අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස

සහජීවනය සහ ව්‍යවස්ථාව සංශෝදනය

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

ලංකාවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට මෙන්ම සංශෝධනය කිරීමටද කාලයක සිට බාලගිරි දෝෂයය උදාවි තිබේ. 2015 යහපාලන ආණ්ඩුව නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට සහ ඊට මහජන අදහස් ලබාගැනීමට ලාල් විජේනායකගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පිහිටවූ මුත් ඉන් කෙටුම්පත්වූ ව්‍යවස්ථාවක් නැත. අනතුරුව වත්මන් රජයද ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා ගේ සභාපතීත්වයෙන්යුත් ව්‍යවස්ථා කෙටුම්පත් මණ්ඩළයක් පිහිටවූ මුත් එහි කාලය ව්‍යවස්ථාවක්  කෙටුම්පත් නොකරම අවසන් විය. අවසන සම්මත කරගත් දා සිට බොහෝ දේශපාලන පක්ෂ වහා ඉරා දමන්නැයි බල කළ ජේ.ආර් ජයවර්ධනගේ 78  ව්‍යවස්ථාවේ පිහිටෙන් බලය රැක ගන්නට සියළු දේශ්පාලන පක්ෂ කටයුතු කරනා බව පෙනෙන්නට තිබේ. එකී ව්‍යවස්ථාවට විපක්ෂයේදී විරුද්ධවෙන සියළු පක්ෂ අණ්ඩු බලය ලද විගස සිය බලය පවත්වා ගැනිමට එය ඉවහල් කර ගනී
මේ ආකාරයෙන් මෑත ඉතිහාසයේ වසර 6 ක් තුළ දෙවරක් දිරු කර දැමූ බලාපොරොත්තුවක් බවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පත්ව තිබේ. නමුත් දශක හතරකට ආසන්න කාලයක් සිවිල් යුද්ධයකින් පීඩා විඳි සමජයක් නිවැරදි දිශානතියකට යොමුකිරීමට මෙන්ම බෙදී වෙන්වී සිටිනා ජන කොටස් දෙකක් අතර කල්පවතින සංහිඳියාවක් ගොඩනැගිමටත් නිවැරදි ආකාරයෙන් කෙටුම්පත්වූ ව්‍යවස්ථාවකට සුවිශේෂි හැකියාවක් ඇත. එහෙයින් මතු අනාගතයේදී මෙරට පිහිටවන කවරනම් රජයකට හෝ නව ව්‍යවස්ථාවක් රටට හදුන්වා දී කල්පවතින සංහිඳියාවක් ගොඩනැගීමට අනිවාර්ය කාරනයක් වනු ඇත.

එවැනි ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරනා රජයකට සාමකාමී සහ ජීවනය අගයන පුරවැසියන් විසින් කල්තබා පැනවිය යුතු කොන්දේසියක් වෙයි. ඒ එකී ව්‍යස්ථාව මගින් රටේ සියළුම පුරවැසියනට සමාන ආකාරයෙන් සැළකිවයුතු බව සහ සෑම ජන කොටසකම භාෂා, ආගමික සහ සංස්කෘතික අනන්‍යතාවයන් සමතැන්හීලා ආරක්ෂා කිරිය යුතු බවයි.

වර්ෂ 1948 බි්‍රතාන්‍ය කිරීටයෙන් නිදහස ලැබූ දින සිට 1972 වසර තෙක් ශ්‍රී ලංකාව පාලනය වූයේ සෝල්බරි ව්‍යවස්ථාව යටතේය. එකී   ව්‍යවස්ථාව  පෙර සඳහන් කරුණු ද්විත්වය මනාව තහවුරු වී තිබුනි. එහෙත් 1970 බලයට පැමිණි සමගි පෙරමුණු රජය විසින් 1972 දී සම්මත කෙරුණු ජනරජ ව්‍යවස්ථාවේ ද සියළු ජාතීනට සමව සළකන බවට වගන්තියක් ඇතුළත්වන නමුදු එහි තවත් වගන්තියකින් බුදු දහමට ප්‍රමුඛ ස්ථනයක් ලබාදෙන බව කියවේ. සැබැවින්ම මෙරට බහුතර ජන කොටස බෞද්ධයන් වන බැවින් රටේ සියළු ආගමික කර්තව්‍යන්හීදී ඔවුනට ප්‍රමුඛස්ථනය හිමිවීම සාමාන්‍ය තත්ත්වය වෙයි. එහෙයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් එය වරප්‍රසාදයක් හෝ නීතියක් කර ලබාදිය යුතු නොවේ. ඒ බව නොතකමින් එක් අගමකට ප්‍රමුඛ ස්ථානය දෙන බවටත් එය පෝෂණය කර ආරක්ෂා කිරීම රජයේ වගකීම බව ප්‍රකාශ කිරීමෙන් රටේ සෙසු ජනකොටස් නොතකා හැරීමක් සිදුවෙන බව බැලූ බැල්මට පෙනෙන්නට තිබේ. එමගින් රටේ සියළු ජනකොටස් වෙත හිමිවිය   යුතු සමාන අයිතිය තහවුරු කරනා මුඛ්‍ය ලේඛණය මගින් එකී අයිතීන් උල්ලංඝණයවන බවට කෙනෙකුට තර්ක කල හැකිය.

මෙකී ජනරජ ව්‍යවස්ථාව කෙටුම්පත් කරනා ලද අවදියේ පැවැති සමාජ දේශපාලන ප්‍රවණතාවයන් සළකා බැලීමේදී බෞද්ධාගමට ව්‍යවස්ථාවෙන් ප්‍රමුඛ ස්ථානය ලබාදීම කිසිම කලෙකත් ජනතා ඉල්ලීමක්ව තිබුනේ නැත. එය හුදෙක් බණ්ඩාරණායක මහතා විසින් හදිසියේ ගෙන ආ සටන් පාඨයක්වූ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමේ ක්‍රියාවලියේ දිගුවක් වුවා පමණක් විය. එසේ නොවන්නට ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා වැනි වමවාදී දේශපාලනයේ නියැළුන පුද්ගලයෙකුගේ මූලිකත්වයෙන් කෙටුම්පත් කළ ව්‍යවස්ථාවක එක ආගමකට පමණක් සුවිශේෂි ප්‍රමුඛ තාවයක් ලබාදීමට වගන්තියක් ඇතුළත් වීමට හැකියාවක් නැත. ලිබරල්වාදී නායකයෙකු වෙන ජේ ආර් ජයවර්ධනගේ 6/5 බලයක් තිබූ එක්සත් ජාතිකපක්ෂ රජය පවා 72 ව්‍යවස්ථාවේ සිදුවූ එකී වරද නිවැරදි නොකර ඉදිරියට පවත්වාගෙන යාම මගින් පෙනෙන්නේ මෙරට තීරණත්මක් දේශපාලන තීන්දු තීරණ ගැනීමේදී ආගමික නායකයන්ගෙ බලපෑම කෙතරම්ද යන්නය. අදටද මෙරට ව්‍යවස්ථවක් කෙටුම්පත් කරන සෑම අවස්ථවකම නැගෙනා මුල්ම පැණය වනුයේ එහි සෙසු ගුණාංග නොව බුද්ධාගමට කිනම් ස්තානයක් හිමිවන්නේද යන්නය. ඒ අනුව ඉදිරියේදී බිහිවෙන ව්‍යවස්ථවක් මගින් එක් ජන කොටසකට හෝ ආගමික ප්‍රජාවකට සුවිශේෂී ස්ථනයක් හිමිවන්නේනම් එමගින් ජාතීන් අතර සංහිඳියාවට සිදුවන්නේ බරපතල හානියකි.

මෙම තත්ත්වය සමස්ථ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවටම එක වගන්තියක් මගින් අභියෝග කිරීමකි. එහෙයින් මේ ගැටළුව පිළිබඳ දූපත් මානසිකත්වයෙන් මිදී තර්කණූකූලව සිතාබැලීම වඩාත් යහපත්වේ. එහිදී ලෝකයේ වඩාත් දියුණු සහ ඉතා හොංදින් මානව අයිතීන් තහවුරුවූ රටවල්වලින් අපට උදාහරණ ලබා ගත හැක . එවැනි රටවල් සියල්ලේම රාජ්‍ය යනු අනාගාමික දේහයකි. එබැවින් සියළු ආගම් වලට සමාන තැනක් නිතැතින් හිමිවේ .

අපේ සමීපතමයා වන ඉන්දියාව විශාල ආගමික සහ ජනකොටස් වල විවිධත්වයක් සහිත රාජ්‍යකි. එහි බහුතරය වන්නේ හින්දු  ආගමිකයන්වන අතර එය 80% පමණ වෙයි . ඊළඟට සිටිනුයේ 13.2% වන මුසල්මනුවන්ය. කතෝලික 2.3% ක්ද, සික් ආගමිකයන් 1.72% ක්ද බෞද්ධයන් 0.7% ක්ද වශයෙන් එරට සිටිති. මීට අමතරව සුළුතර ආගම් විශාල සංඛ්‍යාවක් එරට වෙයි. හින්දුන් 80% ක් පමණින් එරට රජය හින්දු ආගමට මුල්තැන දිය යුතු බව ව්‍යවස්ථාවට ඇතුළත් කර නැත. රජය අනාගාමිකව සිටීම මගින් ඉන්දියාව කළාපයටම ආදර්ශයක් දෙමින් රටේ ආගමික සහජීවනය ආරක්ෂාකර ගැනීමට සමත්ව ඇත. එකී සහජීවනය බිහිවනුයේ එරට ව්‍යවථාව මගින් රජය කිසිම ජන කොටසකට විශෙෂත්වයක් නොදැක්වීම තහවුරු කර තිබීම මගිනි. එම තත්ත්වය නිසා සියළුම සුළුතර ප්‍රජාවන්ට ඕනෑම අර්බුදයකදී රජය කෙරෙහි විශ්වාසය තැබිමට හැක.

ආගමික වශයෙන්පමණක් නොව භාෂව අතින්ද ඉන්දියාව කළාපයේ සෙසු රටවලට ආදර්ශයක් සපයයි. එරට බහුතරයක් භාවිතා කරන හින්දි භාෂාව මෙන්ම ඇසෑම්, බෙංගාල, ගුජරාට, තෙළිඟු,දමිළ, පන්ජාබ් ඇතුළු භාෂාවන් 14 ක් එරට ප්‍රධාන භාෂාවන් අතර වෙයි. ඊට අමතරව මනිපූරි, නෙපාලි, සින්ඩි ඇතුළු භාෂාවන් ගනනාවක් එරට උප ප්‍රධාන භාෂාවන් ලෙස ව්‍යවහාර වෙයි. ඊට අමතරව ඕනෑම ප්‍රාන්තයකට භාෂාව කුමක්දැයි තීරණය කිරීමට අයිතිය තිබෙනා අතර එය  එරට ජනකොටස් අතර භාෂාව මුල්කරගත් අරගල ඇතිවීම අවම කරන්නට සමත්වී ඇත.

ඉන්දියාවේ පවතින තත්වය එලෙසින්ම මෙරටට ආදේශ කළ නොහැකි බව සැබෑය එහෙත් මෙරට ක්‍රියාත්මක වන ව්‍යවස්තා සංශෝදනයකදී එහි ඇති ධනාත්මක ප්‍රවනතා සලකා බැලිය හැකිය
ශ්‍රී ලංකාවෙ පවතින දේශපාලන වාතාවරනය දෙස සළකා බැලීමේදී වාර්ගික සුහදතාවය තහවුරු කිරීමට වඩා වාර්ගික නොසන්සුන් තාවය වර්ධනය කිරීම බොහෝ දේශපාලන්ඥයන්ගේ පැවැත්මට හිතකරය. විශේෂයෙන්ම යුද්ධයේ නිමාවෙන් පසු මෙම තත්ත්වය වඩාත් ඉස්මතුවෙන්නට පටන් ගත්බව පැහැදිළිය. සුලුජන කොටස් වල සහයෙන් බලය තහවුරුකර ගැනීමේ ක්‍රමවේදය වෙනුවට බහුතර සිංහල බෞද්ධ ඡන්දබලය රැකගෙන ආණ්ඩු පිහිටවන තැනට මෙරට දේශ්පාලන ව්‍යුහයේ වෙනස්කම් සිදුව තිබීම නිසා සංහිදියාවට තුඩු දෙන ආකාරයෙන් ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම වෙනුවෙන් බොහෝ වෙහෙසීමට මෙරට සංහිඳියාවට ලැදි ප්‍රජාවට සිදුවෙනු ඇත.

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් කතුවරුන්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts