සහකම්පනය හරහා වාර්තා කිරීම හෙවත් දෙමළාගේ ප්‍රශ්න ඔවුන්ගේ කෝණයෙන් තේරුම් ගැනීම
කත්‍යානා අමරසිංහ
සංහිඳියාවේ සහකරුවෝ
ලාංකීය පුවත්පත් කලාවේ දශක දෙකකට වඩා අත්දැකීම් සමුදායක් ඇති ඇය කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරිණියකි .එමෙන්ම කැලණි විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදනය පිළිබඳ පශ්චාත් උපාධි ධාරිනියකද ද වේ .ස්වකීය වෘත්තිය මාධ්‍ය ජීවිතය තුළ ඉතා පුළුල් පුළුල් පරාසයක විහිද ගිය ක්ෂේත්‍ර ගණනාවක ලේඛිකාවක ලෙස ද තනතුරු හොබ වන්නියක ලෙසද කටයුතු කර ඇත .පරිවර්තන යොවුන් නවකතා, ස්වතන්ත්‍ර ළමා කෘති සහ සම්මානනීය නවකතාවල ගෞරවනීය හිමිකාරියක වන ඇයගේ කෘතියක් දෙමළ බසට ද පරිවර්තනය වී ඇත .මේ රටේ ජනවාර්ගික අර්බුදය සාමය සංහිඳියාව හා සංක්‍රාන්තික යුක්තිය වැනි ක්ෂේත්‍ර වල අධිපතිත්වය දරන සාම්ප්‍රදායික මතවාදයන්ගේ නිසරු බවට ස්වකීය සාහිත්‍යකරණය හරහා පීඩිතයාගේ පාර්ශ්වයේ සිට ඇය විසින් අභියෝග කරනු ලබයි .ලාංකීය අධිපති මත ධාරාව සහ මාධ්‍ය හැසිරීම විසින් සැබෑ සාමයට තිබෙන දුර තවදුරටත් වර්ධනය කරන බව සහකම්පනය මුල්කරගත් ලේඛන කලාවක යෙදෙන ඇය පෙන්වා දෙන්නීය .සාහිත්යවේදීනියක හා මාධ්‍යවේදිනියක ලෙස රටේ සාමය ගොඩනැගීම වෙනුවෙන් තමන් වෙත සමාජය විසින් පවරා ඇති වගකීමේ පරිමාව පුළුල් මානව දෘෂ්ටිවාදයක සිට විග්රහ කර ගනිමින් ලේඛන නිරත ඇය කත්‍යානා අමරසිංහය.
මගේ විසි වසරකට නොඅඩු පූර්ණකාලීන මාධ්‍ය වෘත්තියේදී හිතට දැනෙන යමක් කරන්නට ඉඩ ලැබුණු අවස්ථා තිබුණේ ඉතා අඩුවෙනි. විශේෂයෙන්ම මා කැමති ආකාරයේ සමාජ දේශපාලන කාරණා අරභයා යමක් මට ලියන්නට ඉඩ ලැබුණේ නම් ඒ මගේ පූර්ණ කාලීන මාධ්‍ය ජීවිතයට සමුදෙන්නට ටික කලකට ඉහතදීය. යම් යම් වැඩ පැවරීමේදී මේ හා සම්බන්ධ මාතෘකා ආවරණය කිරීම ‘පිරිමින්ට පමණක් කළ හැකි හෝ පිරිමින්ට වඩා හොඳින් කළ හැකිය’ යන අදහස්වල මගේ ඇතැම් ජේෂ්ඨ්යන් ගැලී සිටි නිසාදෝ මට හැම විටම ලැබුණේ සාහිත්‍ය, සෞක්‍ය, කලාව, කාන්තාවන් සහ ළමයින්, අධ්‍යාපනය සහ විදෙස් පුවත් වැනි අංශවල සංස්කරණ කටයුතු සහ ලිවීමේ යෙදෙන්නටය. මා සේවය කළ ආයතනවල සමාජ දේශපාලන මාතෘකා ආවරණය කළ අති බහුතරයක් පිරිමින්ය. මෙහිදී මා අදහස් කරන්නේ දේශපාලන පක්ෂ හෝ රජයේ අමාත්‍යංශ ආවරණය කරන ප්රවෘත්ති වාර්තාකරණය නොවේ. වාර්ගික අර්බුදය, යුද්ධය වැනි මාතෘකා සම්බන්ධ දේශපාලන මතිමතාන්තර සාකච්ඡා කෙරෙන විශේෂාංග ලිපි සම්පාදනයයි.
මේ කාරණාව මේ ලිපිය පටන්ගැනීමේදීම ලියන්නට හේතුව වන්නේ උක්ත කාරණය ම පශ්චාත් යුද සන්දර්භයක් තුළ වෘත්තීය අත්දැකීම් සහ එහිදී හමුවූ අභියෝග ගැන ලියන විට මගහැර යා නොහැකි නිසාය.
මෙහිදී මා අවධානය යොමු කරන ප්‍රධාන කාරණාව වන්නේ මෙම ලිපිය ලිවීම සඳහා ලබා දුන් තේමාවේ සඳහන් පරිදි ‘ජාතික සමගිය වෙනුවෙන් දැක්වූ දායකත්වය හා බැඳුණු වෘත්තීය අත්දැකීම්’ යන්න පිලිබඳ මගේ කියවීම විග්රහ කිරීමටය. මෙකී ‘ජාතික සමගිය’ යන්න මා දකින්නේ මාධ්‍ය මගින් හා විවිධ සංවිධාන විසින් දශක ගණනාවක් තිස්සේ පුන පුනා අර්ථකථනය කරනු ලබන සම්ප්‍රදායික නිර්වචනයට වඩා බෙහෙවින් වෙනස් ආකාරයකට බව මෙහිලා සඳහන් කළ යුතුය. ‘ජාතික සමගිය’ බොහෝ තැන්වලදී අර්ථ දැක්වෙන්නේ උතුර දකුණ යා කරන ‘සංස්කෘතික පාලම්වල’ පිහිටෙනි. උතුරු නැගෙනහිර කලාපයේ අත්දැකීම් දකුණටත්, දකුණේ අත්දැකීම් උතුරු නැගෙනහිරටත් බෙදා හදා ගැනීමෙන්, සංස්කෘතික හුවමාරු හරහා සමගිය ඇති කළ හැකි වෙතැයි යන්න බොහෝ මාධ්‍යවල- විශේෂයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල නිතර නිතර වැයෙන ගීයක් මෙන් පැවතිණ. අදටත් එසේම පවතියි. උතුරුකරයට නෑ ගම් ගොස් ‘හිත හොඳ දෙමළ මිනිසුන්ගේ මනුස්සකම්’ ගැන ලියන, සිංහල දෙමළ විවාහ සම්බන්ධතා, ප්‍රේම සම්බන්ධතා උත්කර්ෂයට නැගෙන, උතුරේ දෙමළ කඳුළු සහ දකුණේ සිංහල කදුළුවල කිසිදු වෙනසක් නැතැයි යන්න එපා වෙන තරමට ලියවෙන, නිදහසින් පසු රාජ්‍යයේ වර්ගතාන්ත්‍රික භූමිකාව නොසලකා හරිමින් දුප්පත්කම සහ කුලවාදය වැනි සමාජයීය කාරණා මත වාර්ගික අර්බුදය නිර්වචනය කෙරෙන, එනිසාම දුප්පත්කම නැති කිරීමෙන්, ගොඩනැගිලි සහ මහාමාර්ග ගොඩනැගෙන සංවර්ධනය හරහා පමණක් උතුරේ දෙමළාගේ ප්රශ්නය විසඳෙතැයි සිතන මතවාදවල පිහිටා සිට ලියන විශේෂාංග ලිපි දකුණේ පත්තරවල පළවෙයි. දැන් එය සමාජ මාධ්‍යයද ආක්‍රමණය කර තිබේ. එසේ ලියන මාධ්‍යවේදීන් ජාතික සමගිය වෙනුවෙන් ලියන මාධ්‍යවේදීන් හැටියටද බොහෝ තැන්වලදී හැඳින්වේ. අප කුඩා අවධියේ සිට දශක ගණනක් තිස්සේ සිදුවූ මෙම සන්නිවේදනය සාර්ථක වූවා නම් අපට තවමත් ජාතික සමගිය හෝ ජාතිවාදය වැනි මාතෘකා සම්බන්ධයෙන් කතා කරමින් සිටින්නට වන්නේ නැත.
මා දකින ආකාරයට ජාතික සමගිය ඇති කිරීමට මාධ්‍යවේදීන් හෝ වෙනත් ඕනෑම කෙනෙකුට දායක විය හැක්කේ උතුර දකුණ යා කරන ව්‍යජ සංහිඳියා පාලම් හැදීමෙන් නොවේ.ඉංග්‍රිසි යටත්විජිතවාදයෙන් ලංකාව නිදහස ලබා ගතවී ගිය දශක ගණනාවක් තිස්සේ රාජ්‍ය විසින් දෙමළ ජනතාව මත ක්‍රියාත්මක කරනු ලැබූ පීඩාකාරී රාජ්‍ය ප්‍රතිපත්ති නිසා අහිමි වී ගිය ඔවුන්ගේ යුක්තිසහගත අයිතීන් සහ අභිලාෂයන් පිලිබඳව කතා කිරීමෙනි. ඔවුන්ට සිදුවූ අයුක්තිය සහ අසාධාරණ පිලිබඳ සහකම්පනීය දෘෂ්ටියකින් වාර්තාකරණයේ යෙදීමෙනි. ඒ ගැන දකුණේ සමාජය දැනුවත් කිරීමෙනි. වසර තිහකට ආසන්න කාලයක් තිස්සේ උතුර නැගෙනහිර කලාපයේ ජනතාව අත්විඳින ලද පීඩාව දෙස පුළුල් දේශපාලන දෘෂ්ටියකින් බැලීමට දකුණේ සමාජයට යෝජනා කිරීමෙනි. යුද්ධයේ කම්පනීය අත්දැකීමට මුහුණ දුන් දෙමළ ජනතාවගේ තුවාල සුව කිරීමට හැක්කේද, සැබෑ සාමය සහ සංහිදියාව ඇති කළ හැක්කේ ද එකී තුවාලය දෙස උඩින් අතගා බලන හැඟීම්බර දෘෂ්ටියෙන් එහාට යමින් කරන ගැඹුරු දේශපාලනික කියවීමකින් පමණක් බවද මම විශ්වාස කරමි. එකී කියවීම සාමාන්‍ය ජනතාව වෙත බලපෑම්සහගත සහ ප්‍රතිපලදායි ලෙස ඉදිරිපත් කිරීම ජනමාධ්‍යකරුවන් සහ සාහිත්‍යකරුවන් හමුවේ තිබෙන මූලික අභියෝගයකි. එම අභියෝගය ජය ගත හැක්කේ ඔවුන්ට තිබෙන සහකම්පනය සහ වාර්ගික අර්බුදය හා සම්බන්ධ දේශපාලන සාක්ෂරතාවයක් හරහා පමණි.
එහෙත් මේ ආකාරයේ වාර්තාකරණයක් කිරීමට මගේ වෘත්තීය ජීවිතයේදී ප්‍රමාණවත් පරිදි අවස්ථාවක් ලැබුණා යයි කිව නොහැකිය. මුලින් සඳහන් කළ ආකාරයට මා පූර්ණකාලීන සේවයෙන් ඉල්ලා අස්වීමට වසරකට පෙර මට පශ්චාත් යුද සමය ආශ්රිත ලිපි කිහිපයක් ලියන්නට මා සේවය කළ ජාතික පුවත්පතෙන් ඉඩක් ලැබිණි. එය සිදුවූයේ වෙනත් කටයුත්තක් සඳහා, නිවාඩුද ලබාගෙන පෞද්ගලිකව උතුරට ගිය ගමනක් නිසාය. එම ගමනින් පසුව මා සමාජ මාධ්‍යයකට එක් කළ කුඩා සටහනකට ලැබුණු විශාල ප්‍රතිචාර ප්‍රමානය නිසා මගේ ගමනආශ්රිත ලිපි කිහිපයක් ලියන්නැයි කතුවරයා මට පැවසුවේය.
උතුරට මා ගිය ගමනට හේතුව වූයේ මා එවක ලියමින් සිටි නවකතාවකට අවශ්‍ය පසුබිම් කාරණා සොයා ගැනීමය. උතුරේ දෙමළ සමාජය සමග මට සබඳකම් තිබුණේ නැති තරම්ය. ඒ සම්බන්ධකම් ගොඩනැගීමට අවශ්‍ය උපකාර කළේ සාහිත්‍ය සම්බන්ධ කටයුත්තකදී හමුවූ යාපනයේ උපන් දෙමළ මිතුරෙකි. ඒ අනුව මට වසර තිහක යුද්ධයේ කටුක අත්දැකීම්වලට මුහුණ දෙමින් එම කලාපයේ ජීවත්වූ කිහිප දෙනෙකුම හඳුනා ගන්නට ඉඩ ලැබිණි. ඔවුන් හරහා විවිධ වෘත්තීන්වල නියැලෙන, විවිධ වයස් මට්ටම්වලට අයත්, විවිධ දේශපාලන මතිමතාන්තර දරන තවත් පිරිසක් හමු වීමේ අවස්ථාවද ලැබිණ. යාපනයේ ඩික්සන් පියතුමා, සුබ්‍රමනියම් පරමනාදන්, විජයරත්නම් රත්නරාජා එතැන් සිට මා උතුරට ගිය ගමන් බිමන්වලදී මට උදව් උපකාර කළ අය වෙති. ඔවුන් මගෙන් ඉල්ලා සිටියේ පශ්චාත් යුද සමයක වෙසෙන උතුරු නැගෙනහිර දෙමළ සමාජය ගැන ‘ජනප්‍රිය නොවන මතය’ දකුණේ සමාජය වෙත ගෙන යන ලෙසය. යුද්ධය නිමවී වසර ගණනක් ගතව ඇතත්, මා සේවය කළ ජනමාධ්‍ය ආයතන වැනි දකුණේ ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලට ඇස නොගැටෙන එහි ප්‍රශ්න ගැන ලියන ලෙසය. ඔවුන් සමග මම උතුරෙහි විවිධ තැන්වලට ගියෙමි. විවිධ ප්‍රශ්නවලින් පීඩා විඳින සාමාන්‍ය වැසියන් සමග කතා කළෙමි. ඔවුන් සියලු දෙනාගෙන්ම කියැවුණේ එකම කතාවකි. ඒ තවදුරටත් ව්‍යජ සංහිඳියා කතාන්දරවලට ඔවුන්ගේ තුවාල සුවපත් කිරීමට කළ හැකි දෙයක් නැති බවය. භාෂා සහ සංස්කෘතික දුරස්ථභාවයන් නැති කළ පමණට ඔවුන්ගේ ප්‍රශ්න නොවිසඳෙන බවය. දකුණේ බොහෝ ජනමාධ්‍යකරුවන් සහ සාහිත්‍යකරුවන් සිතා සිටින පරිදි ‘සිංහල සමාජයේ හොඳකම ගැන දෙමළ සමාජය දැනුවත් නැත, එසේ දැනුවත් කිරීමෙන් ඔවුන්ගේ සමාජයට වූ තුවාල සුවකළ හැකිය’ යන මතය ඔවුහු බොරුවක් බවට පත් කළහ. “සිංහල මිනිස්සු එක්ක අපේ කිසිම තරහක් තිබුණෙ නැහැ. ඔවුන් එක්ක ප්‍රශ්නයකුත් නැහැ. අපට ප්රශ්නය තියෙන්නෙ අපව දශක ගණනක් තිස්සෙ පීඩාවට පත් කළ රාජ්‍යය එක්ක” ඔවුහු මට කීහ. ඔවුන්ගේ ඒ පීඩිතභාවය සහ වින්දිතභාවය පිලිබඳව අවබෝධ කර ගැනීමට මට හැකි වූයේ සහකම්පනීය හැඟීමෙන් යුතුව ඔවුන්ගේ අයිතීන් පිලිගනිමින් ඔවුන්ට සවන් දුන් නිසා යයි සිතමි.
ජාතික පුවත්පතක තිබුණු සීමාවන් යටතේ ඔවුන්ගේ ඇසින් පශ්චාත් යුද සමය ආශ්රිත විශේෂාංග ලිපි කිහිපයක් ලියන්නට මට අවස්ථාව ලැබිණ. එහෙත් යම් යම් ප්‍රතිපත්තිමය කාරණා මත ඊට ටික කලකට පසු එම පුවත්පතින් ඉල්ලා අස් වෙන්නට සිදු වීම නිසා ඒ කිසිවක් දිගටම කරගෙන යාමට හැකි වූයේ නැත.
උතුරේ අත්දැකීම් ආශ්රයෙන් මා ලියූ නවකතාව ප්‍රකාශයට පත් වූයේ මා පුවත්පත් කලාවෙන් සමුගත්තාට පසුවය. එය දෙමළ භාෂාවටද පරිවර්තනය විය. එය කියවූ දෙමළ පාඨකයන්ගෙන් ලැබුණු ප්‍රතිචාරය අතිශයින් ම වැදගත්කොට සලකමි. ඔවුන් කියා සිටියේ මා ඔවුන්ගේ ප්රශ්නය ඔවුන්ගේ කෝණයෙන් තේරුම්ගෙන ලියා ඇති නිසා එය ‘දැනුණු’ බවය. ඔවුන්ගෙන් ලැබුණු ඇගයීම බහුතර සිංහල පාඨකයන්ගෙන් මට ලැබුණේ නැති වීම ගැන මට පුදුමයක්ද නැත. පසුගිය දශක තුන හතරක කාලය මුළුල්ලේ දකුණේ සිංහල සමාජය වෙත සම්ප්‍රේෂණය වූ අදහස් බොහෝ විට ලියැවී තිබුණේ ‘ සිංහලයා දකින්නට කැමති දෙමළා’ හෝ ‘සිංහල මනසට ගෝචර වන පරිදි අර්ථකථනය කරන ලද දෙමළ ප්රශ්නය’ පදනම් කර ගනිමිනි. මීට වෙනස්ව යමක් ලියැවුණා නම් ඒ විකල්ප ධාරාවේ පුවත්පත් කිහිපයකින් සහ විකල්ප සිතීම් සහිත ලේඛකයන් අතලොස්සක් ලියූ නිර්මාණ හරහා පමණි. එහෙත් ජනප්‍රියවාදි පුවත්පත් කලාවටත්, ජනප්‍රියවාදී සාහිත්‍ය ප්රවණතාවලටත් යටපත් වූ ඒවා ලංකාවේ මහ සමාජය වෙත ප්‍රමාණවත් පරිදි කාන්දු වූවාද යන්න ගැන ඇත්තේ ප්‍රශ්නාර්ථයකි.
ඒ නිසාම අදටත් පශ්චාත් යුද සමය ආශ්රිත වාර්තාකරණය සහ ඒ හරහා ජාතික සමගිය ඇති කිරීමට දායක වීම යනු යළි යළිත් සිතා බැලිය යුතු, එහි ප්රතිපලදායක බව තියුණු සංවාදයකට ලක් විය යුතු කාරණාවක් බව මගේ අදහසය.