සාමය

සුසාන භුමියක ඉදි වු සංහිදියාවේ තිඹිරිගෙය

නිමල් අබේසිංහ

මීරිගම සෝමරත්න මහත්තයා මුම්මාන ගමේ ප්‍රසිද්ධව සිටියේ “මීරිගම මහත්තයා” නම් ගෞරව නාමයෙනි. මුම්මාන ගමෙහි අක්කර ගණනාවක පොල් ඉඩමක් මිලදී ගෙන මුම්මානට පදිංචියට පැමිණි මීරිගම මහත්තයා ගම්වැසි කොයි කාගේත් දුකක් කරදරයකදී ඉදිරිපත්ව නිර්ලෝභීව තම ධනය මෙන් ම ශ්‍රමය ද කැපකරමින් පිහිට වූවෙකි. මුම්මාන ගමෙහි විශේෂත්වයක් වූයේය. ඒ හරි හරියට සිංහල හා මුස්ලිම් ප්‍රජාව ද දිවි ගෙවීමය. එදා පටන් ම සමගියෙන් සහයෝගයෙන් දිවි ගෙවූ මේ දෙපිරිසට ම පැවති බරපතළ ගැටලුවක් වූයේ තමන්ට ම යැයි කියා පොදු සුසාන භූමියක් නොතිබීමය.

මේ ගැටලුවට ද විසඳුම දුන්නේ මීරිගම මහත්තයාය. ඔහු සිය ඉඩමෙන් මේ ජන කොටස් දෙක සඳහා වෙන වෙන ම බිම් කොටස් දෙකක් වෙන් කර සිංහල සහ මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන් ප්‍රදානය කළේය. මෙයින් වසර පනහකටත් ඉහත දී ප්‍රදානය කළ මේ සුසාන භූමි දෙක මුම්මාන ප්‍රධාන මාර්ගය අසබඩ වේ.

මුම්මාන ගමට ප්‍රවේශ මාර්ග දෙකක් වේ. ගිරිඋල්ල කුරුණෑගල මාර්ගයේ දඹදෙණිය නගරය පසු කොට කිලෝ මීටර් දෙකක් පමණ ගියවිට වම් අතට දිවෙන මාර්ගයේ කිලේමීටර් දහයක් පමණ ගොස් මුම්මානට පිවිසිය හැකි එක් මාර්ගයකි. අනෙක් මාර්ගය නාරම්මල කුලියාපිටිය ප්‍රධාන මාර්ගයේ හොරොම්බාව පසුකර මද දුරක් ගියවිට වමට හැරෙන මාර්ගයය. මුම්මාන ජනතාවට සුසාන භූමි දෙක පරිත්‍යාග කළ මීරිගම මහත්තයා නැතිනම් සෝමරත්න මහත්තයා මේ වනවිට ජීවතුන් අතර නැතත්, සුසාන භූමි දෙක ප්‍රදානය කිරීම ඔස්සේ මුම්මානේ සිංහල, මුස්ලිම් ප්‍රජාව අතර ගොඩ නැගුණ සහජීවන මේ මොහොතේ ජාති ආගම් භේදයෙන් වියරු වැටි සිටින මේ ජන කොටස් දෙකටම අපූරු පාඩමක් කියා දෙයි.

පුද්ගලිකව ඇතිවන ගැටුමක් පවා ජාතිවාදි කෝලාහලයකට මුලපිරීමක් කරගන්නා සමාජයක එකම බිමෙහි එක යාවට තිබෙන මේ සුසාන භූමි දෙක මේ ජන කොටස් දෙක කිසිදු ආරෝවකින් තොරව භාවිත කිරීම සංහිඳියාව, සාමය, සමඟිය අගයන මිනිසුන්ගේ දෙනෙතට රසඳුනක් වනවා සේම අපුරු පූර්වාදර්ශයක් වනු ඇත.

ඒ හැර තවත් විශිෂ්ට කර්තව්‍යයක් ද මීරිගම මහත්තයා සිදුකර තිබේ. ඒ ගමට අඩුපාඩුවක් ව තිබූ පාසලක් පිහිටුවීම සඳහා අවශ්‍ය භූමිය ද ඔහු විසින් ම පරිත්‍යාග කර තිබීමය. එදවස සිංහල මුස්ලිම් දෙවර්ගයේ ම දරු දැරිවියන් අධ්‍යාපනය ලැබුවෝ මේ නව පාසලෙනි. වෙනකක් තබා එකල මේ සිප්බිම ගම්මු හඳුන්වනු ලැබුවේ ද “සිංහල මුස්ලිම් ඉස්කෝලේ” යනුවෙන් බව මෙහි පැරැන්නෝ කියති. මේ වන විට ජන කොටස් දෙක වෙනුවෙන් වෙන ම පාසල් පවතින බැවින් එකී  සංහිඳියාවේ අතීත ස්මරණයන් සමග තවමත් බැඳී පවතින සිංහල මුස්ලිම් ජන සංහිඳියාවේ පහන් ටැඹ ලෙස සැලකිය හැකි සුසාන භූමිය දෙසට හැරෙමු. එදවස සිට මුම්මානේ සිංහල මුස්ලිම් ජනයාගේ සහජීවනාත්මක සහසම්බන්ධය ගොඩනැංවීමෙහි ලා මුල්තැන් ගත්තවුන් අතරත් කැපී පෙනෙන්නන් දෙදෙනෙකි. ඒ.ඒ. තිලකරත්න ඉන් එක් අයෙකු වන අතර අනෙකා එම්.ජී.එම්. ලාෆිර්ය.

ඒ කාලෙ සිංහල ද, මුස්ලිම් ද කියල භේදයක් තිබුණෙ ම නෑ. වඳ බෙහෙත් දාපු කොත්තු රොටී ගැන, ඇඳුම් ගැන කොහොමවත් ඒ කාලෙ කතාවක් තිබුණෙ ම නෑ. අපි මුස්ලිම් මඟුල් ගෙවල්, මළ ගෙවල්වලට ආව ගියා. ඒ අයත් එහෙමය. එහෙම භේදයක් තිබුණ නම් මුස්ලිම් අයට අපේ ළමයි යන ඉස්කෝලෙට යන්න දෙනව ද? මීරිගම මහත්තය ඉස්කෝලෙට ඉඩම දුන්නා. වරිච්චි ගහලා පොල්අතු හෙවිල්ලල තමයි ඉස්කෝලෙ පටන් ගත්තේ. ඊට පස්සේ උළු වහල ස්ථිර ගොඩනැගිල්ල හදල දුන්නෙ මුස්ලිම් උදවියනෙ. අදත් ඒ ගොඩනැගිල්ල තිබෙනවා.

කනත්තටත් අපිට අක්කර භාගයයි. මුස්ලිම් අයට අක්කර භාගයයි. සමානව දුන්නා. අපිට ඕනෙ නම් විරුද්ධ වෙන්න තිබුණා. අපි එහෙම කළේ නෑනෙ. අනෙක මීරිගම මහත්තයත් ගොඩාක් කල්පනා කරලා තමයි එක ළඟින්ම අක්කර භාගෙ භාගෙ දුන්නෙ දුරදිග කල්පනා කරලයි. මොකද එක ළඟ සුසාන භූමි දෙක ම තිබෙන නිසා සමහර දවස්වල එක ම දවසෙ සිංහල මුස්ලිම් අවමඟුල් දෙකක් තිබෙන්නෙ පුළුවන්. ඒ වගෙ වෙලාවට වළවල් කපන අය මුල ඉඳන් ම සහයෝගයෙන් වැඩ කරනවා. ආවුද  පවා හුවමාරු කරගන්නව. උදලු, යකඩ වගේ දේවල්. තේ බොන්න ගේන දේවල් පවා එකිනෙකා හුවමාරු කරගෙන භුක්ති විඳිනවා. ඒක අදටත් සිද්ධ වෙන දෙයක්.

තිලකරත්න පවසන කතාව ඇත්තකි. එය ඔවුනොවුන් අතර අන්‍යොන්‍ය සුහදතාව වර්ධනයවීමට සුවිසල් හේතුවක් ද වන්නේය. ගැටලුව වන්නේ මේ නූගත් යැයි සම්මත ගැමියන් අතරේ පවතින සහජීවනය පිළිබඳ සංකල්පයෙන් මහා සමාජයේ වෙසෙන උගත් යැයි සම්මත බොහෝ දෙනා අතර නොතිබීමය. තිලකරත්න වැන්නවුන්ගේ අදහස් උදහස්වලට සවිඥානිකව නොබැලීමය.

මුම්මාන ගම්මානයේ එම්.ජී.එම්. ලාෆීර්ගේ අදහස් මෙන් ම දැක්ම ද තිලකරත්නගේ අදහස් හා සමපාතය. ඔවුන් අතර තවමත් සංහිඳියාවක් පවතින්නේ ඒ නිසා විය යුතුය.

මීරිගම මහත්තයගෙන් සුසාන භූමියට ඉඩමක් ඉල්ලන්න අපේ වැඩිහිටියෝ ගිහින් තියෙන්නෙ සිංහල අයත් එක්කමයි. දෙගොල්ලම එකට ගිහිල්ලයි ඉල්ලීම කළේ. එක තැනින් ම අක්කර භාගෙ භාගෙ දෙන්න තීරණය කළෙත් මීරිගම මහත්තයමයි.

“උඹලට ඉස්කෝලෙකුත් නෑනෙ” කියල ඒකටත් භූමියක් දුන්නෙත් එයාම හිතලයි. 

“මම ඉඩම දෙන්නම්. උඹලා එකතු වෙලා ගොඩනැගිල්ලක් හදා ගනිල්ලා.” එයා එදා එහෙම කියල තියෙනව.

මීරිගම මහත්තයා නම් ඒ අපූරු මිනිසා භූමිය පරිත්‍යාග කර උඹලා ගොඩනැගිල්ල හදාගනිල්ලා යැයි කියන්නට ඇත්තේ මේ ජන කොටස් දෙකෙහි සුහදතාව තව තවත් වැඩි දියුණු වෙනවා දැකීමේ කැමැත්තෙන් විය යුතුය. මීරිගම මහත්තයා වැන්නවුන්ගේ අඩුව අද තව තවත් දැනෙන්නේ ජාතිවාදී විෂබීජ පතුරවමින් මිනිස් සමාජය ගිනි තබන්නට උත්සාහ කරන කුරිරු මිනිසුන් දැකීමෙනි. සතුටට කාරණාව වන්නේ එදා මීරිගම මහතා දැමූ සංහිඳියාවේ පදනම තවදුරටත් පවත්වාගෙන යාමට තවමත් මුම්මානේ මිනිස්සු කටයුතු කරන බැවිනි. එනිසා මේ සුසානයක් නොව සංහිඳියාවේ සහජීවනයේ තිඹිරිගෙයක් නොවන්නේද?

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් කතුවරුන්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts