සාමය

වාර්ගික සාමයේ දී කවිය හුදකලා ප්‍රකාශනයක් ද?

කපිල කුමාර කාලිංග

‘ජාතීන් අතර සමගිය’ යනු ලෝකයේ ජනවාර්ගික ගැ‍ටුම් පැවැති බොහෝ රටවල මෙන්ම, ශ්‍රී ලංකාවෙහිද කවියන්, කලාකරුවන් අතර ‘ජනප්‍රිය’ මාතෘකාවක් විය. සිංහල, දෙමළ, ඉංග්‍රීසි තෙ බසින්ම ඒ පිළිබඳව ලියැවුණු නිර්මාණ බොහෝය. නිපදවුණු නාට්‍ය, ටෙලි නාට්‍ය හා චිත්‍රපට ද ගණනාවකි. [සිංහල ලේඛකයෙකු වශයෙන්, මෙම ‘සිතුවිලි වියමනේදී’ මගේ අවධානය යොමු වන්නේ, කවිය පිළිබඳය.]

එක් මිතුරු හමුවකදී, අප අතර මෙවැනි පැනයක් මතු විය. ‘ජාතීන් අතර සමගිය’ පිළිබඳව කවි ලියන සිංහල කවියෙකුගේ, දරුවෙක් දමිළ හෝ මුස්ලිම් ජාතික තරුණියක හෝ තරුණයෙකු හා විවාහ වීමට අවසර පැතුවහොත්, ඔහු ගන්නා තීරණය කුමක්ද? මේ පිළිබඳව නොයෙක් අදහස් හුවමාරු  වුණි. එහෙත්, බොහෝ දෙනෙකුට, සාමාජීය හා පවුල්, ඥාති සංස්ථාවන්හි බලපෑම මත, එවැනි විවාහයකට අනුමැතිය දිය නොහැකි බව හෙළි වුණි.

කවියාගේ හෘද සාක්ෂිය කුමක් වුවත්, ඔහු ද සාමාජයීය සත්වයෙකි. ඔහුට තමා වට වී සිටින කො‍ටු දැළෙන් මිදීම, කාව්‍ය නිර්මාණය තරම් පහසු නොවේ. එසේ නම් ඔහු ලියන කාව්‍යයන්හි ඇති ප්‍රායෝගිකතාව කුමක්ද? එය හුදු ආත්මීය ප්‍රකාශනයක් පමණක්මද? 

ජාතීන් අතර සමගිය පිළිබඳව සිතුවිල්ලේ යෙදෙන බොහෝ අවස්ථාවල, මගේ මතකය පාසල් වියට ඇදී යයි. මා උගත්තේ, කන්ද උඩරට පැ‍රැණි බෞද්ධ පාඨශාලාවකටය. එහි මගේ පංතියේ දමිළ හා මුස්ලිම් සිසුවෝ දෙදෙනෙක්ද සිටියහ. ප්‍රාථමික අංශයේ සිට ඉහළ ශ්‍රේණි දක්වා ම සිටි ඔවුන්, පාසල හැර යාමෙන් පසු, මුණ ගැසුණේ ඉඳහිටය.

සිංහල, බෞද්ධ පාසලක, දමිළ සිසුන්, සිංහල මාධ්‍යයෙන් උගැන්ම ඒ කාලයේ (60 දශකය) කිසිවෙකුට ප්‍රශ්නයක් නොවීය. ඔවුහු, සිංහල පමණක් නොව බුද්ධ ධර්මය විෂය පවා හැදෑරූහ

මගේ පංතියේ සිටි ‘වාසුදේවන්’ (මෙය ඔහුගේ සැබෑ නම නොවේ.) හා මා අතර වූයේ, සමීප මිත්‍රත්වයකි. ඊට හේතුව වූයේ, ඔහු ද මා මෙන්ම පොත් ගුල්ලෙකු වීමය. අප දෙදෙනා සිංහල පොත් කියැවූයේ ත්‍රගයට මෙනි. 8 ශ්‍රේණියෙන් පසු මම, නගරයේ මහජන පුස්තකාලයට බැඳුණු අතර, වාසු වද එහි සාමාජිකයෙකු කළෙමි. කියැවූ පොත් පිළිබඳව අපි නිත්‍ර කතා බස් කළෙමු. සෙනසුරාදා දිනවල, පුස්තකාලයේදී ඔහු මුණ ගැසීමද සිරිතක් විය.

1977 ජාතිවාදී කෝලහාල මහනුවර ම ද බලපෑවේය. රජ වීදියේ, පැවිලියන් හෝටලය ඉදිරිපස තිබූ සුරුට්‍ටු කඩය ද එහි මුදලාලි ද ඉන්පසු දක්නට ලැබුණේ නැත. පාසල් යන කාලයේ සිටම, මා’සරසවිය’ පුවත්පත මිලදී ගත්තේ, ඒ කඩයෙනි. වචනයට දෙකකට වඩා කතාබහ කර නැති නමුදු, ඒ මහලු මුදලාලි පිළිබඳව මා තුළ උපන්නේ මහත් ශෝකයකි. ඔහු මරා දැමූ බිහිසුණු ආකාරය ගැනද විවිධ කතා අසන්නට ලැබුණි.

වාසුදේවන් ලා පදිංචිව සිටියේ, මහනුවර නගරයට ආසන්න, තැනකය. ඔවුන්ටද යම් යම් හිරිහැර කරදර සිදුවී යැයි මට දැනගන්නට ලැබුණි. ඉන් පසුව වසර දෙක තුනක් ගතවන තුරුම මට ඔහු දක්නට ලැබුණේද නැත.

යලිත්, මට ඔහු මුණ ගැසුණේ, නගරයේ පිහිටි රෙදි වෙළෙඳ සලක් තුළදීය. වේට්ටියකින් හා කමිසයකින් සැරසී සිටි වාසු, එහි සේවකයෙකු වශයෙන් කටයුතු කළේය. මා දු‍ටු වාසු ලජ්ජාශීලී සිනාවක් පෑවේය. මා ඇසූ යමකට කෙටි පිළිතුරු දුන්නා මිස, වෙනදා මෙන් විස්තර කතා කළේද නැත. ඒ අතරතුර ඔහු, වෙළෙඳ සලේ කළමනාකරු ඇසූ ප්‍රශ්නයකට දෙමළ බසින්ද පිළිතුරු දුන්නේය. මා ඊට පෙර කිසිම අවස්ථාවක, මගේ දෙමළ මිත්‍රයා ඔහුගේ බසින් කතා කරනු අසා තිබුණේ නැත.

ඊට මද කලකට පසු, යළි එම වෙළෙඳ සලට ගිය මට දැනගැනීමට ලැබුණේ, වාසු සේවයෙන් ඉවත්ව ගොස් ඇති බවකි. ඊටත් වසර ගණනාවකට පසු, මා මිත්‍ර දමිළ ලේඛකයකු, දමිළ බසට පරිවර්තනය කිරීම සඳහා, ජනවර්ග ප්‍රශ්නයට අදාළ සිංහල කවි සොයමින් සිටියදී, මගෙන්ද ‘යමක්’ ඇද්දැයි ඇසීය. කවියෙකු ලෙසින් පෙනී සිටීමට මැළි නමුදු, සටහන් පොතක කුරු‍ටු ගා තිබූ කවියක්, මම ඔහුට යොමු කළෙමි. (එය දෙමළට පරිවර්තනය වී දැයි නොදනිමි) එහි සිරස්තලය වූයේ, “සොයාදෙන්න වාසුදේවන්”ය.

මහනුවර පාසලේ 

ප්‍රාථමික අංශයේ 

ළඟම ඩෙස්කුවේ හිඳ

මා සමඟ අකුරු කළ

වාසුදේවන් ගැන

තොරතුරක් සොයන්නෙමි

මා සිංහල-ඔහු දෙමළ

වගක් නොවීය ඒ ගැන අපට

අඹ යහළුවන් වීමු

එකම පැන්සල

දෙකට කඩාගත්

ලොකු පංතිවලදී

එකට ගියෙමු

මහජන පුස්තකාලයට

සිංහල නවකතා, කෙටිකතා

කියවමින්

කතාබස් කළෙමු, ඒ ගැන

දෙමළ චිත්‍රපටි

නැ‍රැඹුවෙමි ඔහු සමඟ

නොතේරෙන තැන්

රහසේම-අඳුරේම

කියා දුන්නේ ඔහුය

නික්ම ගිය පසු පාසලෙන්

නුදුටිමි බොහෝ කලකට

හදිසියේ ඔහු දු‍ටුවෙමි

නගරයේ රෙදි කඩයක

වේට්ටියකින් සැරසී

නළලෙහි විභූති ඇතිව

සේවයෙහි යෙදෙන

සිනාසුණ ද ඔහු

මා හැඳින

කුමක්දෝ අමුත්තක් වී

ඒ බාග සිනාවෙනි

බොහෝ දේ කියන්නට

බොහෝ දේ අසන්නට

ඇති බව දනිමි-ඔහුටද

මට මෙන්ම

වාසු, ඔබ කොහිද?

මා ඉහත කියූ අත්දැකීම ම, මේ කව තුළ පුනරුච්චාරණය වී ඇති බැවි දනිමි. එහෙත් මෙය ලියුවේ, එම පසුබිම නොදන්නා පාඨක පිරිසක් ඉලක්ක කර ගනිමිනි.)

කළු ජූලිය, යුද්ධය, දකුණේ තරුණ කැරලි හා භීෂණය වැනි දෙයින් සසල වූ සිත් ඇති, කවීන්ගේ නිර්මාණ ‍රැසක් පුවත්පත් හා වාර ප්‍රකාශනවල පළ කෙරුණි. ඔවුන්ගේ කාව්‍ය ග්‍රන්ථයන්ට ඇතුළත් විණි. ඉන් ඇතැම් කවි, භාවාතිශය, සෘජු ප්‍රකාශන වූ නමුදු, පොදුවේ සියල්ලටම තේමා වූයේ, යුද විරෝධය, ජාතීන් අතර සාමයේ අවශ්‍යතාව හා මනුෂ්‍යත්වයයි. ‘යුද්ධය’ තේමා කරගෙන ලියැවුණු උසස් කවි අතරින් රත්න ශ්‍රී විජේසිංහ කවියාගේ ‘මව් කිරි’ නමැති කවි පෙළෙහි විශේෂත්වයක් වූයේ, එය උතුරේ දමිළ මවකගේ දෘෂ්ටි කෝණය යොදා ගැනීමය. එහි අවසන් කව මෙසේය.

සිද්ද වෙද සෙතක් පැඩි රට ගින්දර    ලෑමෙන්

ඇද්ද ලොව පුතුන් වැඩූ මිස නැසුව    මව්වරුන්

දෙන්න මට මගේ දෙ පුතුන් දෙන්න මට   ඔවුන්

උන්ට පණ පොවමි මම මගෙ, එකම   පියවුරෙන්

(සුබ උදෑසනක්-කාව්‍ය සංග්‍රහය)

රත්න ශ්‍රී  කවිය දකින මවට, දෙ පුතුන්, සිංහල දෙමළ කියා වෙනසක් නැත. ඇය, දෙදෙනාටම එකම පියොවුරෙන් කිරි දී, ජීවත් කරවන්නට සූදානම්ය.

උතුරේ මෙන් ම දකුණේ ද, මව්වරුන්ගේ දරුවෝ යුද්ධයෙන් හා කැරලිවලින් අකාලයේ විනාශ වූහ. දෙපාර්ශ්වයේම කවියෝ, තම තමන්ගේ දෘෂ්ටි කෝණයන්ගෙන් ඒ පිළිබඳ කවි ලියූහ. සටනින් මිය ගිය සෙබළුන් ගැන රණවිරු ඇගැයුම් කළහ.

කනගා‍ටුවට කාරණය වන්නේ, සිංහලෙන් ලියූ කවි සිංහල ජනතාවටත්, දමිළ කවි දමිළ ජනයාටත් පමණක් සීමා වීමය. මේ කුඩා දූපතේ, භාෂා දෙකකින්ලියන කවියෝද, ඔවුනොවුනට ආගන්තුකය. කවි කියවන පිරිසද, සැළකිව යුතු ගණනක් නොවේ. එසේ නම්, ඒ කවියේ ඵලය කුමක්ද යන පැනය, යළිත් මසිතෙහි නිනද වෙයි. එය කිසියම් යුගයක් පිළිබඳ සාහිත්‍යමය හරස්කඩක් හෝ සිහිවටනයක් මිස, දේශපාලනික වටිනාකමකින් තොර කාර්යයක් වීද?

මෙහිදී, මට සිංහල කවියකු කී දෙයක් මතකයට නැ‍ඟෙයි. 

“දෙමළ භාෂාව ඉගෙන නො ගැනීම ගැන මම බොහෝ පසුතැවෙනවා. මගේ කවියෙන් දෙමළ ජනයාට පලක් නෑ. එහෙත් මා දෙමළ මස දැන සිටියා නම්, ඔවුන් කීප දෙනෙකුගේවත් සිත් සැනසීමට ඉඩ තිබුණා.”

මිනිස් ඉතිහාසයේ ප්‍රාථමික සමාජයන්හි කවියට පැවරී තිබූ සමාජ වගකීම හා මෙහෙවර දැන් එයට අහිමිව ඇත. සමාජයක පවතින අධිපති මතවාදයන්ට එරෙහිව, කවියට කළ හැකි බලපෑම ඉතා අල්පය. වර්තමාන ලෝකයේ, මිනිසාගේ ආකල්ප සැකසීමේදී වැඩි බලපෑමක් කළ හැක්කේ සාහිත්‍යයට නොව, සිනමාව, රූපවාහිනිය වැනි දෘශ්‍ය මාධ්‍යයන්ටය. ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ අශෝක හඳගම මෑතකදී පවසා තිබුණු අන්දමට, දේශපාලනික ප්‍රතිසංස්කරණයන් කළ හැක්කේ දේශපාලනික ක්‍රියා මාර්ගයන්ගෙන් මිස, කලා නිර්මාණයන්ගෙන් නොවේ.

කවිය සමාජියීය වශයෙන් සම්පූර්ණයෙන්ම නිෂ්ප්‍රයෝජන, හුදෙකලා ප්‍රකාශනයකැයි කීමට මම එකඟ නොවෙමි. කවියද, රටක හෝ ජන සමාජයක ඉතාම අඳුරු යුගයක පවා, සැඟව දැල්වෙන මිනිස්කමේ උදාරත්වය පිළිබඳ ප්‍රබල සාක්ෂිකරුවෙකි. ඉතිහාසඥයාට මඟ හැරෙන, කුඩා අහුමුළු පවා කවියාට හසු වෙයි.

කවියෙකුට, ජාතීන් අතර පාළමක් ගොඩනැගීමට තරම් ශක්තියක් නැත. එහෙත් ඔහුට, එහි ඇති වැදගත්කම අවධාරණය කොට දැක්විය හැකිය. කනස්සල්ලට කාරණය වන්නේ, එය දැනෙනු ඇත්තේ, කවි කියවන, කවි බස වැටහෙන රටක ජනතාවකට පමණක් වීමය.

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts