සාමය

සිංහල බෞද්ධ ජාතිවාදය සහ සංහිඳියාවේ අප්‍රිකානු මොඩලය

අසංක අබේරත්න


සාමය සහ සංහිදියාව පිළිබඳව උනන්දුවන ජාතීන්ට වගේම මුලු මහත් ලෝකයටම

මාර්තු මාසයේ යෙදී තිබෙන අන්තර් ජාතික දින දෙකක් අතිශයින්ම වැදගත් වේ-

පළමුවැන්න නම් සෑම වසරකම මාර්තු 21 දිනට එක්සත් ජාතීන් විසින් පවත්වනු

ලබන වාර්ගික වෙනස්කම් කිරීම තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනයයි (The

International Day for the Elimination of Racial Discrimination).


දෙවැන්න නම් මාර්තු 24 වන දින පවත්වන මානව හිමිකම් උල්ලංගනය කිරීම් සහ

වින්දිතයන්ගේ ගෞරවය පිළිබඳ සත්‍යය සඳහා වූ ජාත්‍යන්තර දිනයයි

(International Day for the Right to the Truth Concerning Gross Human

Rights Violations and for the Dignity of Victims).  අවාසනාවකට මෙන්

වාර්ගික වෙනස්කම් තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනය පිළිබදව ශ්‍රී ලංකාවේ

වත්මන් රජය කිසිදු ආකාරයක පිළිගැනීමක් හෝ ප්‍රතිචාරක් නොදැක්වීය- සත්‍ය

විකෘති කිරීම මිස සත්‍ය දැන ගැනීමේ අයිතිය, වින්දිතයින්ගේ ගෞවුරවය හා

යුක්තිය ඉටු කිරීම, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ නැවත සිදුවීම වලක්වා ගැනීම

සම්බන්ධයෙන් වන වගවීමේ ක්‍රියාවලියේදී ලංකාව අසමත් රාජ්‍යක් බවට නැවත

වරක් පත්ව තිබේ. ශ්‍රී ලංකාව සත්‍යය සෙවීමේ උත්සාහයන් අත්හිටුවා ඇති බවට

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අවධාරණය කර තිබෙන අතර

මහකොමසාරිස් කාර්යාලය විසින් නිකුත් කරන ලද වාර්තාවේ එය පැහැදිළිව

සඳහන්කර තිබේ. කෙසේනමුත් මෙම ලිපිය ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටලුවේ

ඓතිහාසික සංධිස්ථාන නැවත සලකා බලමින් සාමය හා සංහිදියාව පිළිබඳ කථිකාව

පෝෂණය කිරීම වෙනුවෙන් දිග හැරෙන ලිපි මාලාවක ආරම්භයයි.


වාර්ගික වෙනස්කම් කිරීම තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනය


1960දී වර්ණභේදවාදී සම්මත නීතිවලට එරෙහිව, දකුණු අප්‍රිකාවේ ෂාර්ප්විල්හි

පැවති සාමකාමී උද්ගෝෂණයකදී පොලීසිය විසින් වෙඩි තබා විරෝධතාකරුවන් 69

දෙනෙකු ගාතනය කළේය. 1966දී මෙම දිනය ප්‍රකාශයට පත් කරමින් එක්සත්

ජාතීන්ගේ මහා මණ්ඩලය සියලු වර්ගවල වාර්ගික වෙනස්කම් කිරීම් තුරන් කිරීමට

අත්වැල් බැදගන්නා ලෙස ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව දකුණු

අප්‍රිකානු මානව හිමිකම් පිළිබඳ ජාතික දිනය ලෙස මාර්තු 21 නම් කෙරුණි.

දකුණු අප්‍රිකාවේ සාමය සහ සංහිදියාව, වාර්ගික භේදයකින් තොරව සහ සියලු

දෙනාගේ සම අයිතිය වෙනුවෙන් අරගල කළ මානව හිතවාදීන් අනුස්මරණය කිරීම අදට

සිදු කරයි. 1960 මාර්තු 21 වන දින ෂාර්ප්විල් සංහාරය (Sharpeville

Massacre)  අප්‍රිකානුවන් විසින් තවමත් සිහි කරනුයේ නැවත එවැන්නක් සිදු

නොවීමට වගබලා ගැනීමේ අධිශ්ඨානයෙන් යුතුවයි.


සංහිදියාවේ අප්‍රිකානු මොඩලය


නෙල්සන් මැන්ඩෙලා, සාමය සහ සංහිදියාව, ප්‍රජාතන්ත්‍රවාදය, වර්ණභේදවාදය

පිටු දැකීමේ අරගලයට නායකත්වය දුන් නායකයාය- දකුණු අප්‍රිකාව දීර්ඝ කාලයක්

යටත් විජිතයක් ලෙස පැවති අතර එරට සියලු ක්ෂේත්‍ර තුළ සුදු ජාතික පාලකයන්

විසින් ආධිපත්‍යය උසුලන ලදි. සුදු ජාතිකවරුන්ගේ මෙම යටත් විජිත පාලන

ප්‍රතිපත්තිය හේතුවෙන් දකුණු අප්‍රිකාවේ මුල් සම්භයක් සහිත කලු ජාතිකයින්

දැඩි පීඩිතභාවයට හා මර්දනයටත්, අසාධාරණකම්වලටත් ලක්විය. බෙදා වෙන්කිරීමේ

ප්‍රතිපත්තිය හෙවත් වර්ණභේදවාදයට එරෙහිව නැගී සිටි නෙල්සන් මැන්ඩෙලා

1960දී සිරභාරයට පත් වන්නේ එරට නිදහස් අරගලයට නායකත්වය ලබාදීම හේතුවෙනි.

ඉතා දුෂ්කර තත්ත්වයන් යටතේ කලු ජාතික ප්‍රජාවේ නිදහස පතා කටයුතු කළ

මැන්ඩෙලා වසර 27ක් පුරාවට සිරභාරයට පත් වූවද ඔහුට ආදරය කළ එරට කලු

ජාතිකයන් මෙන්ම විදෙස් රටවල ජනතාවගේ සහයෝගයෙන් ගෙනගිය අරගලයේ ප්‍රතිඵලයක්

ලෙස මැන්ඩෙලා සිර භාරයෙන් නිදහස් කිරීමට සුදු ජාතික පාලකයන්ට සිදුවිය.

මැන්ඩෙලා 1994දී දකුණු අප්‍රිකානු ජාතික කොංග්‍රසය නියෝජනය කරමින් එරට

ජනාධිපති ධූරයට තේරී පත් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයට අනුව පත්වූ

දකුණු අප්‍රිකාවේ ප්‍රථම ජනාධිපතිවරයා ලෙයසි.


‘සත්‍ය කොමිසම’Truth Commission

නෙල්සන් මැන්ඩෙලා දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ අවුරුදු

පහක කාලය තුළ එරට ජාතික සමගිය සහ සංහිදියාව වෙනුවෙන් පුලුල් වැඩපිළිවෙලක්

දියත් කළේය- එහි සුවිශේෂත්වය වන්නේ කලු ජාතිකයන්ට එරෙහිව දීර්ඝ කාලයක්

පුරාවට පාලන බලය දැරූ සුදු ජාතිකයන්ට පවා දයාව අනුකම්පාව දක්වමින් සමාව

ලබා දීමයි. විශේෂයෙන්ම ‘සත්‍ය කොමිසම’ Truth Commission  නමින් පත් කරන

ලද කොමිසම හමුවට කැදවූ වගකිවයුත්තන් ස්වයං විවේචනය සහ එකිනෙකාට සමාව

භජනයකර ගැනීම තුළින් මැන්ඩෙලා වර්ණභේදවාදී දකුණු අප්‍රිකාව සංහිදියාවේ

රාජ්‍යක් කරා රැගෙන යන ලදි. මෙහිදී සංහිදියාවේ එකම මාවත ලෙස මැන්ඩෙලාගේ

විශ්වාසය රැදී තිබුණේ සමාව දීමේ ගුණාංගය කෙරෙහිය. 2013 දෙසැම්බර් 05

වැනිදා මැන්ඩෙලා සිතීම නතරකරන විටත් ඔහුගේ නාමය සහ යහපත් ක්‍රියාව

ලෝකයාගේ ප්‍රසංසාවට ලක්ව තිබූ අතර දකුණු අප්‍රිකානු කලු ජාතිකයන්ගේ

විමුක්ති නායකයෙකු සහ වර්ණභේදවාදයට එරෙහි සංහිදියාවේ දකුණු අප්‍රිකානු

සංකේතය ලෙස ඔහු ලෝක ඉතිහාසයට එක්විය.


සාමය, සංහිදියාව සහ ශ්‍රී ලංකාව

1948 සිට පශ්චාත් යටත් විජිතයක් වූ ශ්‍රී ලංකාව 1979 යුධ රාජ්‍යයකටද,

2019ට පසු පශ්චාත් යුධ රාජ්‍යයක් ලෙසද පරිවර්තනය වී තිබෙන අතර වර්තමානය

වන විට ශ්‍රී ලංකාවේ සාමය, සංහිදියාව පිළිබඳ කථිකාව සහ ක්‍රියාවලිය

ජාතිකවාදී දේශපාලනය සහ මිලිටරීකරණයේ අභියෝග හමුවේ යටපත්ව තිබේ- යුද්ධයේ

හුදු අවසානය සාමය නොවන බවත් යුද්ධයෙන් පසු ජාතීන් අතර බොහෝ ගැටලු වර්ධනය

වී තිබීමෙන් මෙන්ම සිංහල බෞද්ධ ජාතිවාදය විසින් ජාතීන් අතර සාමය හා

සංහිදියාව බරපතල අනතුරක හෙලා තිබෙන නිසා අර්බුදය වඩාත් තීවුර වී තිබේ-

එබැවින් සාමය සහ සංහිදියාව පිළිබඳ කථිකාව හා උත්සාහයන් පිළිබඳව නැවත සලකා

බැලිය යුතු මොහොත මෙයයි- එබැවින් ජාතිකත්වය සමග වෙලාගෙන තිබෙන ලංකා

සමාජයේ ඓතිහාසික ගැටලු රාමුව එකින් එකට ලිහාගත යුතුව තිබේ.

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් කතුවරුන්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts