්ටා වැනි වාණිජමය බෝග මෙන්ම ඒ හැරුණු විට කොස්, දෙල්, කෙසෙල්, ගොරකා, කටු අනෝදා, දූරියන් ආදී මෙකී නොකී විවිධ ශාක විශේෂ බොහොමයක් අඩු වැඩි වශයෙන් ඔවුහු තම තේ වගා බිම්වල රෝපණය කරති. කුඩා වගාබිමකින් උපරිම ඵලදායීතාවයක් ලබා ගැනීම ඔවුන්ට ආර්ථික වශයෙන් වාසියක් වේ. අනෙක් අතට තමාට එදිනෙදා අවශ්‍ය ආහාර පහසුවෙන් සපයා ගැනීමට මගකි.
නමුත් මහා පරිමාණ ව්‍යාපාරිකයින්ට සහ වතු සමාගම්වලට මෙවැනි වගාබිම් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් නැත. එසේම තේ පර්යේෂණායතනය විසින් නිර්දේශ කරනු ලබන්නේ ද ඒක භෝග වගාවක් ලෙස තේ වගා බිම් ඇති කිරීම ය. එසේ වුවද පාරිසරික ගොවිතැනේ සංකල්ප සහ කෘෂි වන වගාවේ සංකල්ප පදනම් කරගෙන තේ වගාබිම් ගොඩනැගීමෙන් භූමියේ ඵලදායිතාව වැඩි කර ගත හැකිය. එමගින් ජීවී පද්ධතියක් බවට එය පත් කළ හැකි වෙයි. එවිට තේ වගා බිම්වලින් ආදායම් උත්පාදන මාර්ග රැසක් විවෘත වීම, ආහාර අවශ්‍යතාව සම්පූර්ණ වීම, පාංශු ඛාදනය අවම වීම, බාහිර යෙදවුම් සඳහා යන පිරිවැය අවම වීම තුළින් වැඩි ලාභයක් ලබා ගත හැකි වීම, ජල සුරක්ෂිතතාව ඇති වීම, වනාන්තර කුට්ටි ජාලගත වීම තුළින් වනාන්තර පද්ධති ඇති වීම, කාලගුණික හා දේශගුණික විපර්යාසවලින් ඇතිවන බලපෑම් සහ ආපදා තත්ත්වයන් අවම වීම වැනි ප්රතිලාභ රාශියක් ලබාගත හැකිය. එසේම මෙමගින් හරිත කාන්තාර තත්ත්වයේ පවතින තේ වගාබිම් ස්වභාවිකරණයට ලක්වීම තුළින් ජීවින්ගේ පැවැත්ම ද තහවුරු වනු ඇත. මේ සියලුම ප්රතිලාභ තුළින් අවසානයේ එකම වගාබිමක් තුළ විවිධ ආදායම් උත්පාදන මාර්ග විවර වීම හේතුවෙන් තවදුරටත් වනාන්තර කපා දමමින් සිදුකරන තේ වගා බිම් ව්‍යාප්ත කිරීම නතර කළ හැකිය. ඒ සඳහා වන ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට රජයට බලපෑම් කළ යුතු වෙයි. එසේම මෙමගින් තේ වගාබිම්වල වහල් කම්කරු සේවය වෙනුවට සුළු පරිමාණ නිෂ්පාදකයින් බිහි කිරීමට හැකි වනු ඇත.