Environment

සිංහල,මුස්ලිම් දෙමල ජනයාට සාමය අහිමි කළ වන අලි ප්‍රහාර

පී. සුරෙන්තිරන්

ජෛව වැට: අලි-මිනිස් ගැටුම සඳහා භාවිත කළ හැකි වඩාත් හොඳ උපායමාර්ගය යි. මඩකලපුව, මන්මුනෛ-නිරිත, වට්ටායි ගමේ අවුරුදු 40ක් වන කනපතිපිල්ලේ සන්තිරු, ඔහුගේ බෝග රැකගැනීමට ගස්මුදුනේ ගොඩනගා ඇති අට්ටාලයේ මාස හතරකට ආසන්න කාලයක් ගත කළ බව පවසයි. වසරකට දෙවතාවක් බෝග වගාකරන මේ ගමේ ජනතාව, අලින්ගෙන් තම බෝග වගාවන් ආරක්ෂා කරගැනීමේ අරගලයක යෙදෙමින් සිටී. රාත්‍රියට මෙසේ පැමිණෙන අලින් ඔවුන් පලවාහරිනුයේ ගිනිමැල ගැසීම, විශාල රතිඥ්ඥා කරල් පත්තුකිරීම සහ මහා හඬින් කෑ ගැසීම ආදී ක්‍රියාමාර්ගවලිනි. කෙසේවෙතත්, මෙම අවස්ථාවන්වල දී අලින් පළිගැනීමේ අරමුණෙන් මිනිසුන් මරා දමා ඇත. 

එසේම, මෙම වසරේ අප්‍රේල් මස මැද දී, වන අලි මහියංගන නගර මධ්‍යයේ නිදැල්ලේ ඇවිදිමින් සිටිනු දැකීම, විශාල කලබලයක් ඇති කිරීමට හේතු වූ අතර ඒ සඳහා ඉතා ඉහළ මාධ්‍ය ආවරණයක් ද ලැබුණි. මහියංගනය ග්‍රාමීය ගොවි ජනතාව, අලින් හේතුවෙන් බොහෝ හිරිහැරයන්ට ලක්ව ඇත. 

මහියංගනයේ ශාන්තමලී පවසන්නේ, ඔහු ඔරුපැදිමෙන් ජීවත්වන බවත්, ඔවුන් රැස්කරගත් වී අස්වැන්න කොරෝනා හේතුවෙන් අලෙවි කරගත නොහැකි බවත් සහ එම අස්වැන්න අලින්ගෙන් ආරක්ෂා කරගැනීම අපහසු කටයුත්තක් බවත් ඇය පවසන්නීය. රාත්‍රියේ අලින් පැමිණි විට වේලුන පොල් අතුවලට ගින්දර තැබීම සහ මහා හඬින් කෑගැසීම මඟින් අලි පලවාහැරීමට ඔවුන් කටයුතු කරති. ඔවුන් විදුලි පන්දම් එළි ඒ සඳහා යොදා නොගනුයේ, එම එළිය දිගේ අලින් ඔවුන් වෙත පැමිණීම වළක්වා ගැනීමට යි. 

  අලි මිනිස් ගැටුම් පවතින ප්‍රදේශවල ජනතාවට සාමකාමී දිවිපෙවෙතක් ගත කිරීමට නොහැකි වී ඇත්තේ, අලින් නිසා ඇතිවන ගැටළු හේතුවෙනි. මෙම අත්දැකීම මඩකලපුවට මෙන්ම මහියංගනයට ද පොදු වේ. මෑතකාලීන තොරතුරු මඟින් පැහැදිලිවනුයේ, අලි පහරදීම පිළිබඳ සිදුවීම් වැඩි වශයෙන් අනුරාධපුර සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවලින් ද වාර්තා වන බව යි. 

මෙම වසරේ (2021) මාර්තු මස, අලි ගම්වැදීම පිළිබඳ පුවත් මානියන්කුලම, ස්කන්ධපුරම් සහ කිලිනොච්චි යන ප්‍රදේශවලින් වාර්තා වන අතර එහි දී පොල් වතු සිය ගණනක් අලින් විසින් වනසා ඇත. 

ජනතාව විවිධ උපායමාර්ග භාවිතයෙන් අලි පලවාහැරීමට උත්සාහකරයි. අධිබලැති විදුලි රැහැන් යෙදීම, බඳින තුවක්කු භාවිතය, වෙඩි තැබීම සහ ආහාර සමඟ පුපුරණ ද්‍රව්‍ය මිශ්‍ර කර එය සතුන්ගේ කටවල් තුල පුපුරා යන  පරිදි සකස් කළ හක්ක පටස් යොදා ගනි.මෙවැනි මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් පසුගිය කාලය පුරා මියගිය අලි සංක්‍යාව බොහෝය.

අලි සහ මිනිසුන් අතර ගැටුමක් ඇති වූයේ ඇයි?

අලින්ගේ ජීවන රටාව,  අනෙකුත් වන සතුන් ගෙන් වෙනස් වේ. ඔවුන් සීමාසහිත ප්‍රදේශයක් හෝ ගොඩනගන ලද වාසස්ථානයක ජීවත්නොවේ. ඔවුන් සෘතු විපර්යාසයන්ට අනුව සංක්‍රමණය වන අතර, ජීවත්වීම සඳහා විශාල ප්‍රදේශයක් අවශ්‍ය වේ. 

දේශගුණික වෙනස්වීම, ආහාර සොයාගැනීම සහ නියඟ සමයේ ජලය සොයා අලින් විවිධ ස්ථානයන්ට ගමන්කරයි. සංක්‍රමණය සඳහා වන ගමන් මාර්ගය සම්බන්ධයෙන් ඔවුන්ගේ මනස තුළ සිතියමක් පවතින අතර වසරේ මාස කිහිපයක්  නිශ්චිත ප්‍රදේශයක් තුළ ජීවත්වන ඔවුන් ඉතිරි මාස කිහිපය තුළ ආහාර සහ ප්‍රජනන අවශ්‍යතා සපුරා ගනු ලබයි. ඔවුන් නැවත පැමිණෙන විට අධිවේගී මාර්ග සහ මිනිස් නිවාසවලින් එම මාර්ගය අවහිර වී ඇති බව පෙනීගිය විට, එය ගැටුමක් බවට පත් වී ඇත. එසේම, ඔවුන්ගේ භාවිතය සඳහා පවතින භූමි ප්‍රමාණය, ඔවුන්ගේ ජනගහන වර්ධනයට සමානුපාතිකව වර්ධනය නොවීම ද එයට හේතු වී ඇත. 

මේ වර්ෂයේ ආරම්භයේ පටන් මේ දක්වා (මැයි 2021), මෙම ගැටුමෙන් මිනිසුන් 44 දෙනෙකු සහ 100 කට වැඩි අලින් ප්‍රමාණයක් මරණයට පත් වී ඇත. මෙම සිද්ධීන් බොහොමයක් වාර්තාවන්නේ අනුරාධපුර, පොළොන්නරුව සහ නැගෙනහිර ප්‍රදේශවලිනි. 

පාරිසරික ක්‍රියාකාරී හේමන්ත විතානගේ පවසනුයේ: “කැලෑ විනාශ කර, ජනතාව එහි ජනාවාස ඇති කරගැනීම මෙම ගැටළුවට හේතු වී ඇත. මෙම ජනාවාසකරණය සඳහා ඇතැම් දේශපාලකයන් මැදිහත් වී ඇත. වන සතුන්ගේ පහරදීම්වලට සහ මරාදැමීම්වලට ගොදුරුවනුයේ කැලෑ ආශ්‍රිතව පදිංචි වී සිටින අහිංසක ජනතාව බව බොහෝ සිද්ධීන්වලින් පැහැදිලි වේ. 1980 පටන්, මොණරාගල දිස්ත්‍රික්කය තුළ වන භූමි හෙක්ටයාර 60000-80000 ප්‍රදේශයක නීතිවිරෝධී පදිංචිකිරීම් සහ හේන් වගාව සිදු වී ඇත. ජනතාව සහ බෝග වගාවන් අලින්ගෙන් ආරක්ෂා කරගැනීමට විදුලි වැටවල් ඉදිකර ඇත. අලින්ගේ කොරිඩෝව පිහිටා ඇත්තේ ගල් ඔය, කුමන, උඩවලව සහ ලුණුගම්වෙහෙර අතර සංක්‍රමණය කිරීමට යි. ජාතික වනජීවී අභයභූමි මෙමගින් අවහිර වී ඇති අතර අලි වෙනත් මාර්ග ඔස්සේ ගමන් කිරීමට උත්සාහ කරන බැවින් ගම්වලට ඇතුල් වී මිනිසුන්ට පහරදීම සිදු වේ (සන්ඩේ ටයිම්ස්, 2021 මැයි 2).” 

වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ සඳහන් කරනුයේ, මේ වසරේ ආරම්භයේ පටන් මේ වන තෙක් අලි 117 දෙනෙකු මියගොස් ඇති අතර ඉන් අලි 107 දෙනෙකු මියයාමට එක් පුද්ගලයෙකු හේතු වී ඇත. 2019 සංඛ්‍යාලේඛනවලට අනුව, අලි 405 දෙනෙකු ඝාතනයට ලක්ව ඇත. එය, ගෝලීයව අලි මරාදැමීම සම්බන්ධයෙන් ප්‍රධාන ගෝලීය අපරාධකරුවන් ලැයිස්තුවට ලංකාව ඇද දැමීමට හේතු වී ඇත. එසේම, එම වසරේම අලින් විසින් මිනිසුන් මරාදැමීමේ ලැයිස්තුවේ ලංකාව දෙවන තැනට පත්ව ඇත. ඔහු සඳහන් කළේ, අලින්ගෙන් ජනයා ආරක්ෂා කිරීමට අමාත්‍යාංශය විවිධ පියවර ගත්තද, කොවිඩ් 19 හේතුවෙන් ඇතිකළ රට වසාදැමීමේ වාතාවරණය හමුවේ මෙම ක්‍රියාකාරකම් මදක් පසුගාමී වී ඇති බව යි. 

මිනිසුන් සහ අලින් ආරක්ෂා කිරීමට යෝජනා කර ඇති වැඩසටහන්

  1. අලින්ගේ සංක්‍රමණ ගමන්මාර්ග පිළිබඳ සැළකිල්ලට ගෙන ස්ථිර විදුලි වැටවල් (1500km පමණ) ඉදිකිරීම. 
  2. වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රමාණය වැඩිකිරීම. ගම්වදින වන අලින් ආපසු පලවාහැරීම පිළිබඳව නිලධාරීන්ට වඩා හොඳ පුහුණුවක් ලබා දී සේවයේ යෙදවීම.
  3. ජාතික වනෝද්‍යාන ආසන්නයේ පවතින මිනිස් ජනාවාස, ආරක්‍ෂිත ප්‍රදේශවලට ගෙනයාම.
  4. මිනිස් ජනාවාස පිහිටි මායිම් දිගේ කටු සහිත පඳුරු වැවීම සහ මීමැසි පාලනය තුළින් පැණි නිපදවීම (අලින් කටු සහිත පඳුරුවලට සහ මීමැස්සන්ට බියක් දක්වන බව පැහැදිලි වී ඇත).

ඉහත යෝජනා හතර අතුරින්, විදුලි වැට ස්ථිර වශයෙන් නිර්දේශ කළ හැකි අතර මෙම ප්‍රදේශවල ජීවත්වන ජනයාට ඉතා කාර්යක්ෂම යෝජනාවන් හැකි ඉක්මනින් ලබාදිය යුතු ය.

මහියංගනයේ ශාන්තමලි පවසන්නේ, මෙම ගම්වල වෙසෙන ජනයාට තම නිවසේ විදුලි බිල ගෙවාගත නොහැකි පසුබිමක් තුළ, ඔවුන්ගේ විදුලි සබඳතාවය භාවිතයෙන් විදුලි වැටවල් ඉදිකිරිම පිළියමක් නොවන බව යි. ඇතැම් මිනිසුන්, සූර්ය බලය යොදාගෙන විදුලි වැටවල් ඉදිකරයි. 

කනපතිපිල්ලේ සන්තිරු පවසන්නේ, ඇතැම් අලි ඉතා බුද්ධිමත් බවත්, ඔවුන් කෙලින්ම කම්බි කණුව වෙත ගොස් එය තල්ලු කර ව්දුලිය විසන්ධි වු පසු ඒ හරහා ගමන් කරන බවයි. ලංකාව තුළ අලින්ට ගැළපෙන ස්වභාවික භූමි වර්ධනය කිරීම සහ ඔවුන්ගේ ප්‍රජනන වේගය අනුව එය සමපාත කිරීම පහසු වේ. එසේම, වගා කිරීම තම ජීවිකාවෘත්තිය කරගත් ජනයාට, හේන් වගාව සඳහා නව භූමි සොයායාමට සිදු වේ. මේ තත්ත්වය තුළ, මෙම ගැටළුව විසඳීම සඳහා විවිධ ක්‍රම භාවිතා කිරීම සම්බන්ධයෙන් සැළකිලිමත් විය යුතු ය. 

2019 කරන ලද අධ්‍යයනයක් මඟින් අනාවරණය කරගනු ලැබුවේ, මනුෂ්‍ය වාසයන්ට ආසන්න ප්‍රදේශවලින් අලින් ඉවත්කිරීම සහ ඔවුන්ව නැවත වනගත කිරීමට වනජීවී දෙපාර්තමේන්තුව විසින් දරණ ලද උත්සාහයන් අසාර්ථක වී ඇති බව යි. අධ්‍යයනය මඟින් වැදගත් කරුණු තුනක් අනාවරණය කරගන්නා ලදී. 

  1. අලින්ගේ සංචලනය ලංකාවේ ප්‍රදේශ තුළ 59.9% බව සොයාගෙන ඇත. 
  2. අලින්ගේ සංචලන ප්‍රදේශයන් හි 70% ක පමණ ජනතාවක් අඩු-වැඩි වශයෙන් ජීවත්වන බව සොයාගෙන ඇත. 
  3. අලින්ගෙන් වැඩි ප්‍රමාණයක් ආරක්‍ෂිත ප්‍රදේශයන් ගෙන් පිටත ජීවත් වේ. 

අලින්ගේ මෙම ගැටළුව සිංහල, මුස්ලිම්, දමිළ ආදී ගොවිතැන් හි නිරත වන සියලුදෙනාටම බලපෑම් කර ඇත. ඊට අමතරව, අලින් යනු අනතුරට පත්විය හැකි සත්ත්ව කොට්ටාසයක් බැවින් ඔවුන්ව ආරක්ෂා කළ යුතු වේ.. ඇතැම් තොරතුරු මඟින් පවසන්නේ, කොළඹ විශ්වවිද්‍යාලය මඟින් වැඩිදියුණු කළ හඬ ඇදගතහැකි සංවේදකයක් වැනි නවීන තාක්ෂණික මෙවලමක් ඔස්සේ කිලෝමීටරයක් පමණ දුරක සිට ළඟා වෙන අලියෙකුගේ ශබ්දය හසුකරගෙන, ගැමියන්ගේ දුරකථනයට කෙටි පණිවිඩයක් යවන ක්‍රමවේදයක් පවතින බව යි. 

තල් වැවීම තවත් විකල්පයකි. පාරිසරික ක්‍රියාකාරී අම්රිතා අයෙන් සහ අග්නිදිග විශ්වවිද්‍යාලයේ, ව්‍යවහාරික විද්‍යා පීඨයේ, ජීවවිද්‍යාව සහ සත්ත්ව විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඒ.එම්. රියාද් අහමඩ් මුහුණුපොතේ සඳහන් කරන්නේ: “තල් කියන්නේ ජෛව වැටක්. අපි විදුලි වැටවල් ඉදිකළ ද, අගල් කැපුව ද, කටු සහිත පඳුරු වැව්ව ද, මායිම් රැකවල් සඳහා බල්ලන් යෙදෙව්ව ද, මීමැස්සන් ඇති කළ ද මේ කිසිඳු ක්‍රියාමාර්ගයක් කාර්යක්ෂම නොවේ. තල් ජෛව වැටවල් ඉදිකිරීම අපහසු වුව ද, එයින් ලැබෙන වාසිය ඉහළ යි. එනිසා, මෙය තෝරාගත හැකි යි. මෙය වඩාත් ලාබදායී, සතුන්ට හිතකර සහ තිරසාර ක්‍රමයක්. තල් සඳහා ජලය විශාල වශයෙන් අවශ්‍ය නොවන අතර වගාකිරීම ද පහසු වේ. තල් ඇට සිග්සැග් ක්‍රමයට පැල කළ යුතු අතර, පැළ සිටවිය යුත්තේ පේළි හතරකට ගස් අතර දුර අඩි 5ක් ලෙසත්, පේළි අතර දුර අඩි 8ක් වන ලෙසත් ය. මෙලෙස ගොඩනගන වැට ශක්තිමත් බවින් ඉතා ඉහළ ය. ”  

මෙය දීර්ඝකාලීන වැඩපිළිවෙලක් වුව ද, එය අලින්ට මෙන්ම මිනිසුන්ට ද ආරක්ෂාකාරී වේ. වසර 4-5ක් ඇතුළත එම ගස් අඩි 6ක් පමණ උසට වැඩේ. සිටුවා වසර 10කින් පමණ, එහි ඵලදාව ලැබේ. මින්පෙර, විවිධ පිරිස් මේ ක්‍රමය ගැන සාකච්චා කළ ද, රාජ්‍ය නොවන සංවිධානයන් හි සහයෝගයෙන් මඩකලපුවේ සහ වව්නියාවේ මෙම තල් වැටවලට මුලපිරීම සිදුවිය. ජනතාව අඛණ්ඩව මෙය කළයුතුය. මෙම ක්‍රමය ඵලදායී වනුයේ ජනතාව ඒ කෙරෙහි උනන්දුවක් දැක්වුවහොත් පමණි. 

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts