Uncategorized

වසර විස්සකට පසු වෙනස්වන ජාතික පරිසර පනත

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

ස්වභාවික ප‍රිසරය හා මිනිසාගේ සෞඛ්‍ය තත්ත්වයෙහි යහපැවැත්ම සහ ආරක්ෂාව උදෙසා සෘජුව හා වක්‍රව බලපාන්නා වූ විවිධ නීතීන් හැත්තෑවකට අධික ප්‍රමාණයක්  වර්තමානය වන විට  ලංකාව තුළ බල පැවැත්වේ. මෙම නීතීන් බොහෝ ප්‍රමාණයක් යම් විශේෂ කොට්ඨාසයක් තුළ පවතින ගැටලු පිළිබඳව ආමණ්ත්‍රනය කරන අතර සමස්තයක් වශයෙන් පරිසරය දූෂණය හා පරිසර ආරක්ෂණය පිළිබඳ ව මූලික අඩිතාලම ට අදාල නීතිමය පදනම ජාතික පරිසර පනත මගින් හඳුන්වා දෙන ලදී. මීට අවුරුදු හතළිහකට පමණ පෙර, එනම් 1980 වසරේ දී පරිසරයට සිදු කරන හානිය වෙනුවෙන් සටන් කිරීමට හැකි  කිසියම් බල අධිකාරියක් නිර්මාණය වන පරිදි මෙම පනත ජාතික පරිසර අධිකාරිය මගින් සකස් කර ඇත. දශක දෙකකට ආසන්න කාලයක් යාවත් කාලින නොවු මෙම පනතට  ශක්තිමත් නීතිමය බලයක් ලබා දීම උදෙසා නව වගන්ති හතළිස් දෙකක් ඇතුළත් කළ යුතු බවට ජාතික පරිසර අධිකාරිය විසින් යෝජනා කර ඇත.

සංවර්ධන කටයුතු නිසා පරිසරයට සිදුවන බලපෑම තක්සේරු කිරීමට, අවම කිරීමට හා පාලනය කිරීමට ජාතික පරිසර අධිකාරිය මගින් ප්‍රධාන නියාමන ප්‍රතිපාදනයන් දෙකක් අභිනවයෙන් හඳුන්වා දී තිබේ. ඒවා නම්,

  1. ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති වලින් පරිසරයට සිදුවන බලපෑම තක්සේරු කිරීම සඳහා “පාරිසරික බලපෑම් තක්සේරුව” (Environment Impact Assessment- EIA)
  2. පරිසර දූෂණය පාලනය කිරීම උදෙසා “පාරිසරික ආරක්ෂණ බලපත්‍රය” (Environment Protection License- EPL)

අතීතයේ හඳුන්වා දුන් නීතිවල යල්පැන ගිය තත්ත්වයක් හඳුනා ගත හැකි අතර වර්තමානයේ පවතින තත්වයට අනුකූල වන පරිදි නව ප්‍රතිපාදන, පවතින නීතිමය රාමුවට ඇතුලත් කිරීම වැදගත් බව  පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සති අන්ත පුවත්පතකට  පවසා ඇත. යෝජිත නව ප්‍රතිපාදන තුළින් නව පනතට සංශෝධන ගෙන එමින් වර්තමානයේ පවතින නීතිමය රාමුවේ විෂය පථය පුළුල් කිරීම මගින් පවතින පාරිසරික ගැටලු සඳහා විධිමත් විසඳුම් ලබාදීමට හැකිවනු ඇති බව ඔහුගේ මතයයි.

පරිසර අමාත්‍යංශ ලේකම් ආචාර්ය අනිල් ජාසිංහ මහතා එම පුවත්පතට ප්‍රකාශ කළ පරිදි ජාතික පරිසර පනතට මූලික හා වැදගත් වෙනස්කම් සිදුකළ යුතු බව, එනම් නව ප්‍රතිපාදන හතළිස් දෙකක් යෝජිත බවට අදහස් දක්වා ඇත. එමගින් පනතේ හරයාත්මක වෙනස්කම් සිදුවන බව ඔහු පවසයි.  

උදාහරණ ලෙස පවතින පරිසර පනතින් හඳුන්වා දී ඇදී ඇති වැරදි සදහා දඩ මුදල් වල ආරම්භක අගය රුපියල් දහදාහක් වැනි සුළු මුදලක් වන අතර ආචාර්ය අනිල් ජාසිංහ මහතාගේ අදහස් පරිදි මෙම දඩ මුදල් සීමාව ඉහළ නැංවිය යුතු බව දක්වා ඇත. දඩ මුදල් වල සුළු බව හේතුවෙන් වැරදිකරුවන් දඩ මුදල් ගෙවමින් නැවත නැවතත් එම වැරදි වල නිරත වීමේ ඉහළ ප්රවණතාවක් ඇති බව දක්නට ලැබෙන බව ඔහුගේ මතය වේ.

“උපාය මාර්ගික පාරිසරික තක්සේරුව”- Strategic Environment Assessment (SEA), අවධානය යොමු කළ යුතු වැදගත් යෝජිත නව ප්‍රතිපාදනයක් ලෙස හදුනා ගෙන ඇත. පාරිසරික සලකා බැලීම් ඒකාබද්ධ කිරීම සදහා මෙම උපාය මාර්ගික තක්සේරුව සංවර්ධන සැලසුම්වලට අදාල ඵලදායි මෙවලමක් ලෙස හඳුනා ගෙන ඇති අතර නව සංවර්ධන සැලසුම් වලට අවසර දීමේ දී විවිධාකාර වූ පාරිසරික සාධක සලකා බැලිය යුතුවේ. මීට අමතරව අපවහන හා විමෝචන පරිසරයට මුදාහැරීම වළක්වාලීමට පරිසර ආරක්ෂණ බලපත්‍රය ප්‍රධානම නියාමන මෙවලමක් වන අතර එය පරිසර දූෂණය අවම කිරීමට දිරිමත් කරන නෛතික උපකරණයක් ද වේ.

කර්මාන්තශාලා අපවහන පරිසරයට මුදාහැරීම සැලකිල්ලට ගනිමින් පරිසර අමාත්‍යංශය විසින් “දුෂණය කරන්නා ගෙවයි” (Polluter Pays Principle) යන සංකල්පය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරය ඇත. ආචාර්ය අනිල් ජාසිංහ මහතාගේ අදහස් පරිදි එම ගෙවීම්  අදාල පුද්ගලයා හෝ ආයතනය විසින් සිදු කළ පරිසර දූෂණයේ පරිමාව මත තීරණය කළ යුතු ය. පරිසර ආරක්ෂණ බලපත්‍රය අලුත් කිරීම ප්‍රමාද වීමේ දී ප්‍රමාද දඩ හඳුන්වා දීම ද නව ප්‍රතිපාදන මගින් යෝජිතය. කල් නොයවා මෙම යෝජනා, පවතින ජාතික පරිසර පනතට ඇතුළත් කළ යුතු අතර එම යෝජනා නීති කෙටුම්පත් ආයතනයට මේ වන විටත් යොමු කර ඇත. එම යෝජනා තෘප්ත කර ඉක්මනින් ඵලදායි කර ගැනීමට බලාපොරොත්තු වන බව ආචාර්ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කර සිටියි.

තෙත්බිම් යන සංකල්පය පවතින ජාතික පරිසර පනත මගින් අර්ථ නිරූපණය කර නොමැති බව අවධාරණය කරමින් ආචාර්ය අනිල් ජාසිංහ මහතා අදහස් දක්වා සිටින්නේ තෙත් බිම් සංකල්පය ද මෙම නව යෝජිත සංශෝධන මගින් ආවරණය කර ඇති බවයි.

ඉහත පරිදි නව ප්‍රතිපාදන මාලාවක් හඳුන්වා දී තිබුණ ද වර්තමානයේ පවතින පරිසර ගැටලු සමහරක් සඳහා මෙහි දී අවධානය යොමු කර නැත. පාරිසරික ක්‍රියාකාරී හා පරිසරවේදී නයනක රන්වැල්ල මහතාගේ අදහස් පරිදි යෝජිත සංශෝධන මගින් පවතින පාරිසරික ගැටලු හා තර්ජන මැඩ පවත්වා ගැනීමේ හැකියාව තිබුණ ද, බලධාරී ආයතන මගින් දීර්ඝ කාලීන විසඳුම් සඳහා නව ඉදිරි දර්ශනයක් ඇති කරගත යුතුය. ඔහුගේ අදහස් පරිදි පරිසර අමාත්‍යංශයේ විෂය පථය යටතට වැටෙන ආයතන වල වගවීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු වේ.

රන්වැල්ල මහතාගේ අදහස් හා එකඟ වෙමින් පාරිසරික ගැටලු පිළිබඳ නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධනගේ මහතා පැවසුවේ පාරිසරික ගැටලු අවම කිරීමට ආයතන අතර බල තුලනයක් පැවතීම අත්‍යවශ්‍ය බවය. දශක තුනකට ආසන්න කාලයක් සංශෝධනය නොවුණු ජාතික පරිසර පනත එහි කාර්යක්ෂමතාව උදෙසා නව ප්‍රතිපාදන මගින්  සංශෝධනය විය යුතු බව ද ඔහු අවධාරණය කළේය.

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts