අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස

සංහිඳියාව උදෙසා ව්‍යවස්ථාවක්

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

දශක ගනනාවක සිවිල් යුද්ධයෙන් ශ්‍රි ලංකාව නිදහස් වී තිබේ. එබැවින් එවැනි

මානව ඛේදවාචකයක් යළි සිදු නොවන පරිදි රටේ බොහෝ වෙනස් කම් සිදුවිය යුතුව

තිබුනි. ඒ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදනයන්කිරීමද විය. එහෙත් යුද්ධය

නිමා වූ 2009 වසරේ සිට ඊට නායකත්වය දුන්  මහින්ද රාකපක්ෂ රජය පරාජය වූ

2015 ජනාධිපතිවරණය තෙක්ම කල් පවතින සාමයක් උදෙසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථව

සංශෝදනය කිරීමට හෝ නව ව්‍යවස්ථාවක් කෙටුම් පත් කිරීමට අවදානය යොමුවුයේ නැත.

එහෙයින් 2015 වසරේ යහපාලන රජය බලයට පැමිණීමේදී ලබා දුන් පොරොන්දු අතර නව

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම් පත් කිරීමට  වැදගත් තැනක් හිමිවිය. නව

ව්‍යවස්ථාවක් උදෙසා මහජන  අදහස් ලබා ගැනීමට ලාල් විජේනායකගේ නායකත්වයෙන්

යුත් ව්‍යවස්ථ කෙටුම්පත් මණ්ඩලයක් පත් කෙරුන අතර අවාසනාවකට මෙන් අදහස්

ලබා ගත්තා මිස එකී ව්‍යවස්තාව කෙටුම්පත් කිරීම ඉන් ඔබ්බට ගියේ නැත. දැන්

වත්මන් රජයද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා අදහස් ලබා ගැනීමට ජනාධිපති

නීතීඥ රොමේෂ් සිල්වා ගෙ නායකත්වයෙන් යුත් කමිටුවක් පත් කර ඇති අතර ඊට

අදහස් ලබා දීමට බොහෝ පාර්ශවයන් ඉදිරිපත්වී තිබේ. එසේ ලබා දුන් අදහස් අතර

ශ්‍රීලංකාවේ නම සිංහලේ ලෙසින් වෙනස් කිරීමට පූජ්‍ය ඕමාරේ කස්සප හිමි

ඇතුළු පාර්ශවයක් ලබා දුන් යෝජනාවද වෙයි. එහෙත් මේ යෝජනාව ඕමාරේ කස්සප

හිමිගේ පෞද්ගලික යෝජනාවක් නොව ඊට සමාන අදහස් දරණා මෙරට බහු වාර්ගික රටක්

බව විශ්වාස නොකරන සැළකිවයුතු පිරිසකගේ අදහසක් ලෙස සැලකීම වඩාත් සාධාරණ

වෙයි.

ඕනෑම රටක නම ව්‍යවස්තා සංශෝදනයකින් කෝ වෙනයම් සම්මත ක්‍රමයකින් වෙනස්

කිරීම ප්‍රශ්ණයක් නොවේ. යටත් විජිත සමයේ බ්‍රිටිෂ් සිලෝන් නම්වූ

ශ්‍රීලංකාව, සිලෝන් නමින් බ්‍රිතාන්‍යය කිරීටයෙන්  නිදහස ලබාගත්තද 1972

ජනරජ ව්‍යවස්ථාව මගින් වර්තමානයේ හඳුන්වන ශ්‍රීලංකා නමින් නාම කරණය විය.

එහෙත්  වර්තමානයේ රට සිංහලේ ලෙස නම් කිරීමත්, පළාත් බෙදීම  ඓතිහාසික

බෙදීමට අණුව, රුහුණු, මායා, පිහිටි, ලෙස නම් කිරීමට යෝජනා කිරීමත් මගින්

රටේ සහජීවනයට සහ ජාතීන් අතර සමගියට බරපතල තර්ජනයක් එල්ලවීමේ ඉඩක් පවතින

බව කිව යුතුය. ඊට හේතුව වනුයේ මේ යෝජනාව හුදු අතීත කාමය හෝ ඓතිහාසික

වටිනා කම් සළකා ගෙන එන්නක් නොව සුළු ජාතීන් පීඩාවට පත් කර වත්මන්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවය අනුකූලව ඔවුන් බුක්ති විඳිනා නීත්‍යාකූල

වරප්‍රසාද පවා උදුරාගැනීමේ යටි අරමුණින් ගෙන එන්නක් වීමය.

 සිංහලේ යනු අපට හුරුපුරුදු නමකි. මාටින් වික්‍රමසිංහයන්ගේ ගම්පෙරළියේදී

අපට හමුවෙන ජිනදාස රැකියාවක් සොයා යන්නේ සිංහලේටය . ඒ කාලේ සිංහලේ කියා

කීවේ ඌව පළාතටය. එහෙත් ශ්‍රී ලංකාව සිංහලේ ලෙස නම් කිරීමෙන් අපට

ඇතිවෙන්නේ ගම්පෙරළිය කියවන පාඨකයනට ඇතිවන හඟීම නොව ඊට ඉඳුරාම වෙනත් එකකි.

ඒ මේ රට එක ජනකොටසකට නැතිනම් සිංහලයනට පමණක් හිමි බවයි.  ශ්‍රීලංකාව

සිංහල බෞද්ධ නින්දගමක් යයි සිතා රටේ බහු වාර්ගික පදනම බින්දුවට දමා

කටයුතුකරන පුරවැසියන් මෙකී යෝජනාව කදිම උත්තේජනයක් ගෙන එන මුත්, ඊට

සාපේක්ෂව සහෝදර පුරවැසියන් වන දෙමළ, මැලේ, මුස්ලිම්, බර්ගර් ජන කොටස් තුළ

ඇතිවෙන්නේ  විශාල කළකිරීමකි. එබැවින් රටේ නම සිංහලය වෙනස් කිරීම දිගු

කාලීනව හානිගෙන එන්නක් මෙන්ම සිංහල බෞද්ධ හැර සෙසු ජනකොටස් පිටස්තරයන්

ලෙස සළකන බව ඔවුනට නොකියා කීමකි. එමගින් ජාතීන් අතර සහජීවනය ඉඳුරාම බිඳ

වැටීමට ලක්වෙයි.

මෙය එක් පාර්ශවයක යෝජනාවක් පමණැකැයි කෙනෙකුට තර්ක නැගිය හැක. එමෙන්ම

තවමත් යෝජනාවක් පමණැකැයි කියා තව කෙකුට මෙය ලඝුකොට තැකිය හැක . එහෙත් රටේ

බහු වාර්ගික බව ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ පිළිගෙන, රටතුළදී සිංහල බෞද්ධ

නින්දගම් සංකල්පය වෙනුවෙන් පෙනීසිට තම චන්ද ගොඩ වැඩිකර ගන්නා දේශපාලන

ව්‍යාපාරයන් උත්කර්ශයට නංවමින් තිබෙනා සමාජයකට මෙවන් යෝජනාවක් ගෙනඒමම බිය

දනවයි . එමෙන්ම මෙය කිසිසේත් හුදකලා යෝජනවක් නොවේ.  ශ්‍රීලංකාවේ ජාතික

දජය ලෙස 1815 බ්‍රිතාන්‍ය කිරීටයට රට නතුවෙන අවස්ථාවේ භාවිත කළ පැරණි

සිංහ දජය යොදා ගැනීමට කළකට පෙර ගෙන ආ යෝජනාව සහ ජාතික උත්සව වලදී ජාතික

ගීය සිංහලෙන් පමණක් ගැයීමත් මෙහි සහෝදර යෝජනාවන් ය. ඒවා අතරින් ජාතික ගීය

සිංහලෙන් පමණක් ගැයීම දැනටත් ක්‍රියාත්මක නිසා  අලුතින් කෙටුම්පත් කරනා

ව්‍යවස්ථාවට එය නිසැකවම ඇතුලත්වනු ඇත. රටේ නම සිංහලේ යයි වෙනස් කිරීම

ව්‍යවස්තාවට ඇතුළත් කරගත හැකිවුවහොත් එය මහා විනාශයක ආරම්භයක් වනු

ඒකාන්තය . එවැනි විනාශයක් ආපසු හැරවීම හිතනා තරම් පහසු නොවේ.

රටේ පළාත් බෙදීම රුහුණු, මායා, පිහිටි, ලෙස කරන්නැයි යෝජනා කිරීමේ අරමුණ

ජන සංයුතිය වෙනස් කිරීම මගින් සුළු ජතීන්ට දැනට හිමිව තිබෙනා දේශපලන බලය

දියකර හැර ඔවුන් මෙරට පාලන සහ තීරණ ගැනීමේ ක්‍රියාවලියෙන් ඈත් කිරීමය.

දැනට ක්‍රියාත්මක පළාත් සභා තුළ උතුරු,නැගෙනහිර, පළාත් සභාවන්ගේ පාලනය

හිමිවනුයේ සුළු ජන කොටස් වලටය. එමෙන්ම මධ්‍යම පළාතේද සැලකිවයුතු පරිදි

සුළු ජාතික නියෝජනයක් දැකිය හැක. එහෙත් රුහුණු, මායා, පිහිටි ලෙස පළාත්

බෙදූ පසු මුළු උතුරු පළාතමත්, නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමළය

දිස්ත්‍රික්කයත්, මෙන්ම වයඹ පළාතේ කොටසකුත් “පිහිටි” රටට එක් වෙයි . එය

උතුරු නැගෙනහිර ජන සංයුතිය උපායශීලී ලෙස වෙනස් කිරීම නිසා සිදුවෙන

විකෘතියකි. එමගින් උතුරු පළාතේ ද්‍රවිඩ ජනතාව නිකම්ම පිහිටි සුළුතර ජන

කොටසක් වෙයි. එමගින් වත්මන් පළාත් සභා තුළ ඔවුන් දිනාගෙන සිටිනා යම්

මට්ටමක පරිපාලන බලය පවා අහිමිව යන අතර නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල දෙමළ

මුස්ලිම් ජනකොටස්ද ඊට සමාන ඉරණමකට මුහුන දෙනු ඇත . එය මෙරට ජන වර්ග අතර

සංහිදියාව බරපතල ලෙස පළුදු වීමට හේතුවක් වනවා මෙන්ම දිගුකාලීන වාර්ගික

අර්බුදයකට මග පාදන්නට හේතු වෙනු ඇත.

සැබැවින්ම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථවක් යනු රටක සියළුම ආකාරයේ කටයුතු වල

පැවැත්ම තීරණය කරනා මුඛ්‍ය ලේඛණයයි . එවැන්නකට යෝජනා ඉදිරිපත් කිරීමට

ඉඩකඩ ලැබීම ඕනැම ජන කොටසක් ලබනා වරප්‍රසාදයකි. එහෙත්  එවැනි අවස්ථාවන්

භාවිත කිරීම ඉතා වගකීමෙන් කළ යුතු අතර ද්වේශසහගත යෝජනා ලබාදී ඒ පිළිබඳ

අනවශ්‍ය ආකාරයේ සංවාදයන් ගොඩනැංවීම මගින් ව්‍යවස්ථා සම්පාදනය කිරීම වැනි

වැදගත් කටයුත්තකට පවා අනවශ්‍ය ආකාරයෙන් බලපෑම් ඇති වීමට ඉඩ කඩ තිබේ.

ශ්‍රී ලංකාවට නව ව්‍යවස්ථාවක් ගෙන එන්නේනම් එහි පාදම විය යුත්තේ

සංහිදියාව සහ ජාතීන් ආතර අවබෝධය වර්ධනය කිරීම වැනි කරුණුය. ඉන් බැහැරව යන

කිසිම ව්‍යවස්ථාවකින් මේ රට එක අඟලක් හෝ ඉදිරියට ගෙන යෑම කළ නොහැකිවෙන බව

ඒකාන්තය. එහෙයින් යෝජිත ව්‍යවස්ථාව 72 හෝ 78 ව්‍යවථාවන්හී දිගුවක් නොවීම

අනිවාර්‍යය. එමෙන්ම එම ව්‍යවස්ථාව මානව අයිතීන් සුරැකෙන, වඩාත් දියුනු

ජීවන තත්ත්වයන් තහවුරුකෙරෙනා බෙදී වෙන්වී සිටිනා සියලු ජාතීන් එකට එක්

කොට එකම පලනතන්ත්‍රයකට නතු කරනා ශක්තිමත් බැඳීමක් වීම අනිවාර්‍යය.

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් කතුවරුන්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts