සමාජ මාධ්‍ය අවකාශය තුළ වෛරී ප්‍රකාශ භාවිතය සහ එහි අභියෝග
අයි. කේ ප්‍රභා
ඕනෑම පුද්ගලයෙකුගේ ප්‍රජාතාන්ත්‍රික අයිතිය අනෙකාගේ නාසයෙන් කෙළවර විය යුතු බවට ප්‍රසිද්ධ කියමනක් ඇත. තවද සමාජයේ සාමාජිකයින් සමග කටයුතු කිරීමේදී හා ගණුදෙනු කිරීමේදී පුද්ගල හා පුද්ගල සමූහයන් අතර පවත්නා මානසික මට්ටම් විවිධාකර වේ. ඔබට තවත් පුද්ගලයෙකුගේ දියුණුව දැක ප්‍රශංසා කිරීමට හෝ මුදිතාව උපදවා ගැනීමට නොහැකි නම් කම් නැත, නමුත් ඔබට අනෙකාට දෝෂාරෝපණය කිරීමට කිසිදු අයිතියක් නැති බව නිතර දෙවේලේ සිහි තබා ගත යුතුය. වෛරී ප්‍රකාශයන් යන්න සමාජයේ දීර්ඝකාලීනව කතාබහ කරන මාතෘකාවකි. එහිදී ජාතික හෝ ජාත්‍යන්තර වශයෙන් පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායම් ජාති, ආගම්, භාෂාව, හමේ වර්ණය, ආගමික විශ්වාසයන්, ස්ත්‍රී පුරුෂ සමාජභාවය, ලිංගිකත්වය, දේශපාලන විශ්වාසයන්, සමාජ තත්ත්වය, වත්කම් ප්‍රමාණය, උපත, වයස, මානසික සෞඛ්‍ය, අපහසුකම් හා කරදරකාරී පසුබිම මත වෙන්කොට සැලකීම මඟින් වෛරී ප්‍රකාශයක් සිදු කරන බව හඳුනාගත හැකිය.
(https.//dictionary.cambridge.org/us/dictionary/English/hate-speech)
ලාංකික ඉතිහාසය පුරාවටම වෛරී ප්‍රකාශයන් විවිධාකාරයෙන් සිදු කර ඇති බවට අපට සුවිශේෂි සාධකයන් හා අවස්ථාවන් කිහිපයක් මගින් අනාවරණය කළ හැකිය. එහිදී ඒ ඒ කාල වකවානුවලට සුවිශේෂීව සන්නිවේදන උපක්රමයන් භාවිතයට ගන්නා ආකාරයත් වෙනස් වී ඇත. 20 වන සියවසේ පටන් බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයේ පියා (Father of Buddhist Revivalism in Sri Lanka) යනුවෙන් හඳුන්වනු ලබන අනගාරික ධර්මපාලතුමාගේ ආගමික මතවාදයන් සහ දේශන දෙමළ හා මුස්ලිම් ජනතාවගේ ජන ජීවිතයට බලපෑමක් වූ බව පවත්නා පිළිගැනීමකි. එහිදී ඔහු කුඩා කණ්ඩායම් රැස්වීම්වලදී යොදාගත් ප්‍රකාශන මාදිලිය විටෙක වෛරී ප්‍රකාශන ස්වභාවයක් ගත් බව ද නොරහසකි.
(https://theconversation.com/violent-buddhist-extremists-are-targeting-muslims-in-sri-lanka-92951)
මින්පසු අවධිය එනම් පුවත්පත, ගුවන් විදුලිය හා රූපවාහිනි මාධ්‍ය වැනි ජනමාධ්‍ය යොදාගෙන සිදු කරන ලද වෛරී ප්‍රකාශයන් පාශ්චාත් යුධ සමයේදී එනම් වර්ෂ 2009 දී අන්තර් සංස්කෘතික සහජීවනයට හා දේශපාලන මත නිර්මාණය කිරීම කෙරෙහි සුවිශාල බලපෑමක් සිදු කළ නිසාවෙන් ජන මනස හා ජන විඥාණය පෝෂණය කිරීමටත් එය ඉවහල් විය. මෑත කාලීනව දැකිය හැකි සුවිශේෂී ගෝලීයකරණ ප්‍රතිඵලයක් ලෙස විවිධ ජාතීන්ගේ හා ලාංකිකයින්ගේ පවා සෘජු බලපෑම මුස්ලිම් ජනතාව කෙරෙහි යොමු වී ඇති අකාරයත් හදුනාගත හැකිය. එහිදී විශේෂයෙන් නව තාක්ෂණය ඔස්සේ සමාජ මාධ්‍ය ඉලක්ක කර ගන්නා ආකාරයත් එමගින් විනෝදාත්මක හා නිර්මාණාත්මක ප්රවේශයන් භාවිත කරමින් සියුම්ව සමාජ මාධ්‍ය අවකාශය භාවිත කරන ආකාරයත් හඳුනාගත හැකිය.
මුල් යුගයේදී ජාති හා ආගමික කැලඹීම් හේතුකොටගෙන ව්‍යාප්ත වූ වෛරී ප්‍රකාශයන් වර්තමානය වන විට සමාජ මාධ්‍ය හරහා දේශපාලකයින් හා දේශපාලන පක්ෂ ඉලක්ක කරගනිමින් අසත්‍ය හා විකෘර්ති කරන ලද තොරතුරු සභ්‍යත්වයකින් තොරව ඉදිරිපත් වේ. උගත්, නූගත් හා රැඩිකල් මතධාරීන් තම මතයන් සමාජ මාධ්‍ය මගින් ද්වේශ සහගතව ඉදිරිපත් කිරීමට උත්සහ ගන්නා නිසාත් සමාජ පැවැත්මට අනවශ්‍ය පෙළඹීම් ඇති වේ. එනිසාවෙන් වර්තමාන සමාජ මාධ්‍ය තුළ වෛරී ප්‍රකාශයන් බරපතල ලෙස සිදුවන බව කැලණි විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යනාංශයේ විශ්‍රාමික මහචාර්ය ආචාර්ය මාපා තිලකරත්න පවසයි.
වර්තමනය වන විට ලාංකික සමාජය තුළ විශේෂයෙන්ම ප්‍රසිද්ධ නළුනිලියන් ජීවත්ව සිටියදී පවා ඔවුන් මිය ගිය බවට අසත්‍ය ප්‍රචාර පතුරුවමින් අනිච්චාවත සංඛාරා, නිවන් සුව ලැබේවා යනුවෙන් සටහන් කළ ව්‍යාජ පුවත් නිර්මාණ කරමින් ප්‍රචාරය කරයි. මිනිසුන්ගේ සිතුවිලි හා හැසිරීම මෙතරම් දුරට පහත් වූයේ මාධ්‍ය මගින් අදහස් ප්‍රකාශ කිරීමට ඇති නිදහස සමාජ මාධ්‍ය අත්තනෝමතිකව භාවිත කිරීමට යොමු වී ඇති නිසා බව ආචාර්ය තිලකරත්න පවසයි. වරක් තමා දින තුනක් ඉන්දියාවේ කල්කටා නුවර පැවති සාක් කලාපීය රටවල සාකච්ඡාවකට සහභාගී වූ අවස්ථාවක එම සාකච්ඡාව අවසානයේදී ඉන්දියානුවන් විසින් ඉල්ලීමක් කරමින් පවසා සිටියේ මෙම සමුළුවේ ඡායාරූප කිසිවක් සමාජ මාධ්‍යයට මුදා නොහරින ලෙසත් එසේ කිරීම දෙවන පෙළ ක්‍රියාවක් වන බවත් ය. ‘Hot News’ නැතිනම් උණුසුම් පුවත් යන සංකල්පය අතීතයේදී ජනමාධ්‍ය ඇසුරින් වර්ධනය වුවත් එය බටහිර බොහෝ රටවල්වල මේ වනවිට යම් නියාමනයකට යටත්ව ඇති බවත් සමාජ මාධ්‍ය මගින් වර්තමානය වන විට උණුසුම් පුවත් මුවාවෙන් ව්‍යාජ තොරතුරු ඉක්මනින් ඉදිරිපත් කිරීමට පෙළඹෙන නිසා වෛරී ප්‍රකාශයන්හී වාහකයක් ලෙස සමාජ මාධ්‍ය ක්‍රියාත්මක වන බවත් මාපා තිලකරත්නය පවසයි.
තාක්ෂණික සන්නිවේදන මාධ්‍යන් භාවිත කරමින් අන්තර්ජාලය ඇසුරින් කුමන හෝ ආකාරයකින් ව්‍යාජව නිර්මාණය කරන ලද තොරතුරක් මගින් පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමකට දෝෂාරෝපණය කිරීම හෝ බැන වැඳීමක් සිදු කරන ආකාරයෙන් තොරතුරු හෝ පණිවුඩ නිකුත් කිරීම වර්තමානයේ දැකිය හැකි නව ප්රවණතාවයකි. එය ‘Cyber Hate’ ලෙස හැඳින්වේ. ඒ සඳහා
- Internet – අන්තර්ජාලය
- Websites – වෙබ් මාධ්‍ය
- Social network sites – අන්තර් සමාජ ජාල
- Web 2.0 vector – තොරතුරු එක්රැස් කිරීමේ වාහකයන්
- Dating sites – මිතුරු හමුවීම් සඳහා වෙන් කර ඇති අවකාශය
- Blogs – බ්ලොග් අවකාශය
- Internet Gaming – අන්තර්ජාල ක්‍රීඩා
- Imo – ඉමෝ
- E – mail – ඊමේල්
- Twitter – ට්විටර්
- Whatsapp – වට්ස් ඇප්
- Facebook – ෆේස් බුක්
- YouTube – යූ ටියුබ්
යන සමාජ මාධ්‍ය අවකාශ භාවිත කරයි. උක්ත මාධ්‍ය අසීමිතව ව්‍යාප්තව තිබුණත් ඉතාමත් සීමිත ඉඩ අවකාශයක පමණක් සාමය හා සංහිඳියාව අඩංගු පුවත් පතුරවා හරිනු ලබන ආකාරය හඳුනාගත හැකිය. එවැනි සමාජ මාධ්‍ය අවකාශ කෙරෙහි යොමු වන්නන්ගේ ප්‍රමාණය ද සීමිතය. කෙසේ වුවද ව්‍යාජ තොරතුරැ සහ වෛරී ප්‍රකාශ පාලනය කර ගැනීම සදහාත් එවන් කටයුතු මගින් සමාජයට විය හැකි බලපෑම අවම කරගැනීම සදහාත් සමාජ මාධ්‍ය වේදිකා හිමිකරැවන් විසින් පෞද්ගලිකත්වය සහ වෙනත් කාරණාවන්ට අදාළව ප්‍රජාව මූලික කරගත් රෙගුලාසි සහ මාර්ගෝපදේශ හදුන්වා දී ඇත. එය හුදෙක් නාමික තත්තත්වයක පැවතීමත් ඒ කෙරෙහි එල්ල වී ඇති සමාජ බලපෑමත් හේතුවෙන් එම ආයතන මේ වනවිට එවන් තත්ත්වයන් නිරීක්ෂණය කර ක්‍රියාමාර්ග ගැනීම සදහා වන තාක්ෂණික ක්‍රමවේද දියුණු කරමින් සිටියි. ව්‍යාජ පුවත් සහ වෛරී ප්රකාශයන්ට ප්‍රමුඛත්වය දක්වන සමහර සමාජ මාධ්‍ය ගිණුම් හිටිහැටියේ ම අවහිර වන්නේත් වසා දැමෙන්නේත් ඒ හේතුවෙන් ය. ප්රකාශනයේ නිදහස ද ආරක්ෂා කරගනිමින් එවන් තත්ත්වයන් පිලිබද ක්‍රියාමාර්ග ගැනීම සදහා මෙන්ම පුරවැසි ආරක්ෂාව වෙනුවෙන් ලෝකයේ නොයෙක් රටවල හදුන්වාදී ඇති නීතිමය ප්රතිපාදනයන් ද වේ.
සමහර සංවිධානාත්මක කණ්ඩායම් විසින් සමාජ මාධ්‍ය යොදාගනිමින් පතුරවා හරින වෛරී ප්‍රකාශයන් ප්‍රධාන වශයෙන් තරුණ පිරිස බහුලව ඉලක්ක කර ගන්නා අතර ඔවුන් එහි අන්තර්ගතය පිළිබඳව අවධානය යොමු නොකොට සමූහ ලෙස එක්වී කණ්ඩායම් අතර ඉතාමත් ඉක්මනින් එම වෛරී ප්‍රකාශ ඇතුලත් පුවත් බෙදා හරි. තවද පින්තූර හෝ මුරපද යොදාගෙන ඉතාමත් සීමිත පිරිසක් ඉලක්ක කර ගනිමින් රහසිගතව හා උපක්රමශීලීව ඒවා භාවිත කරන නිසා මෙම ව්‍යාජ පුවත් නිර්මාණය කර බෙදාහරින්නන් පිළිබඳ සැබෑ තොරතුරු හෙළිකර ගැනීම අපහසු වී තිබේ. ආරක්ෂාව හා මහජන මතය පිළිබඳ ගැටලු, හැඟීම්බර හා ආර්ථිකයට බලපෑම් කිරීමට සමත් ඉතාමත් සූක්ෂම තර්කානුකූල වෛරී ප්‍රකාශයන් ප්‍රවර්ධනය කිරීම මෙහිදී සුවිශේෂයෙන්ම කැපී පෙනේ. තවද තමා තමා තුළින්ම ඇති කර ගන්නා ස්වයං වාරණයන් මගින් සමාජ මාධ්‍ය අවකාශ්‍ය තුළ තමන්ගේ ගෞරවය ආරක්ෂා කරගනිමින් ද අනුන්ගේ ගෞරවය හා ආත්මාභිමානය ද ආරක්ෂා වන ලෙස කටයුතු කරන්නේ නම් එය සමාජ ප්රගමනයට හේතුවන බව නොඅනුමානය. එමෙන්ම යහපත් සමාජ මාධ්‍ය භාවිතයක් වෙනුවෙන් පෙනී සිටින පිරිස් එම අවකාශය සංවිධානාත්මකව භාවිතයට ගැනීම ද පවත්නා තත්ත්වය ජය ගැනීමට හැකි තවත් එක් මාර්ගයකි.