සාමය

සහෝදරත්වයේ ජනපදය – ජෙයපාලන් සහ කුමාරසිංහ

නිමල් අබේසිංහ

ලංකාවේ ගොවිජනපද පිහිටුවිම හා ආශ්‍රිතව මෙරට කෘෂිකර්මය දියුණුවට පත් වු බව පොදු පිළිගැනිමය.වියලි කලාපයේ ගොවිජනපද පිහිටු විමේදි එම ඉඩම් මෙරට සිටි ඉන්දීය දෙමළ ජනතාවට ද ලබාදිමට එවකට පැවති ඉංග්‍රිසි ආණ්ඩුව උත්සහා කළද හිටපු අගමැති එසමයේ ඇමති වු ඩී.එස්. සේනානායක මහතා ඊට එකග වුයේ නැත.මෙරට ස්ථිර පදිංචිය ඇති සිංහලයාට පමණක් ඉඩම් දිය යුතුබව ඔහුගේ අදහස විය.එහි අරමුණ මෙරට විවාදයට තුඩුදි ඇති කරුණකි.ඒ කෙසේ නමුත්ඈත දිගාමඬුල්ලේ (අම්පාර) ගොවි ජනපදවල පදිංචියට ගිය සිංහලයන් සහ ඒවා අසල ගම්වල පදිංචි දමිළ ජනයාත් අතර මිතුරු සහසම්බන්ධතා මැනවින් පවත්වා ගත්හ.මිනිසුන් එකිනෙකාට උදව් උපකාර කරගත්තෝ ජාතිවාදය පිළිබඳ අංශු මාත්‍රයක්වත් සිය සිත් සතන්හි නොමැති බව පසක් කරමිනි.

දිගාමඬුල්ලේ ගොවි ජනපදයක ගම්පහ ප්‍රදේශයෙන් පදිංචියට ගිය කුමාරසිංහත් අසල්වැසි ගමක පදිංචි දමිළයකු වූ ජෙයපාලනුත් අතර එසේ නොවිඳිය හැකි මිතුරු සබඳකමක් ගොඩනැඟුණේ සහෝදරත්වයෙන් ඉහවහා ගිය බැඳීමක් වූයේ ය.

මේ දෙදෙනාගේ ම කුඹුරු තිබුණේ එක යායට ය. බුලත්විටක හුණු බිඳක්, පුවක් කෑල්ලක් හුවමාරු කරගැනීමෙන් ඇරඹි සුහදකම තේ, ආහාරපාන, ගොවි මෙවලම් හුවමාරු කරගැනීම දක්වා දුරදිග ගොස් දවසක් දෙකක් මුණ ගැසීමට නොහැකි වුවහොත් ඔවුනොවුන් සොයා නිවෙස්වලට යන තරම් ම මේ සොයුරු බැඳීම දුරදිග ගියේ ය.

අධමයන් විසින් අවුලුවා ගිනි බෝ කරන ලද ජාතිවාදී රැල්ල රට පුරා පැතිර යද්දී දිගාමඬුල්ලේ වැසියන්ට ද ඉන් ගැලවීමට ඉඩක් නොලැබුණි.  දමිළ ත්‍රස්තවාදීහු දිනෙන් දින වර්ධනය වෙද්දී ජෙයපාලන්ගේ පුත් රාජුව ද එල්ටීටීඊ සංවිධානයට බඳවන ලෙසට ජෙයපාලන්ට බල කෙරිණි. ඒ එක් පවුලකින් එක් තරුණයකු එල්ටීටීඊයට බැඳිය යුතුයැයි තීරණය කර තිබූ අවධියේ ය.

1990 වසරේ එක්තරා දිනෙක ජෙයපාලන් හිමිදිරියේ ම කුමාරසිංහ සොයා පැමිණියේ ය.

“කුමාරසිංහ අයියා, කුමාරසිංහ අයියා” ජයපාලන් බයාදු හඬින් හඬ ගෑවේ ය. 

“මොකද බං උදේ පාන්දරම?” ගෙයින් එළියට බසිමින් ම විමසූ කුමාරසිංහට දුටුවේ බයින් තැතිගත් ජයපාලන් ය.

“මොකද බං මේ?”

“බලන්න අයිය ලොකු කොල්ලා එල්ටීටීඊ එකට බන්දගන්න ඕනෙලු. ඌව භාර දෙන්න කියල උන් කියනවනෙ.”

“කොල්ල මෙහෙට ගෙනත් ඇරලපන්. මං බලා ගන්නම්.” කුමාරසිංහ කීවේ ය. 

“හවසට එක්කන් වරෙන්.” ඒ විධානයක් සේ ය.

ජයපාලන් දාහත් හැවිරිදි රාජුව එදින ම කුමාරසිංහගේ නිවෙසට කැඳවාගෙන ආවේ ය.

“උඹ ආයේ මේ පැත්තට එන්න එපා. මාසෙකින් හමාරකින් වරෙන්. නැත්නම් අරුන් සැක හිතයි.” කුමාරසිංහ ජයපාලන්ට පැවසුවේ හිතෛෂීව ය.

පිරිමි දරුවන් දෙදෙනෙකු සහ ගැහැනු දරුවන් දෙදෙනෙකු සිටින කුමාරසිංහගේ නිවසේ ගැහැනු ළමයින් සඳහා  වෙන් කළ ඇතුල් කාමරය රාජුට ලැබිණ. ආහාරපාන සියල්ල ම කාමරයට ගෙන ගොස් දුන්නෝ ඔහුගේ දරුවන් ය. මුත්‍රා කිරීමටවත් දිවා කාලයේ රාජුට එන්නට නොදුන් කුමාරසිංහ ඒ සඳහා ඇතැම් දිනක ඒ බඳුන් එළියට ගෙන ගොස් දැමුවෝ ඔහුගේ තරුණ දියණියන් දෙදෙනා ය. දරුවෝ ද රාජුව සිය සහෝදරයන් පමණට ම රැක බලා ගත්හ. ඔවුහු කොතරම් රාජුව රැක බලා ගත්තේ ද යත් රාත්‍රියේ මිසෙක දිවා කල කිසිදු විටෙක ඔහුට එළිපහළියට යන්නට ඉඩ නොදුන්හ.

ඒ අතරවාරයේ ජෙයපාලන් ඉඳහිට රාජුව බලන්නට ආවේ කුමාරසිංහ පවුලට ද සමඟ ම හින්දු සංස්කෘතියට උරුම ආහාර ද පිසගෙන ය. එක් දිනෙක ජෙයපාලන් කුමාරසිංහ නිවෙසට ආවේ මුහුණ බෙරිකරගෙන ය.

“මොකද ජෙයපාලන් මූණ නරක් වෙලා?”

කුමාරසිංහගේ පැනයට ජෙයපාලන් රහසින් පැවසුවේ “ලොකු කොල්ලා නැතිනම් පොඩි එකාව හරි උන්ට දෙන්න කියනවා” යැයි කීවේ ඇඬුම් ස්වරයෙනි.

“ඔය අවුරුදු පහළොවෙ ඇබින්දන් එකා මක්කොරන්නද? කමක් නෑ, ඌවත් මෙහෙට ගෙනත් ඇරපන්.” කුමාරසිංහ කීවේ තිරසාරවය.

“හා අයියා.” ජෙයපාලන් පිළිතුරු දුන්නේ ය.

ජෙයපාලන් පසුදින බාල කොලුවා ද කැඳවාගෙන එන පොරොන්දුව පිට නිවෙසට ගියත් එල්ටීටීඊ සංවිධානයෙන් විත් කොලුවා රැගෙන ගොස් තිබිණ.

පසුදින කුමාරසිංහ හමුවී ඒ ගැන පැවසුවත්, ඔවුන්ට කිසිවක් කරකියාගත නොහැකි විය. 

එහෙත් ඔවුන් මෙය රාජුගෙන් වසන්කර තැබීමට ගිවිස ගත්ත ද එය ද අසාර්ථක වූයේ එක් දිනෙක රාජු ජෙයපාලන්ගෙන් සිය සහෝදරයා කැඳවාගෙන එන ලෙස ඉල්ලූවිටදී ය. විවිධ කතා පවසමින් එය මගහැරීමට උත්සාහ කළ ද, ජෙයපාලන්ට පසුව සත්‍යය ම පවසන්නට සිදුවිය.

දින කීපයකට පසුව රාත්‍රියේ වැසිකිළියට ගිය රාජු පෙරළා නිවෙසට නො ආවේ ය. පසුදින හිමිදිරියේ ම ජෙයපාලන් කුමාරසිංහ හමුවට පැමිණ පැවසුවේ රාජු නිවෙසට ආ බවත්, ඔහුගේ සහෝදරයා නැවත ගෙදරට ඒම සඳහා තමන් එල්ටීටීඊ සංවිධානයට බැඳෙන බව පවසා නිවෙසින් පිටත් වූ බව ය. කුමාරසිංහ පවුලට සුසුම් ලෑම හැර අන් කිසිවක් කරගත නොහැකි විය. 

එල්ටීටීඊ සංවිධානයේ ක්‍රියාකාරකම් දිනෙන් දින උග්‍රවෙමින් පැවතිණ. හිටි අඩියේ ගම්වලට කඩා පැන සිංහලයන් මරා දැමීම ද සිදුවිය.

කුමාරසිංහලාගේ ගමට ද එල්ටීටීඊ පහරදීමේ සූදානමක් තිබිණ. රාජු සිය නිවෙසට විත් පැවසුවේ වහා ම මේ බව කුමාරසිංහ පවුලට දැනුම් දෙන ලෙස ය. කුමාරසිංහ හමුවට ගිය ජෙයපාලන් ඒ බැව් පැවසුවේ ය. කුමාරසිංහ ගම්මු දැනුවත් කළේ ය. කල්වේලා ඇතිව ගම්මු කැලෑ වැදුණෝ ය. මේ අයුරින් එල්ටීටීඊයට කිසිදු විටෙක කුමාරසිංහලාගේ ගමට පහරදීමට හැකියාවක් නොවී ය.

ඒ අතරතුර රාජුගේ සහෝදරයා දෙපා ද අහිමි ව නිවෙසට පැමිණියේ ය. රාජුට එල්ටීටීඊ සංවිධානයෙන් ඉවත්වීමට ඉඩක් නොලැබිණ. එහෙත් පහරදීමක් සූදානම් වේ නම් කුමාරසිංහලාට දැනුම්දීමට ඔහු පසුබට වූයේ නැත. මෙය රහසක් වුවත් වැඩි කාලයක් රහසක් ලෙස නොපැවතුණි. එල්ටීටීඊය රහස සොයා ගත්තේ ය. එක්තරා දිනෙක රාජුගේ මළ සිරුර කුමාරසිංහලාගේ ගම අසල කැලෑ රොදක තිබුණේ ය.

මෙයින් පසුව කුමාරසිංහලාගේ ගම ද එල්ටීටීඊ ඉලක්කයක් විය. ඔවුන් දිවි ගත කළෝ බියෙනි. සැකයෙනි. ගමෙහි හමුදා මුරපොළක් පවා පවත්වාගෙන යාමට ආණ්ඩුවට සිදුවිය.

කළකෝලාහල අහවර ව ගොස් එල්ටීටීඊ සංවිධානයට පරාජය අත්විය. කුමාරසිංහ ද, ජෙයපාලන් ද මේ වන විට ස්වාභාවික මරණය අත්පත් කරගෙන ඇත්තේ ය. කුමාරසිංහගේ දරුවෝ තම දරුවන්ට ද රාජු ගැන කතාව කියා දුන් හ. අදටත් ඔවුහු ‘රාජන් මාමා’ නමින් රාජුව සිහිපත් කරති.

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts